IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අමිර්තලිංගම්ගේ ඝාතකයන් මරා දැමූ පොලිස් නිලධාරියා කියන කතාව

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ එවක නායකයා මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය දැරූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටිමින් සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොකු වැඩ කොටසක් ඉටුකළ දේශපාලනඥයෙක් බව ප්‍රසිද්ධ රහසකි.  


යාපනයේ පිහිටි නිවෙසේ අමිර්තලිංගම් මහතා සුවපහසු පුටුවක වාඩිවී සිටියදී මුළුතැන්ගෙය පැත්තේ ඇති දොරෙන් ඇතුළු වී අමිර්තලිංගම් මහතා ළඟින්ම බංකුවක් තබාගෙන වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමට තරම් භය පක්ෂපාතිකමක් තිබුණ ප්‍රභාකරන් කොලු ගැටයා පසුකාලයක එල්ටීටීඊ යේ නායකයා බවට පත්වී ඒ මහතා මරා දැමීමට නියෝග ලබා දීම දෛවෝපගත සිදුවීමක් වශයෙන් හැඳින්වීම කිසිම වරදක් නොමැත.  


අමිර්තලිංගම් මහතාට වෙඩි තබා ඝාතනය කළේ කොළඹ බුලර්ස් පටුම​ෙග් පිහිටි දෙමහල් නිවසක් තුළදී 1989 වසරේ අගෝස්තු මාසයේ 13 වැනිදාය.   


එනම් මීට වසර 30 කට පමණ ඉහතදීය.  


අමිර්තලිංගම් මහතා සමඟ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ යෝගේෂ්වරම් මහතා ද එල්ටීටීඊයේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී මියගියේය.  
අමිර්තලිංගම් මහතාට සහ යෝගේෂ්වරම් මහතාට වෙඩි තබා ඝාතනය කළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් තිදෙනාට ඒ මොහොතේම වෙඩි තබා මරා දමනු ලැබුවේ අමිර්තලිංගම් මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව සිටි ටී.ඒ. නිශ්ශංක මහතාය.  


වෙඩි පිට වෙඩි තබමින් ගිනි අවි අමෝරාගෙන සිටි කොටි ත්‍රස්තවාදීන්ට නොබියව නොසැලී මුහුණදෙමින් අත් දෙකෙන්ම ගිනිඅවි දරාගෙන ඉලක්කය ගෙන වෙඩි තබා මරා දැමුවේ නිශ්ශංක මහතා ගිනිඅවි හැසිරවීම පිළිබඳව ලබා තිබූ ඉහළම නිපුණතාව හා පුහුණුවීම්වලදී ලබා තිබුණ මානසික ඒකාග්‍රතාව නිසාමය.  


 නිශ්ශංක මහතා අමිර්තලිංගම් පවුලේම ආරක්ෂකයා පමණක් නොව ඔවුන්​ෙග් විශ්වාසය දිනා සිටි නිලධාරියෙක්ද වී සිටියේය.  
 ඒ විශ්වාසය කොතරම්ද කියනවා නම් අමිර්තලිංගම් මහතා මියගොස් වසර 21 ක් පමණ කාලයකට පසු ඒ මහතාගේ බිරිඳ හා වෛද්‍යවරයෙකු වූ පුතා නිශ්ශංක මහතා සොයා ඔහු   බැහැදැකීමට කෑගල්ල අැකිරියාගල අම්බලන්පිටිය නිවෙසට පැමිණ තිබුණේ කඳුළු වගුරුවමිනි.  


 අපි නිශ්ශංක මහතාගේ කෑගල්ලේ පිහිටි නිවෙස සොයාගෙන ගියේ අමිර්තලිංගම් මහතා ඝාතනය කර වසර 30 සපිරීමට දින 11 ක පමණ කාලයක් තිබියදීය.  


අපි සුහද ලෙස පිළිගත් නිශ්ශංක මහතා අමිර්තලිංගම් මහතාගේ ඝාතනය ගැන ​ෙතාරතුරු එකිනෙක හෙළිකරන්න පටන් ගත්​ෙත් ඇතැම් අවස්ථා රඟදක්වා පෙන්වමිනි.  


නිශ්ශංක මහතා ඉතා සුහදශීලී සොඳුරු මිනිසෙක් බව අපට තේරුම් ගන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.  


 අමිර්තලිංගම් මහතාගේ ඝාතනය ගැන මෙතෙක් කාලයක් හෙළිදරවු නොවූ කරුණු කාරණාද ඔහුගේ ප්‍රධානතම ආරක්ෂක නිලධාරියාව සිටි ටී.ඒ. නිශ්ශංක මහතා අප සමඟ කියා සිටියේය.  


අපි ඒ කතා එකිනෙක පෙළගස්වන්නේ නිශ්ශංක මහතාගේ මතකය ඇසුරිනි.  


 මම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනේමුල්ල යුදහමුදා කමාන්ඩෝ බළකා කඳවුරෙන් විශේෂ පුහුණුවීම් ලබාගෙන තිබෙනවා. මුලින්ම මම ගාමිණී දිසානායක මහතා​ෙග් ආරක්ෂක නිලධාරියෙක් විදිහට සේවය කළා. එතුමාගේ ළඟ සේවය කරමින් ඉන්නකොට ගාමිණී දිසානායක මහත්තයාම මට දවසක් කතා කළා, විදේශීය රටක ඉඳන් අමුත්තෝ කට්ටියක් එනවා. ඒ අමුත්තන්ට ආරක්ෂාව දෙන්න ම​ෙග් ළඟ ඉන්න හොඳම ආරක්ෂක නිලධාරියා තෝරා​ෙදන්න කියා මට ජනාධිපතිතුමාගෙන් නියෝගයක් ලැබී තිබෙනවා. ඒ හින්ද මම ඒ වැඩේට නිශ්ශංකව තෝරාගත්තා කියා. ඔයාට මේ වගකීම ඉටුකරන්න පුළුවන්ද කියා විමසුමා. ‘ඔව් සර් මට පුළුවන්’ කියා කිව්වා. ඔයාට රජයෙන් සියලුම පහසුකම් ලබාදෙනවා කියාත් දිසානායක ඇමැතිතුමා මාත් එක්ක පැවසුවා. ඔයා කටුනායක ගුවන් තොටුපොළට යන්න කිව්වා. මා කටුනායක ගුවන් තොටුපොළට ගියා. මා කටුනායක ගුවන් තොටුපොළේ විදේශීය අමුත්තෝ ආපු ගුවන් යානය ළඟට ගියා. මට ආරක්ෂාව සපයන්න බාරවෙලා තිබුණේ අමිර්තලිංගම් මහතාට හා ඔහුගේ පවුලේ අයට. අමිර්තලිංගම් මහත්තයා ඇතුළු ප්‍රභූන් 09 දෙනෙක් ඇවිත් තිබුණා. මම ඒ සේරම කට්ටියත් එක්ක කොළඹ තැප්‍රොබේන් හෝටලයට එක්කගෙන ආවා. අනිත් අය​ගේ ආරක්ෂාවට තවත් ආරක්ෂකයන් හිටියා.  


 කටුනායක ඉඳලා කොළඹ තැප්‍රොබේන් හෝටලයට එනකම් වි​ෙශ්ෂ ආරක්ෂාවක් මග දෙපස යොදවා තිබුණා. මටවත් නොදැනෙන ආරක්ෂාවක් යොදවා තිබුණ බව පසුව දැනගැනීමට ලැබුණා. අමිර්තලිංගම් මහත්තයාට අමතරව යෝගේෂ්වරම්, ශිව සිදම්බරම්, ආර්. සම්පන්දන් හා සේනාධිරාජා යන මහත්වරුන්ද සිටියා. අනිත් අයගේ නම් මට දැන් මතක නැහැ. මේ සේරම දෙනා ටී.යූ.එල්.එෆ් එකේ මැම්බර්ස්ලා බව නම් මම දන්නවා.  


ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ අය මෙන්ම එම පෙරමුණේ සෙසු සාමාජිකයෝ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණේ වෙන කිසිවක් නිසා නොව එල්ටීටීඊයෙන් එල්ල වී තිබූ මරණීය තර්ජන නිසාය.  
 ජේ.ආර්. ජයවර්ධන හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන මහත්වරුන් අතර ඇතිවූ සාම ගිවිසුමෙන් පසු අමිර්තලිංගම් මහතා ඇතුළු කණ්ඩායම යළි මෙරටට පැමිණ තිබිණි.  


 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඔහුගේ බිරිඳ කරසි අමිර්තලිංගම් පුතා මනෝ​ෙවෙද්‍ය බගිදරන් අමිර්තලිංගම් මහතාට ආරක්ෂාව සපයමින් තැප්‍රොබේන් හෝටලයේ වසරක පමණ කාලයක් නිශ්ශංක මහතා ප්‍රධාන ආරක්ෂකයන් ගතකර තිබේ.

 
අමිර්තලිංගම් මහතා ඇතුළු ඔහුගේ පවුලේ උදවියට අමතරව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සෙසු සාමාජිකයන්ද වසරක පමණ කාලයක් ඒ හෝටල​ෙය් ජීවත් වී ඇත්තේ රජයේ පූර්ණ අනුග්‍රහයෙනි.  


නිශ්ශංක මහතා වසර 30 ක එහා ගිය මතකය සිහිපත් කරමින් යළි දොඩමළු වෙන්නට පටන්ගත්තේය.

 
හෝටලයේ තුන්වෙනි මහලේ තමා​ සේරම කට්ටිය නැවතිලා හිටියේ. මුළු හෝටල් පරිශ්‍රයම අධි ආරක්ෂක කලාපයක් බවට පත්කරලා තිබුණා. හෝටලයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ කට්ටිය නැවතිලා ඉන්න කාලය පුරාවට ගෙස්ට්ලා හිටියේ නැති තරම්. ඉතාම අත්‍යවශ්‍ය අයට විතරයි ඒ කාලය තුළ හෝටලයට එන්න අවසර දීලා තිබුණේ. හෝටලයේ ඉන්න කාලය පුරාවට අමිර්තිලිංගම මහත්තයාට එයාගේ නෝනාට හා පුතාට දෙන සෑම කෑම වේලක්ම මම කාලා බැලුවාට පස්සේ තමා කන්න දුන්නේ. ඒ කාරියත් මම ඉතා වගකීමෙන් ඉටුකළා. යම් වස වර්ගයක් කෑමවලට කලවම්කර කන්න සලස්වා මරලා දාන්න ඉඩකඩ තිබෙන නිසා මම මෙවැනි ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේ.  


 හෝටලයේ ඉන්න කාලය තුළ ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තකට බොහෝම කලාතුරකින් විතරයි අමිර්තලිංගම් මහත්තයා එළියට ගියේ. වසරේ වැඩි කාලයක් ගත කළේ හෝටලය ඇතුළේමයි. එල්ටීටීඊ සංවිධානයෙන් එල්ල වී තිබූ මරණ තර්ජන සැලකිල්ලට ගනිමින් ඉතා දැඩි ආරක්ෂක ක්‍රියාමර්ග අප හැමවිටම අනුගමනය කළා. අපි මේ හැම දෙයක්ම කළේ ප්‍රභූවරුන්​ෙග් ආරක්ෂාව සඳහාමයි.  


වසරක කාලයකට පස්සේ අමිර්තලිංගම් මහතා ඇතුළු ඔහුගේ පවුලේ අය පමණක් නොව හෝටලයේ ලැගුම් ගෙන සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලු දෙනාම කැඳවා ගෙන ගොස් නවාතැන් සපයා ඇත්​ෙත් කොළඹ බුලර්ස් පටුමගේ පිහිටි දෙමහල් සුපිරි නිවෙසකටය.  


 මේ නිවසේ හිමිකරු වී ඇත්තේ මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යපාරිකයෙකි.  


කොළඹ බුලර්ස් පටුමගේ පිහිටි නිවෙසේ පදිංචියට ආවට පස්සේ පාර්ලිමේන්තු සැසිවාරවලට අමිර්තලිංගම් මහත්තයා එක්ක මම කාර් එකෙන් ගියා. ගිය පාරෙන් ආපසු ආවේ නැහැ. තවත් ආරක්ෂක ක්‍රමෝපායන් රැසක් මම අනුගමනය කළා. කොයි වෙලාවක හරි මම ගමන් බිමන් යද්දී එල්ටීටීඊයෙන් මාව මහ මගදී වෙඩි තියා මරා දමාවි යැයි කියා අමිර්තලිංගම් මහත්තයා මට නිතරම කියා තිබෙනවා. සර් කිසිම දෙයකට බයවෙන්න එපා මම ඉන්නකම් කියා මම අමිර්තලිංගම් මහත්තයාට එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ කියා කිව්වා. බොහොම හොඳයි කියා එතුමා එතකොට සතුටු වුණා. 


ඔන්න දවසක් එවකට උතුරු පළාතේ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් මහත්තයා එයාගේ ආරක්ෂකයන් 04 දෙනෙක් එක්ක අමිර්තලිංගම් මහත්තයා මුණගැසෙන්න ආවා. මම එතකොට ඒ ආවේ වර්ධරාජා පෙරුමාල් කියා දැන සිටියේ නැහැ. ඔවුන් ළඟ අවි තිබුණ නිසා අමිර්තලිංගම් මහත්තයා හමුවෙන්න යවන්න බැහැ කියා ආපසු හරවා යැව්වා. මේ කට්ටිය හා මා අතර මේ සිද්ධිය මුල්කරගෙන උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා. කොහොම වුණත් ඒ කට්ටිය ආපසු හැරී ගියා. වර්ධරාජා පෙරුමාල් මහත්තයා ​අමිර්තලිංගම් මහත්තයාට දුරකථනයෙන් කතාකර සිංහල ආරක්ෂකයා අපිව හරවා යැව්වා, මිනිහාව අයින් කර දමන්න කියා මට හොඳටම දොස් පවරා තිබුණ බව මට දැනගැනීමට ලැබුණා. කුට්ටුමනී පවා අමිර්තලිංගම් මහත්තයා හම්බවෙන්න ආවා.  


 අමිර්තලිංගම් මහත්තයා මාව අස්කළේවත් මට දොස් කිව්වේවත් නැහැ. ආයුධ අරගෙන ආවට කමක් නැහැ. මාව හම්බවෙන්න එන අයව ඇතුළට එවන්න කියා එතුමා මට උපදෙස් ලබා දුන්නා. මට ඒ උපදෙස් එතුමාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා. එතුමාගේ අත්සනින් ලිඛිතව මට ඒ නියෝගය ලබා දුන්නා. මා ළඟ තවමත් එතුමා ලබා දුන් නියෝගය සහිත ලියුම සුරැකිව තිබෙනවා යැයි නිශ්ශංක මහතා පැවසුවේ ඒ ලියුමද අපට පෙන්වමිනි.  


අමිර්තලිංගම් මහතා ඝාතනය වූ දා ඒ බිහිසුණු දවස ගැන නිශ්ශංක මහතා කිව්වේ මෙවැනි කතාවකි.  


 ඔය සිද්ධිය වෙච්ච දවසේ රෑ ඉන්දීය මහ කොමසාරිස්වරයාව සිටි ඩික්සිත් මහත්තයාගේ නිල නිවසේ පැවැත්වෙන භෝජන සංග්‍රහයකට යන්න සූදානම් වෙලා හිටියේ. මට ඒ රාත්‍රී භෝජන සංග්‍රහයට යන්න සූදානම් වෙන්න කියා අමිර්තලිංගම් මහත්තයා කල් ඇතිවම දැනුම් දී තිබුණා. මට ඒ බව දැනුම් දුන්නාට පස්සේ යෝගේෂ්වරම් මන්ත්‍රීවරයාගෙන් ලැබුණු පණිවිඩයක් නිසා එතුමා පහත මාලයේ සිට උඩු මහලට ගියා. උඩුමහලේ සාකච්ඡා පවත්වන රූම් එකක් තිබුණා. එතුමා ඒ රූම් එකට තමා ගියේ. යෝගේෂ්වරන් මන්ත්‍රීවරයා උඩු මහලේ සඳළුතලයට වෙලා පාර දිහා බලාගෙන හිටියා මම දැක්කා.  


 ඒ අවස්ථාවේ මම දැක්කා කහ පාට කැබ් එකක් ගෙදර ඉදිරිපස ඇවිත් නතර කරනවා. ඒ කැබ් එකේ ආපු තුන් දෙනා ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වුණා. යෝගේෂ්වරන් මන්ත්‍රීවරයා ඒ තුන්දෙනා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවූ බව මට ඔහුගේ හැසිරීමෙන් පැහැදිලිවම පෙනී ගියා. කැබ් එකෙන් පැමිණි කොල්ලෝ තුන් දෙනා හරිම ලස්සනයි. හින්දි චිත්‍රපටිවල රඟපාන නළුවෝ වගේ. සිනහවෙමින් ආවේ. හරිම පියකරු සිනහවක් තමා ඔවුන් තුන් දෙනාටම තිබුණේ. එක් කොල්ලෙක් පහත මාල​ෙය් ඉද්දී අනිත් කොල්ලෝ දෙන්නාගේ අත්වලින් අල්ලාගෙන යෝගේෂ්වරන් මන්ත්‍රීවරයා ද ඔවුන් සමග බොහොම කුළුපග ලෙස කතා බහ කරමින් සිනාසෙමින් පඩිපෙළ දිගේ උඩට ගියා මම දැක්කා. ඒත් මොනවා කතා කරනවාද කියා මට ඇසුණේ නැහැ. කෝකටත් මම හොඳ විමසිල්ලෙන් සිටියා.  


කට්ටිය යම් දෙයක් ගැන සාකච්ඡා කරමින් ඉන්න බව මට තේරුම් ගියා. සමහර අවස්ථාවලදී මහ හඬින් සිනාවෙනවාත් ඇසුණා. බොහොම සුහදව සාකච්ඡා කෙරීගෙන යන බව මට තේරුම් ගියා. යෝගේෂ්වරන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඒ සාකච්ඡා පැවැත්වෙන තැන ඉඳලා කුස්සිය පැත්තට යනවත් මම දුටුවා. කට්ටිය බිස්කට් කා බීම පානය කරමින් සිටියා. මුළුතැන් ගේ පැත්තෙන් යමක් බිඳෙන හඬ මට ඇසුණා. යෝගේෂ්වරන් මහත්තයාගේ නෝනා අතේ තිබුණු බෝතලයක් බිම වැටී බිඳී ගොස් තිබුණා. ඒත් එක්කම සාකච්ඡා කාමරයේද වීදුරුවක් බිඳෙන හඬ ඇසුණා. ඒ සැණින් වෙඩි ශබ්ද ඇසුණා. මා ළඟ පිස්තෝල දෙකක් තිබුණා. මා ඒ පිස්තෝල දෙකම දෑතට ගෙන සාකච්ඡා කරපු කාමරයට දිව්වා. යෝගේෂ්වරන් මහත්තයා අතින් අල්ලාගෙන උඩට ගිය කොල්ලෝ දෙන්නා හතර අතේ වෙඩි තියනවා. උන් මට වෙඩි තියන්න හදනවාත් එක්කම ඊට කලින් මා ඉස්සර වුණා. ම​ෙග් වෙඩි පහර කෑ කොල්ලෝ දෙන්නා එතනම මැරී වැටුණා.  


මට සැකයක් ඇති වී තරප්පුවේ ළඟට වෙලා සිටිය කොල්ලාව පරික්ෂාව කර බැලුවා. ඔහුගේ කමිස සාක්කුවේ ටයිපටියක් දමාගෙන සිටියදී සොයාගත්තා. ඒ ටයිපටිය අතට අරගෙන පරික්ෂා කර බලන අවස්ථාවේ ටයි පටියේ ගැටගසා තිබුණ 3.8 වර්ගයේ රිවෝල්වර උණ්ඩ කිහිපයක් සොයාගත්තා. මේවා මොනවාටද කිය ඇසුවාම ඇතුළට ගිය දෙන්නා තියාගන්න දීලා ගියේ කියා කිව්වා. ඒත් එක්කම තමා මට වෙඩිහඬ ඇසෙන්නට පටන් ගත්තේ. උඩුමහලේ සිටි කොල්ලෝ දෙන්නාට වෙඩි තියා මරා දමා පහත මාලයට එද්දී මිදුලේ සිටි කොල්ලා මට වෙඩි තියන්න හැදුවා. මා ඌටත් වෙඩ තිබ්බා. වෙඩි කා ඔහුත් මියගියා.  


උඩුමහලට දිවගොස් බලද්දී ශිවසිත්තරම් මහත්තයා ලේ විලක් මැද වැටී කෙඳිරිගමින් සිටියා. ඔහු මගෙන් වතුර ඉල්ලුවා. යෝගේෂ්වරන් මහත්තයා ද බිම වැටී සිටිනවා දුටුවා. අමිර්තලිංගම් මහත්තයා එතුමා වාඩිවී සිටි ආකාරයටම පුටුවේ වාඩිවී සිටියා. මම මොකද සර් වුණේ කියා එතුමා වාඩි වී සිටිය පුටුව ළඟට දිව ගිහින් කරට අත දමා ඇල්ලුවා. කිසිම කතාබහක් නැහැ. සිරුර ලේ වලින් නැහැවිලා තිබුණා. මම ඇල්ලුවා විතරයි එතුමාගේ සිරරු එක පාරටම බිමට පහත් වුණා. එතකොට තමා දැනගත්තේ එතුමාත් මියගොස් ඇති බව.

අමිර්තලිංගම් මහත්තයාගේ පපුව හරහා වෙඩි උණ්ඩ රැසක් වැදී තිබුණා පසුව මා දුටුවා.  


මම තාප්පයෙන් එහා පැත්තට පැනගත්තා. තාප්පයෙන් එහා පැත්​ෙත් ගෙදර පදිංචිවෙලා හිටියේ සුද්දෝ කට්ටියක්. මගේ අතේ පිස්තෝල තිබෙනවා දැකලා ඒ සුද්දෝ කට්ටියත් හොඳටම බය වුණා. මා වෙඩි තැබීමට යොදාගත් එක් පිස්තෝලයක් අමිර්තලිංගම් මහත්තයාට ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලබාදී තිබූ පිස්තෝලයයි. ඔහු එය මට ලබා දී තිබුණා. ඊට පස්සේ මේ ගැන මම ගාමිණී දිසානායක මහත්තයට දැනුම් දුන්නා. පොලිසියටත් පැවසුවා.  


 නිශ්ශංක මහතාට අමිර්තලිංගම් මහතාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණත් වෙඩි ප්‍රහාරය එල්ල කළ තුන් දෙනාටම වෙඩි තබා මරා දැමීමට හැකිවූයේ ඔහු​ෙග් ජීවිතය ගැන නොසිතා අභීතව කටයුතු කිරීම නිසාය.  


 මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත්​ෙත් රහස් පොලිසිය විසිනි.  


මෙම වෙඩි තැබීමට පැමිණ තිබුණේ රාජලිංගම් අරවින්දන් හෙවත් විසූ ඇලෝෂියස්, ලියොන් පීටර් හා කන්දයියා ශිව කුමාරන් හෙවත් අර්ඹු නමැති තිදෙනෙක් බව හෙළිවුණා. මේ තුන්දෙනාම ප්‍රභාකරන්ගේ ශරීරාක්ෂකයන් ලෙස කටයුතු කරන ඔහුගේ විශ්වාසවන්තම ගෝලයන් තුන් දෙනෙක් බවත් හෙළිවුණා. මේ තොරතුරු සියල්ලම රහස් පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකර ගෙන තිබුණා.

අමිර්තලිංගම් මහතාගේ ඝාතනය සැලසුම් කරලා තිබුණේ වවුනියාව ප්‍ර​ෙද්ශයේ ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක් බවට රහස් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඔහුද අත්අඩංගුවට ගත්තා. මට ඔහුගේ නම දැන් මතකයේ නැහැ යැයි නිශ්ශංක මහතා කීය.  
අමිර්තලිංගම් මහතාගේ ප්‍රධානතම ආරක්ෂක නිලධාරියා පවසන ආකාරයට කොටි තුන්දෙනා පැමිණ ඇත්තේ කොළඹ හතේ බුලර්ස් පටුමගේ දෙමහල් නිවසේ සිටි සියලුම දෙනා ඝාතනය කිරීමට වුවත් තමා කොටි තුන් දෙනා වෙඩි තබා ඝාතනය කිරීම නිසා ඒ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ බවත්ය.  


 අමිර්තලිංගම් මහත්තයාට වෙඩි තබා මරා දමන කාලය වන විට ඒ මහත්තයාගේ වෛද්‍ය පුතා රට ගිහින් හිටියේ. සිද්ධිය ආරංචි වුණාට පස්සේ ලංකාවට ආවා. යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අමිර්තලිංගම් මහතගේ අවසන් කටයුතු සිදුකෙරුණා. අමිර්තලිංගම් මහතාගේ ආදාහන කටයුතුවලට මා ගියේ නැහැ. ඒ වෙන කිසිම දෙයක් නිසා නොවේ එහිදී මාව මරන්න කොටි ප්ලෑන් කරලා තිබෙන බවට බුද්ධි අංශ මගින් මට දැනුම්දී තිබුණ නිසයි.  


මේ සිද්ධිය වෙලා සතියකට විතර පස්සේ අමිර්තලිංගම් මහත්තයාගේ නෝනා වෛද්‍ය පුතා ආපසු එංගලන්තය බලා ගියා. ඔවුන් එංගලන්තය බලා පිටත් වීමට කලින් මට බුලර්ස් පටුමගේ තියෙන ගෙදරට එන්න කිව්වා. මාව ඒ ගෙදර තිබුණ කාමරයක් ඇතුළට එක්ක ගියා. ඒ කාමරයේ අල්මාරියක් පෙන්වා ඒකෙ තියෙන බඩු සේරම ගන්න කියා කිව්වා. අල්මාරියේ උඩ තට්ටුව පිරෙන්නම තිබුණේ සල්ලි මිටි ගණන්. දෙවැනි තට්ටුවේ ඒ මහත්තයා ඇඳපු ඇඳුම් පැළඳුම්වලින් පිරී තිබුණා. තුන්වැනි තට්ටුව පිරී තිබුණ් රත්තරන්. ඒ බඩුවලින් මා ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා. අමිර්තලිංගම් මහත්තයා සිහිවෙන්න කියා එතුමා පැළඳි ටයිපටියක් විතරයි ඉල්ල ගත්තේ. ඒ ටයි පටිය එතුමාට පරිත්‍යාග කරලා තිබුණේ ඇමරිකාවේ ජනාධිපතිවරයෙක්ව සිටිය ජිමී කාටර් බව අමිර්තලිංගම් මහත්මිය මාත් එක්ක කියා සිටියා.  


 අමිර්තලිංගම් මහත්තයා ලෝකයේම ගෞරවයට පාත්‍රවෙලා හිටිය දේශපාලනඥයෙක්. ඔහු නිතරම කිව්ව දෙයක් තමයි අපේ ජාතියේ ආරක්ෂකයන් ගැන මට එච්චර විශ්වාසයක් නැහැ. සිංහල ආරක්ෂකයන් ගැන තමා විශ්වාසය තියෙන්නේ. ඒකයි මම නිශ්ශංකව ම​ෙග් ප්‍රධාන ආරක්ෂකයා හැටියට තෝරා ගත්​ෙත් කියා යැයිද නිශ්ශංක මහතා පවසයි.  


 අමිර්තලිංගම් මහත්තයා ප්‍රභාකරන් ගැන එහෙම මොනවත් විස්තර එහෙම කියා නැත්ද කියා මම ඔහුගෙන් විමසා සිටියෙමි.  
මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නිශ්ශංක මහතාගෙන් පිළිතුරක් ලැබුණු අතර ඒ පිළිතුර මෙසේ පෙළ ගස්වන්නේද ඔහුගේ වචනවලින්මය.  


 අමිර්තලිංගම් මහත්තයා නිදහසේ ඉන්න වෙලාවල්වලට එක එක විස්තර මට කියනවා. එතකොට ප්‍රභාකරන් ගැනත් කියා තිබෙනවා. නිශ්ශංක ඔය ප්‍රභාකරන්ට ඔය තැනට ගේන්න මමත් හරියට උදවු කළා. ප්‍රභාකරන් ඒ කාල​යේ අපේ යාපන​ෙය් ගෙදරට නිතර එනවා. කුස්සියේ පැත්තෙන් ඇවිත් පොඩි බංකුවක් අරගෙන මා ළඟින් තියාගෙන ඒකේ වාඩිවෙලා කතා බස් කරමින් සිටිය කෙනෙක්. ඒත් ඔය මිනිහ ගැන කිසිම විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙක් නෙමේ. මහා භයානක මිනිහා කියාත් අමිර්තලිංගම් මහත්තයා මට නිතර කියා තිබෙනවා.  


1977 මහ මැතිවරණයෙන් මම පාර්ලිමේන්තුවට පත්වෙලා විපක්ෂනායකකමට පත්වුණාට පස්සෙත් ප්‍රභාකරන් එයාගේ ගෝලයෝ දෙතුන් දෙනෙක් එක්ක මාව හොයාගෙන අපේ යාපනයේ ගෙදරට ආවා. මගෙන් ලොකු ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම මට පාර්ලිමේන්තුවේදී කියන්න කියා ඔහු මට කිව්වා. ඒ ඉල්ලීම මට කොහෙත්ම කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ නිශ්ශංක කියාත් පැවසුවා. මොකක්ද සර් ප්‍රභාකරන් කරන ඒ ඉල්ලීම කියා මා ඒ අවස්ථාවේ ඇසුවා. අපිට ඊළාම් රාජ්‍යයක් ලබාදෙන්න කියන ඉල්ලීම තමා ප්‍රභාකරන් මගෙන් ඉල්ලා සිටියේ. ඒක මට කරන්න බැහැ කිව්වාම මට තර්ජනය කරලා යන්න ගියා. අපේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගිහින් අපේ ඉල්ලීම් ගැන කියන්න බැහැ නේද? ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි කියාත් ප්‍රභාකරන් මට කිය තිබෙනවා නිශ්ශංක කියා ඔහු පැවසුවා. ඊට පස්සේ තමා අමිර්තලිංගම් ජීවිත ආරක්ෂාව පතා පවුල පිටින්ම රට යන්න තීරණය කරලා තිබෙන්නේ. ඔහුත් එක්ක ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ අනිත් මෙම්බර්ස්ලාත් ගිහින් තිබෙනවා.  


නිශ්ශංක මහතා පවසනුයේ අමිර්තලිංගම් මහතාගේ ඝාතනය කරන්න ආ කොටින්ට යෝගේෂ්වරන් මහත්තයා​ෙග් යම් සම්බන්ධයක් තිබුණ බවට අදටත් තමා සැකකරන බවය.  


 යෝගේෂ්වරන් මහත්තයාගෙන් උදව් ඉල්ලුවාම භයට හරි උදව් කරන්න ඇති කියන සැකය මට අදටත් තිබෙනවා. ඒත් කොටි අන්තිමේදී ඔහුටත් වෙඩි තබා මරා දැම්මා යැයි හෙතෙම කියයි.  


 අමිර්තලිංගම් මහත්තයාගේ ඝාතනයෙන් පස්සේ කොටි මාව මරන්න සොයන නිසා කාලයක් යනකම් රටේ ප්‍රදේශ ගණනක රහසිගතව ජීවත් වුණා. ගෙදර ආවේ නැහැ. අමිර්තලිංගම් මහත්මිය මට ඒ රටට යන්න කතා කළා. මම බැහැ කියා කිව්වා. කෙසේ වෙතත් මට එවකට පැවැති රජයෙන් නම් කිසිම ඇගයීමක් කළේ නැහැ යැයි නිශ්ශංක මහතා පැවසීය.  


ඒ බව ඔහු කිව්වේ කලකිරීමෙන්ද කියන්න මා නම් දන්නේ නැත.  


අමිර්තලිංගම් සහ යෝගේෂ්වරන් යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයට චෝදනාවට වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 07 ක සිර දඬුවමක් නියම වී සිටි විලියම් මරියදාස නමැත්තා ඒ සම්බන්ධයෙන් කර තිබූ අභියාචනයක් විභාගයට ගෙන එම අභියාචනා නඩුවේදී ඔහු නිදොස් කර නිදහස් කරනු ලැබුවේ 1995 වසරේ පෙබරවාරි මාසයේ 08 වැනිදාය.


අප්පාදොරේ අමිර්තලිංගම් මහතාගේ ඝාතනයෙන් සතියකට පමණ පසු ජීවිත ආරක්ෂාව පතා එංගලන්තයේ පදිංචිය සඳහා ගිය ඔහුගේ බිරිඳ කරසි අමිර්තලිංගම් මහත්මිය හා පුතා බහිදරන් අමිර්තලිංගම් මහතා යළි මෙරටට පැමිණියේ වසර 21 ක පමණ කාලයකට පසුවය.  
ඒ ඔවුන්ගේ ජීවිතය බේරා දුන් නිශ්ශංක මහතා ඔහුගේ පවුලේ අය බැහැදැක ඔවුන්ට කෘතඥතාවය හා උපහාරය පුදකිරීමටය.  


කෑගල්ලේ පිහිටි නිශ්ශංක මහතාගේ නිවසට පැමිණීමට කලින් මෙම මව හා පුතා සිය දයාබර සැමියා, ආදරණීය තාත්තා එල්.ටී.ටී.ඊය විසින් මරා දමනු ලැබූ කොළඹ බුලර්ස් පාරේ පිහිටි නිවසට ද ගොස් ඇත.  


ඒ අමිර්තලිංගම් මහතාගේ ඝාතනයෙන් වසර 21 කට පසුවය.  


කරසි අමිර්තලිංගම් මහත්මිය හා ඇයගේ පුත් මනෝ වෛද්‍ය බහිදරන් මහතා තමා සොයා පැමිණීම ගැන නිශ්ශංක මහතා සිය මතකය අවදිකරමින් මෙසේ කීය.  


අමිර්තලිංගම් මහත්මිය එයාගේ දොස්තර පුතා එක්ක අපේ ගෙදර ආවා. මේ දෙන්නාව දැක්කම මට ඇස් අදහාගන්න බැරිව ගියා. මමයි මගේ බිරිඳ ශ්‍යාමිලා ප්‍රමිලා කුමාරි විසින් ඔවුන් දෙදෙනාව සිංහල ක්‍රමයට පිළිගත්තා. අමිර්තලිංගම් මහත්මිය හඬන්න පටන්ගත්තා. ඇයට ඇයගේ සැමියා මතක් වීම නිසා එසේ හඬාවැටෙන්නට ඇත. මම මගේ ජීවිතය ගැන නොතකා අවි අමෝරාගෙන හතර අතට වෙඩි තබමින් හිටිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් තුන්දෙනාට ප්‍රතිප්‍රහාර එල්ලකර මරාදැමීම නිසා  තමන්ගේ පුතා සහ ගෙදර හිටිය අනිත් හැමෝගෙම ජීවිත බේරුණ බවත් ඇය සිහිපත් කළා.  


අවි ආයුද අරගෙන එන දමිළ තරුණයින්ට එතුමාව මුණගැසෙන්න එන එකට මම විරුද්ධ වෙලා හිටියේ. එතුමා ඒකට අවසර දුන්නා. එහෙම නොවෙන්න මේ වගේ දෙයක් නොවෙන්න ඉඩ තිබුණා යැයි කියා මා එතුමියට මතක්කර දුන්නා. මහත්තයා ඕනෑවට වඩා ඒ අයව විශ්වාස කළා. ඒ හින්දා තමා වෙපන් අරන් එන්න ඉඩ දුන්නේ කියා එතුමිය එතකොට මාත් එක්ක කිව්වා.  


අපේ ගෙදර උදේ ඉඳන් සවස්වෙනකම් සතුටු සාමිචියේ යෙදී සිටියා. දිවා ආහාරය පවා ගත්තේ අපේ ගෙදරින්. හවස්යාමයේ අමිර්තලිංගම් මහත්මිය හා ඇයගේ පුතා පිටත්ව ගියා. මට බිස්නස් කරන්න සල්ලි එවන්නම් කියා අමිර්තලිංගම් මහත්මියගේ පුතා කිව්වා. මම එය කරුණිකව ප්‍රතික්ෂේප කළා.  


ඇයි මම කැමැත්තෙන් සල්ලි එවන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා කියා ඔහු එතකොට මාත් එක්ක කියා සිටියා. කෑගල්ල ටවුන් එකේ හොඳ බිස්නස් එකක් පටන් ගන්න. මම යන වියදම සේරම බලාගන්නම් කියා ඔහු නැවතත් මාත්එක්ක පවසා සිටියා.  


මම කළේ මට පැවරී තිබුණු ඩියුටිය. මම ඒකට ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ කියා එතුමාට පැහැදිලිකර දුන්නා. එදා කළ සිද්ධිය මත මට ඔවුන්ගෙන් ඕනෑ තරම් ලාභ ප්‍රයෝජන ගන්න ඉඩ තිබුණා. ඒත් මම කිසිමදාක ඔවුන්ගෙන් කිසිම දෙයක් ලබාගත්තේ නැහැ. මම ඉල්ලා ගත්තේ අමිර්තලිංගම් මහත්තයා කරේ බැන්ද ටයිපටිය විතරමයි. ඒකත් ඉල්ලා ගත්තේ එතුමා මතක් වෙන්න සිහිවටනයක් වශයෙන් තබා ගන්නයි. ඔවුන්ගෙන් ආධාර උපකාර ලබා​ෙගන මට කෝටිපතියෙක් වෙන්න තිබුණා. මම මේ වෙනකොට කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ ආයතනයක වගකිවයුතු රැකියාවක් කරනවා. හොඳ මහත්තයෙක් යටතේ.  


අමිර්තලිංගම් මහත්තයා මරා දැමුවාට පස්සේ එතුමාගේ නෝනා සහ පුතා එංගලන්තයට ගිහින් ටික කාලයකට පස්සේ මට දුරකතනයෙන් කතා කළා. ඒ කාලයෙත් මට සල්ලි එවන්න ඇහුවා. එදත් මා මුදල් ප්‍රතික්ෂේප කළා. ඒ කාලයේ අපේ පුතා පොඩියි. එයාව එන්ගලන්තයට අරගෙන ගිහින් දරුවෙක් වගේ හදාවඩා ගෙන හොඳට උගන්වන්නම් කියා කිහිපවරක්ම ඉල්ලුවා. ඒත් අපි අපේ එකම දරුවා ඔවුන්ට දෙන්න කැමැති වුණේ නැහැ. යැයි නිශ්ශංක මහතා කීය.   


තොරතුරු සොයා යාමේදී සහාය වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත උඩපමුණුව මහතාට සහ කෑගල්ලේ පදිංචි පී.එස්. සිරිනාග මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරන්නෙමි.  

 

 සටහන  
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප- ගලිගමුව රොහාන් කුමාර  

 

 
 
 
 
 



අදහස් (0)

අමිර්තලිංගම්ගේ ඝාතකයන් මරා දැමූ පොලිස් නිලධාරියා කියන කතාව

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 169 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site