IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනියම් බිරියත් කිරිසප්පයත් ඝාතනය කළ ජ්‍යොතිෂවේදියා

මව සහ දරුවා ඝාතනය කර තිබූ අන්දම.

 

තම ලෙයින් උපන් හය මස් වියැති සිඟිති පුතාත් දසවසරක් පෙම් කළ අනියම් බිරිඳත් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ කපුවෙක් දින හයක් තුළදී පොලිස් භාරයට පත්ව සිපිරිගෙය සොයා ගියේය. කොස්ගොඩ, බොරළුකැටිය ප්‍රදේශයේදී වෙසක් පෝය දිනට පෙර දින (9දා) සිදුවූ මෙම ඛේදවාචකය අසා මුළු රටම කම්පා විය.


වෙසක් සඳ මෝදුවීමට තිබුණේ තව හෝරා කීපයකි. අහුන්ගල්ල කොස්ගොඩ, බොරළුකැටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශවල බොදු ජනතාවගේ හදවත් වෙසක් අසිරියෙන් ප්‍රබෝධමත් වෙමින් තිබුණි. ඔවුහු වෙසක් සැරසිලි කරමින් ආමිස පූජා අර්ථවත් කරමින් සිටියහ.


මෙම ඛේදවාචකයෙන් මියගිය තොම්මයාහකුරු රේණුකාගේ බාල දියණිය තිළිණි ද අහුන්ගල්ල රාජපක්ෂ විදුහලට සුපුරුදු උදෑසන ගියේ සිඟිති මල්ලී පැතුම් ලක්ෂාන්ගේ මුව සිප සුරතල් කිරීමෙන් හදේ සොම්නස් පැතුම් පුරවාගෙනය. එය සවස් යාමයේ දොම්නස් මේඝ වලාවක් වේයැයි තිළිණි කිසිවිටක සිතන්නට නැත. ගෙවී ගිය හෝරා හයක කාලය තුළ සියල්ල උඩු යටිකුරු කරමින් යක්ෂයා තිළිණිගේ නිවසට කඩා වැදී තිබුණි. මේ කිසිවක් නොදත් තිළිණි පාසලේ වෙසක් සැරසිලි නිමවා වහා ගෙපැලට දුව ආවාය.


“අම්මේ... අම්මේ.....” කියා ගෙවත්තට පා තබමින් ඇය මවට තමා ආ බව හඟවා සිටියාය. ඊළඟ නිමේෂයේදී පුංචි මල්ලියා සිප හුරතල් කිරීම ඇයගේ නොතිත් ආශාව විය. නිවස තුළින් වෙනදා ඇසෙන මවගේ හඬ වියැකී ගොස්ය. සිතට මඳ බියක් දැනුණ ද තිළිණි දොර කවුළු පියන්පත් හැරදමා තිබූ තම පුංචි ගෙපැල තුළට දුව ගියාය. ඇය කිසිදා බලාපොරොත්තු නොවූ දසුනෙන් බියපත් වූවාය.


බළපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා විජේසූරිය මෙනවිය සිද්ධිය වූ ස්ථානයේදී සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී තොම්මයාහකුරු තිළිණි මධුෂිකා සමන්මලී එම ඇසින් දුටු බිහිසුණු සිද්ධිය මෙසේ සිහිපත් කළාය.


“පාසල ඇරිලා නිවසට ආ මම අම්මේ අම්මේ කියලා කීපවරක් කතා කළත් අම්මා කතා කළේ නැහැ. ඒ නිසා කාමරයේ ලයිට් එක දාලා ඇඳ දිහා බැලුවා. ඒ වෙලාවේ මං දැක්කා අම්මා ලේ විලක් මැද වැටී ඉන්නවා. අම්මා සිටි ඇඳේ විට්ටම ආසන්නයේ මගේ පුංචි මල්ලියාත් වැටී සිටියා”


මෙම ඛේදවාචකය සිදුවූ කුඩා ගම්පියස බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තවත් ගැමිකමේ සුවඳ ඉතිරි වී තිබෙන ප්‍රදේශයකි. බොරළුකැටිය සුමනාරාම විහාරස්ථානය අසල ඝාතනයට ලක්වූ සිව්දරු මවගේත් කුඩා දරු පැටියාගේත් නිවස දක්නට ලැබේ. සම්පූර්ණයෙන් තවමත් වැඩ නිම නොවූ මෙම නිවස අද දකින තත්ත්වයට ගොඩ නගා ඇත්තේ ද මෙම ඝාතන සිදු කළ බවට පිළිගත් ජ්‍යොතිෂවේදියාය.


කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ටී. එම්. ඉරාන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු අරඹා තිබුණි. පොලිසියට මේ පුවත සැලකර තිබුණේ ද තිළිණිත් තිළිණිගේ පුංචි අම්මා දීපානිත් ය. මහේස්ත්‍රාත් පරීක්ෂණය නවවැනි දින සවස හයවෙන විට නිමා වුවද ඇසින් දුටු සාක්කියක් එහිදී ඉදිරිපත් නොවීය. මෙම ඝාතනය කරනු කිසිවකු දුටුවේ නම් ඉදිරිපත්වන ලෙස මහේස්ත්‍රාත්තුමිය ඉල්ලා සිටිය ද රැස්කකා එතන සිටි සිය දහසක් වූ සෙනග අතරින් සිද්ධිය ඇසින් දුටු අයෙකු නොවීය.


ඒ අනුව වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය මැයි 17 දිනට කල් තැබීය. මෙහිදී මියගිය කාන්තාවගේ සහෝදරිය සාක්කි දෙමින් දැනට හඳුනාගත් ඝාතකයා එම නිවසට සිද්ධිය වූ අවස්ථාවේ පැමිණ ගිය බව හෙළිකර සිටියාය. තොම්මයාහකුරු ධර්මා දීපානි (35) නමැති ඇය දුන් සංක්ෂිප්ත සාක්කිය මෙසේය.


“එදා උදේ 10.00ට විතර වෙනදාටත් අක්කාගේ නිවසට එන ටියුඩර් අයියා යතුරුපැදියෙන් එනවා මම දැක්කා. මම ඊට පස්සේ බෙහෙත් ගන්න ඌරගස්මංහන්දිය නගරයට ආවා. ටික වේලාවකින් මම බෙහෙත් අරගෙන ආපසු ගෙදර ආවා. මම ගෙනාපු බෙහෙත් බොනවිට උදේ 11.00ට විතර ඇති. ඒ වෙලාවේ මම දැක්කා අක්කාගේ ගෙදර ඉඳලා ටියුඩර් අයියා බයිසිකලයෙන් යනවා. වෙනදා ටියුඩර් අයියා යනකොට අපේ ළමයි එක්ක කතා කරලයි යන්නේ. එදා ඔහු කවුරුත් එක්ක කතා නොකරම ගියා.”
හෙළිවූ කරුණ මත පරීක්ෂණ පවත්වන පොලිසියට රේණුකා සමග අනියම් ඇසුරක් පැවැත්වූ ටියුඩර් ගැන සැක පහළ විය. ඒ අනුව පොලිසිය පරීක්ෂණ පැති කීපයක් ඔස්සේ ආරම්භ කළේය.


මිනීමරුවා මෙම ඝාතන සිදු කිරීමෙන් පසු ඔහුගේ යතුරුපැදියෙන් අහුන්ගල්ලේ කටුවිල පිහිටි නිවසට පැමිණියේය. ඔහු ඝාතනය සිදු කළ අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම් පුතාගේ කුරුඳු ඉඩමේ වළක් කපා වළ දැම්මේය. අනතුරුව යතුරුපැදිය කඩ කාමරයේ ගාල්කර ඒ මත කබාය (ජැකට් එක) තබා දොර අගුළු දමා පලා ගියේය. මෙම අවස්ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය ද එහි තබා අසනීප සඳහා බොන බෙහෙත් ටික රැගෙන යාමට මිනීමරුවා අමතක නොකළේය. හැටඅට වියේ පසුවන මොහු හෘදයාබාධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග ගණනාවකින්ම පෙළෙන අයෙකු බව පසුව හෙළි විය.


ටියුඩර් කෙළින්ම ආවේ අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් වෙතය. ඒ ඔහුගේ පුතකු විවාහ කරගත් ලේළියගේ නිවස. එහි පැමිණ මෙම සිද්ධිය ඔවුන්ට වසන්කොට ඇඟපත සෝදාගෙන ඔහු අලුත්ගම කාලවිල බලා යෑමට සිතා ගත්තේය. මෙම ස්ථානයේ ප්‍රසිද්ධ වෙළෙඳසැලකි. එහි පිටුපස දෙමහල් නිවස දිස්වේ. අම්බලන්ගොඩ පොලිසියේ නිල සුනඛ අංශයේ “තාරා” බැල්ලිය එදින සවසම මෙම නිවස කරා පැමිණ එහි අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළාය. ටියුඩර් ඇඳ සිටි ජැකට් එක ඉවඅල්ලා බැල්ලිය මෙහෙවයමින් සිටි පොලිස් කොස්තාපල් රොෂාන් (89295) ඇතුළු නිලධාරීන්ගේ උකුසු ඇස් යමක් සොයා ගනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් දැල්වී තිබුණි. නිවසින් පිටතට ආ බැල්ලිය අහුන්ගල්ල නගරයට වහා පැමිණියාය. ගාලු දෙසට යන බස්නැවතුම ළඟ නතරවී ඉවකොට එම ස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ලේ තරප්පු පෙළේ අඩක් නැග යළි බැස්සාය. යළිත් බස්නැවතුම්පොළ භූමිය ඉවකොට “තාරා” බැල්ලිය තම මෙහෙයුම අවසන් කළාය. මේ වනවිට ගොම්මන් කළුවර අහුන්ගල්ල ප්‍රදේශයට ළඟා වී තිබුණ ද ප්‍රදේශවාසීහු සිය දහස් ගණනක් මෙම සිද්ධිය දැකබලා ගැනීමට පොරකමින් සිටිනු දක්නට ලැබුණි.


ඝාතකයා ගාල්ල දෙසට පලා ගියේද? කොළඹ දෙසට පලා ගියේද? යන්න පොලිසියට ද ප්‍රශ්නයක්ව තිබුණි. ඝාතක ටියුඩර් අත්අඩංගුවට පත්වූ පසු කළ පාපොච්චාරණය අනුව ඔහු බස්නැවතුමේ සිට කොළඹ දෙසට ඇති බස්පොළ වෙත ගමන් කළ බව හෙළිවිය. එම ස්ථානයේ ඇති කුඩා පෙට්ටි කඩයෙන් බුලත් විටක් සප්පායම් වූ ටියුඩර් අනතුරුව පැමිණියේ අලුත්ගම ප්‍රදේශයටය. මෙම ඝාතනය කළ පසු සැඟවී සිටීමට වඩා සුදුසුම ස්ථානය සොයායෑමට ඔහු තීරණයකොට තිබුණි.


ඒ ටියුඩර්ගේ තවත් අනියම් පෙම්වතියක් කරාය. ඔහුට ඇය හමුවන්නේ පියාට පෑදුණු වාසනාවක් නිසාය. ටියුඩර්ගේ පියා ගමේ කවුරුත් දන්නා හඳුනන තාසර් මුදලාලිය. ඔහුට ශ්‍රී ලංකාවේ පළමු මහජන සම්පත ලොතරැයියේ පළමු දිනුම ලැබුණි. එදා ලක්ෂ දෙකහමාරක් වූ එම මුදල් වැයකොට කාලවිල ප්‍රදේශයෙන් අක්කර 45ක් මිලට ගෙන තිබේ. එම ඉඩම්වල කටයුතු සොයා බැලීමට තරුණ ටියුඩර් මීට වසර 25කට පමණ පෙර සිට කාලවිල ප්‍රදේශයට යන එන විට චන්ද්‍රලතා දැන හඳුනාගැනීමට ලැබුණි. මෙම ප්‍රදේශය අලුත්ගම පොලිස් වසමට අයත්ය. 


මෙම ඝාතන සිදු කිරීමෙන් පසු ටියුඩර් භාවිත කරමින් සිටි දුරකථනය විසන්ධිකොට තිබුණි. එහෙත් ඊට පෙර ඔහු පාවිච්චි කළ සිම්පතක අංකය සොයාගත් පොලිසිය උපාය දූතයකු යොදවා ටියුඩර් සමග ජ්‍යොතිෂ කටයුත්තක් ගැන කතා කළේය. ඒ අනුව ඔහු පානදුරත් මොරටුවත් අතර සිටින බව විද්‍යාත්මක සන්නිවේදන කුලුනු ජාලය හරහා ලද දත්ත අනුව සොයා ගත හැකිවිය.


මේ වනවිට ඝාතනය සිදුවී දින පහක් ගතවී තිබුණි. පසුගිය 13 වැනි සෙනසුරාදා බොරළුකැටිය පවුලේ සුසාන භූමියේදී රේණුකාගේත්, පැතුම් ලක්ෂාන් පුතුගේත් අවසන් කටයුතු සිදු කෙරුණි. මෙම අමානුෂික විපත කළේ ටියුඩර් බව ගම පුරාම කවුරුත් පවසන්නට වූහ. පොලිසිය මොරටුව ප්‍රදේශයේ ටියුඩර් නතර වී සිටි මිත්‍රයාගේ නිවස කරා ගියේ 14 වැනි ඉරුදිනය. පොලිසිය සියුම් ලෙස සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණ අනුව පරීක්ෂා කරන අතරතුර ටියුඩර්ගේ ලොකු පුතා නීතිඥවරු මගින් ඔහු මොරටුව ප්‍රදේශයේ සිටින බවත් පොලිසියට භාරදීමට කැමති බවත් ප්‍රකාශකොට තිබුණි. ඒ අනුව නීතිඥ මහත්වරුන් දෙදෙනෙක් ද සමග කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඉරාන්, පොලිස් කොස්තාපල් රංජන් ඉරමුදුන් යාමයේදී මොරටුව, මොරටුමුල්ලට ළඟාවිය. මේ කිසිවක් නොදත් ටියුඩර් නිවසේ සුව නින්දක පසුවෙමින් සිටියේය. පස්වරු 1.30ට පමණ ඔහු පොලිස් භාරයට පත්විය. පසුව කොස්ගොඩ පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ඔහු මුලදී මෙම ද්විත්ව ඝාතනය සිදු කළ බව පිළිනොගත් අතර පසුව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තම දරුවාත්, අනියම් බිරිඳත් කැත්තකින් පහර දී කපා කොටා ඝාතනය කළ බව පොරවගම ටියුඩර් ද සිල්වා නමැති ශ්‍රී ලංකාවේ ප්‍රකට ජ්‍යොතිෂවේදියකු වූ මෙම තැනැත්තාට පිළිගැනීමට සිදුවිය. ඔහු කළ පාපෝච්චාරණයේ මෙසේ සඳහන් වී තිබුණි.


“මම රේණුකාට ගොඩක් ආදරෙයි. ඈ වෙනුවෙන් මට පුළුවන් හැම දෙයක්ම කළා. ගෙයක් හදලා දුන්නා. ගෙට විදුලිය අරන් දුන්නා. ඒත් රේණුකා වෙන අයත් සමග අනියම් ඇසුරක් පවත්වනවා කියලා ආරංචි වුණා. 


පසුගිය අප්‍රේල් 28 වැනිදා ඇයත් එක්ක ඌරගස්මංහන්දිය පොළට මං බයිසිකලයෙන් ආවා. රේණුකාට රුපියල් 6000ක් දුන්නා පොළෙන් බඩු ගන්න. මං රෝහල ළඟ නතර වෙලා සිටියා. පැය දෙකක් පමණ බලා හිටියත් ඇය නොපැමිණි නිසා රේණුකාගේ ගෙදරට ආවා. ඇය නිතර යන එන කළු පාට ත්‍රීවිල් රථයෙන් පොළේ සිට ගෙදර ඇවිත් තිබුණා. ඒ ත්‍රීවිල් කාරයත් එක්ක සම්බන්ධයක් තියෙනවා නේද? කියලා ඇහුවට රේණුකා කිව්වේ නැහැ. සම්බන්ධයක් නැත්නම් දරුවාගේ හිසේ අත ගහලා දිවුරලා පොරොන්දු වෙන්න කියා මා කීවා. එදා නව වැනිදා උදේත් මං ඒ ඉල්ලීම කළා. ඈ ඒක කළේ නැහැ. ඒ නිසා මං ඇගේ කම්මුලට සැරෙන් පහරක් ගැසුවා. ඒ පාරට රේණුකා ඇඳට වැටුණා. ඊට පස්සේ මං කැත්ත අරගෙන ඇඳමත වැටුණු රේණුකාට කැත්තෙන් පහර දෙකක් ගැසුවා. ඇය වේදනාවෙන් කෑ ගැසුවා. මටත් දුක හිතුණා. මං තවත් කැති පහර කීපයක් ගහලා ඇය මරා දැම්මා.


මෙතෙක් ලොවට රහසක් වූ මවගේත් සිඟිති දරුවාගේත් ඝාතනයේ සැබෑ ඝාතකයා කවුදැයි හෙළිකරමින් ටියුඩර් පොලිසිය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව 15 දින ප.ව. 1.30ට පමණ ඔහු බළපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය. මහේස්ත්‍රාත්වරිය ප්‍රකට ජ්‍යොතිෂවේදියකු වූ පොරවගම ටියුඩර් ද සිල්වා නමැති අය මැයි මස 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළාය.


මෙම ඝාතනය සිදු කළ ඝාතකයා ඔහු පදිංචි නිවසේ කුරුඳු කැලයක වළදමා තිබූ ඇඳුම් පොලිසිය ඔහුගේ ප්‍රකාශ මත මැයි 15 දින සොයා ගනු ලැබීය. ලේ තැවරුණු කබාය සේම එම ඇඳුම් ද රජයේ රස පරීක්ෂකවරයා වෙත මේ වනවිට යොමුකොට තිබේ. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධව ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්. කේ. සී. ඩී. ආරියරත්න මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය ඇල්පිටිය රෝහලේදී පැවැත්විය. තියුණු ආයුධයකින් මවගේ හා පුතුගේ ගෙලට පහරදීමෙන් ගෙලෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බරපතළ හානි වීමෙන් මෙම මරණ සිදුවූ බව එහිදී නිගමනය වී තිබුණි.


ඔහු 1994 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ප්‍රසිද්ධ ජ්‍යොතිෂ පුවත්පතක් මගින් ප්‍රකාශ කළේය. ඔහුගේ එම ලිපිය කටුවිල නිවයේ ජ්‍යොතිෂ කටයුතු කරන දේවාලයේ බිත්තියක රාමුකොට එල්ලා තිබේ. එසේම නැකැත් වේලාවන් ඇතුළු බොහෝ ජ්‍යොතිෂ කටයුතු කිරීමට ඔහු ගම් පළාතේ පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධියක් දැරීය. මේ නිසා ඔහුට තත් විෂය සම්බන්ධයෙන් ජනාධිපති සම්මාන ද හිමිවිය.


මොහුට අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගිය රේණුකා හමුවී තිබෙන්නේ ද ඇයගේ සැමියා අත්හැර යාම සම්බන්ධව පිහිටක් පතා ආ අවස්ථාවකය. කල්යාමේදී දෙදෙනා අඹු සැමියන් ලෙස හැසිරී තිබේ. මාස හයක් වයසැති දරුවා ද එහි ප්‍රතිඵලයක් ලෙස ලැබී ඇත. ටියුඩර් හමුවෙන විට රේණුකා ඔහු කෙරෙහි තිබුණේ ගෞරවයකි. පසුව ඇය ඔහුට පෙම් කළාය. එසේම ටියුඩර් ද රේණුකාට අසීමිතව ආදරය කළේය. 


තමාගේ අසම්මත ප්‍රේමයට බාධාවක් වන සේ තව කෙනෙකු මැදිහත්වීම නිසා ඇතිවූ වෛරයෙන් ටියුඩර් තම අනියම් බිරිඳ මරා දැමුවේය. එහෙත් මේ කිසිවක් නොදන්නා කිරිසප්පයා අමානුෂික ලෙස මරා දැමීමට දරුවාගේ ජාතක පියා වූ ටියුඩර්ට සිතක් පහළවූයේ කෙසේද? යන්න මෙම සිද්ධියෙන් කම්පාවට පත්වන හුදී ජනයාට තවමත් ප්‍රශ්නයක් වී තිබේ.

ඡායාරූප හා විස්තර : කමල් ශ්‍රී ලියනගේ



අදහස් (1)

අනියම් බිරියත් කිරිසප්පයත් ඝාතනය කළ ජ්‍යොතිෂවේදියා

තුෂානි චමින්දිකා Monday, 22 May 2017 09:15 AM

අහිංසක කිරි සප්පයා මරා දැම්ම එකට මේ මිනිහට නිසි දඩුවම් ලැබිය යුතුයි. මරණ දඩුවම දිය යුතුයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 217 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site