අපේ රට ලෝකය හමුවේ තවමත් නිරූපණය කරන්නේ ස්ථාවර නොවූ ආර්ථිකයක් හිමි රාජ්‍යයක භූමිකාවයි. දෙසතියකට පෙර පැවැති පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් ඉහත සඳහන් කළ මෙරට ආර්ථිකයට අනපේක්ෂිත තත්ත්වයක් උද්ගත විය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහතට වැටීම එයට හේතුවයි.   


සරලවම සඳහන් කළහොත් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වීමයි. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් අපට මෙපමණ බලපෑමක් කිරීමට හේතුව වන්නේ අපේ රටේ සිදුවන විදේශ ගනුදෙනු සියල්ලක්ම පාහේ ඩොලරය මත පදනම් වීම නිසයි.  


දෙදහස් දොළහ වනවිට එම ඩොලරයේ අගය රුපියල් එකසිය විසිහතකි. දෙදහස් දහතුනේදී එකසිය තිහක්, දෙදහස් දහහතර වනවිට රුපියල් එකසිය තිස් එකක් ලෙස පැවැති ඩොලරයේ රුපියල් අගය දෙදහස් දාසය වනවිට රුපියල් එකසිය හතළිස් නවය දක්වා වර්ධනය විය.  


ශ්‍රී ලංකා මහ බැංකු​ වාර්තාවේ සඳහන් එම දත්ත අනුව දෙදහස් දාහත අවසාන භාගය වනවිට රුපියල් එකසිය පනස් තුනක් වශයෙන් පැවතිණි. ඩොලරයේ අගය මේ වනවිට රුපියල් එකසිය පනස් පහ පනස් හය සීමාවේ පවතී.  


රට තුළ පැවැති සමාජ ආර්ථික තත්ත්වය මත ඩොලරයේ අගය රුපියල් එකසිය හැට දක්වා වර්ධනය වෙතැයි ​අපේක්ෂා කළ ද තත්ත්වය ඒ තරම් බලපෑම්කාරී නොවීය. ආර්ථික විද්‍යාඥයන්ට අනුව එසේ මිල ඉහළ යනු ඇතැයි අනුමාන කිරීම සමපේක්ෂණය නම් වේ. ඒ මඟින් ඇති කරවන්නේ වෙනත් ආකාරයක වියවුල්කාරී තත්ත්වයකි.   


එමෙන්ම ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වීමෙන් රට තුළ සිදුවන වෙළෙඳාම් සඳහා මුදල් හිඟවේ. එසේ මුදල් හිඟවීමෙන් වෙළෙඳපොළ භාණ්ඩවල මිල ඉහළ යෑමක් සිදුවිය හැකි අතර බදු වැඩිවීම් ආදිය ඔස්සේ අවසාන වශයෙන් මෙහි බලපෑම එල්ල වන්නේ සාමාන්‍ය පුරවැසියාටය.  


ඩොලරයේ මිල රුපියල් අගය ඉහළ යෑමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම මිල ඉහළ යතැයි සමපේක්ෂණය කිරීමෙන් සිදුවන බලපෑම යනාදිය සම්බන්ධයෙන් අපි විමසුමක නිරත වූයෙමු.   


ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සැපැයූ තොරතුරු දැක්වීම මෙසේය.  


ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම යැයි හඳුන්වන්නේ ඩොලරයක් සඳහා රුපියල්වලින් කියැවෙන මිල වැඩිවීමයි. රුපියල් එකසිය පනස් හයක් වැනි මිලකට තිබූ ඩොලරය රුපියල් එකසිය පනහක් බවට පත්වීම මඟින් එය පැහැදිලි කළ හැකියි. මේ හේතුවෙන් ඩොලර් වියදම් කිරීමට අපේක්ෂිත අයට, විදේශගතවීමට නියමිත අයට, පිටරටවලට ගෙවීම් කිරීමට අපේක්ෂිත අයට වැඩි වශයෙන් රුපියල් ගෙවන්න වෙනවා. ඒ වගේම විදේශ විනිමය, ඩොලර් උපයා එවන අයට මෙයින් වැඩි වශයෙන් රුපියල් උපයාගත හැකි වෙනවා.   


මේ මඟින් ආනයන භාණ්ඩවල මිල ඉහළයෑම සිදුවෙනවා. ඩොලර්වලින් මිල ප්‍රකාශ කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑම සිදුවෙනවා. උදාහරණයක් ලෙස සංචාරක හෝටල්වල අය කෙරෙන ගාස්තු ඉහළ යනවා. මිල ගණන් ඩොලර්වලින් සඳහන් වුවත් අය කිරීම් සිදුවන්නේ රුපියල්වලින් නිසා රුපියල්වලින් වැඩි මුදලක් ගෙවීමට ඔවුන්ට සිදුවෙනවා.   


ගුවන් ගමන් ටිකට්පත්වල මිල ද මේ ආකාරයටම ඉහළ යනවා. මෙහිදී සිදුවන්නේ අප ජාත්‍යන්තරව කරන වියදම්වලදී වැඩි මිලක් ගෙවීමට සිදුවීමයි. එහිදී විදේශ අධ්‍යාපනය සඳහා ගෙවීම් කිරීමට අපේක්ෂිත සිසුවන්ට ද වැඩි වශයෙන් මුදල් ගෙවීමට සිදුවීම උදාහරණ ලෙස දැක්විය හැකියි.  


පිටරටක සිට මෙරටට මුදල් එවන අයට ඩොලරයේ මිල ඉහළයෑම වාසිදායක තත්ත්වයක් වෙනවා. මැද පෙරදිග රටවලින් ලැබෙන මුදල්වලට පවා මෙම තත්ත්වය බලපානවා. එවැනි අනෙක් මුදල් එ්කක සඳහා ද වැඩි රුපියල් ප්‍රමාණයක් ලබාගත හැකි වෙනවා. ඔවුන් මෙරට තුළදී බැංකුවට එම අදාළ මුදල දීමෙන් ඔවුන්ට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළ අගයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.  


විදේශ විනිමය උපයන අයට ලැබෙන රුපියල් ආදායම වැඩිවීමත් රට ඇතුළත රැඳී සිටිමින් විදේශ මුදල් වියදම් කරන අයට වැඩිපුර ප්‍රමාණයක් එම මුදල් වැය කිරීමටත් සිදුවෙනවා.  


සමපේක්ෂණය යනු කුමක්ද?  


රටක යම් යම් සමාජ දේශපාලන හෝ ආර්ථිකමය යනාදී වෙනස්කමක් අනපේක්ෂිතව සිදුවූ අවස්ථාවක අදාළ විදේශ මුදලෙන් ලැබිය හැකි දේශීය අගය අවප්‍රමාණ වේ යැයි අනුමාන කිරීම සමපේක්ෂණය ලෙස හැඳින්වෙනවා.   


එසේ අනුමාන කිරීමෙන් ඩොලර් හිමි යම් අයෙක් තම ව්‍යාපාරය සඳහා අවශ්‍ය රුපියල් ලබා ගැනීමට තවත් සතියක් මාසයක් වැනි කාල සීමාවක් තිබියදිත් රට තුළ පවතින තත්ත්වය මත කඩිමුඩියේම ඩොලර් රුපියල් බවට පරිවර්තනය කර ගැනීමට කටයුතු කරනවා. මෙසේ සමපේක්ෂණය කිරීමෙන් ඉදිරියේදී ඩොලර් සඳහා ඇතිවීමට තිබූ ඉල්ලුම වර්තමානයට වෙනස් වෙනවා.  


සමපේක්ෂණය යන්න අනුමානය මත පදනම්වූ එකක් වුවත් පසුව සැවොම ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ඒ තත්ත්වය සැබෑවක් බවටම පත්වෙනවා. වස් කවි කියමින් සිටීමේදී එයින් වස් දොස් වැදීමක් සිදුවීමක් වෙනවා වැනි දෙයක් එහිදී දැකගත හැකි වෙනවා.  


මිනිසුන් විවිධ තොරතුරු මත සමපේක්ෂණ කටයුතු සිදුකරනවා. අපේ රටේ බොහෝ විදේශ වෙළෙඳාම් ජාත්‍යන්තර ගනුදෙනු සිදුවන්නේ ඩොලර්වලින් නිසා ඩොලරය යන්න නිතර භාවිත වෙනවා. නමුත් යෙන්, ඩිරාම්, පවුම් ආදී සියල්ලටම මෙය පොදු තත්ත්වයක් ලෙස දැක්විය හැකියි. එබඳු සෑම මුදල් ඒකකයකටම සාපේක්ෂව මෙවැනි වාතාවරණයකදී රුපියල අවප්‍රමාණවීම් සිදුවෙනවා.  


ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අව ප්‍රමාණ වීමෙන් රුපියලට හිමි ජාත්‍යන්තර වටිනාකම අවම දුර්වල එකක් බව පෙන්නුම් කෙරෙනවා.   


විනිමය අනුපාතය හෙවත් ඩොලරයට රුපියල් එකසිය පනස් පහක් ගෙවිය යුතුයි යන්න කෙටිකාලීන මිල ඉහළ පහළ යෑමක් ලෙසත්, දිගු කාලීන උපනතියක් ලෙසත් ආර්ථික විද්‍යාවේ හඳුන්වනු ලබනවා.   


උපනතියක් කියන්නේ දිගු කාලීන (අපේ රටේ තත්ත්වය උදාහරණයට ගතහොත්) ඉකුත් කාලසීමාව තුළට එනම් එක්දහස් නවසිය හැත්තෑ හත වසරේ සිට රුපියලට සිදුවූ අවම අගය හිමිවීම් තත්ත්වයයි. ආරම්භයේදී හැත්තෑ හත වර්ෂයේ නොවැම්බර් ඩොලරයකට ගෙවිය යුතු මුදල වී තිබුණේ රුපියල් දහසයක් පමණයි. අද වනවිට එය රුපියල් එකසිය පනස් පහ දක්වා වර්ධනයවී තිබෙනවා.  


දිගු කාලීන උපනතිය තීරණය වන්නේ රටේ අපනයනවල ශක්තිමත් භාවය රටකට විදේශ විනිමය ගලා ඒමේ ප්‍රමාණය යනාදිය මතයි. නමුත් අපේ රට මේ සාධක ද්විත්වයෙන්ම ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ නැහැ. අනෙක් රටවල මේ තත්ත්වය ප්‍රතිවිරුද්ධව වෙනස් වෙනවා.   


එක්දහස් නවසිය හැත්තෑ දෙකේදී ඩොලරයක් සඳහා ජපානයට යෙන් තුන්සිය හැටක් ගෙවීමට සිදුවුණා. නමුත් එම තත්ත්වය අධි ප්‍රමාණ කර ගැනීම නිසා ​(ඩොලරයට ගෙවන යෙන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීමෙන්) දෙදහස් දොළහ වනවිට ඩොලරය යෙන් හැත්තෑ පහ දක්වා අඩුවීමක් සිදුවුණා.   


ජපානයේ මුදල මේ ආකාරයට අධි ප්‍රමාණය වීමත් අපේ රටේ මුදල් අවප්‍රමාණය වීමටත් හේතු විමසා බැලිය යුතුයි.  


ඩොලරයේ අගය ඉහළ යෑමෙන් විදේශ ණය ගෙවීම්වලට සිදුවන බලපෑම  


ඩොලරය අවප්‍රමාණවීම ණය ගෙවීම්වල බලපෑමක් වෙනවා. ඉදිරි වසර දහයක කාලය සඳහා ගෙවිය යුතු විදේශ ණය මුදල් ප්‍රමාණය අති විශාලයි. ඉතිහාසයේ කිසි දිනෙක නොතිබුණු තරමේ ණය ප්‍රමාණයක් ගෙවීමට දැන් අපට සිදුවී තිබෙනවා.   


එය ඩොලර් බිලියන දෙකක සිට ඩොලර් බිලියන හතර දක්වා ඉහළ යෑමක් සිදුවෙනවා. ණය ගෙවීම් සිදුවන්නේ ණය කල් පිරීම් අනුවයි. වැඩිපුරම තිබෙන්නේ “ඩොලර් ණය” නිසා ඒවා ගෙවීමට සිදුවන්නේද ඩොලර් මගින්මයි.   


ආණ්ඩුව මෙම මුදල් ගෙවන්නේ කෙසේද? ඒ සඳහා ඔවුන් යොදන උපක්‍රමය වන්නේ ජනතාවගෙන් බදු මුදල් එකතු කිරීමයි. එසේ මුදල් එකතු කෙරෙන්නේ රුපියල් අගයෙන්. නමුත් ඉන් අනතුරුව එම මුදල් බැංකු මගින් ඩොලර් බවට පත් කරනවා.   


ඩොලරයේ අගය වැඩිවීමෙන් එම ගෙවීම් සඳහා වැඩි මුදලක් යෙදවීමට සිදුවෙනවා.  


රට තුළ තිබෙන දුර්වල අය-වැය තත්ත්වය මත තව දුරටත් බදු එකතු කිරීම කළ නොහැකියි. ඒ වෙනුවට කළ හැකි වන්නේ එම ණය ගෙවීමට තවත් ණය ගැනීමයි. මෙයින් ණය ගෙවීම චක්‍රයක් බවට පත්වී රටේ ආර්ථිකයට එය බලපෑම්කාරී හේතුවක් වෙනවා.  


ජාත්‍යන්තර වෙළෙඳපොළේ අපේ ආර්ථික ශක්තිය දුර්වලවීම වැළැක්විය යුතුයි. රටේ අපනයන ශක්තිය වැඩි කිරීමටත් විදේශ ආයෝජන වැඩි කර ගැනීම මේ සඳහා කළයුතු වෙනවා.  


අපනයන දුර්වලවීම හා ආයෝජන ක්ෂේත්‍රයේ වර්ධනය හීනවීම ඉකුත් කාලසීමාව තුළ අපේ රටේ ආර්ථිකය නිරීක්ෂණය කිරීමෙන් දැකගත හැකි වෙනවා. දෙදහස් වසර වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තිස් තුනක් ලෙස පැවති අපනයන ආදායම මේ වනවිට අඩකින් පමණ අඩුවී තිබෙනවා. අද වනවිට එය සියයට දොළහක පමණ අගයක් ගන්නා බව දැකගත හැකියි.  


විදේශ ආයෝජන පිළිබඳව සැලකීමේදීද තත්ත්වය එබඳු බව හඳුනා ගත හැකියි. ඉතිහාසයේ පළමු වතාවට ආ​ෙයා්ජන මගින් ඩොලර් බිලියන එකයි දශම හයක් හිමිවූ බවට ඉකුත් සමයේ වාර්තා වුණා. ජාත්‍යන්තර විදේශ ආයෝජන හා සැසඳීමේදී ඩොලර් බිලියන එකයි දශම හය කියන්නේ ඉතාම අවම තත්ත්වයක්.   


නමුත් ඉන්දියාව වැනි රටකට ඩොලර් බිලියන හතළිස් හතරක් විදේශ ආයෝජන හිමිවී තිබෙනවා. සිංගප්පූරුවට ඩොලර් බිලියන හැට හයක් හිමිවී තිබෙනවා. රටේ විශාලත්වය මත ආයෝජන ලැබීම් පදනම් නොවන බව ද එහිදී හඳුනාගත හැකියි.   


ඒ අනුව හොංකොං රාජ්‍යයට ඩොලර් බිලියන සියයකට වැඩි විදේශ ආයෝජන හිමිවී තිබෙනවා. ඒ අනුව අපට හිමිවූ ඩොලර් බිලියන එකක තත්ත්වය කියන්නේ ඉතාම අල්පයක්.  


අපේ රට පිළිබඳව විදේශ ආයෝජකයන්ට විශ්වාසයක් නැහැ. ඔවුන්ට සැපයෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. මේ වැනි ගැටලු රැසක් තිබෙනවා.  


රටක ව්‍යාපාරික පරිසරය ආර්ථික තරගකාරිත්වය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නිරූපිත තත්ත්වය විනිමය අනුපාතයට බලපෑම් කරනවා. චීනය, ජපානය වැනි රටවල අද වනවිට විනිමය අනුපාතය අධි ප්‍රමාණවී තිබෙනවා.  


නමුත් අපේ රටේ පවතින්නේ රුපියල අව ප්‍රමාණවීමේ ගැටලුවයි. ආයෝජන ගෙන්වා ගැනීම විදේශ විනිමය ඉපයීම සඳහා විවිධ ක්‍රමෝපාය යෙදවීම, දිගු කාලීන ආර්ථික දැක්මක් මත කටයුතු කිරීම, පවතින තත්ත්වය සමනය කිරීමට හේතුවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.  


අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පරාක්‍රම අබේසේකර මහතා සඳහන් කරන්නේ උද්ගතවූ තත්ත්වය මේ වනවිට සමනය වෙමින් පවතින හෙයින් දැඩි ආර්ථික අර්බුදයක් මතුවිය නොහැකි බවයි.   
විදේශීය වෙළෙඳපොළ සෑම භාණ්ඩයක්ම මේ වනවිට පහත් මට්ටමකට පත්ව තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වෙනස්වීමත් සිදුවන්නේ නැහැ. පරිප්පු, හාල්, සීනි, සූදුරු, මාදුරු, රතුලූනු, රට ලූනු මිල ගණන් අඩුවී තිබෙනවා.  


මේ තත්ත්වය සහනයක් ලෙස දැක්විය හැකියි. විනිමය අනුපාත ඉහළ යෑම් සමඟම ලෝක වෙළෙඳපොළ මිල ගණන්ද ඉහළ ගියහොත් භාණ්ඩ මිල වෙනස් වීමට ඉඩ තිබෙනවා. පරාක්‍රම අබේසේකර මහතා සඳහන් කළේය. 

 

 

 

 

සටහන 
සමන්තිකා මාධවී