විද්වත් හමුව

සංචාරක ආර්ථික විද්‍යාව හා හෝටල් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ සම්බන්ධීකාරක ​(කො/වි/වි) ආචාර්ය
සුරංග ද සිල්වා

 

 

සංචාරක ව්‍යාපාරය රට සංවර්ධනයට ප්‍රධාන ව්‍යාපාරය කරගත හැකිය
හැබෑම ෆ්‍රයිඩ් රයිස් කාපු සුද්දන්ට මෙහෙන් ෆ්‍රයිඩ් රයිස් දීලා වැඩක් නෑ.
කොළඹ තියෙන බ්‍රිතාන්‍ය, පෘතුගීසි, ලන්දේසි සිහිවටන දින 10ක්වත් සංචාරකයින්ට පෙන්විය හැකිය.
සංචාරකයින්ට වැස්සත් මාකට් කළ හැකිය
වැදගත් වන්නේ සංචාරකයින් ගණන නොවෙයි. ඔවුන් මෙරට ඉතිරිකර යන විදේශ විනිමය ප්‍රමාණයයි
අපේ කෙම් ක්‍රම, මංගල චාරිත්‍ර, ආයුර්වේදයට, සංචාරකයින් ආසයි!

 

 

(ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නව ප්‍රවණතා පිළිබඳව ආචාර්ය සුරංගද සිල්වා සමඟ කළ කතාබහකි)


ප්‍රශ්නය- සමහරුන්ට අනුව සංචාරක ව්‍යාපාරය සංවර්ධනය වෙමින් පවතින රටවලට සර්ව රෝග නාශකයක්. ටැන්සානියාවේ හිටපු ජනපති නිය රේට අනුව එය අනවශ්‍ය යක්ෂයෙකි. ලෝක සංචාරක සංවිධානය මෙය විග්‍රහකොට ඇත්තේ කෙසේද?


පිළිතුර- සංචාරක ව්‍යාපාරයේ ඇති ආර්ථික දෘෂ්ඨි කෝණය (Economic perspective) අනුව මේ ව්‍යාපෘතිය කර්මාන්තයක් ලෙස විග්‍රහකොට තිබෙනවා. ලෝක සංචාරක සංවිධානය මෙය විග්‍රහ කොට ඇත්තේ “එක් අවුරුද්දකට වඩා අඩුවෙන් තමාගේ වාස භූමියෙන් පරිබාහිර ස්ථානයක ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් හෝ විවේක කාලය ගත කිරීමට හෝ වෙනත් කාර්යයන් සඳහා පැමිණ සිටින පුද්ගලයින්ගේ ක්‍රියා පටිපාටින්ගෙන් සමන්විත වේ” යනුවෙනි.


ප්‍රශ්නය- සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සිටිය යුත්තෙත් ‘ඉලක්කය’ පදනම් විය යුත්තේ සංචාරකයින් ප්‍රමාණය මතද? නැත්නම් ඔවුන් මේ රටේ වියදම් කළ මුදලෙන් මෙරට තුළ ඉතිරිවන හා එක්වන විදේශ විනිමය මතද?


පිළිතුර- එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුගයේ සංචාරක ක්ෂේත්‍රයේ මිල ගණන් පහළයාම නිසා අඩු ආදායම් සහිත සංචාරකයින් ලංකාවට ආවා. මේ සමහරුන් දේශීය සංචාරකයින් තරම්වත් මුදල් වියදම් කළේ නැහැ. අඩු ආදායම්ලාභී සංචාරකයින්ගෙන් අපේ ආර්ථිකයට වාසියක් සැලසෙන්නේ නැහැ. අපේ ඉලක්කය විය යුත්තේ ඉහළ ආදායම්ලාභි සුපිරි සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමයි. වැදගත් වන්නේ ඔවුනගේ ප්‍රමාණාත්මක වර්ධනය නොවේ. ඔවුන් මෙරට තුළ කෙතරම් මුදලක් ඉතිරිකර යනවාද යන පැනයයි.


ප්‍රශ්නය- රට තුළ සංචාරකයින් වියදම් කරන විදේශ විනිමය රඳවා ගැනීම අර්ථ නිරූපණය කරන්නේ කෙසේද?


පිළිතුර- තරුපහේ හෝටලයකට එන විදේශිකයෝ ආනයනය කරපු ආහාරපාන පරිභෝජනය කරනවා නම් ඒ මුදල් ඒ රටවලටම යනවා. පිටරට ෆ්‍රයිඩ් රයිස්, කෝසස් කාපු සුද්දන්ට අපි මෙහෙදිත් ඒවා කන්න දුන්නොත් විවිධත්වයක් බලාපොරොත්තු වෙන සුද්දන්ට ටුවර් එකෙන් වැඩක් නැහැ. සුද්දෝ කිරිබත් කන්න ආසයි. ඒත් මිරිස් කන්නෙම නැහැ. අපි ලුණු මිරිස් සුද්දට ඕන විදිහට හදන්න ඕන. පිටරට ෆ්‍රයිඩ් රයින් කාලා එපා වෙච්ච සුද්දට ලංකාවේ ‘ඇඹුල් තියල්’ හදන්න ඕන සුද්දට කන්න පුළුවන් විදිහට.


ප්‍රශ්නය- ලංකාවේ නිෂ්පාදනය කරන වියදම් අධික ආහාරපාන ලංකාවේදි විදේශිකයින්ගේ පාරිභෝජනයට භාජනය අවාසිසහගත නොවේද?


පිළිතුර- මෙතැනදි සාපේක්ෂ වෙළෙඳ වාසි න්‍යාය අනුගමනය කළ යුතු වෙනවා. පිටරටින් ගේන ආහාර පාන ලාභ නම් තෝරාගත යුත්තේ එයයි. ඒ සඳහා වන සම්පත් අපට වෙනත් දේකට ආයෝජනය කළ හැකියි. ප්‍රංශයෙන් එන සුද්දෙකුට ප්‍රංශයෙන් ගෙනාපු වයින්ම දුන්නම අපිට ඇති ලාභය මොකද්ද? වයින් වීදුරුවක් එක්ක අපේ සාම්ප්‍රදායික නැටුමක්, බයිට් එකක් ඒ නැත්නම් ඒවයින් එකක් බොන ගමන් අපේ ස්වභාව සෞන්දර්ය පෙන්වමින් ඒ තුළින් වයින් බෝතලය වගේ තුන් හතර ගුණයකවත් ලාභයක් ලබන්නට අප උපායශීලී විය යුතුයි.


ප්‍රශ්නය- සංචාරක ව්‍යාපාරය දැන් පුළුල් විෂයක් ලෙස විශ්වවිද්‍යාලයීය පද්ධතියටත් එකතු වී තිබෙනවා නේද?


පිළිතුර- ඉස්සර කිව්වේ ගමට ලොව. ඒත් දැන් සංකල්පය ලොවට ගම. දැන් සංචාරක කර්මාන්තය අනන්‍යතාව, සංස්කෘතිය, ජාතික සමගිය වැනි දේවල් ලෝකෙට යන නිසා Globalization ලෙස විග්‍රහ කරන්නට පුළුවන්. ප්‍රවීණ සංචාරක විද්‍යාර්ථි ගේට්ස් කියා තිබෙනවා සංචාරක සැලසුම්කරණය ප්‍රදේශයේ පවතින සම්පත් හා විකල්ප විසඳුම් (Alternative Solutions) අධ්‍යාපනය අගය කිරීම මත පදනම් වූ ක්‍රියාවලියකින් සමන්විත වන බව.


ප්‍රශ්නය- වත්මන් සංචාරකයින් දැන් වඩාත් නැඹුරු වී ඇත්තේ කෙබඳු අත්දැකීම් විඳ ගැනීමටද?


පිළිතුර- දැන් ජපන් සංචාරකයෝ ගත්තොත් අපේ දැරියක් වැඩිහිටි බවට පත්වුණහම දින ගණනක් කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර ගැන පුදුම උනන්දුවකින් ඉන්නේ. ඒ වගේම මංගල චාරිත්‍රවලට බොහෝ සංචාරක ආකර්ෂණයක් තිබෙනවා. අපේ අවමංගල කටයුතු" ආදාහන කටයුතු වුණත් සංචාරකයින්ට අලුත් අත්දැකීම්. අපේ සාරධර්ම පද්ධතියත් එක්ක දියුණු රටවලට මේවා පුදුමාකාර වටිනාකමක් එක්කර තිබෙනවා. පෝරුවේදී විවාහපත් දෙදෙනාගේ ඇඟිලි රන් කෙන්ඳෙන් බැඳීම ජීවිතාන්තය දක්වා එක්ව විසීමට ගිවිසීම ගැන චාරිත්‍ර වාරිත්‍ර දැන් සංචාරක ආකර්ෂණය දැඩි ලෙස යොමුවී තිබෙනවා.


ප්‍රශ්නය- සංචාරකයින්ගේ සිත් දිනාගත් සම්ප්‍රදායික දේවල් මොනවාද?


පිළිතුර- අපේ ගොවිතැනේ ඇති කෙම් ක්‍රම ගැන සංචාරකයින්ගේ පුදුම උනන්දුවක් තිබෙනවා.


විශේෂයෙන් වී ගොවිතැනේදී යොදාගන්නා කෙම් ක්‍රම ගැන. මේවා විදේශිකයින්ට පෙන්වා මහා විදේශ විනිමයක් ඇදගත හැකියි. මේ නිසා තමයි සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම තුළින් අභාවයට යමින් පවත්නා පාරිසරික හා සංස්කෘතික උරුමයක් සංරක්ෂණයටම (Conservation of Environmental and caltural Heritage) යොදාගත හැක්කේ.


අපේ සම්ප්‍රදායික රූකඩ කලාව වගේ දේත් නියම විදිහට ‘මාකට්’ කළ හැකි දේවල්. සංචාරක ව්‍යාපාරය තුළින් සංචාරකයෝ බලාපොරොත්තු වන්නේ තමන් අත්දැකීමක් නොලැබූ සමාජයන් හා සංස්කෘතින් (Cross Social and cultural Exchange) ගැන අලුත් අත්දැකීමක් ලැබීමයි. ප්‍රංශයේදි ලබන්න පුළුවන් අත්දැකීමක් ලබන්න ප්‍රංශ ජාතිකයකු ලංකාවට එන්නේ නැහැ. සංචාරකයා එන්නේ තමන් නොදකින සංස්කෘතියක් දකින්න.


ප්‍රශ්නය- ඔබ විදේශීය සංචාරකයින් ගෙන් ලද හැකි ආදායම හුවා දැක්වුවත් බොහෝ විට අපට දැකිය හැක්කේ මෙරට තුළ අතරමං වූ සංචාරකයින් පිරිසක්. බො​ෙහා් සංචාරක ආකර්ෂණීය තැන් ඔවුන් හොයා ගන්නේ මහන්සියෙන්. දැන් පිටකොටුවට ගියොත් ‘කයිමන් දොරකඩ’ සොයා ගන්නේ කොහොමද? විදේශිකයන්ට ප්‍රශ්නයක්. මොවුනට අඩුම ගණනේ පිරිසුදු වැසිකිළි පහසුකම්වත් ලංකාවේ නෑ නේද?


පිළිතුර- විදේශීය සංචාරකයකුට ලංකාවේදී ලබන්න වුණොත් අමිහිරි කටුක අත්දැකීමක් ඔහු නැවත ලංකාවට එන්නේ නෑ. ඔබ කියන වියට ලංකාවට එන සංචාරකයින් වෙන මහන්සිය දැක්කම ඔවුනට අපි ගාණක් දිය යුතු තත්ත්වයක් ඇතැම් විට දකින්නට පුළුවන්.


ප්‍රශ්නය- දැන් මාස ගණනාවක් පවතින වැසි තත්ත්වය සංචාරක ව්‍යාපාරයට අවාසිසහගත නේද?


පිළිතුර- සංචාරක ව්‍යපාරයේදි වැස්සත් මාකට් කළ හැකියි. අපේ රටට තිබුණ විශාල සම්පතක් අරාබි සංචාරකයින්. ඔවුන් ආවේ ‘ඕෆ් සීසන්’ එකේ වැස්ස බලන්නත් එක්ක. ඒත් නුවරදි ඇතිවූ කලබලවලින් අරාබි ජාතිකයින්ට ලංකාවට ඒමට විශාල බාධාවක් වුණා. දැන් බලන්න, ඩුබායිවල කාන්තාරේ මාකට් කරනව වගේ අපිට පුළුවන් වැස්ස මාකට් කරන්න.


ප්‍රශ්නය- ලංකාවට සංචාරකයකු ආවම දිය ඇලි, උණු දිය උල්පත්, ආදිවාසීන්, ඒත් නැත්නම් සීගිරි, දඹුලු, අනුරාධපුර, පොළොන්නරුවට තමයි යොමු කරන්නේ. ඒත් ඇයි මේ කොළඹ තියෙන සංචාරක ආකර්ෂණයක් ඇති තැන් සඳහා යොමු කරන්නට වැඩපිළිවෙළක් නැත්තේ?


පිළිතුර- ඔය කතාවේ සත්‍යතාවක් තියෙනවා. ලංකාවට එනවා බ්‍රිතාන්‍ය, ප්‍රංශ, පෘතුගීසි, ලන්දේසි සම්භවයක් ඇති සංචාරකයින්. මේ අයගේ මුතුන් මිත්තෝ මිහිදන් වෙච්ච සො​ෙහාන් කොත් පවා කොළඹ තියෙනවා. ඊටත් වැඩිය බ්‍රිතාන්‍ය, ලන්දේසි, පෘතුගීසි යුගවල සිහිවටන කොළඹ කොතරම් තියෙනවද? බ්‍රිතාන්‍ය පාලකයකුට පෙන්නන්න පුළුවන්, “මේ උඹලගෙ මුතුන් මිත්තෝ හදපු ෆැක්ටරි, ගොඩනැගිලි” කියල. ඊටත් වඩා මේ තියෙන පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යුගවල කොතරම් ගොඩනැගිලි කොළඹ තවමත් නිරුපද්‍රිතව තිබෙනවාද? ඒත් ඒවා පෙන්වන්න නිසි වැඩපිළිවෙළක් නෑ.


පිටරටින් එන සංචාරකයා කොළඹ මේ පෞරාණික තැන් බලන්නට දවස් 10ක් රඳවාගෙන රටට විශාල විදේශ විනිමයක් ලබාගන්න පුළුවන්. මේ තැන් ගැන සඳහන් කරපු සිතියමක් (Map) එකක් නැතිවීම විශාල අඩුපාඩුවක්. මේ කොළඹ ඇති තැන් විතරක් නෙමෙයි, රට ගැනම පොදුවේ අපට එවැන්නක් නැතිවීම විශාල අඩුපාඩුවක්. මේ තැන් ගැන කතන්දර කියන්න පුළුවන් (Story Tellers) භාෂා පරිවර්තකයින් නොමැතිවීම විශේෂයෙන් අරාබියේ හා පෝලන්තයෙන් එන සංචාරකයින්ට භාෂා පරිවර්තකයින්ගේ විශාල අඩුවක් තියෙනවා.


ප්‍රශ්නය- ඔබ කියන පරිදි ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් නිසි ප්‍රයෝජන අරගෙන සක්‍රිය ලෙස මේ රට ගොඩනැගීමට යොදාගෙන නැද්ද?


පිළිතුර- දැන් බලන්න මාලදිවයින, මාකට් කරන්න පුළුවන් මුහුද විතරයි. අලියෙක්, කොටියෙක්, දිය ඇල්ලක් බලන්න ලංකාවට එන්න ඕන. ලංකා​ෙව් මුහුදු වෙරළ සංචාරකයින්ට ආකර්ෂණයට තැනක්. දැන් ෂැංග්‍රිල්ලා හෝටලය හැදුවයි කියල වැඩක් නෑ. මාකට් කරන්න ඕන ලංකාවේ සම්පත්. රටේ ජනතාවගේ අතට ආදායමක් එන්නේ නැත්නම් ඒ සංචාරක ව්‍යාපාරයෙන් දැන් වැඩක් නැහැ.


දැන් බලන්න ලංකාවෙ තියෙන ආප්පවල ගතිය ඉන්දියාවේ නැහැ. අපේ මුං කිරිබත් වගේ දේවල්වලට සුද්දො, වහ වැටිලා. මේ‍වා ඍජුවම ග්‍රාමීය ජනතාවට ආදායමක් ලබන්න පුළුවන් දේවල්.


ප්‍රශ්නය- භාවනා කිරීමට එන විදේශිකයින්ගෙන් ඵලක් තිබේද?


පිළිතුර- මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ භාවනා මධ්‍යස්ථාන සංචාරක ව්‍යාපාරයට බද්ධ කර නොතිබීමයි.


ප්‍රශ්නය- දුම්රිය හා තැපැල් වර්ජන සංචාරක ව්‍යාපෘතියට කෙබඳු බලපෑමක් කරයිද?


පිළිතුර- දුම්රිය ගමනා ගමනය සංචාරකයින්ගේ ආකර්ෂණයට මාධ්‍යයක්. විශේෂයෙන් නුවර - කොළඹ දුම්රිය ඒ වගේම නුවර තැපැල් කාර්යාලය ගත්තොත් සංචාරකයින්ගේ ලිය කියවිලි හුවමාරු වන්නේ ඒ හරහා. දුම්රිය හා තැපැල් වර්ජන සංචාරක කර්මාන්තයට අතිශයින් අහිතකරයි.


ප්‍රශ්නය- සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සැකසීම තුළින් මෙරට රැකියා විරහිත දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා ලබාගත හැකියි නේද?


පිළිතුර- දැන් අවශ්‍ය නිකම්ම නිකං ගයිඩ්ලා නොවෙයි. විෂයානුබද්ධ දැනුමක් ඇති ඉන්ටප්‍රිටර්ස්ලා. සංචාරක ආකර්ෂණයට මං කලින් කියාපු Story ඔelling පිරිසක් අත්‍යවශ්‍යයි. ඒක ලෝක ප්‍රවණතාව, සංචාරක හෝටල්, නිකේතන, ආයුර්වේද වෛද්‍ය ශාලා ආදී දහස් සංඛ්‍යාත පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් තියෙනවා.


ප්‍රශ්නය- සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත හැකි ලාභය උපරිම ලෙස ලංකාවේ ලබාගන්නවාද?


පිළිතුර- ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි ප්‍රයෝජනයට ගන්නේ. ඉතාම සුළු සම්පත් ප්‍රමාණයක් පමණයි සංචාරක ආකර්ෂණය තැන් ලෙස හඳුනාගෙන තියෙන්නේ. අපේ අනාගත සැලසුම් හදල තියෙන්නේ මේ දුර්වලතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. අපේ ප්‍රධාන අරමුණක් වන්නේ ආර්ථික ප්‍රතිලාභ උත්පාදනය කිරීමයි. ඒ වගේම විදේශ විනිමය ඉහළ නැංවීම, ආදායම් ඉපයීම, රැකියා උත්පාදනය සහ ආදායම් මට්ටම ඉහළ නැංවීමත් මෙයට ඇතුළත්.


සංචාරක ව්‍යාපාරය තම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් රටවල් ලෝකයේ බොහොමයක් තිබෙනවා. ඒ රටවලට අපේ රටේ වගේ මාකට් කරන්න පුළුවන් දේවල් 10% ක්වත් නැහැ. අපට මොන සම්පත් තිබුණත් ප්‍රධාන වන්නේ එය රටට ආදායමක් ලැබෙන ලෙස මාකට් කිරීමයි.


සංචාරක ව්‍යාපාරය මෙරට ඍජු හා වක්‍ර ලෙස උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි ප්‍රධාන ව්‍යාපාරය කරගන්න පුළුවන්. එම ප්‍රතිලාභ සූක්ෂම හා ඒකාබද්ධ සැලසුම්කරණය (Intergrated Planning) තුළින් උපරිම කරගත හැකියි. අපේ සංචාරක ව්‍යාපාරයේ නිසි සැලැස්මක් නැතිවීම ප්‍රතිලාභ උපරිම නොවීමට හේතුවී තිබෙනවා.

 

 

 

 

සටහන - වජිර ලියනගේ