ඉරේෂාගේත්, රුවන්ගේත් කැදැල්ල පරිපූර්ණ එකක් බවට පත්ව තිබුණි. ඒ කට ඇති පුතෙකුත්, රුව ඇති දියණියකුත් ලබන්නට තරම් ඔවුන් වාසනාවන්ත වූ බැවිණි. සතුටින් සමගියෙන් පිරී ගිය මෙම කුරුලු කැදැල්ල පසුගිය 15 දින සුනුවිසුනු වී ගියේය. ඒ වේයන්ගොඩ-වදුරව දුම්රිය ස්ථානය අසලදීය. 


ඉරේෂාගේ ගම වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයයි. රුවන් ජාඇළ, කොටුගොඩ, මහවත්ත ගමේය. මේ දෙදෙනාගේ කැදැල්ල පිහිටා තිබුණේ මහවත්තේ සඳුන් උයනේය. රුවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ අතර 1994 සිට ඔහු වරායේ සේවය කළේය. ඉරේෂා ගෘහණියකව නිවසේ සිට තම දරු දෙදෙනා බලාගත්තාය. 
මීට මාස තුනකට පෙර ඉරේෂාගේ පියා මියගියේය. අවමංගල්‍ය කටයුතු වදුරව ප්‍රදේශයේ පැවැති අතර රුවන් ඉරේෂා ඇතුළු පිරිස ඒ දින කීපයම එහි ගත කළහ. පියාගේ තුන්මස මතක බණ යෙදී තිබුණේ පසුගිය 14 වැනි ඉරිද‌ා දවසේය. පසුදින සාංඝික ද‌ානයකි. රුවන්, ඉරේෂා හා දරු දෙදෙනා එහි යා යුතු විය. 


13 දින රුවන්ට වැඩ දවසක් වූ බැවින් එදින උදේ 11 ට පමණ දරු දෙදෙනා ද රැගෙන ඉරේෂා වදුරව පිහිටි තම මහගෙදරට ගියාය. පසුදින ඉරිද‌ා උදේ 11 ට පමණ දුම්රියේ නැගී රුවන් වදුරවට පැමිණියේය. තම මාමණ්ඩියගේ ද‌ානමය පිංකමට අවශ්‍ය සහයෝගය ලබා දීමට රුවන් දිනක් දෙකක් නිවාඩු ද ලබාගෙන තිබිණි. 


ඉරේෂාගේත්, රුවන්ගේත්, වැඩිමහල් දරුවා වූයේ රුෂදි දිලන්සාය. ඇය 11 හැවිරිදිය. ඇය රද්දොළුගම පඤ්ඤානන්ද ජාතික පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. පාසලේ වසර මැද වාර විභාගය ආරම්භවීමට තිබුණේ 15 වැනි සඳුද‌ාය. 


සීයාගේ ද‌ානේ වැඩකටයුතු නිවසේ සූද‌ානම් වෙද්දීත්, පුංචි දිලන්සා විභාගයට සූද‌ානම් වූවාය. සඳුද‌ා දින තමන්ට මුහුණ දීමට ඇති ඉතිහාසය හා බෞද්ධාගම යන විෂයයන්ට මුහුණ දීමට ඇය පාඩම් කළාය. බුද්ධාගම පොතේ ඇති ගාථා කටපාඩම් කරමින් තවත් යහළුවෙකුට පාඩම් ද දුන්නාය. ඉරිද‌ා රාත්‍රියේ මතක බණ අවසන් වී වැඩි වේලාවක් ගත නොකරම ඇය නින්දට ගියේ පසුදින විභාගයට ලිවීමට ඇති බැවිණි. 


උදෑසන අවදි වූ දියණියට රොටි හද‌ා ඉරේෂා කන්නට දුන්නාය. කේක් ද තිබෙනු දුටු දිලන්සා ‘අම්මේ කේක් කෑල්ලකුත් කන්නද?’ යැයි ඇසුවාය. පසුව කේක් කෑල්ලක් ද කෑ ඇය තම පියා සමඟ යන්නට සූද‌ානම් වූවාය. රුවන් අලුයම නැගිට ද‌ානයට අවශ්‍ය වැඩකටයුතු කළේය. පසුව දියණිය සූද‌ානම් කරගෙන තම ඥ‌ාති සහෝදරයෙකුට අයත් යතුරුපැදියෙන් දියණියගේ පාසලට යාමට ගමන ආරම්භ කළේය. 


ඉරේෂාගේ මහගෙදර සිට වදුරව දුම්රිය ස්ථානයට කිලෝ මීටර් දෙකක්වත් දුරක් නොතිබිණි. රුවන් හරියටම උදේ 6.15 ට නිවසින් පිටත් වූයේ උදෑසන තේ කෝප්පය පමණක් ගෙනය. මම ඉක්මනට එන්නම්.’ කියමින්ම රුවන් යතුරුපැදිය ක්‍රියාත්මක කළේය. 


වදුරව දුම්රිය ස්ථානය අසලට එනවිට ඉදිරියෙන් කොළඹ දෙසට යන්නට ආ දුම්රිය නවතා තිබුණි. දුම්රිය ගේට්ටුවක් නොමැති අතුරු මාර්ගය අසලට වී රුවන් යතුරුපැදිය නවතාගෙන සිටියේය. 


කොළඹ දෙසට ධාවනය වීමට තිබුණු දුම්රිය යනවාත් සමගම රුවන් දුම්රිය හරස් මගට යතුරුපැදිය ඇතුළු කළේය. එහෙත් රුවන්ට යමක් සිතන්නට හෝ නිමේෂයක් ඉතිරි නොකර කොළඹ සිට කන්කසන්තුරය හා යාපනය බලා ධාවනය වූ දුම්රියේ ඔහුගේ යතුරුපැදියේ මුල කොටස වැදිණි. දෙදෙනාම වීසිවී ගොස් තදින් පොළොවේ වැදුණු බව සිද්ධිය දුටුවෝ ප්‍රකාශ කර තිබුණි. 


මේ කිසිත් නොදත් ඉරේෂාට රුවන්ගේ දුරකථනයෙන්ම ඇමතුමක් ලැබිණි. එහෙත් කතා කළේ රුවන් නොව වෙනත් පුද්ගලයෙකි. ‘ඔයාගේ මහත්තයා නේද දුවත් ද‌ාගෙන දැන් බයිසිකලෙන් ආවේ... 


‘ඔව්’ 


ඉරේෂා තැතිගත් හඬින් පිළිතුරු දුන්නාය. 


ඉක්මනට වදුරව දුම්රිය ස්ථානයට එන්න.’ ඇමතුමින් කියැවිණි. ඉරේෂා ඇතුළු පිරිස වහ වහා දුම්රිය ස්ථානයට දිව ගියහ. 


‘මම හිතුවා මහත්තයාටයි, දුවටයි මොකක් හරි කරදරයක් කියලා. ඒත් මම හිතුවේ නෑ මේ තරම් විනාශයක් වෙලා කියලා. මම අපේ අයියගේ බයික් එකට නැගලා යන ගමනුත් මහත්තයාගේ දුරකථනයට ඇමතුමක් ගත්තා. ඒත් ඉස්සෙල්ලා කතා කළ එක්කෙනාමයි ආයෙත් කතා කළේ. මම ඇහුවා ලොකු කරදරයක් ද කියලා. ‘නැහැ නැහැ. ඉක්මනට එන්න කියලා.’ කිව්වා. 


මම ළඟට යනවිට ඈතටම දැක්කා දුව පාසල් ඇඳුම පිටින්ම රේල් පාර මත වැටිලා ඉන්නවා. මහත්තයා ටිකක් ඈතට වෙන්න වැටිලා හිටියා. 


මම කෑගැසුවා. ඒත් ඒ අය මට එතෙන්ට යන්න දුන්නේ නැහැ. 


ඉරේෂාට මතක ඇත්තේ ඒ ටික පමණී. පසුව ඇය සිහිය නැති වී ගොස් තිබිණි. 


රුවන් යනු ආරක්ෂාව සම්බන්ධයෙන් අන් අයට ද උපදෙස් දෙන ඉතාමත් සිහිකල්පනාවෙන් වැඩ කරන්නෙකි. වරායේ වාහන අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුට වාහන සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් තිබූ අයෙකි. එහෙත් තත්පර ගණනක ඉක්මන්වීම ඔහුටත් දියණියටත් දිවි අහිමි කළේය. කාර්මික ශිල්පය පිළිබඳව තිබුණු ඉහළ දැනුම නිසා රුවන්ගේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා වරාය අධිකාරිය මගින් ඔහුට පසුගිය මාර්තු මාසයේදී මැලේසියාවේ පුහුණුවකට ද යැව්වේය. එය සාර්ථකව අවසන් කළ ඔහුට පසුව සේවා ස්ථානයේ උසස්වීමක් ද ලැබිණි. 


ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් ද ඔහුට තිබුණි. රුවන් වරායේ සේවයට ගොස් වසර 25 කට ආසන්න කාලයක් ගතවී තිබුණත් ඔහුට තිබුණේ යතුරුපැදිය පමණී. වාහනයක් ගැනීමට ඔහු සතුව මුදල් තිබුණත් පියාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීම හා තම නැගණියගේ විවාහ මංගල්‍යයට වියදම් කිරීම වැනි කාර්යයන්ට මුල් තැන දුන් නිසා වාහනයක් ගැනීමේ සිහිනය තව තවත් ඉදිරියට ගියේය. බෞද්ධාගමට මුල් තැනක් දී කටයුතු කළ ඔහු තම මාමණ්ඩියගේ ද‌ානමය පිංකමේදී සංඝරත්නයට බෙහෙත් ​ඖෂධ පූජා කිරීමේ පිංකමක් ද ඔහුගේ වියදමින් සූද‌ානම් කර තිබිණි. 

 

සිද්ධිය වූ ස්ථානය

අනතුරට ලක් වූ යතුරුපැදිය

 

 


පුංචි දිලන්සා ද ඉගෙනීමට සහජ දක්ෂතා දැක්වූවාය. 2018 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන්ද ඇය ලකුණු 154 ක් ලබා ගත්තාය. පන්තියේ පළමුවැනියා, දෙවැනියා වූ දිලන්සාගේ ප්‍රියතම විෂය වූයේ විද්‍යාවයි. ගණිතය විෂයට ඇය වැඩිම ලකුණු ලබාගත් විෂය විය. 


ඉගෙනීමට පමණක් නොව විවිධ රස කෑම වර්ග හා පබළු මාල හදන්නට ද ඇයට තිබුණේ සුවි​ශේෂි හැකියාවකි. 


කෙසේ වෙතත් රුවන් සංජීව චින්තක ද සිල්වා (43) හා රුෂදි දිලංකා සිල්වා (11) යන පියා සහ දියණියගේ මරණයට වදුරව දුම්රිය ස්ථානයේ හහස් මාර්ගයේ ඇති අනාරක්ෂිත බව ද විශාල වගකීමක් දැරිය යුතු බව ජනතාව ප්‍රකාශ කරති. දිනකට වාහන විශාල සංඛ්‍යාවක් ගමන් කරන මෙම හරස් පාරට දුම්රිය ගේට්ටුවක් ලබා දීමට වගකිවයුතු අංශ මෙතෙක් අසමත්ව සිටිති. මෙහි ඉතා කුඩා සංඥාවක් පමණක් නිකුත් කරන අතර දුම්රියේ ඇන්ජිමෙන් නිකුත්වෙන අධික ශබ්දය නිසා එම සිහින් හඬ පවා නොඇසෙන තරම්ය. එසේම මෙම හරස් මාර්ගය අසල ඇති දුම්රිය පාරට ප්‍රවේශවීම ද ඉතා අනාරක්ෂිත ආකාරයෙන් පිහිටා තිබීම ද වගකිවයුත්තන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණකි. 
වදුරව දුම්රිය ස්ථාන හරස් මාර්ගයේ තවත් බිල්ලක් ගන්නට පෙර මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන මෙන් අපි බලධාරීන්ට කියමු. 
 ඉරේෂා සහ 8 හැවිරිදි පුතා තනිකර රුවන් හා දිලන්සා පසුගිය 17 දින ජාඇළ උදම්මිට පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියහ. 

 

 

සටහන / ඡායාරූප : දොම්පේ 
අජිත් මදුරප්පෙරුම