පසුගිය 18 වැනි ඉරිදා පැවැත්වුණු රුසියානු ජනාධිපතිවරණයෙන් සිව් වැනි වරටත් ජය ගැනීමට වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත් විය. ඔහුගේ පක්ෂය රුසියාවේ ප‍්‍රබලතම පක්ෂය වන ‘එක්සත් රුසියානු’ පක්ෂයයි. වසර 18ක් පුරා රුසියාව පාලනය කරන පුටින් මෙම ජයග‍්‍රහණයත් සමඟ 2024 වන තෙක් ජනාධිපති ධුරය හෙබවීමට නියමිතය.


මෙවර පැවැති ජනාධිපතිවරණයට පුටින් ඇතුළු අපේක්ෂකයන් අට දෙනකු තරග වැදුණු අතර සමස්ත ඡන්ද ප‍්‍රතිශතයෙන් 76.7%ක් ලබා ගනිමින් පුටින් ජයග‍්‍රහණය කළේය. ඡන්ද ප‍්‍රතිශතයෙන් 11.80%ක්්් ලබා ගත් කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයා වූ පාවෙල් ගෘඩිනින් දෙවැනි ස්ථානයට ද, ව්ලැදිමිර් හිරිනොව්ස්කි 5.66%ක් ලබා තෙවැනි ස්ථානයට ද පත් වී තිබේ. මෙවර ජනාධිපතිවරණයට එක් අපේක්ෂිකාවක ද ඉදිරිපත් වූ අතර ඇය රූපවාහිනී නිවේදිකාවක වූ කෙසේනියා සොබ්චැක්ය. ඇයට හිමි වූයේ 1.67%ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි.


පුටින්ට තරගයක් දීමට සිටි ප‍්‍රබලම අපේක්ෂකයා වූයේ ප‍්‍රගති පක්ෂයේ නායක ඇලෙක්සෙයි නවාල්නිය. පුටින් රජයේ ඇතැයි කියන අක‍්‍රමිකතා හා විවිධ දූෂණ හෙළිදරව් කළ ඔහු රජයට එරෙහි විරෝධතා රැසක් මෙහෙයවූවෙකි. ජනාධිපති පුටින් වඩාත්ම බිය පුද්ගලයා නවාල්නි යැයි 2012දී ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත සඳහන් කර තිබිණි. 2017 දී ඔහු වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය කරමින් රුසියානු අගමැති දිමිත්‍රිමෙද්වෙදෙව්ගේ දූෂණ පිළිබඳව හෙළිදරව් කළේය. 2018 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඔහු තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 2016 සිටය. නවාල්නිහට මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වමින් 2017 දෙසැම්බරයේ දී රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම තහනමක් පැන වූ හෙයින් පුටින්ගේ ප‍්‍රබලම ප‍්‍රතිවාදියාට තරගයෙන් ඉවත්වීමට සිදු විය.


කෙසේ වුවද 65 හැවිරිදි ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප‍්‍රියත්වය බෙහෙවින් ඉහළ ගොස් ඇති බැව් මෙවර ජයග‍්‍රහණයෙන් පැහැදිලි වේ. 2012 ජනාධිපතිවරණයේදී ඔහු හිමිකර ගන්නා ලද්දේ 64%ක ඡන්ද ප‍්‍රතිශතයකි. මෙතරම් විශාල ජන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අවස්ථාවක් රුසියානු ඉතිහාසයේ නොමැති යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. තමා යළි ජනාධිපති ධුරයට පත් වුවහොත් රුසියාවේ දරිද්‍රතාව තව දුරටත් අවම කිරීමට පියවර ගන්නා බවට පුටින්ගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් විය.


ජයග‍්‍රහණයෙන් පසු තම ආධාරකරුවන් ඇමතූ පුටින්, ඉදිරියේ එල්ල විය හැකි සියලු දේශපාලනික හා ආර්ථික අභියෝගවලට නොබියව මුහුණ දෙමින් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බවට පවසා සිටියේය.
රුසියානුවන්ගේ ජනප්‍රියතම දේශපාලනඥයා වශයෙන් සැළකෙන පුටින් 1952 ඔක්තෝබර් 7 දින ලෙනින්ග‍්‍රාද්හි උපත ලැබීය. ශාන්ත පීටර්ස්බර්ග් ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් 1975දී උපාධිය ලද ඔහු රුසියානු රහස් ඔත්තු සේවය වන කේජීබීයේ නිලධාරියකු වශයෙන් වසර 16ක් සේවය කළේය. ලුතිනන් කර්නල්වරයකු දක්වා උසස්වීම් ලද පුටින් දේශපාලනයට පිවිසියේ 1991දී කේජීබියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුවය. 1996දී ශාන්ත පීටර්ස්බර්ග් සිට මොස්කව් බලා පැමිණි පුටින්, ජනාධිපති බොරිස් යෙල්ස්ටින්ගේ පරිපාලනය සමඟ එක් විය. ඉතා කෙටි කලෙකින්ම දේශපාලන හිණිපෙතේ ඉහළටම නැගුණු පුටින් 1999 දෙසැම්බර් 31 දින වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වීමට සමත් විය.


යෙල්ස්ටින් දේශපාලනයෙන් විශ‍්‍රාම යෑමෙන් පසු 2000 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුටින් තම ප‍්‍රතිවාදියා වූ රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායක ගෙනාඩි සියුගානොව් පරාජය කිරීමට සමත් විය. එම මැතිවරණයෙන් ඔහුට 53% ඡන්ද ප‍්‍රතිශතයක් හිමි වූ අතර ගෙනාඩිට හිමි වූයේ 30% ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. 2004 ජනාධිපතිවරණයේදී ඔහු 71% ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් නැවත වරක් ජනාධිපති පදවියට පත් විය.
පුටින් පාලනයේ පළමු වසර 8ක කාලය තුළ එරට ක‍්‍රය ශක්තිය (මිල දී ගැනීමේ හැකියාව) 72%කින් ඉහළ ගියේය. 2005දී ඉදිරි පෙළ ජාතික ප‍්‍රතිපත්ති වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස සහ කෘෂිකාර්මික ව්‍යාපෘති රැසක් ආරම්භ කළේය. ඔහුගේ දෙවැනි පාලන සමයේ ලෝක ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීම තම අරමුණ යැයි පුටින් කියා සිටියේය. නිෂ්පාදනය, ඉදිකිරීම් හා විවිධ ණය සහන වර්ධනය කෙරුණු අතර, මධ්‍යම පාන්තිකයන් හට සහන සැලසිණි.


ඛණිජ තෙල් හා ගෑස් අලෙවියෙන් ලද ආදායමෙන් බොහෝ ණය පියවීමට රුසියාවට හැකි විය. ආර්ථිකය පාලනය කිරීම සඳහා මහා පරිමාණ සමාගම්වල ඉහළ තනතුරු සඳහා බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් පත් කිරීමට පියවර ගැණිනි. පාවෙන න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතියක් හා රුසියාවේ සිට චීනය දක්වා ස්වාභාවික ගෑස් ප‍්‍රවාහනය සඳහා ඩොලර් බිලියන 77ක වියදමින් නළ මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් චීනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට ද පුටින් පියවර ගත්තේය.


පුටින්ගේ පාලන සමයේ විවිධ අක‍්‍රමිකතා සිදු වූ බවට ද චෝදනා එල්ල විය. 2014දී රුසියාව අවස්ථා කිහිපයකදී යුක්රේනය ආක‍්‍රමණය කළේය. ක්‍රිමියාව තම රටට ඈඳා ගත්තේය. බෙස්ලාන් පාසලේ ප‍්‍රාණ ඇපකරු සිදුවීමේදී සිය ගණනක් මියයාම, මොස්කව් රඟහලේ ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමට යාමේදී 130ක් මිය යාම වැනි සිදුවීම් හේතුවෙන් පුටින්ගේ ජනප‍්‍රිත්වය සීඝ‍්‍රයෙන් පහත වැටිණි. පුටින්ට එරෙහි විරෝධතා පැන නැඟුණු අතර විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට පුටින් රජය පියවර ගත්තේය.


නොකඩවා තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම රුසියානු ව්‍යවස්ථාව මගින් අවුරා ඇති හෙයින් 2008දී ප‍්‍රථම නියෝජ්‍ය අගමැතිවරයා වූ දිමිත‍්‍රි මෙද්වෙදෙව් ජනාධිපතිවරයා විය. ඔහු පුටින් අගමැති පදවියට පත් කර ගත්තේය. දෙදෙනා අතර තට්ටුමාරු ගිවිසුමක් පැවැති අතර සියලු දේශපාලන තීන්දු ගන්නා ලද්දේ පුටින් විසිනි.


2011 දෙසැම්බරයේ දී යළි පුටින් ජනාධිපතිවරණයට තරග කළ යුතු බවට එක්සත් රුසියානු කොන්ග‍්‍රසය මොස්කව්හිදී තීන්දු කළහ. ඒ අනුව 2012 ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පුටින්ට 63.6% ඡන්ද ප‍්‍රතිශතයක් හිමි විය. පුටින් හා එක්සත් රුසියානු පක්ෂය මැතිවරණ දූෂණයක් සිදු කළ බවට විරුද්ධ පක්ෂ චෝදනා කළ අතර යළි විරෝධතා ව්‍යාපාර පැන නැඟිණි.


කෙසේ වුවද මේ වන විට පුටින් ලෝකයේ බලවත් හා ජාතිකවාදී නායකයකු බවට පත්වී සිටී. 1991දී සෝවියට් සමුහාණ්ඩුව රාජ්‍ය 15කට කැඩි ගියේය. ඉන් එක් රටක් වූයේ රුසියානු ෆෙඩරේෂණයයි. එහි සාර්ථකම පාලකයා පුටින් බවට අවිවාදිතය. පුටින්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලතින් ඇමෙරිකානු හා ආසියානු රටවල නායකයන්ගෙන් සුබපැතුම් හිමි වුව ද බටහිර රටවල නායකයන්ගෙන් සුබ පැතුම් හිමිවී නොමැති යැයි වාර්තා වේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය වැනි බටහිර රටවල පුටින් සමඟ සබඳතා මේ වන විට පලුදු වී තිබේ. ඊට ප‍්‍රධානතම සාධකය පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ රැකවරණ යටතේ සිටි, කලක් රුසියානු ඔත්තුකරුවකු වශයෙන් කටයුතු කළ සර්ගෙයි ස්ක්‍රිපාල් හා ඔහුගේ දියණිය වන යුලියා වස ශරීගතවී මියයාම මුල් කර ගනිමිනි.


ස්නායු පද්ධතිය අඩපණ කරන උග‍්‍ර විසක් මොවුන් දෙදෙනාට ආඝ‍්‍රාණය කිරීමට හෝ ආහාරයට මුසු කිරීමට කටයුතු කර ඇතැයි ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සැක කරයි. එය පුටින් ඇතුළු රුසියානු නායකයන් පිරිසකගේ ක්‍රියාවක් බවට බ්‍රිතාන්‍ය චෝදනා කරයි.


තම රාජ්‍යයට එරෙහි වන පුද්ගලයන් ලොව කුමන රාජ්‍යයක ජීවත් වුව ද ඔවුන් විනාශ කිරීමට රුසියාව කටයුතු කරන බවට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ. පැරණි සෝවියට් සමූහාණ්ඩු පාලනයේ සිට පුටින් පාලනය දක්වා එහි වෙනසක් දැකිය නොහැකිය. අතීතයේ සෝවියට් රුසියානු නායකයකු වූ ලියොන් ට්‍රොට්ස්කි මෙක්සිකෝවේදී ඝාතනය කිරීමට ජෝසෆ් ස්ටාලින් පියවර ගත් අයුරින්ම වර්තමානයේද එවැනි ක්‍රියා සිදුවන බැව් නොරහසකි. 2006දී ක්‍රෙම්ලිනයේ සහය ලද පිරිසක් පොලෝනියම් 210 නමැති විකීරණශීලී ද්‍රව්‍ය යොදාගනිමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ යටතේ සිටි ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ නමැති කේජීබී නිලධාරියා ඝාතනය කළ බව කියැවිණ.


සර්ගෙයි ඝාතනය කිරීමට රුසියානුවන් උත්සාහ කර ඇති බවට චෝදනා කරමින් එරට සිටි රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් 23 දෙනකු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට අගමැතිනි තෙරේසා මේ පියවර ගත්තාය. එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනා රුසියානු ඔත්තු සේවා නිලධාරින් බවට සැක කෙරේ. එමෙන්ම රුසියාවට සම්බාධක පැනවීමටද බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැතිනිය රුසියාවට එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද පසුගිය දිනවල නිව්යෝක් නුවරදී රැස් වී තිබේ. රුසියාවට එරෙහිව සම්බාධක පැනවෙන්නේ නම් එයට තම සහයද හිමි වන බවට ඇමෙරිකාව පවසා ඇත.


බ්‍රිතාන්‍යය තම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට එකට එක කිරීමක් ලෙස රුසියාවද එහි සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එරටින් පිටුවහල් කිරීමට ක්‍රියා කරන බවට රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රෝව් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා තිබේ. එමෙන්ම සාන්ත පීටර්ස් බර්ග් හී පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය සඳහා දී තිබූ අවසරය අවලංගු කිරීමට ද රුසියාව පියවරගෙන තිබේ.


පුටින් වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවක් ලබා ගනිමින් ජනාධිපතිවරණය ජයගත්තේ මෙවැනි වාතාවරණයක් යටතේය. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය හා ප‍්‍රංශය වැනි බලවත් රාජ්‍ය පුටින් හුදෙකලා කරන්නට කෙතරම් උත්සාහ දැරුව ද රුසියානුවන් ඔහු ආරක්ෂා කරන බවට එය කදිම නිදසුනකි. ඉදිරියේ ඔහුට ඇති අභියෝග අතර මෙම රටවල් සමඟ සමගි සන්ධානයක් ඇති කර ගැනීම ඔහු වෙත පැවරෙන පළමු අභියෝගයයි.

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා