​කොරියානු කාන්තාව ගින්නෙන් බේරාගත් ‘මිනිපේ සිංහයා’ සිය රට එයි  

 

 

හසලක රන්දෙණිගල පාරේ මිනිපේ පදිංචි නිමලසිරි මහතා වයස අවුරුදු හතළිහක දෙදරු පියෙකි. ආර්ථික ගැටලු නිසා පිටරටක රැකියාවකට යාමට අපේක්ෂා කළ ඔහු දකුණු කොරියානු රැකියා සඳහා තෝරාගන්නා විභාගයට මුහුණ දුන්නේය. එහි ප්‍රතිඵල සාර්ථක විය.  


 ඒ අනුව 2011 වසරේදී ඔහු දකුණු කොරියාව බලා පිටත් වූවේය. සිය පවුලෙන් වෙන්වී වෙනත් රටක හුදකලා වූ ඔහු සිය රාජකාරිය දේවකාරියසේ ඉටුකළේය. එසේ සිටියදී අනපේක්ෂිත ලෙස මාස නමයක පමණ වීසා කාලයක් ඉතිරිව තිබියදී ඔහුගේ වීසා බලපත්‍රය අතුරුදන් වීමෙන් ඔහු අසරණ වූවේය. එහෙත් අවංක සේවකයෙකු ලෙස ඇපල්වත්තක සේවයට බැඳුණේය.  


 ලංකාවේ ගැමි පරිසරයක හැදුණු සිංහල බොදුණුවෙකු වන නිමලසිරි තුළ ලැගුම්ගෙන තිබූ ආකල්පමය සංවර්ධනය ඔහුගේ රැකියා කාලයේදී උරගා බැලීමේ අවස්ථාවක් උද‌ාවිය.   
ඒ දකුණු කොරියාවේ ගුන්වි ප්‍රදේශයේ නිවසක ගින්නකට මැදිව සිටි අවුරුදු 90 ක් වයසැති කාන්තාවක සිය දිවි පරදුවට තබා බේරා ගැනීමය.  


තමා විවාහකයෙක්ය, දෙදරු පියෙක් ය, තමා එනතුරු පවුලේ අය මග බලා සිටිනවාය. තමා ඉන්නේ වීසා නොමැතිව අනවසරයෙන්ය. නීතියට හසුවීම දඬුවම් ලැබිය හැකි වරදක්ය යන කරුණු කිසිවක් එම මොහොතේ ඔහුට අද‌ාළ නොවිණ. ඒ මහා ගින්නට පැන වියපත් කාන්තාව බේරා ගත්තේ සද්භාවයෙනි.  


 ඇතැම් ලාංකිකයන් කොරියාවට ගොස් කරන නීති විරෝධී ක්‍රියා නිසා රතු ලේබල්ගතව සිටි ලංකාවට යළිත් කීර්තිය උද‌ා වූවේ නිමලසිරි බණ්ඩාර මහතා කළ ඒ උතුම් ක්‍රියාව නිසාය. කොරියන් රජයත්, ජනතාවත් ඔහුගේ එම සද්කාර්ය පැසසුමට ලක් කළේය.  


යහපත් දේ කළොත් යහපත උද‌ාවේ යන්න බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගතය. ඔහුට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දුන්නේය. වීසා නොමැතිව සිටි ඔහුට එම සත්ක්‍රියාව නිසා එරට පුරවැසිභාවය ලබා දීමට තරම් ප්‍රබල වූවේය. එය එවැනි ක්‍රියාවක් නිසා ලාංකිකයෙකු ලද පළමු පුරවැසිභාවය ලෙස ඉතිහාසයට එක්විය.  


 කොරියන් රජය මෙන්ම කොරියන් මාධ්‍ය ද ඔහුට කෘතගුණ දැක්වූවේය. මෙරට සිට කොරියාවට ගොස් සිටි කටුවන විජිතවංශ හිමි ඇතුළු සිංහල පිරිස් ද ඔහුට උදව් උපකාර කළෝය. ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔහු මේ වනවිට කොරියාවේ සිට ලංකාවට පැමිණ සිටින්නේය. මේ ඔහු සමඟ කළ කතා බහකි. 

 
ඔබට කොරියන් පුරවැසිබව ලැබීමට හේතුපාදක වූ පසුබිම් කතාව කුමක්ද?  


2011 වසරේ කොරියන් විභාගය ලියලා මම දකුණු කොරියාවේ රැකියාවකට ගියා. එහෙත් වීසාඑක මාස 9 ක් ඉතිරිව තිබියදී නැතිවුණා. ඒ කාලයේ මම ඇපල්වත්තක සේවය කළේ. දවල්ට කෑමට ටික දුරක් එන්න ඕන. එද‌ා හරියටම 2017.02.10 වෙනිද‌ා. මම දවල්ට කාලා ආපසු ඇපල්වත්ත බලා එමින් හිටියේ. පියුම් මහත්තයා මගෙන් ඇහුවා කෑම කන තැන කවුද ඉන්නේ කියලා.  


මම කිව්වා කොරියන් අය කෑම කනවා කියලා. පස්සේ මම එයාගෙන් ඇහුවා ඇයි කියලා. එයා කිව්වා පහළ ගේ ගිනි ගන්නවා කියලා. මම වැඩට යන එක පැත්තක තියලා එහෙට ගියා. කෑම කකා හිටපු කොරියන් අයත් වාහනවලට නැගලා පහළට ගියා. එතනට ළංවෙන්නත් අමාරුයි. මුළුගේම ගිනිගන්නවා.   


ගෙදර ගෑනු කෙනා කෑගහන්න ගත්තා අම්මා ගේ ඇතුළේ කියලා. මම එයත් එක්ක ගෙට ඇතුළුවෙන්න පුළුවන් පැත්තකට දිව්වා. පිටුපස්ස දොරෙනුයි ඇතුළුවෙන්න පුළුවන් වුණේ. මම ගේ ඇතුළට දුවගෙන ගියා. දොරවල් ඇරගෙන කාමර දෙකකට විතර ගියා. උඩ පිලිස්සුණ සිවිලිම කඩාගෙන වැටුණා. ඒත් මම කොහොම හරි ඒ වයසක අත්තම්මව අරගෙන එළියට පැන ගත්තා.  


 ඒ සිදුවීමෙන් පස්සේ මම දවස් 29ක් රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඒකට හේතු වුණේ ඒ ගෙවල්වල වටේ විතරයි ගල්වලින් බැඳලා තිබුණේ ඇතුළු බිත්ති සෘජුෆෝම්, පැනල්වලින් හදලා තිබුණේ. ඒවා පිච්චුණ කාබන්දුම මගේ පෙණහලුවල පිරිලා. වෛද්‍යවරු කිව්වේ තව විනාඩියක් හිටියානම් මගේ ජීවිතෙත් අවදානම් වෙනවා කියලා.  


මගේ ඇඟ මූණ පිච්චිලා තිබුණේ. දැඩිසත්කාරේ දවස් 6ක් හිටියා. බෙහෙත් කරන කාලේ කොරියන් ආණ්ඩුවෙන් මට ජීවන වීසා එකක් දුන්නා. මගේ රෝහල් බිල ලක්ෂ 19ක් වුණා. ඒවා කොරියන් රජයෙන් ගෙව්වේ. ඒත් මගේ හිතට ලොකු දුකක් තියෙනවා. ලංකාවේ රජයේ මාධ්‍යවල මට කෝටි තුනක මුදලක් දුන්නා කියලා ද‌ාලා තිබුණා. ඒක සම්පූර්ණ බොරු කතාවක්.  


 මේ පාර මට ලංකාවට එන්න වීසා එක විතරයි ලැබුණේ. මුදල් ප්‍රමාණවත් වුණේ නෑ. ගිය අවුරුද්දේ මට වැඩක් කර ගන්න බැරුව අසනීපවෙලා රෝහල් ගතවෙලා සිටි කාලයේ රජයෙන් කළ උපකාර තමයි මෙවරටත් එකතු කරලා ද‌ාලා තියෙන්නේ. ඒක ලොකු බොරුවක්.  


 මට එහෙදි කොරියානු පන්සලේ විහාරාධිපති කටුවන විජිතවංශ හාමුදුරුවෝ ගොඩක් උදව් කරා. තව එහෙ පල්ලියේ අය සහ කොරියන් ජාතිකයන් ගොඩක් උදව් කළා. ඒ අනුවයි මට ඒ රටේ ස්ථීර පුරවැසිභාවය ලැබුණේ. මෙතෙක් දකුණු කොරියානු ඉතිහාසයේ මේ වගේ දෙයක් කළ නිසා පුරවැසි බව ලැබුණු සිංහල ජාතිකයෙක් නෑ.  


 මෙවැනි දෙයක් නිසා පුරවැසි බව ලැබුණු පළමු සිංහල ජාතිකයා මම. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මේ සිදුවීම පිළිබඳ එ් රටේ ලොකු පිළිගැනීමක් ලැබුණා. එය මාධ්‍ය ජාලවල විකාශය කෙරුණා. දවස් 2 ක් තිස්සේ ප්‍රසිද්ධ කරලා ලොකු උත්සවයක් තියලා තමයි මට එරට පුරවැසි බව ලබා දුන්නේ.  


මෙම ක්‍රියාව නිසා ලංකාවට ලැබුණු ගෞරවය කෙබඳුද?  


මේ කාලය වනවිට ලංකාවේ නම රතු ලේබල් වෙලා තිබුණේ. ඒ රටට ගිහින් විවිධ අයථා දූෂණ කටයුතුවල නිරත වූ ලාංකිකයෝ සිරගතවී සිටින අවස්ථා තිබෙනවා. ඒ දේවල් නිසා ලංකාවට දෙන රැකියා අවස්ථාවලට පවා බලපෑමක් වෙලා තිබුණා. මට තේබු කියන පල්ලියේ සාමාජිකයා පවා පැවසුවේ  


‘මේ වෙලාවේ ලංකාවේ නම කොරියාවේ රතු ලේබල්වෙලා යටටම ගිහින් තිබුණේ. උඹ කරපු දේ නිසා ලොකු ගෞරවයක් එකතු වුණා කියලා.’  

 


ඒ වගේම කොරියන් කම්පැණිවලට සේවකයන් ගන්නකොට මේ සිදුවීම නිසා ලංකාවට විශේෂත්වයක් හිමිවෙලා තිබෙනවා. මෙය ලාංකිකයෙක් විදියට හිතට ලොකු සතුටක් ගෙන දෙන්නක්. හේතුව මෙය පෞද්ගලික දෙයක් නෙවෙයි. මගේ රටට පොදුවේ ලැබුණු ගෞරවයක්.  


පසුගිය කාලයේ යම් යම් මිනීමැරුම් සිද්ධි වාර්තා වුණා. ඒවා බලා හිටිය පිරිස වීඩියෝ කරලා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කළා. ඒත් ඔබ ගැටලු රැසක් ඇති අයෙකු වෙලත් ජීවිත අවදානම පවා නොතකා නොදන්නා පුද්ගලයෙකු බේරාගත්තා. මේ ආකල්පමය වෙනස දෙස ඔබ බලන්නේ කොහොමද?  


මම මේ සිදුවීම වන විට වීසා එකක් නැතිවයි හිටියේ. කොරියන් නීතියට අනුව එය බරපතළ වරදක්. එවැනි පසුබිමක් තියාගෙනයි මම ඒ අත්තම්මව බේරාගන්න කටයුතු කළේ. ඒ වෙලාවේ මට හිතුණේ මෙය මිනිස් ජීවිතයක් නේද කියලා විතරයි.  


ගේ ඇතුළට ගිහින් එන්න පුළුවන් වෙයිද? ලංකාවේ සිටින මගෙ පවුල මම නැතිවුණොත් ඔවුන් ජීවත්වෙන්නේ කොහොමද යන ප්‍රශ්න හිතට කරදර කළේ නෑ.  
මම සිංහල බෞද්ධයෙක්. තවත් කෙනෙකුට කරදරයක් වෙලා තියෙද්දී බලාගෙන ඉන්න තරම් දුර්ජන වෙන්න බෑ. ඒකට තමයි මනුස්සකම කියන්නේ. ඒ වෙලාවේ මට කළ හැකි වූ දේ මම කළා.  


 ඒ වගේම මම කියන්න ඕන මේ සිදුවීමට පෙර මම කවද‌‌ාවත් ඒ අත්තම්ම දැකලා තිබුණේ නෑ. ඒත් ඒ අත්තම්මාත් ප්‍රාණය ඇති කාගේ හෝ අම්මෙක්. මම මගේ සියලු ප්‍රශ්න අමතක කරලයි තප්පරයක්වත් පරක්කු නොවී එ් අත්තම්මව බේරාගත්තේ.  


 දැන් වුණත් ඒ අත්තම්මා දැක්කම මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මෙය මට මැරෙනතුරුම මානසික සතුටක් ලබා දෙන්නක්.  


ලංකාවෙන් විවිධ ක්‍රමවලට පිටරට රැකියාවලට යන ඇතැම් අය නීති වි​ෙරා්ධී දේ කර ලංකාවේ නම අපකීර්තියට පත් කරනවා. ඔවුන්ට සහ එය රැකියාවලට යාමට අපේක්ෂාවෙන් සිටින අයට ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?  


ලංකාවේ සිට වගේම අන් රටවල සිට එන විදෙස් ශ්‍රමිකයන් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ඒ රටවල බොහෝ පිරිසක් තුළ නැහැ. අවබෝධයෙන් බලන කෙනෙක් විතරයි මිනිසුන් හඳුනා ගන්නේ. ඒත් අපි රටකට ගිහින් රැකියාව කරන අතරේ අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව ආරක්ෂා කරගෙන අවංකව කටයුතු කළ යුතුයි. මට කීර්තිය ලැබුණේ ඒ නිසයි.  
මාධ්‍ය විශාල ප්‍රමාණයක සිංහලයකු වන මා ගැන ප්‍රචාරය කළා. ඉන් අපේ රටට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. එය අපට එරට රැකියා අවස්ථා වැඩිවීමට හේතු පාදක වෙනවා. ලංකාවේ මිනිස්සු මේ වගේ කියන හොඳ ප්‍රතිරූපයයි අපි පෙන්වන්න ඕනෑ. මේ සිද්ධිය නිසා ඔවුන් පුදුමාකාර කෘතගුණ දැක්වීමක් කළේ. 

 
ලොකු ජාත්‍යන්තර පිළිගැනීමක් මේ තුළින් රටට ලැබෙනවා.  


මෙවන් වූ ගෞරවයක් අරගෙන ලංකාවට ආ ඔබට ලැබුණු දේ මොනවාද?  


පසුගිය වසරේ මම ලංකාවට එන්න ඉස්සෙල්ලම මට කෝටි තුනක් ප්‍රද‌ානය කරපු කතාවක් ප්‍රචාරය කළා. එය සම්පූර්ණ බොරුවක්. ලොකු කලකිරීමක් ඇතිවුණේ. ඒ නිසා මේ පාර නිහඬවම ලංකාවට ආවා.  


 ලංකාවේ විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍යාංශයක් තියෙනවද කියලාවත් මම දන්නේ නැ. මම කළ ක්‍රියාව පිළිබඳ කිසිම අගය කිරීමක් සිදුකළේ නෑ. කොරියාවේදී මම නිසා ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් ලැබුණා. ඒ මිනිස්සු ඒ ක්‍රියාව ගොඩක් අගය කළා. ඒකම ඇති. ලංකාවේ පසුබිම පිළිබඳ ඇත්තේ කලකිරීමක් පමණයි.  


ඔබ ආපහු කොරියාවට යනවද?  


 මගේ තාත්තා ගොඩක් අසනීපයි. රෝද පුටුවේ යන්නේ. මම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලිය යුතුයි. ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා. තාම හරියට ගෙයක් දොරක්වත් හද‌ාගෙන නෑ. මෙවර ලංකාවට ආවෙත් තාත්තා නිසා. මම ජීවත්වෙලා ඉද්දී තාත්තට සලකා ගන්න බැරි වුණොත් එය මටත් කණගාටුවක්. මේ වෙලාවේ පළමුවෙනි කරුණ ඔහුගේ අසනීපයයි. මගේ දරුවෝ දෙන්නත් පාසල් යනවා. මේ ප්‍රශ්න විසඳාගෙනයි ආපසු යාම පිළිබඳ තීරණය කරන්නේ. 

 

 

සටහන - කුමාරි හේරත්