නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වෙන ආණ්ඩුවේ ප්‍රවේශය සම්බන්ධයෙන් ගැටලු මතු වුණේ එය ආරම්භ කළ අවස්ථාවේ පටන්ය. විධායක ජනාධිපති ධුරය ගැන ගන්නා ස්ථාවරය රාජ්‍යයේ ස්වභාවය (ඒකීය ද සන්ධීය ද යන්න පිළිබඳව) ගැන ගන්නා ස්ථාවරය, බුද්ධාගමට හිමි ස්ථානය මේ ආදී තේමාත්මක කාරණා පිළිබඳ විවිධ අදහස් සම්මත ස්වරූපයෙන් ඉදිරියට පැමිණි ආකාරයක් ගෙවී ගිය වසර දෙකක කාලයේදී දැකිය හැකි විය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව මෙපරිදි මතුවූ වැදගත් කරුණු කාරණා රැසක් ගැන ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා දක්වන අදහස් මෙසේය. 


රටේ මූලික නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතින් සකස් කරන්නේ නම් එය සිදුවිය යුත්තේ රටට ගැළපෙන ආකාරයටය. ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කටුගෙයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. මන්ද අප ඒ තරමටම ව්‍යවස්ථා ගැන කතා කර ඇති නිසාය. වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ ප්‍රධාන පොරොන්දු කීපයක් සමාජය හමුවේ තබමිනි. ඒ අතරින් එක් පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය සමඟ මැතිවරණ ක්‍රමයද වෙනස් කරන බවට වූ පොරොන්දුවයි. නමුත් ඒ කිසිවක් කිරීමට ආණ්ඩුව අසමත්වී ඇත. 


1977 දී පැවැති මහා මැතිවරණයේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමයක් රටට හඳුන්වාදීම සඳහා ජනවරමක් ලබාගත්තද ඔහු එම ජනවරමට මුවාවී අපට නොගැළපෙන සමානුපාතික නියෝජනය ක්‍රමයක් හඳුන්වාදීමට ද කටයුතු කළේය. පසුව මේ මැතිවරණ ක්‍රමයට සිදු කළ සංශෝධනයක් මගින් මනාප ක්‍රමය හඳුන්වා දුන් අතර ඒ හේතුවෙන් එකම පක්ෂයේ අය මනාප ලබාගැනීම වෙනුවෙන් ගැටුම් ඇති කර ගැනීම ද සිදුවිය. 


වර්තමාන ආණ්ඩුව යටතේ පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමයට අදාළව සිදුකළ සංශෝධන මගින් මේ ප්‍රශ්නකාරී මනාප ඡන්ද ක්‍රමය ඉවත්කර ඇති අතර එය හොඳ පියවරකි. නමුත් ආණ්ඩුව සිය මූලික පොරොන්දුව මෙතෙක් ඉටු කර නැත. එනම් මැතිවරණ ක්‍රමයෙහි සිදුකරන බව කී වෙනසයි. පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනා කීපයක් සාකච්ඡා වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන මෙතෙක් අවධානය යොමුකර නැත. 


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට ආණ්ඩුව ලබාදුන් ප්‍රතිඥාව කෙරෙහි අවධානය යොමු කළ විට පෙනී යන්නේ එය යම්තාක් දුරකට සිදුකර ඇති බවය. මෑතක දී සිදුකළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය සිදුකර ඇත. මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙර පැවැති තත්ත්වය අනුව අලුතින් පත්වෙන පාර්ලිමේන්තුවකට වසරක කාලයක් සම්පූර්ණ වූ පසු තමන්ට අභිමත ඕනෑම අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වූ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එසේ කළ නොහැකි අතර, පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලයෙන් වසර හතර හමාරක කාලයක් නිමවෙන තුරු ජනාධිපතිට සිය අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි ය. 


වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය සළකා බැලූ විට පෙනී යන කාරණය නම්, කිසිදු පක්ෂයකට බහුතර බලයක් නැති බව ය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා වෙන එජාපය හා ශ්‍රීලනිපය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රසිද්ධියේ පළ කරන ආකාරයක්ද දැකිය හැකිය. මෙවැනි තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් 19 වැනි සංශෝධනය මගින් කළ වෙනස්කම් රටට ගැළපෙනවාද යන්න විමසා බැලීම වැදගත්වෙන අතර එහි ලා මාගේ අදහස වෙන්නේ එම සංශෝධනය නොගැළපෙන බවය. මා දකින හැටියට රටේ අද ඇතිවී තිබෙන අරාජිකත්වයට ප්‍රධාන හේතුව වෙන්නේ පාර්ලිමේන්තුව වසරක කාලයකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහිමි කිරීමය. 


ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුව අපේක්ෂා කළේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට විධායක අගමැති ප්‍රමුඛ ආණ්ඩු ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් හෝ හඳුන්වාදීම වුවද ඒ කිසිවක් මෙතෙක් සිදුකර නොමැත. ඒ වෙනුවට දැන් සිදුවී තිබෙන්නේ තත්ත්වය ව්‍යාකූලවීම ය. මෙයට ප්‍රධාන හේතුව හැටියට මා දකින්නේ වර්තමාන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් රට ගැන සිතීම පසෙක ලා තමන් ගැන පළමුව සිතා කටයුතු කිරීම ය. රට අරාජික වුවහොත් එමගින් රට ඉදිරියෙහි නිර්මාණය වෙන අනතුරු ගැන ඔවුන්ට කිසිදු හැඟීමක් ඇති බවක් පෙනෙන්නට නැත. මේ මාසයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත ය. ලබන වසරේදී ජනාධිපතිවරණයත් 2020 වසරේදී මහා මැතිවරණයත් පැවැත්වෙයි. 


වර්තමානයෙහි රටේ තිබෙන දේශපාලන අවිනිශ්චිතතාව අනුව රටේ මූලික නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය බිඳ වැටී ඇතැයි කිව හැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි 46 වැනි වගන්තියෙහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බවය. එම 46 ව්‍යවස්ථාවේ 04 වැනි අනුවගන්තියෙහි සඳහන් වෙන්නේ ඉහත වගන්තියෙහි 46 (1) කුමක් සඳහන් වුවද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවද අමාත්‍ය මණ්ඩලයේ නොවන සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය යනුවෙනි. 


වර්තමානයෙහි තිබෙන අමාත්‍ය මණ්ඩලයේ ස්වභාවය සලකා බැලිය යුත්තේ ඒ කොටසට අනුවය. මන්ද රටේ දැන් තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් බැවිනි. ජාතික ආණ්ඩු නිල කාලය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් විය. එසේ නම් දැන් තිබෙන්නේ නීති විරෝධී ආණ්ඩුවකි. යම් කිසි කෙනෙක් මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කළහොත් අධිකරණය ලබාදෙන තීන්දුව අනුව ආණ්ඩුවට ප්‍රශ්න රාශියක් ඇතිවීමට පුළුවන. 


මේ ආකාරයේ තත්ත්වයක් ඇතිවීමට හේතුව හැටියට මා හඳුනාගන්නේ අපට ගැළපෙන ව්‍යවස්ථාවක් ගැන නොසිතා එක් එක් පාර්ශ්වවල වුවමනා එපාකම් ඉටු කිරීමටත් වෙනත් පාර්ශ්වවලට එරෙහිව ක්‍රියාත්මකවීම සඳහාත් ලහි ලහියේ ව්‍යවස්ථා සංශෝධනගෙන ඒමය. 


නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ක්‍රියාත්මක වෙන ආකාරය නිත්‍යනුකූල නොවේ. පවතින ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීම හෝ නව ව්‍යවස්ථාවක් පනවන ආකාරය ගැන හෝ වර්තමාන ව්‍යවස්ථාවෙහි පැහැදිලිව සඳහන් වෙයි. දැන් තිබෙන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පත් කර තිබෙන්නේ ඒ අනුව නොවේ. දැන් තිබෙන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වූ පනතක් යනුවෙන් සඳහන් කිරීමක් නොකර මේ ක්‍රියාවලිය ආරම්භ කර නැත. ඒ වෙනුවට යෝජනාවලියක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඇතුළත් වෙන බව දක්වමින් ඔවුන්ගේ අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් වක්‍රාකාරයෙන් මෙවැන්නක් ගෙන ඒම වැරැදිය. 


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම එක් දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. 1950 වර්ෂයේදී සකස් කළ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිය වතාවකදී පමණ සංශෝධනය කර ඇති අතර එය අද දක්වා ක්‍රියාත්මක වෙයි. අපේ 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මේ වනවිට 19 වැනි වතාවක් සංශෝධනය වී තිබේ. ව්‍යවස්ථාව නැවත වරක් අපට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම මගින් මේ ගැටලු විසඳාගත හැකිය. එසේ නොකර එක් එක් අයගේ අවශ්‍යතා වෙනුවෙන් අලුත් ව්‍යවස්ථා ගෙන ඒම මේ ප්‍රශ්නයට පිළියමක් නොවේ. එවැන්නක් කිරීමෙන් සිදුවෙන්නේ රටේ පැවැත්ම පවා අභියෝගයට ලක්වීමය. 


ශ්‍රී ලංකාවේ මූලික නීතිය සකස් කළ යුත්තේ දේශපාලනඥයාගේ වුවමනාවට නොවේ. දේශපාලන පක්ෂ හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතා අනුවද ඒවා නොකළ යුතුය. කළ යුත්තේ රටේ සියලු ජනතාවට අදාළ වෙන සේ ව්‍යවස්ථාවක් පැනවීමය. මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දහස් ගණනක් සිටියද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වන ආකාරයක් දක්නට නොලැබුණි. එසේම ආගමික නායකයන් වෛද්‍ය නීතිඥ ආදී ක්ෂේත්‍රවල වෘත්තික සංගම් හා වෙනත් ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන්ද මේ සඳහා පුළුල්ව අදහස් විමසන අයුරු අපි නොදුටුවෙමු. මේ ව්‍යවස්ථාවට අදාළව මහජන මත විමසීමක් සිදුවුවද ඒ සඳහා මැදිහත්වූ අය කළ දෙයක් නම් මෙරටෙහි බහුතර ජාතියට විරුද්ධ අයගේ අදහස් හා මතවාදවලට වැඩි ඉඩක් ලබාදීමය. එම අදහස් සහිතව සකස් කෙරුණු ව්‍යවස්ථා අනුකමිටු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ විට ඒවා සම්මත කොටගෙන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට ගෙනයෑමට නොහැකි වූයේද ඒ නිසා ය. 


රටේ ජනතාවගේ කැමැත්ත පිළිබිඹු නොවීම නිසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මෙපරිදි ඇණහිට ඇති බවක් දැකිය හැකිය. මෙවැනි පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජනතාව අතර පවතින විශ්වාසය පළුදුවීමක් සිදුවෙයි. 


අලුත් ව්‍යවස්ථාව මගින් ඇති කරන විධායකයේ ස්වභාවය කුමක් විය යුතුද යන්න සම්බන්ධයෙන්ද රටේ මේ වනවිට කතිකාවක් ගොඩනැඟී ඇති ආකාරයක් දැකිය හැකි අතර මගේ අදහසේ හැටියට නම් අප නැවත ගමන් කළ යුත්තේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙහි ඇතුළත් අගමැති ප්‍රමුඛ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් වෙතටය. ඒ මගින් අපට හුරු පුරුදු තනි ඡන්ද කොට්ඨාස ක්‍රමය ලබාගත යුතුය. 


විධායක අගමැති ක්‍රමය තිබිය යුතුය. කෙසේ වෙතත් රටේ දැන් තිබෙන තත්ත්වය අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් රටේ ඒකීයභාවය අභියෝගයට ලක්වීම සිදුවෙයි. විශේෂයෙන්ම ජනාධිපති ක්‍රමය ඉවත්කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළහොත් සන්ධීය (ෆෙඩරල්) ක්‍රමයට එහා ගිය තත්ත්වයක් බලය බෙදීමට අදාළව නිර්මාණයවීමට ඉඩ තිබේ. අවධාරණය කළ යුතු අනෙක් වැදගත්ම කාරණය නම් මෙරටට කිසිසේත්ම සන්ධීය ක්‍රමයක් නොගැළපෙන බවය. ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යයකි. ෆෙඩරල් ක්‍රමය සාර්ථක වෙන්නේ ප්‍රමාණයෙන් විශාල රාජ්‍යවලටය. ස්විට්සර්ලන්තය වැනි ප්‍රමාණයෙන් කුඩා සන්ධීය රාජ්‍යයන් පැවතියද ඊටම අනන්‍ය වූ ලක්ෂණ ඇත. අනෙක් අතට ශ්‍රී ලංකාවටම අනන්‍ය වෙන සභ්‍යත්වයක් තිබේ. එය ගොඩනැඟී තිබෙන්නේ බෞද්ධ දර්ශනය පදනම් කොටගෙනය. එය නොසලකා හැර කටයුතු කරන්නේ නම් අනුවණකමකි. 

 

 

 

 

 

 

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ