අනුරාධපුර - මහවිලච්චිය පාරේ තන්තිරිමලේ හන්දියෙන් දකුණට හැරී යන විට හමුවන ඓතිහාසික පුදබිම තන්තිරිමලය පූජා භූමිය නමින් හැඳින්වේ. අනුරාධපුරයට සැතපුම් 40ක පමණ බටහිර දෙසින් පිහිටි මේ භූමිය අතීතයේ ‘තිවක්ක බමුණුගම’ නමින් ඉතිහාස ගත වී ඇත.

අක්කර දෙසිය පනහකට වැඩි භූමි ප්‍රදේශයක මහ කළුගල් තලාවක විසිරී තිබෙන තන්තිරිමලේ පුදබිම ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයකි. විශාල ගල්තලාවේ තැනින් තැන ශේෂව ඇති පුරාවිද්‍යාත්මක අතින් මෙන්ම ආගමික අතින් ද වැදගත් නටබුන්වලින් තහවුරු වන්නේ පෙර රජ දවස අනුරාධපුර රාජධානිය පැවැති සමයේ මේ පින් බිම ඉතා දියුණු තත්ත්වයක තිබූ බවයි. 


විශාල පර්වත හා ලෙන් ගුහා සහිත මේ භූමිය ශෛලමය ප්‍රතිමා, ශිලා ලේඛන, ඉපැරණි ගොඩනැගිලි, පැරණි පොකුණු ආදියෙන් යුක්ත නිසා පැරණි ජනාකීර්ණ බිම්කඩක් ලෙස පවතින්නට ඇත. 


නව ප්‍රතිසංස්කරණ ඔස්සේ ඉදිවුණ දාගැබක් හා විහාර ගෙයකින් ද කෞතුකාගාරයකින් ද සමන්විත මේ පින්බිම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රසාදයට ලක් වූ පුද බිමකි. 


තන්තිරිමලේ විහාරය පිහිටි ගල් තලාවත් එහි ගල්ලෙන් යනාදියත් ආදී මානවයින් විසූ ප්‍රදේශයකි. මේ සඳහා සාධක ලෙස දැක්විය හැක්කේ ගල්ලෙන් තුළ ඇඳ ඇති ප්‍රාග් ඓතිහාසික සිතුවම්ය. පුරාවිද්‍යාඥයින්ට අනුව මෙම සිතුවම් වසර 4000 වඩා පැරණිය. ගස්වල කිරි, යුෂ, අළු, පස් වැනි දේ මිශ්‍රකර සාදාගත් සායම්වලින් ඇඳ ඇති මෙම වැදි චිත්‍ර අතර ඉර හඳ, තාරකා, දුනු, ඊතල යනාදී ප්‍රාථමික චිත්‍ර ශෛලියක් පෙන්වයි. 


මේවා ලෝකයේ වෙනත් තැන්වල හමුවන ප්‍රාග් ඓතිහාසික චිත්‍ර සමඟ සංසන්දනය කිරීමේදී අපේ රටට කීර්තියක් ගෙන දෙන්නට සමත් රටේ අනන්‍යතාව පිළිබිඹු කරන්නා වූ වැදගත් සාධකයන්ය. 


මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ඉතා පැරණිම ජනාවාසයකි. දේවානම් පියතිස්ස යුගයටද වඩා පැරණි ඉතිහාසයක් ඇති තන්තිරිමලය මල්වතු ඔය අසබඩ ජනාවාස වූවකි. 


විජය රජු සහ පිරිවර ලක්දිව තුළට පැමිණ ඇතැයි සැලකෙන්නේ මල්වතු ඔය ඔස්සේය. එසේ පැමිණ අනුරාධපුරය රාජධානිය කරගෙන ඇති විජය රජු, පසුව ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට ද රටේ විවිධ ප්‍රදේශවල ජනාවාස ගොඩනඟන්නට උපදෙස් ලබා දී ඇත. මේ අනුව උපතිස්ස නම් අමාත්‍යවරයා අනුරාධපුරයට යාබදව මල්වතුඔයට කනදරාඔය මුණගැසෙන ස්ථානය මුල් කරගෙන ජනාවාසයක් ගොඩනඟා ඇත. එය එකල උපතිස්ස ග්‍රාම නම් වී ඇත. පසුව දේවානම් පියතිස්ස යුගයේදී මෙහි ගම්භාරව කටයුතු කළ පුද්ගලයාගේ නමින් මෙම උපතිස්සගම තිවංක බමුණුගම බවට පත්වී ඇත. 


තිවංක බමුණුගම නම් වූ මෙහි දේවානම් පියතිස්ස යුගයේදී සිදු වූ වැදගත්ම සිදුවීමක් වූයේ යාපා පටුනේ සිට ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අනුරාධපුරයට වැඩමවන පෙරහර තන්තිරිමලය නම් වූ මෙම ස්ථානයේ දිනක් ගත කිරීමය. එම අවස්ථාවේදී මිහිඳු මාහිමි සංඝමිත්තා තෙරණුන් වහන්සේ සහ එකල සිරිලක රජ කළ දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙහි රැයක් පහන් කර තිබේ. මේ අනුව තන්තිරිමලය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බදු වූ ස්ථානයකි. 


මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර මෙරට බුදු සසුන පිහිටුවීමත් සමඟ මෙහි මෙහෙණි සසුන ද පිහිටුවීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ද ලක්දිවට වැඩම කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුරය ද සමඟය. 


මෙම ශ්‍රීමහා බෝධීන් වහන්සේ පිළිගැනීම සඳහා නූතනයේ යාපනය හා මන්නාරම යන නගර දෙක අතර මැදි ප්‍රදේශයේ පිහිටි දඹකොළපටුනට ගොස් සිටි දේවානම් පියතිස්ස රජතුමා මහත් භක්තියකින් යුක්තව කරවටක් ජලයේ ගමන් කොට රන්මුවා පාත්‍රයකට බෝධීන් වහන්සේ පිළිගෙන තිබේ. 


පසුව මහා පෙරහරින් වැඩම කළ බෝධීන් වහන්සේ තිවංක බමුණුගමදී පිළිගෙන ඇති එහි ප්‍රධානියා එදින රාත්‍රියේ තන්තිරිමලය ගල්තලාව මත බෝධීන් වහන්සේට රැකවරණ සලසා ඇති අතර අනුබුදු මිහිඳු හිමි, සඝමිත් තෙරණින් ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමක් සමඟ දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිසට ද රැය පහන් කිරීමට කටයුතු සලසා ඇත. 


අනතුරුව පසු දිනයේදී අනුරාධපුරයට පැමිණි පිරිස මහත් හරසරින් යුක්තව ජයශ්‍රී මහා බෝ සමිඳු මහමෙව්නාවේ රෝපණය කර ඇත. 


දේවානම් පියතිස්ස යුගයෙන් පසු තිවක්ක බමුණුගම බෞද්ධාගමික ප්‍රදේශයක් බවට පත් වූ අතර විවිධ රාජ සමයන්හිදී මේ පෙදෙස බොහෝ දියුණුවට පත්විණ. එසේ වුවද විහාර භූමියක් බවට විශාල දියුණුවක් අත්කරගෙන ඇත්තේ අනුරාධපුර යුගයේ අවසන් භාගයේදීය. 


තන්තිරිමලේ විහාරස්ථානයේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරන අනෙක් වැදගත්ම ස්ථානය සැතපෙන පිළිම වහන්සේය. සමාධි පිළිමය මෙන්ම තනි ගල් කන්දක ඔබ්බවා මෙය කැටයම් කර ඇත. දිගින් අඩි 45 ක් වන මෙම පිළිම වහන්සේ පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය අපට සිහිගන්වයි. කලක් ජනශූන්‍ය වූ විට මෙය නිධන් හොරුන්ට ගොදුරුව තරමක් විනාශ වී තිබුණ ද දැන් එය යථා තත්ත්වයට පත්කොට ඇත. 
ගල්තලාවේ නැගෙනහිර දිශාවේ අලංකාර නෙළුම් පොකුණකි. තරමක් සුවිසල් මෙම පොකුණට යාබඳව ගල් කන්දක් මත පැරණි පොත්ගුලක් දක්නට ලැබේ. මෙහි වටිනා පුස්කොළ පොත් එකල තැන්පත් කොට තිබූ බව ජනතාව විශ්වාස කරයි. ඊට පහළ කන්ද පාමුල තවත් ගල්ලෙනකි. මෙය නිර්මාණය කරන ලද්දක් වේ. 


ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් අක්ෂර කොටා ඇත. මෙය ඉදිරිපිට නටබුන් වී ගිය ගොඩනැගිල්ලක පාදමකි. අක්කර 250කින් පමණ සමන්විත මෙම ගල්තලාවේ තැන තැන එවන් ගොඩනැගිලි 14ක් පමණ තිබූ බවට සාධක ඇත. 


එකල තන්තිරිමලේ භික්ෂුන් වහන්සේ භාවනානුයෝගීව හෝ නේවාසිකව හෝ වැඩ වාසය කළ පිංබිමක් බව මේ කරුණු අනුව සනාථ වේ. 


අතීතයේ පටන් චෝල, පාණ්ඩ්‍ය, මාඝ වැනි ආක්‍රමණවලදී තන්තිරිමලේ විහාරය විනාශ මුඛයට ඇද වැටී ඇති බව කියනු ලැබේ. ඒ නිසා කලක් මෙය වන වැදී ඇත. 


අවස්ථා කිහිපයකදීම හෙළි පෙහෙළි වෙමින් වල්වැදී ගිය මේ පිංබිම 1960 ගණන්වලදී යළිත් පුනර්ජීවයක් කරා ගෙන ගොස් ඇත්තේ කුඩාකෝන්ගස්කඩ විමලඥාන හිමියන් විසිනි. උන්වහන්සේ ඒ අවට ගම්මාන රැසක් ඇති කරමින්, විහාරස්ථානය හා ප්‍රදේශය දියුණුව කරා ගෙන ගොස් ඇත. මේ අතර ඇති වූ එල්ටීටීඊ ක්‍රියාකාරකම් නිසා මෙම ගම්මානයට මෙන්ම විහාරයටද තර්ජන එල්ල වී ඇත. 


එහෙත් එම ප්‍රදේශය අත්නොහැර රැකගෙන සිටි උන්වහන්සේ 1992 දී සාහසිකයකු එල්ල කළ බෝම්බයකට දිවි පිදූහ. 


කෙසේ වුවද කුඩාකෝන්ගස්කඩ විමලඥාන හිමියන්ගෙන් ඇරඹුණු තන්තිරිමලේ පූජා භූමි ප්‍රබෝධය නිසාම 2007 පොසොන් මාසයේදී පූජා නගරයක් ලෙස ප්‍රසිද්ධ කෙරිණ. 


අනපේක්ෂිත මොහොතක විමලඥාන නාහිමියන් අතින් ගිලිහුණු ‘තන්තිරිමලය’ නමැති ධජය බිම පතිතවන්නට නොදී උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමියන් විසින් තම සුරතට ගනු ලැබුවේ සිය ගුරුදේවයාණන් වැඩම කළ දුෂ්කර මාර්ගයේ ඉදිරියටම පා තබන අධිෂ්ඨානයෙනි. කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ නොබියව ඊට මුහුණ දීමට ඒ හිමියන්ගේ ආත්ම ශක්තිය එම ජනපද වැසියන්ට ද ශක්තියක් විය. දැනුදු එසේය. 


2001 දී රටේ සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු ක්‍රියාත්මක වූ සටන් විරාම ගිවිසුම මගින් නැවතත් තන්තිරිමලේ ප්‍රදේශයට යම් තරමක සාමකාමී වාතාවරණයක් උදාවුණි. තන්තිරිමලේ පුදබිම ගැන රටේ අවධානය යොමු කරවන්නට විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාට අදහසක් ඇතිවූයේ එම කාල වකවානුවේදීය. 


චන්දරතන හිමියන්ගේ මඟපෙන්වීම මත 2004 වසරේ පොහොය නිමිති කොටගෙන තෙදිනක් පුරා තන්තිරිමලේ පුදබිම විදුලි එළියෙන් ඒකාලෝක කළ ‘ලංකාදීප’ පොසොන් ආලෝක පූජාව මුල් වරට පැවැත්වීමට හැකි වූයේ විජය පුවත් සමාගමේ සභාපතිතුමන්ගේ අදහස මල්ඵල ගන්වමිනි. 


එදා ඒ වැඩකටයුත්ත වෙනුවෙන් විජය පුවත්පත් සමාගමේ විදුලි කාර්මික ශිල්පීහු ඇතුළු කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා මහත් වෙහෙසක් දැරූහ. පළමු වරට පැවැත් වූ තන්තිරිමලේ ලංකාදීප පොසොන් අලෝක පූජාව රටේම අවධානයට ලක්වූයේ ඔවුන්ගේ කැපවීම නිසාය. 


එදා සිට අද දක්වා නොකඩවා මෙම පිංකම විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් සිදුවේ. 


විදුලි බුබුළු 25,000 අධික සංඛ්‍යාවක් දල්වමින් 2004 සිට වසරක් පාසා අඛණ්ඩව පවත්වනු ලබන ආලෝක පූජාව මෙවර පවත්වන්නට සූද‌ානම් වන්නේ පහළොස් වැනි වතාවටය. මෙම මස 27, 28, 29 යන තෙදින තුළ විචිත්‍රවත් අයුරින් මෙම පූජාව පැවැත්වීමට විජය පුවත් සමාගමේ විදුලි කාර්මික ශිල්පීන් ඇතුළු එම කටයුත්තේ නිරත සියලු දෙනා මේ දිනවල ඇප කැප වී ක්‍රියා කරති. 


ආලෝක පූජාවට අමතරව දහම් පාසල් දරු දැරියන් 650 ආසන්න ප්‍රමාණයකට හා ගුරුවරුන්ට නිල ඇඳුම් ලබා දීමත් සභාපතිතුමන් ඇතුළු කළමනාකාරිත්වයේ අනුග්‍රහය මත සිදුකෙරේ. 

 

 

 


සටහන
ධනු වි​ෙජ්රත්න