ලෝක උරුමයක් බවට පත්ව ඇති ඓතිහාසික හෙළ භූමියකි සිගිරිය. සීගිරිය ගල අවට පුරා විහිදී ඇත්තේ කසුප් රජ දවසේ හෝ ඊට පෙර එනම් වර්තමානයේ බොහෝ දෙනා කතා කරන පරිදි රාවණා පරපුරේ නටබුන්ය. 


අද වන විට ඉතා සංවිධානාත්මක කණ්ඩායමක් කසුප් රජු දවසේ හෝ රාවණා රජු දවසේ සීගිරි පව්ව අාසන්නයේ පිහිටි අක්කර 10 ක පමණ නටබුන් පිරි භූමි භාගයක් විනාශ කරමින් සිටිති. 


මෙහි විශේෂත්වය වන්නේ පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම සංස්කෘතික අරමුදල වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සීගිරිය ආරක්ෂා කිරීම සඳහා ජනතා මුදලින් වැටුප් ලබද්දී කාලයක සිට නිරුපද්‍රිතව මෙම වටිනා ඉපැරණි සංස්කෘතික උරුමය විනාශ කිරීමය. 


සීගිරිය පව්වට ඇතුළුවීමට ඇති ස්ථානයට දකුණුපසින් පිහිටි රාම කැලේ නමින් හඳුන්වන ප්‍රදේශයේ පිහිටි මෙම ඉපැරණි නටබුන් සිත් පිත් නැති ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට නතු වී තිබේ. 


පොලිසිය, සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය, සීගිරිය පෙන්වා සම්පූර්ණයෙන්ම මුදල් උපයන මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය, මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අභය භූමිය ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටින වන ජීවි දෙපාර්තමේන්තු කාර්යාලය මෙන්ම මෙම අපරාධය වන ස්ථානයේ සිට හරියටම කිලෝමීටරයක් එක හමාරක පමණ දුරකින් ඇති බව එහි සිට ගූගල් තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමේදී දැකගැනීමට හැකි විය. 


පසුගියදා මෙම මහා පුරාවස්තු විනාශය පිළිබඳව පළමු ඉඟිය සොයා ගැනීමට හැකි වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සීගිරි කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට වීම විශේෂත්වයකි. 


 අවස්ථා කිහිපයක්ම වනජීවී නිලධාරීන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට මෙම පුරාවස්තු විනාශය පිළිබඳව දැනුම් දී තිබේ. වනජීවී නිලධාරීන් මෙහි රාජකාරී කටයුතු සිදු කරනු ලබන්නේ අභයභූමියක් ලෙස ප්‍රකාශ කිරීමත් සමග එහි ගහ කොළ වන සතුන් ආරක්ෂා කිරීම සඳහාය. ඒ ආරක්ෂා කිරීම් කටයුතු සිදු කිරීමට යද්දී ඓතිහාසික සීගිරි පව්ව ආසන්නයේ මහා පරිමාණයෙන් පුරාවස්තූන් විනාශය දැක තිබේ. 


වනජීවී නිලධාරීන් එනු දුටු මෙම අපරාධ කල්ලියේ දස දෙනකු පමණ පැන ගිය බවද පසුව ඔවුන් රැගෙන විත් තිබූ උපකරණ පාවහන් ජංගම දුරකථනයක් ආදී භාණ්ඩ වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබිණි. 


 සීගිරිය යනු දිනකට අතිවිශාල මුදල් සම්භාරයක් මෙරටට ලබාදෙන වර්තමානයේ මෙරට කිසිදු වියදමකින් තොරව මුදල් උපයන ධන උල්පතකි. එක විදේශිකයෙකුගෙන් සීගිරිය නැරඹීම සඳහා රුපියල් 4000 කට අධික මුදලක් ලබා ගනී. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. ඔවුහු සීගිරි පව්ව ආරක්ෂා කිරීම එය සංචාරකයන්ට පෙන්වීම නඩත්තු කිරීම සිදු කරගෙන යති. එහෙත් සීගිරි පව්ව අවට ඇති අතිවිශාල වූ සංඝාවාස රජමාලිගා ඉපැරණි ගොඩනැගිලි දාගැබ් නටබුන් අතිමහත්ය. ඒවා විනාශ කිරීම වළක්වා ගැනීමට එම මුදල් යෙදවෙන්නේ නැත. 


සීගිරි පව්ව ආසන්නයේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලය පිහිටා තිබේ. පසුගිය කාලයේ සේවය කළේ නිලධාරීන් අතේ ඇඟිලි ගාණට ය. එහෙත් එකල සීගිරිය මෙන්ම සීගිරිය අවට ද පුරාවස්තූන් ආරක්ෂා වී තිබේ. පසුගිය වසර කීපයේ විශාල පිරිසක් සේවයට එක්කළහ. ඒ අනුව සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ පමණක් මේවන විට සේවකයෝ 48 දෙනක් ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරියට අනුයුක්තව සේවකයෝ තුන්සීයක් ඉක්මවාද සේවය කරති. 


එවැනි වකවානුවක එම කාර්යාල භූමියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටි අක්කර දහයකට වඩා අධික දාගැබ් චෛත්‍යය පිහිටි කොරවක් ගල්, ගල් කණු ආදී විසිරී ඇති භූමියක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් හාරා කුළු ගෙඩි පහරවල් එල්ල කර විනාශකර දැමීම සිදු කෙරේ. 

 

 


මෙම ස්ථානය පිළිබඳව තොරතුරු ද දැනගෙන සිදුවන මහා ඓතිහාසික විනාශ සොයාබැලීම සඳහා රාමා කැලේට අපි යන්නට පිටත් වුණෙමු. 


සීගිරිය වනජීවී කාර්යාලයට ගිය අපට ඔවුන් විසින් අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පාවහන් සහ උපකරණ පෙන්වනු ලැබිණ. එහෙත් අප ගිය අවස්ථාවේ වනජීවී කාර්යාලයේ ඉහළ නිලධාරියා හදිසි රාජකාරියකට ගොස් සිටි නිසා මෙම පුරාවස්තූන් විනාශය සිදුවන ස්ථානයට ඔහුගේ අවසරයකින් තොරව ගමන් කිරීමට මඟපෙන්වීමට සෙසු නිලධාරීහු මැළිකමක් දැක්වූහ. 


පසුව අප ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන සීගිරිය පුරාවිද්‍යා නිලධාරියා වන ධනුක උදයංග මහතා ගෙන්වාගනු ලැබුවේ වනජීවී කාර්යාලයටය. පරිශ්‍රයට පැමිණි උදයංග මහතාගෙන් අප ඉල්ලා සිටියේ පුරාවස්තු විනාශ කරන ස්ථානයට ගමන් කිරීම සඳහා පැමිණෙන ලෙසත් එම ගමන් මාර්ගය පෙන්වන ලෙසත්ය. එහෙත් ඔහුගේ ප්‍රතිචාරය වූයේ තමන්ට එම ස්ථානය පෙන්වීම හෝ ගමන් කිරීමට නොහැකි බවය. ඒ ඔහුගේ රැකියාව බේරාගැනීම සඳහා බව පැහැදිලි විය. 


 කෙසේ වෙතත් මාධ්‍යවේදීන් වූ අපි මහ වනය මැදින් පා ගමනින් ගූගල් තාක්ෂණය ඔස්සේ ස්ථානය සොයාගෙන ගමන් කරන්නට වුණෙමු. 


තැන තැන විසිරී ඇති අති විශාල අලංකාර වූ ගල් කණු අදටද සීගිරියේ මහා කැලෑවක තිබෙනු අපට දැක ගැනීමට හැකි විය. එමෙන්ම විශාල දාගැබ්වල ගර්භය හාරා වටිනා කියන කළුගල් අලංකාර නිර්මාණ කුළු ගෙඩිවලින් පහර දී කඩා බිඳ දමා තිබෙන ආකාරයත් ගල් වෙඩි දමා චෛත්‍ය ගර්භ පුපුරවා දමා ඇති ආකාරයත් සඳකඩ පහණ කුළු ගෙඩිවලින් පහර දී තැන තැන කුඩුකර දමා තිබෙන ආකාරයත් දැක ගැනීමට හැකි විය. එමෙන්ම ස්ථාන ගණනාවක මහ පොළොව අඩි විස්ස තිහ හාරා එහි පතුලේ ඇති අලංකාර ගල් කණු ගොඩ ගෙනැවිත් දමා ඇති ආකාරය දිස් විය. 

 

අංක 10 සිගිරි පුරාවිද්‍යා නිලධාරි වරයා සිගිරි වනජීවී කාර්යාලයට පැමිණ සිටි අවස්ථාව. 

 

 

 


රටකට, ජාතියකට, සංස්කෘතියට ආදරය කරන ඉතිහාසයට ආදරය කරන ඕනෑම අයෙකුට ගවේෂණය කරන අයෙකුට මෙම ප්‍රදේශයට ගිය විට මෙම අපරාධකරුවන් ගැන කිසිදු අනුකම්පාවක් නොසිතනු ඇතැයි රාම කැලේ ගිය අපට පසක් විය. 


සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ ස්ථානාධිපති ධනුක උදයංග මහතාට නැවත අප දුරකථනයෙන් කතා කළේ මේ පිළිබඳව ඔහු ගත් ක්‍රියාමාර්ග කුමක් දැයි විමසීම සඳහාය. 
 උදයංග මහතා කියා සිටියේ තමන් මේ සිද්ධිය සම්බන්ධයෙන් සැලවූ විට තම ඉහළ නිලධාරීන්ට දැනුම් දුන් බවය. ඉහළ නිලධාරින් කවුරුන් දැයි විමසීමේදී කියා සිටියේ මහනුවර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා දැනුවත් කළ බව ය. එහි ලිඛිත පිටපතේ පිටපතක් සහ දිනය ලබා ගැනීමට හැකි දැයි විමසීමේදී කියා සිටියේ තමන් ඒ වන විට ජංගම දුරකථනයෙන් මහනුවර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයාට දැනුම් දුන් බවය. 


කෙසේ වෙතත් මෙම ස්ථානය පිළිබඳව නැවත තොරතුරු දැන ගැනීම සඳහා අපි සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයට පසුගිය 24 සඳුදා දිනයේ ගියෙමු. ඒ යන විටත් එක සේවකයකු සේවයේ රැඳී සිටි අතර ස්ථානාධිපතිවරයා රාජකාරි ගමනක් ගොස් ඇති බව ඔහු කීවේය. මෙම ස්ථානයේ සේවය කරන සේවක සේවිකාවන් කීදෙනෙකු දැයි අප ඔහුගෙන් විමසීමේදී ඔහු නිරුත්තර වී තමන් ද අලුතින් පත්වීම් ලබා පැමිණි බවත් කිසිදු තොරතුරක් නොදන්නා බවය. 


මේ අවනඩුව කියන්නට ඇත්තේ අපේ රටට පහළවූ රටේවුන්ගේ කරුමයට අහිමි වූ කසුප් රජුට හා රාවණා රජුට පමණි.

 

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස