​ගෙවතු වගාවට අත්වැලක්  

ව්‍යංජන රස ගැන්වීමේදී ලාංකීය සූපවේදයට නැතිවම බැරි රසකාරකයක් ලෙස කරපිංචා හඳුන්වා දීමට පුළුවන්. ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ සමහර අප්‍රිකානු රටවල මෙන්ම ඇමරිකාවේ සමහර ප්‍රදේශවලත් බහුල වශයෙන් කරපිංචා දක්නට පුළුවන්.  


කරපිංචා ඉත්තකින් රස ගැන්වුණු අපේ ව්‍යංජනයකින් ලැබෙන රසයත් ගුණයත් වෙනත් සුපිරි ආහාර මගින් ලබාගන්න බැහැ. මෙම කරපිංචාවල වර්ධනය, වටිනාකම, ඔෟෂධීය ගුණ මොනවාදැයි අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගාමිණී හිටිනායක මහතාගෙන් විමසීමක් කළෙමු.  


කරපිංචා ශාකය (Murraya Koenigii) මුරයා කෙනෙගි යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර (Rutaceae) රූටාසේ හෙවත් පැඟිරි කුලයට අයත් වෙයි. මීටර් පහක් අටක් පමණ උසට අතු විහිදා උස ගසක් ලෙසින්ද කප්පාදු කිරීමෙන් පඳුරක් ලෙසින්ද වර්ධනය වෙනවා.  


එමෙන්ම කරපිංචා දේශගුණික කාලගුණික විපර්යාසයන්ට හොඳින් අනුගත වන ශාකයකි. සුදු පැහැති සුගන්ධවත් මල් හටගන්නා කරපිංචා ශාකයේ කොළ සහ නැටිවලද උත්තේජනශීලී සුවඳක් අන්තර්ගතයි. ඒ නිසාම ආහාර රසවත් කිරීමට මෙන්ම සුවඳවත් කිරීම සඳහා එම කොටස් යොදා ගන්නවා.  


ලංකාවේ බොහෝ ගෙවතුවල කරපිංචා ශාක සුලබව දක්නට ලැබුණත් කරපිංචා සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතිනවා. මෙම ශාක අපට ඉතා පහසුවෙන් සිටුවාගන්න පුළුවන්. කරපිංචා ප්‍රධාන වශයෙන් ප්‍රචාරණය සිදුවන්​නේ බීජ මගිනි. මෙහි හටගන්නා ඉදුණු බීජවල මාංශල කොටස් ඉවත් කර එහි ඇටය වැලි තවානක සිටුවීම මගින් අපට ඉතා පහසුවෙන් සාර්ථක කරපිංචා පැළ සාදා ගන්න පුළුවන්.  


ඊට අමතරව තරමක් මේරූ දඬු සහ මුල් කැබලි සිටුවීම මගින්ද, මුල් සහිත පැළ මගින්ද අපට වැඩුණු කරපිංචා පැළ ලබාගත හැකියි.   


අප සිටුවන කරපිංචා පැළ හොඳින් හිරුඑළිය වැටෙන ස්ථානයක පැළ කර ගැනීම මගින් පත්‍රවල හටගන්නා දිලීර රෝග තුරන් කර ගැනීමට පුළුවන්. එමෙන්ම ගස කප්පාදු කිරීම මගින් වැඩි අතු ප්‍රමාණයක් සහ කොළ ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවන්.  


කරපිංචා ශාකය වියළි කලාපයේ හොඳින් වර්ධනය වෙනවා. ලංකාවේ කරපිංචා ප්‍රභේද විවිධ නම් වලින් හඳුන්වනවා. දඹුල්ල, කැකිරාව වැනි ප්‍රදේශවල මාළු කරපිංචා, වල් කරපිංචා, ගොං කරපිංචා යනාදිය බහුලව දක්නට ලැබෙනවා. වන්නි කරපිංචා නම් වර්ගය පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මාතලේ වැනි ප්‍රදේශවල දකින්න පුළුවන්. උඩරට කරපිංචා නම් වර්ගය දක්නට ලැබෙන්නේ නුවර, කුරුණෑගල, රත්නපුර, මාතලේ වැනි ප්‍රදේශවලයි. ඇතැම් කරපිංචා වර්ග ගම්වල නමින්ද හඳුන්වනවා. උදාහරණ ලෙස ගිරිතලේ කරපිංචා, ලග්ගල කරපිංචා, බිංතැන්න කරපිංචා යනාදිය පෙන්වා දෙන්න පුළුවන්.  


මෙම කරපිංචා බහු වාර්ගික ශාක ගණයට අයත් වෙනවා. ව්‍යංජන සඳහා අමු කරපිංචා කොළ යෙදීමට අමතරව තුනපහ පිළියෙළ කිරීමේදී වියළන ලද කරපිංචා කොළ මිටක් පමණ එකතු කිරීම බොහෝ ගෘහණියන්ගේ සිරිතක්. ඒ වගේම කැඳ ලෙසත්, දලු සම්බෝල ලෙසත්, කලවම් මැල්ලුම් ලෙසත්, ගැඹුරු තෙලේ බැදගෙන වුවද කරපිංචා අපට ආහාරයට ගත හැකියි.  


මෙහි ඇති ඖෂධීය ගුණ මහිමය ගැන කතා කළොත් ආහාර අජීර්ණය, කෑම අප්‍රිය වීම, බඩගින්න නැතිකම, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම ආදී අවස්ථා තුරන් කිරීමේ හැකියාව කරපිංචා සතුයි.  


ඒ වගේම වස විස ශරීර ගතවූ අවස්ථාවලදීත්, සර්පයෙකු දෂ්ට කළ විටත් පණුරෝග, වමනය, කරකැවිල්ල ආදී රෝගාබාධවලදීත් කරපිංචා විවිධාකාරයෙන් යොදා ගැනෙනවා. වාතය සහ සෙම සමනය කිරීමේ ගුණයද කරපිංචාවල අන්තර්ගතයි. කරපිංචා කොළ යුෂ අක්මාව විෂයෙහි හොඳින් ක්‍රියාකරනවා. එමෙන්ම කුසගිනි ඇතිකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය මනා පාලනයට යටත් කිරීමටද හිසකෙස් පැසීම වළක්වා ලීමටද කරපිංචා උපකාරී වෙනවා.  


වර්තමානයේ වසංගතයක් ලෙසින් පැතිරයන කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය සඳහා අතිශයින් සුදුසු ඖෂධයක් ලෙස කරපිංචා හඳුන්වා දෙන්න පුළුවන්. කරපිංචා සතු කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ විස්මිත ගුණය නවීන විද්‍යාවෙන් පවා තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් ඖෂධ නිෂ්පාදනය සඳහාද කරපිංචා බහුලව භාවිත කරනවා.  


මෙලෙස ආහාර රසගන්වන කරපිංචා සතුව පෝෂක ගුණ ගණනාවක්ම පවතිනවා. ඒ අතර කැල්සියම්, පොස්පරස්, අයන්, තන්තු ආදිය ප්‍රධාන වෙනවා.  


මෙහි ඇති ඖෂධීය ගුණ නිසාම කිසිදු පොහොර මිශ්‍රණයකින් හෝ කෘමිනාශක යෙදීමෙන් තොරව ස්වභාවිකව වැඩෙන කරපිංචා ශාකය ඉතා පහසුවෙන් කිසිදු අමතර වියදමකින් තොරව අපේ ගෙවත්තේ සිටුවා ගන්න පුළුවන්. එමගින් පරිසරය ලස්සන වන්නාසේම අපගේ ජීවිතවලටද කරපිංචා ආහාරයට ගැනීම මගින් අනුපමේය ගුණයක් ලබාගන්න පුළුවන්. එම නිසා තමන්ගේ ගෙවත්තේ එක් කරපිංචා ශාකයක් හෝ සිටුවීම අප සැමගේ යුතුකමයි.  

 

 

සටහන - වසුන්දරා රූපසිංහ