විවාහ දිනයේදී

 

ආදරය පුදුමාකාර දෙයකි. ආදරය වෙනුවෙන් නොකළ හැකි දෙයක් ද නොමැති තරම්ය. ආදරයේ නාමයෙන් දිවි පිදූවන් පිළිබඳව ද විවිධ කතා කියැවෙන්නේ අතීතයේ සිටමය. ඇතැම් කතා අදට ද අමරණීය කතා වස්තූන් වේ.   


එවැනි කතා සිහිපත් කරවමින් තම ආදරණීය බිරිඳගේ වියෝවෙන් දිවි පිදූ සැමියෙකු පිළිබඳව ශෝචනීය කතා පුවතක් පසුගිය සතියේ කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.   


කලකට පෙර රිය අනතුරකට ගොදුරුව ඔත්පලව සිටි තම ආදරණීය බිරිඳ මියගිය පුවත ඇසීමෙන් ශෝකය වවාගත නොහැකිව සැමියා වූ ​ගොකරැල්ල පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල් කේ.ජී. විමලරත්න මහතා (48) එසේ සිය දිවි හානි කරගෙන තිබුණි. තම රාජකාරි කටයුතු සඳහා නිකුත් කළ පිස්තෝලයෙන්ම ඔහු තම හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබුණි. ඒ පසුගිය සිකුරාදා (25) රාත්‍රී හතට පමණ ගොකරැල්ල පොලිසියේ තනිකඩ හට නිවස්නයේ ඇඳක් මතදීය.   


විමලරත්න මහතා දිවි හානි කර ගෙන තිබුණේ ආදරයේ නාමයෙනි. ජීවිතයේ එකට සිටි ආදරණීය බිරිඳගේ වියෝව දරා ගත නොහැකිවය.  


පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව 1993 වසරේ දී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වන විමලරත්න මහතා ගෙවී ගිය කාලය තුළ උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ රැසක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළේය.   

 

විමලරත්න - නිල්මිණි පොලිස් නිල ඇඳුමෙන්

 

ඔහුට තම දිවි මගේ සහකාරිය වූ කේ. කේ. නිලන්ති මහත්මිය දෛවෝපගත ලෙස හමුවන්නේ අම්පාරේ ප්‍රදේශයේ පොලිසියක සේවයේ යෙදී සිටියදීය. නිලන්ති ද වෘත්තියෙන් පොලිස් කොස්තාපල්වරියකි.   


දිගු කලක ප්‍රේම සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට පත්වන විමලරත්න සහ නිලන්ති දිවයිනේ පොලිස් ස්ථාන කීපයකම එකට එක්ව රාජකාරි කරමින් සිටිය දී දරුවන් තිදෙනෙකුගේ දයාබර දෙමාපියන් වීමේ වාසනාවට ද උරුමකම් කියූහ.   


පොලිස් රාජකාරිය යනු අවිවේකී දිවා රාත්‍රී නොබලා ඉටු කළ යුතු වන රාජකාරියකි. එබැවින් දෙදෙනාගේ අවිවේකී කාර්යබහුල රාජකාරිය නිසා නිලන්ති සිය සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ මීට වසර හයකට පමණ ඉහතදීය.   


ඔවුන් දෙදෙනාම එක්ව මේ තීරණය ගනු ලබන්නේ තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසාය. තම සැමියා පොලිස් රාජකාරියේ නිතර වෙද්දී නිලන්ති දරුවන්ගේ කටයුතු සඳහා වෙහෙසුණේ පොලිස් නිල ඇඳුම සදහටම ගලවා තබාය.   


මේ දරු පවුල සැබැවින්ම ආදරණීය දරු පවුලක් විය. විමලරත්න මහතා යහපත් පොලිස් නිලධාරියෙකු සේම යහපත් සැමියෙකු සහ යහපත් පියෙකු ද විය. මේ පවුලේ ආදරය සමගිය දෝරේ ගලා ගියේය. විමලරත්න මහතා තම බිරිඳට ද දරුවන්ට ද දැඩි ලෙස ආදරය කළ අයෙකු ලෙස කා අතරත් ප්‍රකටව සිටි අයෙකි.   


විමලරත්න මහතාට ත්‍රීරෝද රථයක් තිබුණි. බිරිඳ නිලන්තිගේ ගම් පෙදෙස තංගල්ලේ වූ බැවින් ඇගේ දෙමාපියන් බැලීම සඳහා විමලරත්න මහතා වරක් තම බිරිඳ හා දරුවන් සමග ත්‍රීරෝද රියෙන් තංගල්ලට ගොස් ඇත. ඒ මීට වසර හතරකට පමණ ඉහතදීය.   


ඒ ගමන නිලන්ති දෙපයින් නැගී සිට ගිය අවසාන ගමන සේම මේ ආදරණීය පවුලේ ඉරණම තීරණය කළ ගමන ද විය.   

 

අසරණ වූ දරුවන් තිදෙනා

 

තංගල්ලේ ​ගොස් ආපසු එන ගමනේ දී විමලරත්න මහතා පැද වූ ත්‍රීරෝද රථය අනතුරකට ගොදුරු වන්නේ නිලන්ති මහත්මිය සදාකාලික ආබාධිත තත්ත්වයකට පත් කරවමින්ය.   


එම අනතුරෙන් විමලරත්න මහතා සමග දරුවන් සුළු තුවාල ලැබුව ද සුෂුම්නාව බිඳීයාම හේතුවෙන් නිලන්ති මහත්මියගේ ඉණෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත් වූයේ කිසිවෙකුත් නොසිතූ අයුරින්ය.   


තම ආදරණීය බිරිඳ තමා පැද වූ රියෙන්ම අනතුරකට ලක්ව මෙසේ සාදාකාලිකවම ආබාධිත වීම විමලරත්න මහත​ාට දැරිය නොහැකි කරුණක් වී තිබුණි. විශේෂයෙන්ම ඔහු රථ වාහන අංශයේ සේවය කළ පොලිස​් නිලධාරියෙකු වූ නිසාම ඔහුගේ මනසට මෙම අනතුර තදින්ම බලපා තිබූ අතර ඔහු නිතරම ඒ පිළිබඳව වේදනාත්මක හැඟීම් තම පොලිස් මිතුරන්ට ද කීවේය.   


කොතරම් ප්‍රතිකාර කළ ද බිරිඳ සුව අතට පත් වන බවක් දක්නට නොලැබීම ඔහුගේ සිටත දැඩි ලෙස වේදනාවක් ගෙන දුන් කරුණක් වී තිබුණි. තමන් දැඩි ලෙස ආදරය කළ බිරිඳ රෝද පුටුවක් මතට වී කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව සිටීම ඔහුගේ හදවත දවන්නක් වී තිබුණි.   


මේ විපත්තියෙන් බිරිඳ ගලවා ගැනීම සඳහා ඔහු කළ හැකි උපරිමය කළේය. සොයා නොගිය වෛද්‍යවරයකු රටේ නොවූ තරම්ය. මෙවැනි රෝගී තත්ත්වයක් සුවපත් කිරීම සඳහා දක්ෂ වෛද්‍යවරයකු රටේ කුමන ස්ථානයක හෝ සිටී දැයි ඔහු දැනගත්තද කාලය, වේලාව, දුර නොබලා ඔහු එම වෛද්‍යවරයා සොයා ගියේය. නමුත් ඒ සෑම වෛද්‍යවරයකුම පැවසුවේ නිලන්ති මහත්මියගේ බිඳී ගිය කොන්ද නැවත සුවපත් කළ නොහැකි බවය.   
මෙය විමලරත්නට දරා ගත නොහැකි වේදනාවකි. වැඩිමහල් දියණිය ජනනි පියුමිකා (13), දෙවැනි දියණිය දිනිති මදාරා (9) සහ එකම පුතු සිතුම් අකලංක (6) රම්බොඩගල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කුඩා දරුවෝ වූ බැවින් ඔවුන්ගේ කටයුතුවල සේම නිවසේ කටයුතුවල බර ද විමලරත්නගේ කර මත සම්පූර්ණයෙන් පැට වී තිබුණි. මේ සියලු කටයුතු සඳහා විමලරත්නගේ මවගේ සහ ඥාතීන්ගේ සහාය ද ලැබීම ඔහු ලද මහත් අස්වැසිල්ලක් විය.   


එනමුදු රාජකාරියට යාමට ප්‍රථම දරුවන් කවා පොවා පාසල් යවා බිරිඳට අවශ්‍ය සියලුම සාත්තු සප්පායම් කිරීම ඔහුගේ දින චර්යාවේ නොවරදාවාම සිදු කළ අංගයක් විය.   

 

වැඩිමල් දියණිය පියුමිකාට පොලිස්පතිවරයා හමු වූ අවස්ථාව.

 

තාත්තා අම්මාට පුදුම ආදරයකින් හිටියේ. අම්මාට කරන සාත්තු සප්පායම් වැඩ ගොඩාක්ම කළේ තාත්තා. තාත්තා සමහර වෙලාවට අම්මා දිහා බලාගෙන අඬනවා අපි දැකලා තියෙනවා. අන්තිම දවස් ටිකේ අම්මාට ගොඩාක් අමාරු වුණා. මොනවත් කන්න බොන්න බැරි තරමටම අම්මාගේ අසනීපය වැඩි වුණා. අන්තිම දවසේ අම්මාට වතුර පෙවෙන්නෙත් නැති තරමට ගොඩාක් අමාරු වුණා. මේ තත්ත්වය දැකලා තාත්තා හරියට දුක් වුණා.   
එදා තාත්තා වැඩට ගියෙත් හරිම දුකෙන්. අම්මා දිහා බලා ඉන්න බැහැ කියලා තාත්තා ඇඬුවා. තාත්තාට එදා රාත්‍රියේ තමයි පොලිසියේ වැඩ තිබුණෙ. තාත්තා හවස ගෙදරින් ගියාට පස්සේ තමයි අම්මා නැති වුණේ. ඒ ගැන තාත්තාට පණිවිඩයක් දුන්නාට පස්සේ තමයි තාත්තා මේ කරදරය කරගෙන තිබුණේ. ඒත් තාත්තා මෙහෙම දෙයක් කර ගනී කියලා අපි කවුරුවත්ම සිතුවේ නැහැ. දැන් අපි තුන්දෙනාට අම්මයි තාත්තායි දෙන්නම නැහැ.  
මේ දෙමාපිය වියෝවෙන් අසරණව වැඩිමල් දියණිය පියුමිකා හඬමින් පැවසූ දෙයයි.   


බිරිඳට දැක් වූ අසීමිත ආදරය හමුවේ දුර දිග නොබලා ගත් මේ ක්ෂණික තීරණය හේතුවෙන් කුඩා දරුවන් තිදෙනෙකුම මාපිය රුකවරණය නොමැතිව අද දිවි මග තනි වී සිටිති.   


තම ගම් ප්‍රදේශයේම පිහිටි පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරියෙකු සිදු කර ගත් මේ විපත ඇසූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද විමලරත්න මහතාගේ අවමඟුලට සහභාගි වීමට ඊරියගොල්ල ගමට ගියේය.   


එහිදී විමලරත්න යුවළගේ දරුවන් පිළිබඳව සියලු තොරතුරු විමසා බැලූ පොලිස්පතිවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සඳහා පොලිස් අරමුදලින් ආධාර උපකාර ලබා දෙන බවට පොරොන්දු විය.   


​ෙම් අතර දරුවන් තිදෙනාගේ භාරකාරීත්වය සඳහා නිල්මිණි මහත්මියගේ තංගල්ලේ වෙසෙන සමීපතම ඥාතියෙකු ඉදිරිපත් වී සිටින බව ද වාර්තා වේ. එසේ වුවද දරුවන් තිදෙනෙකුගේ අනාගතය වෙනුවෙන් කළ යුතු බොහෝ දේ ඇති බැවින් ඒ සඳහා උදව් උපකාර කිරීම සඳහා පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වන්නේ නම් එය මහත් වූ පුණ්‍ය කර්මයක් වනු ඇත.   


විමලරත්න යුවළගේ දේහයන් එකම අවස්ථාවක ඊරියගොල්ල පොදු සුසාන භූමියේ එකම ස්ථානයක පසුගිය 28 වන දින මිහිදන් කරනු ලැබීය.

 

 

 

 

 

 

 

 

සේයාරූ සහ සටහන :
පුෂ්පකුමාර ජයරත්න