බෝ නොවන රෝගයන්ගෙන් මුළු ලොවම වෙළී ඇති බව නොරහසකි. දියවැඩියාව ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයකි.
ධනවතුන්ගේ රෝගයක් ලෙසට එදා හැඳිනගෙන තිබුණ දියවැඩියාව අද වන විට වයස් භේදයක්, තරාතිරමක් නොමැතිව පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන්ම හටගන්නා රෝගයක් බවට පත්ව තිබේ.


ආයුර්වේදයට අනුව මෙම රෝගය හඳුන්වන්නේ මධුමේහ රෝගය ලෙසය.


එදිනෙදා අප ගනු ලබන ආහාරපාන මෙන්ම වැරදි ඉඳුම්හිටුම් හා පැවැත්ම ආයුර්වේදයේ සඳහන් විසි වැදෑරුම් ප්‍රමේහ රෝගයන් ඇති වීමට හේතූන් ලෙස හඳුනාගෙන තිබේ.


දියවැඩියාව නමින් පොදු ව්‍යවහාරයේ ඇති රෝගය උදක මේහය ලෙසත්, මූත්‍රා සමඟ සීනි පිටවීම ඉක්ෂුවේගය ලෙසත් ආයුර්වේදයේ හැඳින්වේ.


මුත්‍රාගතව ඇති සීනි මෙන්ම රුධිරගත සීනි ප්‍රමාණය වැඩිවීමෙන් ජනතාව මෙම රෝගයට ගොදුරු වේ.
රෝගයෙහි අවස්ථා තුනකි.


1. ප්‍රචණ්ඩ අවස්ථාව
2. ජීර්ණ අවස්ථාව
3. නවෝත්භූත අවස්ථාව


ස්ථූල ශරීරයක් ඇති තරුණ අවස්ථාවේදී ඇති වන මධුමේහ අවස්ථාව ප්‍රචණ්ඩ අවස්ථාව ලෙසත්, වා, පිත්, සෙම් තිදොස කෝපවීමෙන් හට ගන්නා ශරීරය ක්ෂය තත්ත්වයට පත්වන අවස්ථාව ජීර්ණ අවස්ථාව ලෙසත්, හදිසියේ හට ගන්නා රෝගී තත්ත්වය නවෝත්භූත අවස්ථාව ලෙසත් ආයුර්වේදයේ සඳහන්ය.


මීට අමතරව අධික රුධිර පීඩනය ඇතිවිටත්, මානසික ආඝාතය ඇතිවිට සහ ගැබිනි අවස්ථාවලදී රුධිරගත සීනි වැඩිවුවහොත් එම රෝග සුවවීමත් සමඟ මධුමේහය සුවවේ.


රෝගය හඳුනා ගැනීම
වර්තමානයේ මධුමේහය රෝගය පරීක්ෂා කිරීම සඳහා මිනුම් භාවිතා කළද, අතීතයේදී පංචේද්‍රි පරීක්ෂාව හා කුහුඹුවන් වැනි සතුන්ගෙන් රෝගී තත්ත්වය පරීක්ෂාවට ලක්විය.


රෝගය ඇතිවීමට බලපාන හේතු
● සිරුරේ සජත ධාතු ක්ෂය වීම
● පිත් සෙම් රෝග හට ගැනීම
● පමණ ඉක්මවා ආහාර ගැනීම
● ව්‍යායාමයන්ගෙන් තොරවීම
● නිතර නිතර බඩගිනි ඇතිවීම (මෙය කපුටු ගින්න ලෙස හැඳින්වේ)


රෝග ලක්ෂණ
ශරීරය දුර්වල වීම
අධික පිපාසය
නිතර නිතර මුත්‍රා පිටවීම
අත් පා හිරි වැටීම
ශරීරයෙන් නොයෙකුත් වේදනාවන් ඇතිවීම
ශරීරයේ බිබිලි ඇති වීම
ඇස් පෙනීම දුර්වලවීම සහ ඇසේ සුද ඇතිවීමට පුළුවන
ලිංගික දුර්වලතාවය
මල බද්ධය
නාඩි පීඩා ආදී උපද්‍රව හට ගත හැකිය


මධුමේහයෙන් පෙළෙන ගර්භණී මවුවරුන් හට බර වැඩි දරු උපත් ඇති විය හැකි බැවින් ඔවුන් එම කාලය තුළ පරිස්සම්වීම ඉතාම වැදගත්ය.


මෙම රෝගය සිරුරේ සජත ධාතු ක්ෂයවීම නිසාත්, පිත් සෙම් අවරෝධය නිසාත් හටගන්නා අතර, සෙම් පිත් අවරෝධ ඉවත් කළ පසු රෝගය සුවපත් විය හැක. කෙසේ වුවද පමණට වඩා ගනුලබන ආහාරපාන, ව්‍යායාමයෙන් තොරවීම රෝගය හටගැනීමට ප්‍රධාන වේ.
ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ මෙලෙසින් රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස්වීම ඇතිවන්නේ ගනුලබන ආහාර පමණ ඉක්මවා ගැනීම හේතුවෙන් අක්මාව කරා ගෙනයනු ලබන ආහාර රසය (ඖෂධ) නියමිත අවස්ථාවන්ට නොපැමිණීමය.


සාමාන්‍යයෙන් නිරෝගී මිනිසෙකුගේ (අභ්‍යන්තර ඉන්ද්‍රිය තුළ) අග්න්‍යාසයේ ඉන්සියුලින් වහනයවීමෙන් රුධිරය මගින් ක්‍රියාශීලී බව ඇති කරනු ලැබුවද, මෙම ඉන්සියුලින් වහනය නොවීමෙන් වෙහෙසට පත් වූ අග්න්‍යාසය ක්‍රියා හානිවී, සිරුරේ පිටවන මුත්‍රා මෙන්ම රුධිරයේ සීනි එක්වීමත් අධික ලෙස මුත්‍ර පිටවීමත් සිදුවේ.


ලේවල සීනි වැඩිවීමේදී වකුගඩු මාර්ගයෙන් පිට කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය (රුධිරය එක්වන පදාර්ථ) වැඩිවී මුත්‍රා සමඟ පිටව යයි. එවිට ජලය අධිකව පිටවීම නිසා මළ බද්ධය ද ඇතිවේ.


තවද අධිකව ඇති සීනි, මුත්‍ර සමඟ පිටවීමට ජලය අවශ්‍ය වන අතර, එම පරිවෘත්තිය ක්‍රියාදාමයේදී රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි.
එවිට රුධිරයේ කොපමණ සීනි තිබුණද ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය අඩුවේ. ඒ නිසාම රෝගියා අප්‍රාණිකවීම සිදුවේ.
වැඩිපුර අනුභව කරන පිෂ්ඨ ආහාර ප්‍රයෝජනය නොවන අතර, නිතර බඩගිනි ද ඇතිවේ.


රෝගය ජීරණ අවස්ථාව වන විට ස්වසන ක්‍රියාව වෙසන්වීම් ඇති වන අතර, වාතය ලබා ගැනීමට තද ආසාව ඇතිවේ. ආශ්වාස, ප්‍රශ්වාසයේදී ඇසිටෝන් ගතිය (ඇපල් සුවද) වහනය වේ. මාංශ පේශි ලිහිල් බව, හෘද ගැස්ම වැඩි බව, ඇස් පෙනීමේ දුර්වලතා රෝගියාට දැනෙන අතර, රුධිර පීඩනය අඩුවීමක් ද සිදුවේ. මෙහිදී සුදුරුධිරානු ඉහළයාමක් සිදුවිය හැකිය. ලේවල අම්ල අධිකවීම නිසා, රක්ත ද්‍රව පදාර්ථ සමඟ ඇති පොටෑසියම් අනුරක්තය තුළට එකතුවේ.


මෙහිදී රුධිර ශර්‍කරා, අම්ල ප්‍රතිකාරවලින් සුවය ලැබුවද පොටෑසියම් ඌනතා නිසා මාංශ පේශි අප්‍රාණිකවී, අම්ල අධිකවීම නිසා ඔක්කාරයත්, ඔක්කාරය නිසා විජලනයත් ඇති වීමට හේතු වේ.


අම්ල ප්‍රතිකාරවලින් සුවය ලැබුවද, පොටෑසියම් නමැති ලවන නොමැතිවීමෙන් රෝගියා මියයා හැකිය.


එහෙත් සහජ විකෘතිවලදී වකුකඩු කරා පදාර්ථ සංඛ්‍යාව අඩුවී නම් සීනි පිට නොවේ. මෙය ඉක්ෂු මේහය ය.


මෙම මධුමේහ රෝගයට ප්‍රතිකාර කිරීමේදී රුධිර සීනි මට්ටම අඩුවීම සිදුවන අතර, දහදිය දැමීම, සුදුමැලිවීම, හිසරදය, උදරයේ අපහසුතා, වෙව්ලීම, අත්පා සීතලවීම, සීනි නැතිවීම් තත්ත්වයන්ටද පත්විය හැකිය. එබැවින් ප්‍රතිකාර ලබා ගැනීමේදී පරෙස්සමෙන් හා ඉතා කල්පනාකාරීව ප්‍රතිකාර කළ යුතු අතර, වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් උචිතය.

 


මධුමේහ රෝග ප්‍රතිකාර
රෝගය හට ගැනීමට පෙර, රෝගය වැලඳීම වළක්වා ගැනීම පහසුය. ආහාර පාලනයත්, සුදුසු ව්‍යායාමයක නිරතවීමත්, රෝග පාලනය වෙනුවෙන් ගත හැකි සරල ක්‍රමයකි. (මෙම ක්‍රමයන්ගෙන් බැහැර වීමෙන් ඖෂධ ප්‍රයෝගයන්ට යොමුවීමට සිදුවේ)
රෝගයේ ස්වභාවය අනුව අධික බඩගිනි ඇති වෙන බැවින්, බර ආහාර ගැනීම ඉතාම උචිතය. (රතු නිවුඩු හාල්, කුරක්කන්, පරලු පාන් ආදිය)


මධුමේහයේදී දීර්ඝකාලීනව ප්‍රතිකාර ගැනීම සුදුසු නොවන අතර, සුවය ලද පසු ක්‍රමයෙන් ආහාර පාලනය කර ව්‍යායාම පුරුදු මගින් රෝග පාලනයට අවධානය යොමු කර ගත යුතුය.


1. කෂාය
● අළු කෙසෙල් අල
● බැබිල මුල්
● කොතලහිඹුටු
● නෙල්ලි
● සුදුහඳුන්
● ගොකටු මුල්


කලං දෙක බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ පෙරා උදේ සවස පානය කිරීම සුදුසුය.
● ත්‍රිපලා ක්වාතය වරකට මේස හැදි 2 බැගින් පානය කිරීමද,
● ත්‍රිපලා පෙති දෙකක් නීරමුල්ලිය, පොල්පලා තැම්බූ වතුරෙන් පානය කිරීමද යෝග්‍ය ය.
● දිනපතා උදෑසන ළපටි බෙලි කොළ කොටා වණ්ඩුවේ තම්බා, මිරිකා දිනකට දෙවරක් බීමද ඉතාම සුදුසුය.


2. කෂාය
අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට, දියමිත්ත, කලාඳුරු, මාදංපොතු, වියළි කහ, වෙනිවැල්ගැට, කලං 1 මංචාඩි 7 බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ පෙරා මී පැණි දමා බීම ප්‍රමේහ රෝගීන්ට සුදුසුය. (දින 8ක්)
මේ කෂාය සමඟම, මධුමේහ හරණි ක්වාතය මේස හැඳි 2 බැගින් දහවල් රාත්‍රී ආහාරයෙන් පසු බීම යෝග්‍ය ය.
උදේ 10ත්, සවස 4ටත්, චන්ද්‍රප්‍රභාවටී 2ක් බෙලිකොළ, තුඹමුල් වතුරෙන් පානය කරන්න.
රාත්‍රී නින්දට පෙර ත්‍රිපලා චූර්ණය තේ හැදි 1ක් උතුරන වතුර කෝප්පයකට දමා වසා තබා නිවුණ පසු බීමද සුදුසුය.

 


3. කෂාය
කිරාත, අරළු, බුළු, නෙල්ලි, වියළි කහ, වෙනිවැල් ගැට, මාදං පොතු, බෙලිකොළ
කලං එකහමාරක් (1 1/2) වතුර පත 8 - 1ට සිඳ පෙරා දින 8ක් පානය කිරීම මධුමේහ රෝගීන්ට සුදුසුය.

 


උදේ සවස පානයට
ඉඟිනි ඇට, කොහොඹ පොතු, නෙල්ලි, වෙනිවැල්ගැට, නිදිකුම්බා, අඹ ඇට මද, කලාඳුරු අල, කෂාය.