ජීවිතය පහන්සිලකට සමානය. කවදා, කොයි මොහොතේ, කුමන හේතුවකින් එය අවසන්වේ දැයි අපි නොදනිමු. එහෙත් සියලු සත්වයේ කැමති ඒ අස්ථිර ජීවිත කාලය මොහොතකින් හෝ දිගුකර ගැනීමටය. වෛද්‍යවරු දෙවිවරු බඳුය යනුවෙන් අර්ථ ගන්වන්නේ ඒ නිසාවෙනි.   


පසුගියදා මහනුවර රෝහලේ වෛද්‍ය කණ්ඩායම එවන් වූ මහා පුණ්‍ය කර්මයක් කළහ.   


එ් වසර විසි ගණනක් පුරාවට අක්මා රෝගයෙන් පීඩා විඳි අවුරුදු 64 ක පුද්ගලයෙකුට අනතුරකින් මොළය මරණයට පත් වූ 37 හැවිරිදි තරුණයෙකුගේ අක්මාවක් තරුණයාගේ ඥාතීන්ගේ එකඟතාව මත බද්ධ කිරීමෙනි.   
මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන එම වියපත් පුද්ගලයා ප්‍රතිකාර ලබා අවසන්ව රෝහලෙන් ද පිටව ගොස් ඇත.   


අක්මාව ආශ්‍රිතව ඇතිවන සිරෝසියස් රෝගය සහ අක්මා පිළිකා නිසා රෝගීහු බොහෝ පිරිසක් කායිකව හා මානසිකව විඳවති.   


මුදල් ඇති රෝගීහු එම රෝගයන්ට ප්‍රතිකාර සඳහා ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලට යන අතර ඒ සඳහා මිලියන දහකට අධික මුදලක් වැය කරති.   


ලංකාවේ දැනට අක්මා බද්ධය පිළිබඳ සැත්කම් සිදුකරනු ලබන්නේ ද කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේය. මහනුවර ජාතික රෝහල ද අක්මා සැත්කම් බද්ධයට යෝජනා වී තිබුණත් එහි ඇති පහසුකම් සීමා සහිතය.   


එහෙත් වෛද්‍යවරු එම සම්පත් හිඟකම අභියෝගයට ලක්කරමින් සිය රාජකාරිය නොපසුබටව සිදුකරති.   


එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර මහ රෝහලේ සිදුකළ පළමු අක්මා බද්ධය සාර්ථක වී ඇත්තේය. එනම් මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේදී පැය 30ක සැත්කමක් සිදුකර ඇති අතර එය සාර්ථක තත්ත්වයට පත්වූවේය. එය තවත් අක්මා රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමේ පෙරනිමිත්තක් බව එම රෝහලේ වෛද්‍යවරු සනාථ කරති.   


මෙම විශ්මිත ශල්‍ය කර්මය සඳහා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතාගේ මැදිහත් වීම මත වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී.කේ. හරිස්චන්ද්‍ර, අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චරිත් වීරසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් කරුණාතිලක, ස්නායු ශල්‍ය නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රවී වීරකෝන්, අනුරාධපුර රෝහලේ වික්‍යන සැත්කම් හා බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුණවලම්, මහනුවර මහ රෝහලේ අක්මා, අක්මා අන්ත්‍ර හා ආමාශ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය කළුබෝවිල, ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද සොයුරිය ජේ.ඩී. රණසිංහ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග හා ආමාශ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බන්දුල සමරසිංහ, අවයව බද්ධ කිරීමේ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ ඇතුළු මහනුවර හා පේරාදෙණිය රෝහල්වල වෛද්‍ය හා හෙද කණ්ඩායම් සහභාගි වූහ.  

 

 


මෙම ශල්‍ය කර්මයේ සාර්ථකත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අවධානය යොමුව ඇති අතර ඉදිරියේදීත් මෙවැනි සැත්කම් කළ හැකි ආකාරයකින් මහනුවර රෝහල සංවර්ධනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේය.  


මේ පිළිබඳව මහනුවර රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මෙවැන්නකි.  


අපේ මහනුවර ශික්ෂණ රෝහලට පසුගිය අවුරුද්දේ හෘදවස්තු බද්ධ කිරීමත් සමග අනිකුත් බද්ධ කිරීමේ වැඩකටයුතුත් කරගෙන යන්න කියලා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උපදෙස් දුන්නා. ඒ අනුව එතුමා මිලියන 450 ක් වෙන් කළා මහනුවර මහ රෝහලේ බද්ධ කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට උපකරණ ලැබෙමින් පවතිනවා. ඒ වගේම හෘද වස්තු බද්ධ කිරීම සඳහා දැඩි සත්කාර සහිත වෙනම එ්කකයක් හදලා තිබෙනවා. ඒ වගේම අක්මා බද්ධයත්, අග්නියාස බද්ධයත්, වකුගඩු බද්ධයත් සිදුකරන නිසා එම ඒකකය පුළුල් කිරීමට කටයුතු කරමින් යනවා. ඊට අවශ්‍ය අමුද්‍රව්‍යත් මේ වනවිට ලැබෙමින් පවතිනවා.

  
එවැනි අවස්ථාවක තමයි අපිට පසුගිය සතියේ මොළය මියගිය තරුණ දරුවෙකුගේ වකුගඩුයි අක්මාවයි ලැබෙන්නේ. ඒවා හොඳ තත්ත්වයේ තිබෙන බවට වෛද්‍යවරු නිර්දේශ කළා. ඒ අනුව අපි වකුගඩු 2ක් අක්මාවක් බද්ධ කිරීම සිදුකරා. 

 
මේ අතරතුරේත් මොළය මියගිය ඒත් ඉහත කී අවයව බද්ධ කිරීමට සුදුසු තත්ත්වයේ පවතින රෝගියෙක් ආවාම අපේ තොරතුරු ලේඛනයේ සිටින අක්මා බද්ධය අවශ්‍ය, හෘද වස්තු බද්ධය අවශ්‍ය, වකුගඩු බද්ධය අවශ්‍ය රෝගීන් තෝරා දැනුම්වත් කර සුදුසු රෝගියාට කතා කර අවයව බද්ධය සිදු කරනවා.  


අපි හිතනවා මේ වසර අවසන් වනවිට බද්ධ කිරීමේ වැඩසටහනට අවශ්‍ය සියලු පහසුකම් සපුරාගත හැකිවෙයි කියලා. ඒ වගේම දැඩි සත්කාර ඒකකත් පුළුල් කරනවා. මේ වනවිට වකුගඩු හා හෘදය වස්තු බද්ධ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ද ලැබෙමින් පවතිනවා. හෙට අනිද්දා වෙනකොට මොළය මියගිය රෝගියෙක් ලැබුණ ගමන් ඒ සැත්කමත් සිදුකරනවා. අපි ඊට සූදානමින් ඉන්නේ.  

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්