හංවැල්ල රණාලේ ඉවුරු ඛාදනයට ලක්වෙමින් පවතින ආකාරය 

 

 

ගඟක් රටකට සම්පතක් වනවාද විපතක් වනවාද යන්න තීරණය වන්නේ ඒ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති, දේශපාලකයින්ගේ දැක්ම, උවමනාව හා නිලධාරින්ගේ ක්‍රියාකාරිත්ව අනුවය. ලෝකයේ බොහෝ රටවල් ප්‍රධාන නගර අශ්‍රිතව මුහුදට ගලාබසිනා ගංගා නිසි පරිදි කළමනාකරණය කරගනිමින් පරිසරය රැකගැනීමත් සමඟ විශාල ආර්ථික ප්‍රතිලාභයන්ද උපයාගනී. එහෙත් අපේ රටේ කැලණි ගඟ දකින බොහෝ දෙනාට සිහිපත් වෙන්නේ එයට තමන්ගේ කසළ ටික බැහැර කරන්නේ කෙසේද? යන්න පිළිබඳවය. එහි වැලි ටික ගොඩදාගන්නේ කෙසේද? එයින් ලාභ ලබන්නේ කෙසේද? යන්න පිළිබඳවය. ඒ නිසා අද කැලණි ගඟ අපේ රටට සම්පතකට වඩා විපතක් බවට පත්ව තිබේ. 


 ශ්‍රී පාද අඩවියෙන් ආරම්භව කැලණිය හේකිත්තෙන් මහමුහුදට එක්වන කල්‍යාණි නදී තොමෝ එම ගමන් මාර්ගය බියගමින් හෝ මල්වානෙන් හෝ සිය ගමන් මග වෙනස් කරගෙන මහ මුහුදට එක්විය හැකි බවට කිසිවෙක් අනාවැකියක් පළකළහොත් එය කෙනෙකු තුළ භීතියක් ඇති කරනු නිසැකය. කැලණි ගඟ අදටත් ගලායන්නේ මුලින්ම ගමන් කළ මාර්ගයේම නොව ඇතැම් ස්ථානයකින් කිලෝමීටරයක් පමණ එහාට මෙහාට වෙනස් වී බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය පෙන්වාදෙන පරිදි හෙට දවසේ මෙහි ගමන් මග වෙනස් වීම අරුමයක් නොවේ. 


 කලක් සීමාවකින් තොරව වැලිගොඩ දැමීමෙන් ගං පතුල පහත් විය. ඒ හේතුවෙන් ගංගා ආසන්නයේ පැවති දිය උල්පත් ඉවුරු ඔස්සේ ගඟට ඇදී යාමෙන් ළිං සිඳීයාම ඉක්මන් විය. ලංකාවේ සෑම ගංගාවක් ආශ්‍රිතවම පවතින ඉවුරු ලිහිල් පාංශු පිහිටීමක් සහිතය. එම ලිහිල් පාංශු පිහිටීම නිසා පිටතින් සුළු පීඩනයක් යෙදුවද පංශු ඛාදනය ඇරඹේ. මේ වන විට අවිස්සාවේල්ලේ සිට කැලණියෙන් ගඟ මුහුදට වැටෙන තෙක් ගං ඉවුරු දෙකේම මහාපරිමාණ කර්මාන්ත ඉදිකර ඇතිවා පමණක් නොව ඇතැම් ස්ථානවල කන්ටේනර් අංගණ පවා ඉදිකර ඇත. 


 කැලණි ගඟ ඇතැම් අවස්ථාවල අංශක අනූවකින් හැරී තම ගමන් මග වෙනස් කරගන්නා අතර ඇතැම් අවස්ථාවල අංශක හැටක පමණ කෝණයකින් හැරී ගමන් මග වෙනස් කරගනී. ඇතැම් විට මෙවැනි නැමි දෙකක් එක ළග පිහිටීම නිසා ඉහළින් ගඟ නිරීක්ෂණය කරන්නෙකුට ඉංග්‍රීසි ඉසෙඩ් අකුරේ හැඩය පෙන්නුම් කරනු ඇත. මල්වාන රක්ෂපාන ගල ආසන්නයේදීත්, කඩුවෙල පාලම ආසන්නයේදිත් පෙන්නුම් කරන්නේ අංශක හැටක පමණ හැරවුමකි. එවැනි ස්ථානයකදී නැම්මේ ඇතුළු පැත්තෙන් ගොඩබිම ඩෙල්ටාවක් පරිදි පිහිටනු ඇත. මේ ඩෙල්ටා ප්‍රදේශ සංරක්ෂණය නොකළහොත් හෝ ඒ ආසන්නයේදී ගඟට බාධාවන් යෙදුවහොත් හෝ ගං ඉවුරු මත අධික බරක් යෙදුවහොත් හෝ ගඟෙ නැම්මේ පිට පැත්තෙන් ඉවුර තව තවත් පළල්වීමට මෙන්ම ඇතැම් විට ඩෙල්ටාව කඩාගෙන ගග ගලා බැසීමටද ඉඩ තිබේ. අද රණාල ප්‍රදේශයේදී මෙම අනතුර දක්නට ඇති අතර පසුගියදා කඩුවෙල පාලමේ කොන්ක්‍රීට් කණුවලට පිටින් ගොඩබිමේ කොටසක් ඛාදනයට ලක්ව ප්‍රධාන මාර්ගය ගිලාබැසීමේ තත්ත්වයකට මුහුණ දුන්නේද මිනිසුන් සොබාදමේ රීති හඳුනා නොගෙන හිතුවක්කාරී ලෙස පරිසරය වෙනස් කිරීමේ ප්‍රතිඵල ලෙසය. 

 

කැලණි ගඟ වෙනස් විය හැකි ස්ථානයක් ලෙස පෙන්වා දෙන මල්වාන රක්ෂපාන ගල අසළ ඛාදනය

 

 මිනිසා පාලනය කිරීමට නීති රීති පවතින්නා සේ සොබා දහම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදාගත් රීතීන්ද වේ. ඒ රීති නොදැන සොබාදහම වෙනස් කරනා මිනිසාට එහි අනිටු විපාක විඳින්නට සිදුවිම අනිවාර්ය වේ. 
 කැලණි ගඟ සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනක බස්නාහිර පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් ගංගාවේ ගමන් මාර්ගය ස්ථාන දෙකකින් වෙනස් වී වෙනම මාර්ගයක ගමන් කළ හැකි බවටත් එය අධික ලෙස දූෂණයට ලක්වීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෛවජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක, බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, ආචාර්ය අශෝක රන්වල මහතා කැලණි ගඟ පත්ව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි. 


 අංශක හැටක පමණ හැරවුමක් සහිත මල්වාන රක්ෂපාන ගල අසළදී ගඟ ගලායාමේ මාර්ගය වෙනස්වීමේ අවදානමක් අද මතුවී තිබෙනවා. ස්වභාවික පිහිටීමේ පවතින විශාල ගල් පර්වතයක් නිසා ගඟ පටුවීමත් එයට පෙර ගඟේ විශාල නැම්මක් සහිත වීමත් නිසා විශාල ජලකඳක් ගෙන එන අවස්ථාවලදී ගලට ඉහළින් ඉවුර කඩාගෙන ගඟ පළල්වෙලා. දැන් එය මහපාර අයිනටම කඩාගෙන ඇවිත් තිබෙන්නේ. ඊළගට එන මහවතුරකදී මෙය මල්වාන බියගම මාර්ගයද කඩාගෙන බියගම අයෝජන කලාපය ඔස්සේ ගලාබසින්නට ඉඩ තිබෙනවා. එවැනිම නෙරීමක් බියගම මල්වාන පාර ආරම්භ වන බියගම හංදිය ආසන්නයෙන්ද දකින්න ලැබෙනවා. අපේ ගංගාවල ඉවුරු ඉතා ලිහිල්. ඒ නිසා මේවා සෝදාපාළුවට ලක්වීමට තිබෙන ඉඩ වැඩියි. 


 බරපතළ ලෙස වැලි ගොඩදැමීම නිසා රණාල ප්‍රදේශයේදී ඉවුරු ඛාදනය වේගවත් වුණා. අද වැලි ගොඩදැමීම තහනම් කර තිබෙනවා. එහෙත් තවමත් මහාපරිමාණ කර්මාන්ත හා කන්ටේනර් අංගණ පවා ගං දෑලේ ස්ථාපිත කර තිබෙනවා. ඒවායින් ඉවුරට ඇති කරන අමතර දැඩි පීඩනය නිසා වගේම මේවායින් පිටකරන අපජල කාණු ඉවුරු ඔස්සේ ගඟට එකතුවීම නිසාත් ඉවුරු ඛාදනය දිගින් දිගටම සිදුවෙනවා. ඒ වගේම ගඟට එකතුවන අපද්‍රව්‍ය නිසා අද ජනතාවට පරිභෝජනයට දෙන ජලය පවා පිරිසිදුද කියන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. විශේෂයෙන් පට්ටිවිල ජලපවිත්‍රගාරය පිහිටුවා තිබෙන්නේ අපජලය රැගත් ඇළ මාර්ගයක් ගඟට වැටෙන ස්ථානයේයි. පවිත්‍රාගාරයකදී වුවත් පිරිසිදු කර ඉවත් කළ හැකි රසායනිකවල සීමාවක් තිබෙනවා. මේවා ගැන බලධාරීන් දැනුවත් කළත් කිසිදු පියවරක් ගන්නා බවක් පේන්න නැහැ. 


වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.එම්. ආරියරත්න මහතා කැළණි ගඟ සංරක්ෂණය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි. 


 ඕනෑම ගඟක් තමන්ගේ ජලධාරිතාව වැඩි වුණාම තමන්ගේ දිග වැඩිකරගන්න උත්සාහ කරනවා. එහිදී සිදුවන්නේ වංගු වැඩිකරගැනීමයි. කැළණි ගඟ අවසාන ප්‍රදේශයේදී දඟර සහිත බව වැඩිවන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වංගු සහිත ස්ථානවලදී වංගුව පිට පැත්තෙන් ඉවුර ඛාදනය කරගෙන ගලා බසිනවා. ඉවුරු ඛාදනයට හේතුවන්නේ වැලි ගොඩදැමීම නිසා. අපි වසරකට පමණ පෙර වැලි ගොඩදැමීම නැවැත්වුවා. නමුත් ඒ ආරම්භ වූ ඛාදනය සම්පූර්ණයෙන්ම නැවතිලා නැහැ. එයට අපි බැමි යොදා නැවැත්වීමට උත්සාහ කළත් එය වෙනත් තැනකින් කඩාගෙන යන්න පුලුවන්. මේක සංකීර්ණ තත්ත්වයක්. ඉවුරු දෙපස කර්මාන්ත පැවතුණත් නැතත් ඉවුරු ඛාදනය සිදුවෙනවා. ඉතිහාසයේදීත් කැලණි ගඟේ ගමන් මග කිලෝමීටරයක් පමණ එහාට මෙහාට වෙනස් වෙලා තිබෙනවා. ඒ කාලේ මේ වගේ කර්මාන්ත තිබුණේ නැහැ. කැලණි ගඟේ ගමන් මාර්ගය වෙසන් වීම හා අනතුරුදායක ප්‍රදේශ සම්බන්ධයෙන් අපේ නිලධාරීන් කණ්ඩායමක් නිරීක්ෂණය කර වාර්තාවක් සකස් කර තිබෙනවා. එය තවම අපිට ලැබී නැති නිසා ගමන් මග වෙනස්වීම සිදුවිය හැකි තැන් ගැන මට නිශ්චිතව කියන්න බැහැ. 


ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා කැලණි ගඟ ඉවුරු ඛාදනය පිළිබඳව මෙසේ අදහස් පළකළේය. 


 ගඟ කොටස් තුනකින් යුක්තයි. ප්‍රවේගය වැඩි තුරුණුවිය. ප්‍රවේගය තරමක් අඩු පරිණත අවධිය හා ප්‍රවේගය ඉතාමත්ම අඩු මහලු අවධිය ඒ අවධි තුනයි. මෙයින් ඉවුරු ඛාදනය හා ගමන් මග වෙනස්වීම සිදුවිය හැකිව තිබෙන්නේ ජල ධාරිතාව වැඩි හා ප්‍රවේගය වඩාත්ම අඩු මහලු අවධියේදියි. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පසු ඇරඹෙන්නේ මේ මහලු අවධියයි. ඒ ප්‍රදේශයේ වංගුත් වැඩියි. ඉවුරු ඛාදනයට වඩාත් වැඩි බලපෑමක් කරන්නේ වැලි ගොඩදැමීමයි. ඒ වගේම ඉවුරු මත යොදන ඕනෑම පීඩනයක් පාංශු ඛාදනයට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා ඉදිකිරීමේදී ඔවුන් ඉවුරේ බැමි යෙදීමත්, පොළොව තරමක් යටට හාරා කොන්ක්‍රීට් කණු යෙදීමත් නිසා ඉවුරට ඇති කරන පීඩනයත් ඉවුරු ඛාදනය වැඩි කරනවා. 

 

පට්ටිවිල ජල පවිත්‍රාගාරයේ පොම්පාගාරය අසලින් වැලිකොට්ට යොදා ආවරණය කර හා සොරොව්ව වසා තිබියදීත් රතු දුඹුරු පැහැති අප ජලය සහිතව ගඟට එක්වන ඇළ මාර්ගය 

 

 

 කැලණි ගඟේ ජලය දූෂ්‍යකරණයට ලක්වීම තවත් බරපතළ ගැටලුවකි. අවිස්සාවේල්ලේ සිට ගත් කල ප්‍රධාන අායෝජන කලාප දෙකක් වන කුඩගම හා බියගම සමග ඊට පරිබාහිර මහාපරිමාණ කර්මාන්ත රැසක් ද ගං ඉවුරු ආසන්නයේම පිහිටා ඇත. මේ කර්මාන්ත අතරින් අතිබහුතරය රසායනික අපද්‍රව්‍ය බැහැර කරන නැතහොත් ඩයි වර්ග බැහැර කරන කර්මාන්ත ශාලාය. බියගම වෙළෙඳ කලාපය ඔස්සේ ගලා බසිනා ඇළ මාර්ග හා ඒවැනි ඇළ මාර්ග ගණනාවක ජලය රැගෙන කැළණි ගඟට ගලාබසිනා රත්ගහවත්ත ඇල මාර්ගයද නිරීක්ෂණය කරන්නෙකුට පියවි ඇසට පෙනෙනා වර්ණ වෙනස කිසිවෙකුට වසන් කළ නොහැකිය.


 මෙහි ඇති භයානකම තත්ත්වය නම් ජලසම්පාදන මණ්ඩලයේ ස්ථාපිත කරන ලද බියගම ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ස්ථානයට වැටෙන ඇළ මාර්ගයද අධික ලෙස දූෂණයට ලක්ව තිබීමය. විවිධ රසායනිකයන්ගෙන් සංතෘප්තව ඇති එම ඇළ මාර්ගය තද රතු දුඹුරු පැහැයකින් යුතුය. එහි ජලය පොම්පාගාරය අසලින් ගඟට එක්වීම වැළැක්වීමට බලධාරින් හා නිලධාරින් හිල් කූඩෙන් වතුර අදිනවා වැනි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. එනම් ඇළ මාර්ගය ගඟට එක්වන ස්ථානය අසලින් වැලිකොට්ට දමා එහි එකතු වන ජලය බට යොදා මෝටර් මගින් පොම්පාගාරයට පහළින් නැවත ගඟට එකතු කිරීමය. එහෙත් වැලිකොට්ට අතර නැවතී තිබෙන්නේ ඇළ මාර්ගයේ එන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් වැනි අපද්‍රව්‍ය පමණි. එහි රැඳෙන අපජලය සැලකිය යුතු ප්‍රමාණයක් වැලිකොට්ට අතරින් රිංගා අපූරුවට ගඟට එකතු වන ආකාරය ද දැකගත හැකිය. මේ අපජලය සමග කර්මාන්ත ශාලාවලින් බැහැර කෙරෙන බැර ලෝහ පවා ජලයට එකතු වේ. එසේම හෝමාගම කර්මාන්ත පුරය ඔස්සේ ගලාඑන හෙට්ටිගේ ඔයද හංවැල්ල වෙලේ හංදියෙන් ගඟට එකතුවේ. 


මේ සම්බන්ධයෙන් කැලණි ගං මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති එම්. සිරිවර්ධන මහතා මෙසේ පැවසීය. 


 ‘‘කැලණි ගඟ දෙපැත්තේ තමයි කර්මාන්ත ශාලා බහුතරයක් පිහිටා තිබෙන්නේ. මේවායේ අපජලය බැහැර කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබුණත් ඔවුන් කරන්නේ දවාලට අපජලය ගබඩා කර තබාගෙන රාත්‍රියට ගඟට මුදාහැරීමයි. තවත් සමහර කර්මාන්ත ශාලා අධික වැසි අවස්ථාවල ගංගා පිටාර ගලන විටදී කාලයක් එකතුකරගෙන සිටි අපජලය ගඟට මුදාහරිනවා. ඒකට හොඳම උදාහරණය තමයි අපේ ගමේ ගඟ ආසන්නයේ ඇළ මාර්ග ආශ්‍රිතව තිබූ වැටකෙයියා පඳුරු ගංවතුර බැස යන විට සුදුපාට වී කොළ මැරී යන තත්ත්වයට පත්වීම. වැටකෙයියා කවද්ද ගංවතුරට යට වුණාම මැරුණේ? අපි මේ දේවල් ගැන වගකිව යුතු බලධාරින්ව කෙතරම් දැනුවත් කළත් කිසිම ප්‍රයෝජනයක් අද වනතුරු සිදුවෙලා නැහැ.’’


 කැලණි ගඟ යනු ඉතිහාසයේ ජනතාව තමන්ගේ ජීවිතයේ බොහෝ අවශ්‍යතාවන් පිරිමසා ගස් සම්පතකි. බීමට නෑමට මෙන්ම වගාවටත් ගඟේ ජලය යොදාගත් ජනතාව ගං පතුලේ තැන්පත් වන වැලි තමන්ගේ ඉදිකිරීම්වලට යොදාගත්හ. එපමණක් නොව ගංගාවක් යනු ප්‍රවාහනයට යොදාගත හැකි මහඟු සම්පතකි. අතීත ජනතාව එය හොඳින්ම ප්‍රයෝජනයට ගත්හ. පිටාර තැන්නේ මැටි යොදාගෙන උළු ගඩොල් නිර්මාණය කළහ.

 

 

 

 

 

මුදිතා දයානන්ද