IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපි තරම් කවුරුවත් සිල් රකින්නේ නැහැ

ආදිවාසී නායකයා කියන කතාව   

වැදි දරුවන් බුදු සසුනට පුදා

ධාතු කරඬුව වැඩමවද්දී

මාවරගල ආරණ්‍ය සේනාසනය

 

හිරු මීන රාශියෙන් මේෂ රාශියට දින 365 කට වරක් සංක‍්‍රමණය වෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමා විය. 


රතිඤ්ඤා හඬ මැකී යද්දී දැන් රට පුරා ඇසෙන්නේ සදහම් රාවයයි. දැනෙන්නේ සිල් සුවඳයි. මුළු රටේම පමණක් නොව මුළු ලෝකයේම මිනිසුන්ට සත්‍යය අවබෝධ වෙමින් තිබේ. බුදු දහමට ජනයා නැඹුරුවීමේ ප‍්‍රවණතාවක් මුළු ලෝකයෙන් අසන්නට ලැබේ. 


ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පවසන්නේ පසළොස්වකට වෙසක් පොසොන්වලට පමණක් නොව හැමදාමත් සිල්රකින ජනතාව ඉන්නේ වැදි සමාජයේ බවයි. 


“මේ ඇත්තන්ගේ කතා පොජ්ජට වැදි බණ පොජ්ජ යි කතා දාපු මහ සමාජෙ ඇත්තන්ට අද දවස් පොජ්ජ වෙනකොට මන්දොවෙනවා. බුද්ධිල ඇත්තන්ගේ බණ පොජ්ජ අනුව ජීවත් පොජ්ජ මන්දොවන්නේ මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජම බව ....... 


මහ සමාජයේ ඉස්සර වැඩකට නැති දේ කියන එකට උපමා කළේ වැදි බණ කියලයි. නමුත් අද වෙනකොට මහ සමාජය පන්සිල් ශික්ෂා කඩන පව්කාර සමාජයක් බවට පත්ව ඇතත් බුදුන්වහන්සේ දේශනා කළ පන්සිල් රකින්නේ ආදිවාසීන් බවට පත්වෙලා තියෙනවා. අපේ පරම්පරාවේ අය බොරු කියන්නේ නැහැ අන් සතු දේ හොරකම් කරන්නෙත් නැහැ. මත්පැන් බොන්නෙක් නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නෙත් නැහැ. 
මම නම් සතුන් මරන්නෙත් නැහැ. මස් කන්නෙත් නැහැ මම නම් පන්සිල් පද පහම ආරක්ෂා කරනවා යැයි ආදිවාසී නායක උෟරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසති. ආදිවාසීන් කලකට පෙර කඩ කළ එකම ශික්ෂා පදය වුයේ සතුන් මැරීම හෙවත් දඩයම් කිරීමය. එහෙත් ඒ සඳහාද සාම්ප‍්‍රදායික විනයක් තිබූ බව ආදිවාසී නායකයා පවසන්නේය. 


ඒ අනුව ගැබ්බර සතෙක්, දිය බොන සතෙක්, නිදහසේ වැතිරී සිටින සතෙක් දඩයම් කිරීම තහනම්ය. 


දඩයම් කළ හැකි සතුන් වර්ග තිබේ. 


කෙසේ නමුත් අද වෙන විට ආදි වාසීන්ට දඩයම ද අහිමිවීම නිසා පානාතිපාතා ශික්ෂාපදයට ද අනුගතව ඇතැයි වන්නියලැ ඇත්තෝ කියති. 


එසේ නමුත් පව්කාර මස් වැද්දෝ මහ සමාජයෙන් පැමිණ දඩයමේ යෙදෙන බව ද ආදිවාසී නායකයා අවධාරණය කළේය. ආදිවාසීහු ගවයන් ඇති දැඩි කළ ද උන්ගේ මස් ද අනුභව නොකරති. කුකුළන් ඇතිකළ ද මස් හෝ බිත්තර අනුභව නොකරති. 


පන්සිල් රැකීම පමණක් නොව පන්සල් ගොස් බුදුන් වැඳීම, දන්පින් කිරීම දන්සල් පැවැත්වීම බුදු සසුනට දරුවන් පිදීම යනාදී පුණ්‍යවන්ත කටයුතුවල ද ආදිවාසීහු නියැළෙති. මළ ගමකදී බෞද්ධ භික්ෂුන් වහන්සේ වැඩමවා මතක වත පුදා ආගමික වතාවත් ඉටුකිරීම ද සිරිතකි. ආදිවාසීන් හා බුදු දහම අතර බැඳීම කෙබදු දැයි ආදිවාසී නායකයාගෙන් විමසුවෙමි. 

 

ආදිවාසී නායක වන්නියලැ ඇත්තන්


“සිදුහත් කුමාරයා බුදුවෙලා ඉස්සෙල්ලාම වැඩියේ මේ රටට. මහියංගණයට. මහියංගණයට බුදු හාමුදුරුවෝ වඩිනකොට මහියංගණයේ හිටියේ යක්ෂ ගෝත‍්‍රික මනුෂ්‍යයෝ. ඒ අය යක්කු නෙවෙයි. 


මහ සමාජයේ ඇතැමුන් බෞද්ධ සාහිත්‍යයට ගොතපු කතා තියෙනවා බුදුහාමුදුරුවෝ මහියංගණයට වැඩියේ යක්කු රටෙන් එළවන්න කියලා. ඒ කතාව අපි නම් පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවො යක්ෂ ගෝත‍්‍රිකයන්ට විතරක් නොවෙයි, කාටවත් හිරහැර නොකළ තමන් ඝාතනය කරන්න පැමිණි අයට, තමන්ට හිරිහැර කරන්න ආ අයට පවා කරුණාව දැක්වූ ශාස්තෘවරයෙක්. 


මහියංගණයට බුදුන් වහන්සේ වැඩියේ උන්වහන්සේගේ ධර්මය තේරුම් ගන්න තරම් මොළයක් එදා යක්ෂ ගෝත‍්‍රිකයන්ට තිබූ නිසයි. රැහේ ඇත්තන්ගේ බල ප‍්‍රදේශයට ආගන්තුක නාඳුනන කෙනෙක් දැකපු නිසා මුලින්ම අපේ අය විරුද්ධවූ බව ඇත්ත. පසුව බුදුන් වහන්සේගේ බලය තේරුම් අරන් බණ අහලා මහවැලි ගඟෙන් එගොඩවෙලා තමන් ජීවත්වු කැලෑ ප‍්‍රදේශයට ගිහින් තිබෙනවා. එදා ඉඳලම අපේ පරම්පරාවේ අයත් බුදු දහමත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. 


මේ සම්බන්ධතාව තිබුණට අපේ පරම්පරාවේ ඇත්තෝ අදහපු මළගිය ඇත්තෝ අදහන චාරිත‍්‍රයත් තියෙනවා. දඹානට නුදුරු මාවරගල ආරණ්‍ය සේනාසනය අපිට අයිති තැනක්. ඒ අයිතිය පිළිබඳවත් අපේ පරම්පාරවෙන් එන කතාවක් තියෙනවා. 


“කොක්කාගල යක්ෂ සොහොයුරන් දෙදෙනෙක් හිටියලු 


අයියා මල්ලීට වඩා කඩවසම්ලුු. අයියාට බිරිඳක් සිටියත් මල්ලිට බිරිඳක් හිටියේ නැතිලු. අයියාගේ බිරිඳ ලස්සනයි. මල්ලීගේ කඩවසම් බවට අයියාගේ පවුල ඇලුම් කළාලු. 

 


අයියා නැති අතරේ මල්ලි නෑනා සමග රති සුවයට පුරුදුවෙලා. අයියාගේ නපුරු ගති දන්නා නිසා හා රැහේ නීතිවලට මෙම ක‍්‍රියාව පටහැණි නිසා මේ සම්බන්ධය අපි නතර කරමු. කියල මල්ලී නෑනාට කිව්වලු. එහෙත් නෑනාගෙන් ගැලවුමක් වෙලා නැහැ. මට ඔයා නැතිව ඉන්න බැහැ. මැරුවත් කමක් නැහැ. අපි දෙන්නා හොරෙන් පැනල ගිහින් එකම ගල් ගුහාවක ජීවත්වෙමු. කියා ඇය පින්සෙණ්ඩු වෙලා. මල්ලි බොහෝ වේලාවක් කල්පනාකර අවසන් තීරණයට ඇවිත්. 


“එහෙනම් හෙට අපි දෙන්න පැනල යමු. හෙට හඳ පායයි. මං ඉස්සරහින් යන්නම් ඒ පස්සෙන් ඔයා අර කන්දට එන්න. කිව්වලු. අයියා දඩයමේ ගියා එදා රාත‍්‍රී මල්ලීගේ පස්සෙන් නෑනා ගියාලු. ඒ අද මාවරගල නමින් හැඳින්වෙන ගල් කන්දට. කොක්කාගල යක්ෂයා දඩයමේ ගිහිල්ලා පසුදා උදෑසන ගෙදර පැමිණෙනවිට බිරිඳ ගෙදර නැහැ. ඔහු කලබල වෙලා. කැලය පුරා සෝදිසි කළත් බිරිඳ සොයා ගන්න බැරිවෙලා. හොඳටම මහන්සිවෙලා බලාපොරොත්තු කඩකරගෙන ආයෙත් ගෙදර ගිහින් තියෙනවා. 


හුඟාක් වෙහෙස නිසා එදා හොඳටම නින්ද ගිහින්. පසුදා උදෑසන කොක්කාගල කන්දේ ඉඳන් කල්පනා කරනකොට ඉදිරියෙන් පේන කන්ද මුදුනේ දෙදෙනෙකු සිටින බව දැකලා. ඒ වෙනකෙකු නොවෙයි. බිරිඳ හා මල්ලී බව සැකයක් නැතිවම හඳුනාගෙන තියෙනවා. බිරිඳ මල්ලි උකුළේ හොවාගෙන උකුණන් අදිනු දුටු කොක්කාගල යක්ෂයාට හොඳටම තරහ ගිහින්. ඔහු දුන්න අතට අරන් දෙදෙනාම එක හී පහරින් මරනව කියල හිතල විදල තියෙනවා. 

 

රිටි පෙරහර

බුදුන් වඳිද්දී...


හීය ඒ දෙන්නා සිටි තැනට පහළින් ගලක වැදිල. ඒ ගල දෙබෑ කරගෙන සැතපුම් ගණනක් ඈතින් තියෙන වැවකට වැටිලා. හී පහර වැදී මාවරයක් සේ දෙබෑවූ ගල එදා සිට මාවරගල කියලත්, හීය වැටුණ වැව විදපු වැව කියලත් හඳුන්වනවා. 


එදා පටන් අද දක්වා දඹානේ වැදි ජනයා වාර්ෂික පෙරහරකින් මාවරගලට ගිහින් ඇදහිලි කරනවා. අපිට අයිති මාවරගල අපේ අප්පිල ඇත්තෝ තමයි කුඩාවැල්ලේ ධම්මපාල හාමුදුරුවන්ට පූජාකරල තියෙන්නේ. එතැන් පටන් මෙහි ඇති ගල්ගුහා භික්ෂූන් වහන්සේ භාවනා යෝගීව සිටින කුටි බවට පත්වුණා. එදා වැදි ජනයා වන සතුන් මරාගෙන ඇවිත් ගිනිමැල සාදා පිලිස්සූ ගුහාව (අලූගල්ගේ) අද ප‍්‍රධාන භාවනා කුටිය වී තිබෙනවා. 
මම මේ ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන සමිතියේ සභාපති ලෙස හාමුදුරුවොත් සාකච්ඡා කරලා ශෛලමය බුදුපිළිමයක් නෙළීමට කටයුතු කළා. මහියංගණය විහාරස්ථානයේ පෙරහර සමයේ අපේ පෙරහර 2 ක් තිබෙනවා. එකක් තමයි දුරාතීතයේ සිටම පවත්වන රිටි පෙරහර මී පැණි ඇඟේ තවරලා පුළුන් අලවලා රිටි අතින් අරන් රිටිවලින් රිටි කැඩෙන තුරු ගහ ගහ සමන් දේවාලය වටා යනවා. 


ඊට පස්සේ රැහේ නායකයා සමන් දේවාලයට හීයෙන් විදිනවා. ඊට පස්සේ මහවැලි ගඟෙන් එගොඩවෙලා යන්න යනවා ඒකෙන් පිළිබිඹු කරන්නේ ආගන්තුකයකු ලෙස මහියංගණයට වැඩි බුදුන් වහන්සේට වඩින්න සමන් දෙවියන් කළ ආරාධනයට එදා රැහේ අය දැක්වූ විරෝධයයි. 


මං මුලදිත් කිව්ව වගේ මේ විරෝධය දැක්වූයේ නාඳුනන කෙනෙක් අපේ බල ප‍්‍රදේශයට ආව නිසයි. නමුත් පසුව බුදුන් වහන්සේගෙන් බණ අහලා සිත පහදාගෙන විසිර ගිය. අනෙක් පෙරහර තමයි දොඩම් පෙරහර. මහ පෙරහර නිම වී දිය කපන දවසේ තමයි දොඩම් උඩ දමමින් අපි දොඩම් පෙරහරේ යන්නේ. ඓතිහාසික පෙරහර ආශිර්වාදාත්මක පෙරහරක්. 


අපේ දරුවෝ දහම් පාසල් යනවා. හැමදෙනාම වගේ පන්සල් යනවා. බුදුන් වඳිනවා. පන්සිල් ගන්නවා. දානේ පිළිගන්වනවා. අපේ පරම්පරාවේ දරුවෝ 30 දෙනෙක් විතර මේ වෙන විට පැවිදිවී සිටිනවා. 


වෙසක් පෝයට විශේෂ පින්කම්වලට සහභාගි වෙනවා. සෑම වර්ෂයකම දළදා පෙරහර සමයේ මහනුවර දළදා මාලිගාවට ගිහින් නැවුම් මීපැණි පූජාව සිදුකරනවා. මේ ප‍්‍රදේශයේ පන්සල්වලින් පමණක් නොවෙයි ලංකාවේ බොහෝ වෙහෙර විහාරස්ථානවල සිදුකරන විශේෂ පින්කම සඳහා මට ආරාධනා ලැබෙනවා. මම බොහොම හැඟීමෙන් ශ්‍රද්ධාවෙන් යුතුව ඒවාට සහභාගිවෙනවා. 


මහියංගණය නගරයේ ඉදිකළ විශාල බුදු පිළිම වහන්සේගේ නිධන් තැන්පත් කරන අවස්ථාවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ධාතු කරඬුවක් තැන්පත් කිරීමට ලැබීම මා ලැබූ මහා පිනක්. 
බොහෝ වේලා ඒ සිත්ගත් කතාවන්ට සවන් දුන් මම නැවතත් ප‍්‍රශ්නයක් ඇසුවෙමි. 


ඔබ සිල් ගන්නවද? 


මගේ ප‍්‍රශ්නයට වන්නියලැ ඇත්තෝ උත්තර දුන්නේ හැඟුම්බරවය. 


මම සුදුරෙදි පොරවලා සිල් ගන්නේ නැහැ. හැබැයි හැමදාම සිල් රකිනවා. 


පෝයදාට සිල්රෙද්ද බොරුවට පොරවලා හැමදාමත් සිල් කඩනවානම් ඇති වැඩේ මොකක්ද? 


ඔබ දඩයමේ ගිහිල්ලම නැද්ද? 


මම දඩයක්කාරයෙක් වුණේ අවුරුදු 12 දී. මගේ අප්පිල ඇත්තෝ තමයි දුන්නට ඊතලය දාල විදින හැටි පුරුදු කළේ. 


ඒ දවස්වල නම් මගේ ඉලක්කය වැරදිලා නැහැ. හැබැයි මීට අවුරුදු 37 කට පෙර මම දඩයමත් දඩමස් කෑමත් නතර කළා. ධාන්‍ය හා එළවළු විතරයි මගේ ආහාරය. අපේ ඇත්තෝ බහුතරයක් අද ඒ තත්ත්වයට පත්වෙලා තියෙනවා. මහ සමාජයෙන් හැමදාම ඇහෙන්නේ අපරාධ. අධර්මිෂ්ඨකම්. 


බුදුන් වහන්සේගේ තෙමඟුල සිදුවූ මේ වෙසක් සමයේ මම කියන්නේ වැදි සමාජයේ තියෙන උතුම් ගති ආදර්ශයට ගන්න කියලා. 


“මම එහෙම කියනකොට ඕවා වැදිබණ කියල කියයි. ඒත් කමක් නැහැ හොඳක් වෙනවා නම්” යැයි පවසමින් ආදිවාසී නායක වනස්පති උෟරුවරිගේ වන්නියලැ ඇත්තෝ හඬ නඟා සිනාසුණේය.  

 

 

 

 

චාරිකා සටහන හා ජායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ 

 

 



අදහස් (0)

අපි තරම් කවුරුවත් සිල් රකින්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 171 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site