අදෘශ්‍යමාන බලවේග පිළිබඳව මෙන්ම ගුප්ත කාරණා පිළිබඳව අතීතයේ සිටම මිනිසුන් තුළ පවතින්නේ දැඩි උනන්දුවකි. කිසියම් ගුප්ත සිදුවීමක් එක් පුද්ගලයකුට දෙදෙනකුට නොව සමාජ අවබෝධයක් ඇති අති විශාල පිරිසකට අත් විඳින්නට ලැබෙන්නේ නම් ඒ පිළිබදව නොසලකා හැරීම කළ යුත්තේ දෙවරක් සිතා බැලීමෙනි. ඉකුත් සති අන්තයේ නකල්ස් කඳු පාමුල පිහිටි අතිශය සුන්දර දිය ඇල්ලක් ​ෙවන හසලක රත්න ඇල්ල නැරඹීමට ගිය 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක ලොකු කුඩා සියලු දෙනාටම මෙබදු අදෘශ්‍යමාන වූත් කිසි ලෙසකින්වත් එකිනෙකට ගැළපිය නොහැකිවූත් ගුප්ත සිද්ධීන් දාමයකට මුහුණ දීමට සිදුවී තිබිණි.

 


 

රත්න ඇල්ල

මෙම අපූර්ව අත්දැකීමට මුහුණ දුන්නේ බණ්ඩාරවෙල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් ඇතුළු 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි.

නිවාඩු කාලයේ සිය දූ දරුවන්ද සමඟ විනෝද චාරිකාවක් යා යුතු යැයි කතිකා කර ගත් පිරිස ඒ සඳහා නිහඬ නිස්කලංක සොබා සිරිය විඳිය හැකි අපුරු ඉසව්වක් තෝරා ගන්නටද අමතක නොකළහ.

කවදත් සොබා දහමට ආදරය කරන්නෙකු වූ එම ආයතනයේම සේවයේ නියුතු දෙපාර්තමේන්තු කළමනාකාර සහකාර එස්. එම්. එච්. හර්ෂණ විජේතුංග මහතා වෙත ගමනේ සංවිධානය භාර ​ෙවන්නේ ඒ අනුවය.

සිය කාර්යාල සහෘදයන්ගේ සිතැඟි මනාව තේරුම් ගත් විජේතුංග මහතාද තමුන්ට ඇති අත්දැකීම් මෙන්ම සියලු සම්බන්ධතාද උපයෝගී කර ගනිමින් එම චාරිකාව සඳහා හසලක රත්න ඇල්ල නැරඹීමට යාමට තෝරා ගන්නේ ඒ අනුවය.

“රත්න ඇල්ල කියන්නේ කැලේ මැද හැංගිලා තියෙන හරිම ලස්සන දිය ඇල්ලක්. මේක පටන් ගන්නේ නකල්ස් වනාන්තරෙන් ඇරඹෙන හසලක ඔයෙන්. මේ රටේ පස්වෙනියට උස දියඇල්ල තමයි රත්න ඇල්ල කියන්නේ. උසින් අඩි 300 ක් විතර වෙනව. ටික දුරක් පයින් ගිහින් තමයි ඇල්ල ළඟට යන්න ඕනැ. හරිම ලස්සන පරිසරේ ඔය පැත්තේ තමයි ‘සූරිය අරණ චිත්‍රපටිය හැදුවෙත්’ මහ වන මැද පිහිටි තුරු හිස් අතරින් සුරංගනාවකගේ දුහුල් සේලයක් සේ පහළට කඩා හැළෙන මහල් හතකින් යුතු රත්න ඇල්ල ගැන විජේතුංග මහතා තව තවත් පිරිස දැනුම්වත් කරද්දී ඔවුහුද ඊට ඇහුම් කන්දුන්නේ දැඩි උද්​ෙ‌යා්ගයකින්.

දිය කඩිති මැදින් මෙන්ම කුඹුරු යායන් මැදින් වැටී තිබූ මාර්ගය දුෂ්කර වුවද මග දෙපස ඇති රූස්ස වන පෙතත් එහි වෙසෙන වඳුරන් රිළවුන් කුරුල්ලන් ආදීන්ගේ කිචිබිචියත් පිරිසට ගෙන දුන්නේ අපූරු වින්දනයකි.

ඒ වන විටත් පිරිසේ කොටසක් ඔවුන් රැගෙන ආ පානවලින් ඇඟ පත රත්කරගෙන සිටියද ගමනේ වගකීම කරට ගත් විජේතුංග මහතා ඇතුළු කීප දෙනෙකුම කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පිරිසට ආරක්ෂාව සැපයුවේ මාර්ගයේ පවත්නා දුෂ්කරතාව පිළිබඳ දැඩි අවබෝධය නිසාවෙනි.

මිනිස් වාසයකින් තොර පටු මාර්ගය ඔස්සේ මඳ දුරක් ගමන් ගත් පිරිසට කොහේදෝ සිට පැමිණී දුඹුරු පැහැති බල්ලෙකුද එකතු වූයේ කලින් කළ ආරාධනාවක් පරිද්දෙනි. කිසිදු චකිතයකින් තොරවම නඩයේ පෙරමුණ ගත් බල්ලා එතැන් සිට පිරිසට මග පෙන්වන්නට වූයේ පිරිසද විමතියට පත්කරමිනි.

ළඟින් ළඟ කාණ්ඩ දෙක තුනකට බෙදී එක පෙළට ගමන් ගන්නා පිරිසේ හඬ යටපත් කරමින් හෝ හඬ ඇසෙන්නට වූයේ දිය ඇල්ල දැන් ළඟම යැයි පවසන්නාක් මෙනි. කතාවට පාදක වූ අදෘශ්‍යමාන යැයි කිව හැකි අපූරු සිදුවීම් පෙළ ආරම්භ ​ෙවන්නේ මේ අතරේදීය. විජේතුංග මහතා ඇතුළු පිරිස ඒ අත්දැකීම් මෙසේ විස්තර කරන්නට වූයේ සියයට සියයක් එම කතාවන්හි වගකීම් තමුන් භාරගන්නා බව දිව්රා පවසමිනි.

 

ඒ අත්දැකීම් විස්තර කළ කළමනාකාර සහකාර හර්ෂණ විජේතුංග මහතා :

“අපි දවල් 11.00 විතර වෙද්දි ඇල්ල පේන තෙක් මානයට ආව. ඇල්ල දැක්කම අපේ පිරිස පුදුම විදිහට සතුටු වුණා. කිසිම විදිහකට අපිරිසිදු නොවිච්ච පරිසරය, ගහ කොළ කුරුල්ලන්ගේ කිචි බිචිය වගේම සීතල වතුර වළවල්, අපේ පිරිසට පුදුම අත්දැකීමක් වුණා.

අපි දිය ඇල්ල පේනතෙක් මානයට එද්දි අපිට මඟදී එකතුවෙච්ච බල්ල තමයි මග පෙන්නුවේ. පාර ටිකක් දුෂ්කර නිසා මමත් තව කීප දෙනෙකුත් එකතුවෙලා දරුවොයි කාන්තාවෝ ටිකයි දිය කඩිතිවලින් පරිස්සමට එගොඩ මෙගොඩ කළා. ඊට පස්සේ තිබුණේ ගල් තලාව. හැබැයි ගල්තලාවක් කිව්වට ඒක හොඳට වේළිලා. ලිස්සන්න කිසිම හේතුවක් නැහැ. තැනිතලාව. මේ ගල් තලාව උඩදි තමයි මේ සිද්ධිය මුලින්ම වුණේ. ගල් තලාව හරහා ගිය අපේ නඩේ කාන්තාවන් වගේම පිරිමි කීප දෙනෙක්ම වැටෙන්න පටන් ගත්ත. සමහරු නැගිටින්න හදද්දී කිසිම හේතුවක් නැතිව ආයෙත් ඇදගෙන වැටුණා. මේ විදිහට නඩේ හිටපු හුඟ දෙනෙක් එක එක විදිහට ඇදගෙන වැටෙන්න පටන් ගත්ත. එක මහත්තයෙක් ඇදගෙන වැටිල අත කැඩුණා. අපි එයාට පතුරු බැඳල ප්‍රථමාධාර දුන්න. මේ වෙනකොටත් එයා රෝහලේ ප්‍රතිකාර ගන්නව.

මග පෙන්වූ බල්ලා

කොහොම හරි තව පිරිසක් එතන තිබුණ වතුර වළෙන් එගොඩ වෙන්න හදද්දි ආයෙත් ඇදගෙන වැටුණ. එහෙම වැටෙන්න ගිය එක නෝන කෙනෙක් කීවේ කවුරු හරි එයාගේ කකුලෙන් ඇදල නවත්තන්න හදනව වගේ දැනුණ කියලයි. ඒ විදිහටම තවත් කීප දෙනෙකුටම දැනුණ කියලත් අපිට කීව.

කොහොම වුණත් අපි එක්ක ආව බල්ල එතනින් එහාට යාම ප්‍රතික්ෂේප කළේ “උඹලත් යන්න එපා‘‘ කියල වගෙයි.

මේ එක්කම තවත් අපූරු සිදුවීමක් වුණා. කොහේදෝ තිබුණූ ගල් බෙනේකින් එක පාරටම විශාල බඹර රංචුවක් ඇවිත් අපිව වටකරගෙන ඇස් මට්ටමින් රැඳී ඉන්න පටන්ගත්ත. හැබැයි වාසනාවකට වගේ කිසිම කෙනෙක්ට දෂ්ට කළේ නැහැ. අපිට තේරුණේ අපි යන එක වළක්වන්න හැදුව කියලයි.

ඔය අතරේ එක පාරටම කැලෙන් මතුවුණ කෙනෙක් අපට කීව “ඔය කට්ටිය ඔතනින් එහාට යන්න එපා” කියල. එහෙම කියල ඒ මනුස්සය යන්න ගියා. හැබැයි මම හිතන්නේ ඒ අහල ගමක මිනිහෙක් වෙන්න ඇති කියලයි.

මෙච්චර දෙයක් වෙලා තියෙද්දි අපේ නඩේ කීප දෙනෙක් ඊළඟට අර මනුස්සය එපා කියපු පැත්තට යන්න දඟලන්න පටන් ගත්ත. සමහරු හිනා වෙනව. සමහරු යන්න ගිය ගමන් ඇදගෙන වැටෙනව. ඒ අය හැසිරුණේ හරිම හිතුවක්කාර විදිහට.

මේ වෙද්දි මට වගේම පිරිසේ හිටිය කීප දෙනෙකුටම තේරුණා මෙතන මොකක් හරි ගුප්ත යමක් සිදුවෙනව කියල. අන්තිමට අපි ගමන එතනින් නවත්තල ආපස්සට ඇවිත් පහළ තිබුණූ කුඩා වතුර වළකින් නාල ආපහු ආව. හැබැයි පුදුමේ කියන්නේ දරුවන්ට කිසිම කරදරයක් වුණේ නැහැ.

 

බණ්ඩාරවෙල වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරුවරියක වූ නදීකා සමන්මලී මෙනවිය මෙසේ කීවාය.

“මගේ ක්ෂේත්‍රයට අනුව මම නිතරම ඇළවල් ගංගා ආශ්‍රිතව ඇවිදින කෙනෙක්. ඒ නිසා මේ වගේ ගමන් මාර්ග මට හුරුයි. හැබැයි එදා මම අඩි දෙක තුනක් පළල ඇළක් හරහා එගොඩ වෙන්න යද්දි තමයි ඇදගෙන වැටෙන්න ගියේ. මම ඒ වෙලාවේ ඇදගෙන වැටුණ නම් විශාල අනතුරක් වෙන්න තිබුණ. නමුත් කුමන හෝ බලවේගයකින් මම බේර ගත්ත කියල මම දැඩිසේ විශ්වාස කරනව. සමහර විට මට එහෙම වුණේ අපි ආගමට දහමට ළැදිව ජීවත්වුණ නිසා වෙන්න ඇති කියලයි මම හිතන්නේ. මේ ගමනෙදි කිසියම් අදෘශ්‍යමාන සිදුවීමක් වුණා කියන එකනම් මම සියයට සියයක් විශ්වාස කරනවා.

 

බණ්ඩාරවෙල වාර්මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ සැලසුම් කාර්යාල සහකාර කපිල අබේසේකර මහතා මෙසේ කීවේය.

මම වසර 37 ක් තිස්සේ දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. ඕනෑ තරම් ගමන් ගිහින් තියෙනව. හැබැයි මෙහෙම අත්දැකීමකට මුහුණ දීල නැහැ.

මම වැටෙන්න කිසිම හේතුවක් නැති කීප තැනකම ඇදගෙන වැටුණා, මගේ දුව අමාරු දුෂ්කර තැන්වලින් අතින් අල්ලගෙන ඇවිත් නිදහසේ යන්න පුළුවන් තැන්වලදී අත ඇරිය. ඒත් එයා ඒ හැම තැනකම ඇදගෙන වැටුණේ කිසිම හේතුවක් නැතිව. වැටුණූ හුඟ දෙනෙක් කීවේ කවුරු හරි තමුන්ව පැත්තට අදිනව වගේ දැනුණා කියලයි.

ඔය අතරේ තමයි බඹර රංචුවකුත් ඇවිත් අපිව වට කර ගත්තේ. මූණ ළඟටම ආව, හැබැයි වාසනාවට දෂ්ට කළේ නැහැ.

මම අද්භූත දේවල් විශ්වාස කරන්නනේ නැහැ. හැබැයි මේ සිදුවීම් කොහොම වුණාද කියන එක මට ගැටලුවක්. හැබැයි මම හිතනව අපව මොකක් හරි අනතුරකින් බේරන්න තමයි මෙහෙම වුණේ කියල.

ගමනට එක් වූ ලිපිකාරිනියක වන එම්. දමයන්ති මහත්මිය මෙසේ කීවාය.

පාරේ දුෂ්කර තැන්වලින් අපි කරදරයක් නැතිව ගියා. හැබැයි කීයටවත් වැටෙයි කියල හිතන්නවත් බැරි තැන්වල මම ඇදගෙන වැටුණ.

 

රත්න ඇල්ල පිළිබඳ වශිකෘත වූ ඔවුහු මෙසේද කීවෝය.

මේක හරිම ලස්සන තැනක්. තාම මිනිස්සු හරියට දන්නේ නැහැ. කිසිම ප්‍රසිද්ධියකුත් නැහැ. හරිම ලස්සන ගමනක්. හැබැයි ඇල්ලට යන පාර ගැන, දුර ගැන යන අයට මුහුණ දෙන්න සිදු​ෙවන අත්දැකීම් ගැන දැනුම්වත් කරන්න නාම පුවරුවක්වත් නැහැ. ප්‍රදේශය බාර ප්‍රාදේශීය සභාව හරි ඒ වැඩේට අත ගහනව නම් ලොකු දෙයක්.

“ඒ වගේම මේක සංචාරක ව්‍යාපාරයට හොඳ පසුබිමක් තියෙන ස්ථානයක්. දියුණු කළොත් දුන්හිඳ, දියලුම වගේ ප්‍රසිද්ධ වේවි කියල අපිට හිතෙනවා.” යැයිද ඔවුහු පැවැසූහ.