ශ්‍රී ලංකා යුද හමුදාවට අනභිභවනීය මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ සෙන්පතියකු මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා ඉකුත් (27) දින අභාවප්‍රාප්ත විය.   


හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ යුද හමුදා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතාගේ අභාවය සිදුවිය.   


1941 මැයි මස 09 වන දින උපත ලබා ඇති ඒ මහතා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.   


1961 ජූනි මස 14 වන දින යුධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක් වී එක්සත් රාජධානියේ රාජකීය යුද හමුදා විද්‍යාපීඨයෙන් පුහුණුව ලබා දෙවන ලුතිනන් වරයෙකු ලෙස 1963 අගෝස්තු මස 01 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 1 වන විමර්ශන රෙජිමේන්තුව වෙත එක් වී තිබුණි.   


වසර 30 ක් මුළුල්ලේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධයේ නොයෙක් කාල වකවානුවල විවිධ තනතුරු දරමින් එම යුද්ධයේ ජයග්‍රහණය උදෙසා ජෙනරාල් දළුවත්ත මහතා ඉමහත් දායකත්වයක් දක්වමින් සුවිශේෂී මෙහෙයක් ඉටු කළේය.   


ත්‍රස්තවාදීන් තීරණාත්මකව පරාජය කිරීම උදෙසා 1987 මුලින්ම සිදුකළ වඩමාරච්චි මෙහෙයුමේදී දළුවත්ත මහතා වඩමාරච්චි මෙහෙයුම් උපක්‍රමික මූලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා වශයෙන් රාජකාරි ඉටුකළේය.   
එමෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රස්ත මර්දන මෙහෙයුම්වලදී මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් තුනෙහිම වරින්වර ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරමින් ජනරාල් දළුවත්ත මූලිකත්වය ගෙන අගනා මෙහෙයක් ඉටුකරන ලදී.   


සිදුකරන ලද යුධ මෙහෙයුම්වල ඉතාම වැදගත් මෙහෙයුම වනුයේ 1995 වසරේ දී යාපනය අර්ධද්වීපය මුදාගත් රිවිරැස මෙහෙයුමයි. යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමේ සටනේ ගෞරවය හිමිවන්නේ එතුමාටය.   
එවකට යාපනය අර්ධද්වීපයේ ශ්‍රී ලංකා හමුදාවන් විසින් පාලනය කරන ලද්දේ කන්කසන්තුර, අලිමංකඩ සහ මුලතිව් කඳවුරු පැවැති ප්‍රදේශ පමණි. ඒ කාල වකවානුව වන විට උතුරු නැගෙනහිර ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදීම යටතේ 1995 ඔක්තෝබර් 17 වන දින රිවිරැස මෙහෙයුම අරඹන ලදී.   


ඒ සඳහා එවකට ජනාධිපති වශයෙන් කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහ එවකට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පූර්ණ අනුමැතිය හිමි වූ අතර මෙම මෙහෙයුමට අවශ්‍ය සැලසුම් අරලියගහ මන්දිරයේ දී ඉදිරිපත් කළේ රොහාන් දළුවත්ත මහතා විසිනි.   


ඒ සඳහා ඒ මහතාට අවශ්‍ය එම වාර්තාව සකස්කර දී තිබුණේ එවකට ලුතිනන් කර්නල්වරයකු වශයෙන් කටයුතු කළ දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න මහතාය.   


චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට පත් වීමෙන් පසු එතුමියගේ සිහිනයක් බවට පත් වුයේ එල්.ටී.ටී.ඊ.යේ හදවත බඳු යාපනය අල්ලා ගැනීමට වන අතර ඒ සඳහා එතුමිය තෝරා ගත්තේ දක්ෂ නිලධාරියකු වූ දළුවත්ත මහතායි.   


එවකට හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ලුතිනන් ජනරාල් ජෙරී සිල්වා මහතායි. එතුමාගේ මෙහෙයවීමෙන් රිවිරැස 1 - 2 යන මෙහෙයුම්වල ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි දළුවත්ත මහතා කටයුතු කළේය.   
වඩමාරච්චි මෙහෙයුමට පෙර මූලික මෙහෙයුම් ලෙස සිදුකළ ''Leap Forward", "Hard Knock'', ''Jayahanda'', ''Shake Hand'', ''Dragon Fire'', ''Barrel Warmer'', ''Thunder Strike'' වැනි සීමිත මෙහෙයුම් ගණනාවකට මූලිකත්වය ලබාදුන් මෙම දක්ෂ නිලධාරියා ඔහුගේ සෘජු අණසක යටතේ සිදුකළ රිවිරැස 1 මෙහෙයුම ඔක්තෝබර් මස 17 වැනි දින ආරම්භ කළ අතර 51, 52, 53 යන සේනාංක පෙරමුණ ගනිමින් සටන් බිමට පිවිසියහ.   


රිවිරැස 1 මෙහෙයුම ආරම්භ කළේය. 51 සේනාංකය පේදුරුතුඩුවේ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කළ අතර 52 සේනාංකය පලාලි සිට යාපනය දක්වා ගමන් ආරම්භ කළේය. 53 වන සේනාංකය කොණ්ඩාවිල් සිට කෝපායි දක්වා ගමන් ආරම්භ කළේය. ලංකාවට නවීන ආයුධ, කාලතුවක්කු රැගෙන ආවේ මෙම මෙහෙයුම් වකවානුවේදීය. මෙහෙයුම මගින් 1995 දෙසැම්බර් 05 වැනි දින වන විට කන්කසන්තුරය සිට යාපනය නගරය දක්වා ප්‍රදේශය මුළුමනින්ම මුදාගත්තේය.   


රිවිරැස 1 මෙහෙයුමේ දී 52 හා 53, 51 වන සේනාංකවල භටපිරිස් පෙරමුණ ගත් අතර 53 සේනාංකාධිපතිවරයා වශයෙන් එවකට කටයුතු කළේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා මහතාය. 52 සේනාංකයේ සේනාංකාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ එවකට බ්‍රිගේඩියර් කරුණාතිලක මහතායි. එම සේනාංකයේ 6 වැනි පාබළ හමුදා බළඇණියට අණදුන්නේ එවකට ලුතිනන් කර්නල්වරයකුව සිටි යුද හමුදාවේ 20 වැනි හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් දයා රත්නායක මහතාය. 51 වැනි සේනාංකාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ බ්‍රිගේඩියර් නීල් ඩයස් මහතාය.   


1995 දෙසැම්බර් මස 15 පේදුරුතුඩුවේ සිට යාපනය නගරය අත්පත්කර ගත්තේය. පසුව 1996 ක්‍රියාත්මක රිවිරැස 2 මෙහෙයුමෙන් යාපනය අර්ධද්වීපයේ මිරුසුවිල් දක්වා වූ අති විශාල ප්‍රදේශයක් මුදා ගන්නා ලදී. පසුව මුළු යාපනය අර්ධද්වීපයම හමුදා බලයට නතුකර ගැනීමට හමුදාව සමත් වූහ.   


මෙම මෙහෙයුමේ දී අච්චුවේලි ප්‍රදේශයේදී 52, 53 යන සේනාංක වෙත රාත්‍රි එළිවන තුරුම එක දිගට ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාර එල්ල වී තිබුණි. ජෙනරාල් දළුවත්ත මහතා එම සටන් බිමට ගොස් අවශ්‍ය කටයුතු සොයා බලා නිලධාරීන් හා සෙසු නිලයන් දිරිගැන්වීමට කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අච්චුවේලි හිදී ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර එල්ල වී තිබුණි.   


එයින් අච්චුවේලි ප්‍රදේශය හමුදා පාලනයට නතුකර ගැනීමට සමත් වී තිබුණි. අච්චුවේලි ගැටුමෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 600 ක මළ සිරුරු තැන තැන වැටී තිබියදී හමුදාව සොයා ගෙන තිබුණි.   


එසේම නීර්වේලි ප්‍රදේශයේ දී ද ඒ අයුරින්ම ගැටුම් ඇතිව තිබූ අතර එහිදී මියගිය ත්‍රස්තවාදීන් 200 දෙනකුගේ පමණ මළ සිරුරු සොයාගෙන තිබුණි. මෙම සමස්ත මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 1,000 ට අධික පිරිසක් මියගියහ.   


ශ්‍රී ලංකා හමුදාවට කිසිසේත් යාපනය අර්ධද්වීපය අල්ලා ගත නොහැකි බවට විදේශ රටවල් පවා නො​ෙයක් ප්‍රකාශ කර තිබියදී ඒ සියලු ප්‍රකාශ හිස් ප්‍රකාශ බවට පත්කරමින්, සුළඟේ විසුරුවා හරිමින් ජෙනරල් රොහාන් දළුවත්ත මහතා සිය ශත්තිය, කැපවීම් උපරිමයෙන් යොදවා යාපනය අර්ධද්වීපය අත්පත් කරගෙන සිංහ ධජය එසවීමට අවස්ථාව හිමිකර ගත්තේය.   


යාපනය අත්පත් කරගැනීමෙන් හමුදා ඉතිහාස පොත වර්ණවත් කළ ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි හමුදාපතිවරයා වශයෙන් පත් කිරීමට එවකට ජනාධිපතිනිය ක්‍රියා කළාය. ඒ අනුව 1996 මැයි මස 1 දින, 14 වැනි හමුදාපති වශයෙන් පත් වූ ඒ මහතා 1998.12.15 දක්වා එම ධුරයේ කටයුතු කළේය.   


හමුදා සාමාජිකයන්ට ගවමස් ලබාදීම එතුමා තහනම් කර තිබුණි. එය විශේෂ සිද්ධියක් වූ අතර අදටත් එම තහනම එසේම පවතියි. හමුදාවේ විවිධ නිලතල හොබවමින් වසර 35ක සේවා කාලයක් නිමකරමින් පසු 1998 වසරේ දෙසැම්බර් 15 වැනි දින ඒ හමුදා සේවයෙන් ඉවත්ව 1999 සිට 2002 වසර දක්නා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරි (වත්මනේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි) වශයෙන් කටයුතු කළේය. 2002 වසරේ ජෙනරාල් නිලයෙන් විශ්‍රාම ගන්නා ලදී.   


2002 වසරේ සිට 2005 වසර දක්වා බ්‍රසීලයේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙසද ඉමහත් මෙහෙයක් ඉටුකළේය.   


එමෙන්ම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන් ද සිය සේවය ජාතිය වෙනුවෙන් ඉටුකරන ලදී.   


 හමුදා සේවා කාලය තුළ  සිය ආත්මාරක්ෂාව පිළිබඳ නොතකා කළ විශිෂ්ට නායකත්වය පෙන්නුම් කිරීමේ මෙහෙවර වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, ලීජන ඔෆ් මැරීට් (ඇමරිකා එක්සත් ජනපදය), ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදා රජත ජයන්ති පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදා 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති ධූරප්‍රාප්ති පදක්කම, ශ්‍රී ලංකා නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම, උතුරු සහ නැගෙනහිර ක්‍රියාන්විත පදක්කම, පූර්ණභූමි පදක්කම, වඩමාරච්චි පදක්කම, රිවිරැස ක්‍රියාන්විත පදක්කම ආදී පදක්කම් රැසකින් ඒ මහතා පිදුම් ලැබීය.   


හමුදා මෙහෙයුම්වලට දැක් වූ දස්කම්වලට අමතරව ඒ මහතා දක්ෂ ක්‍රීඩකයකු වන අතර 1976 පැසිපන්දු ජාතික කණ්ඩායමේ නායකයා බවට ද කටයුතු කර තිබුණි. ක්‍රීඩාවට දැක් වූ දස්කම් වෙනුවෙන් යුද හමුදා හා ජාතික වර්ණ ලාභියකු වේ.   

මෙවන් වූ සුවිශේෂී මෙහෙවරක් හමුදාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉටු කළ මෙම විරෝදාර සෙන්පතියා ඉකුත් 29 දින බොරැල්ල කනත්තේ දී අවසන් ගමන් ගියේය. වීර සෙන්පතියාණනි, ඔබට නිවන් සුව!   
තොරතුරු ලබා දීම සඳහා සහය දැක්වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න, විශ්‍රාමික සන්නාහ සන්නද්ධ බළකායේ මධ්‍යස්ථාන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සූරියබණ්ඩාර, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය.

 

 

 

සටහන - ඉන්දිකා රාමනායක