විද්වත් හමුව

කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ 
හිටපු කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ 
අතුල පෙරේරා 


වී වගාව මෙරට සංස්කෘතිය, දේශපාලනය සමාජ මූලයන්ගෙන් එකිනෙකට බද්ධ වී ඇති කර්මාන්තයකි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා වී වගාවේ නිරත වන අතර වී වගාව පවත්නා යැපීම් මට්ටමේ සිට ගොවීන්ට උපරිම ලාභයක් ලැබිය හැකි ලෙස දියුණු කරන අන්දම ගැන විද්වතකුගේ අදහස් මෙසේ පෙළගස්වමු. 


ප්‍රශ්නය:- වී වගාවේ වත්මන් තත්ත්වය ඔබ මුලින්ම විග්‍රහ කරන්නේ කෙසේද? 


පිළිතුර:- කාලයත් සමග බොහෝ දේ වෙනස්වෙලා. වී වගාව අර්බුදකාරී කාල වකවානුවක ඇති බව කියන්න පුළුවන්. 


ඒ කාලේ මාර්තු 15 වහිනවා. ඒකට කියන්නේ රබර් කොළ පිටාරේ කියලයි. වැස්සට වැටිච්ච රබර් කොළ ගිහින් කානුවල හිරවුණ නිසා. ඒ වැස්සට අපි කිව්වේ තිස්දොහේ වලාව කියලා. සිංහල අවුරුද්ද වෙනකම් වහිනවා.

අවුරුද්දට කලින් බොහෝ ප්‍රදේශවල කුඹුරු අස්වද්දල ඉවරයි. ඒත් අද මේ වී කර්මාන්තයට වර්ෂා ජලය නොවන්නට, අධික සේවක කුලී, වෘත්තීය ගොවීන්ගේ අඩුව, වගාවට වඩා වෙනත් වෘත්තීන්ට

 

ප්‍රශ්නය:- වී වගාව සම්බන්ධයෙන් ඇති ආසන්නතම ප්‍රතිශතාත්මක දත්තයන් කවරේද? 


පිළිතුර:- ලංකාවේ හැම කෘෂි දේශගුණික කලාපයකම වී වගා කරනවා. තනි භෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් වෙන්වී ඇත්තේ වී වගාවටයි. එය මුළු කෘෂි බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ. කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට 10% දායකත්වයක් දරන අතර රටේ ශ්‍රම බළකායෙන් 27% කෘෂිකර්මාන්තයේ නියැළුණ පිරිස්. සෘජු හෝ වක්‍ර ලෙස වී වගාව ආශ්‍රිත රැකියාවල නිරත වූවන්ගේ සංඛ්‍යාව මීට දෙවසරකට පෙර ලක්ෂ 25 කට ආසන්න වූ බව ගණන් බලා තිබුණා. 


ප්‍රශ්නය:- බොහෝ දෙනා කියන කතාවක් තමා තමන් වපුරලා හාල් නිපදවා ගන්නවාට වඩා කඩෙන් හාල් සල්ලිවලට ගන්න එක ලාභ බව. මෙවැනි මතවාදයක් ඇති වීමට හේතු වුණේ කුමක්ද? 


පිළිතුර:- වී ගොවිතැනින් ලැබිය යුතු නිසි ඵලදාව නෙළා ගැනීමට ඇති අනවබෝධය මීට හේතු විය හැකිය. ඇතැම් පොහොර හා වල්නාශක භාවිතය තුළින් ඇතිවන වල් පැළ නිසා ඵලදාව අඩු වන්නට පුළුවන්. දැන් වියළි කලාපයේ දක්නට ලැබෙන යෝධ නිදිකුම්බා අපේ කාලේ තිබුණේ නැහැ. දැන් ඇමෙරිකාව වගේ රටවල හයිබ්‍රිඩ් වී වර්ග තියෙනවා. අක්කරයකින් ලබා ගත හැකි වී බුසල් සංඛ්‍යාව හිතාගන්නවත් බැරි ගාණක්. 


 අපි තාම ඒ තාක්ෂණයට යොමු වුණේ නෑ. අවම ඵලදාවත් එක්ක වවනාවට වඩා හාල් කඩෙන් ගන්න එක ලාභයි කියන්නේ ඒකයි. පොහොර, බීජ සහ රෝපණ ද්‍රව්‍ය කෘමි නාශක, වල් නාශක සාර්ථක වගාවකට අත්‍යවශ්‍ය සාධක. සේවක හිඟය හා අධික කම්කරු ගාස්තු, කෘෂි යෙදවුම් නිසියාකාර ප්‍රමිතියකින් නොවීම නිසා නිෂ්පාදන මිල ඉහළ ගොස් තිබෙනවා. 


 කෙසේ නමුත් වියළි කලාපයේ වැව් ජලයෙන් කුඹුරු කරන වී ගොවීන් පාඩු ලැබූ බවක් අපට අසන්නට ලැබුණේ නැහැ. ඔවුන්ට එය අතිශය ලාභදායි ව්‍යාපාරයක්. 


ප්‍රශ්නය:- ලාභයක් ලද නොහැකි නිසා තරුණ පරපුර විශාල වශයෙන් වී ගොවියාගෙන් ඉවත් වීමක් දක්නට ලැබෙනවා නේද? 


පිළිතුර:- පොළොන්නරුවේ කළ ගවේෂණයකින් පෙනීගොස් තිබෙනවා වී ගොවීන්ගෙන් 54.4% ක් වයස 50 ඉක්ම වූ අය බව. අවුරුදු 20-30 අතර ගොවීන්ගේ ප්‍රතිශතය 5.1% ක්. 2007 සමීක්ෂණයකින් හෙළිවුණේ ගොවීන්ගෙන් 16% ක් වයස 64 ඉක්ම වූ අය බවයි. එ්ත් තරුණයන් අතර විරැකියාව බහුලව තිබෙනවා. ඉඩම් හිඟය, කළමනාකරණ හා තාක්ෂණික නිපුණත්වය වී ගොවිතැනට යොදා නොගැනීම, ගොවිතැන සම්බන්ධව ඇති සමාජ ආකල්ප මෙයට හේතු වෙනවා. බොහෝ තරුණයන් සුදු කරපටි රැකියාවන්ට යොමු වීම වී ගොවිතැනින් ඉවත් වීමට හේතු වී තිබෙනවා. 


ප්‍රශ්නය:- තරුණ පරම්පරාව වී ගොවිතැනට යොමුකර ලාභයක් ලැබීමට යොමු කරන්නේ කෙසේද? 


පිළිතුර:- තරුණ පරම්පරාවට ඇති ප්‍රධාන ගැටලුව අස්වැන්න සඳහා ලැබෙන අඩු මිල හා වී වගා කටයුතුවලින් ලැබෙන ආදායම අඩුවීම දක්වන්න පුළුවන්. මෙය කරුණු පමණක් නොව අනෙක් ගොවි ස්ථරයන්ද වී වගාවට යොමුකොට ලාභයක් ඉපයීමට රාජ්‍ය මැදිහත් වීම ඉතා වැදගත්. 


 වී ගොවිතැනින් ගොවීන්ට නිසි ලාභයක් ඉපයීමට වගා රක්ෂණයක් සක්‍රියව ක්‍රියාත්මක කිරීම, ගොවීන්ට විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම ද වැදගත්. මේ පහසුකම් නැති නිසා ද්විතීයික ආදායම් මාර්ගයක් ලෙස වී ගොවිතැන අද වර්ගීකරණයකට ලක්වී තිබෙනවා. පූර්ණ කාලීනව වී ගොවිතැනේ නියැළෙන්නට එය ලාභදායි තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය පියවර ගත යුතුයි. ඉතිහාසයේ හාල් සේරුව ශත 25 ට තිබුණු යුගයක් තිබුණා. අපිට වැරදුණේ ජනතාවට නිකන් කන්න පුරුදු කළ නිසයි. 


ප්‍රශ්නය:- අපනයන වෙළෙඳපොළට උචිත අන්දමේ සහල් ලබාගත හැකි වී වර්ග සඳහා ගොවීන් යොමු නොවන්​ෙන් ඇයි? අධික මිලකට අලෙවි වන ‘බාස්මතී’ වැනි ප්‍රභේද කෙරේ දේශීයව නැඹුරුතාවයක් නැත්​ෙත් ඇයි? 


පිළිතුර:- ලෝකයේ සහල් වෙළෙඳපොළේ රැඳී සිටීමට නිෂ්පාදන පිරිවැය අඩුවිය යුතුයි. වී නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ උපාය මාර්ග හඳුනාගත යුතුයි. ලංකාවේ ලොකු ලූණු කිලෝ 1 ක් රු. 120 යි. නමුත් ඉන්දියාවෙන් රු. 30 ට ආනයනය කරන්න පුළුවන්. හාල්වලටත් මේක පොදුයි. ලෝක වෙළෙඳ පොළේ තරගකාරී සහල් වර්ග වෙනුවට අපේ පාරම්පරික සහල් අපනයනය වඩාත් ලාභදායි විය හැකියි. ඊට වෙළෙඳපොළ තරගයක් නොවීම ඊට හේතුවයි. 


 ඊටත් වඩා හාල් වශයෙන් අපනයනයට වඩා නිමි ආහාර ලෙස රට පැටවීම වඩාත් ලාභදායි විය හැකියි. පාරම්පරික සහල් මගින් නිමි ආහාර නිෂ්පාදනය තුළින් විශාල ලෝක වෙළෙඳපොළක් ඇතිකරගත හැකියි. 1972 වී අලෙවි මණ්ඩලය පිහිටුවීමෙන් පසු මේ අරමුණ උදෙසා විවිධ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. 


 රතු හා සුදු හාල් පිටිවලින් හදපු නූඩ්ල්ස් ඊට උදාහරණයක්. සහල් පිටි පාන් විස්කෝතු, ළදරු ආහාර පාරම්පරික සහල් පදනම් කරගෙන නිපදවූ ඖෂධීය වියළි කැඳ වර්ග අපනයනය ලෝක වෙළෙඳ පොළ සෘජු ලෙස සහල් අපනයනට වඩා ලාභයක් ලැබිය හැකියි. ලෝක වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් ඇත්​ෙත් අැමයිලෝස් අඩු ප්‍රතිශතයක් ඇති දිගැටි සහලටයි. 


බාස්මතී වැනි සහල් වාණිජමය වශයෙන් වවන බවක් නම් පෙනෙන්නට නැහැ. (Long Grain Rice) 


ප්‍රශ්නය:- ලංකාවේ වී වගාව තුළින් උපරිම ලාභ ලබන්නට නොහැකි නීතිමය බාධාවක් තිබේද? 


පිළිතුර:- ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉඩම තියෙන්නේ කුඹුරු ලේඛනයේ නම් වගා කළ හැක්කේ වී පමණයි. නැත්නම් කන්නයන් අතර වෙනත් වගාවන්ගෙන් ලාභයක් ඉපයිය හැකියි. කුඹුරු පනතේදී අඳ ගොවියාට 75% කුත්, අයිතිකරුට 25% ප්‍රතිශතයක් ලැබුණු නිසා. අයිතිකරු මුදල් ආයෝජනය නිෂ්ඵල කටයුත්තක් කියා ඉන් ඉවත් වුණා. සල්ලි දැම්මේ නෑ. ඒ නිසා වී වගාව වළපල්ලට ගියා. අද කුඹුරුවල වෙන වගාවක් කරන්නත් බෑ. කුඹුරු පුරන්වෙනවා. මේවා ආත්නික ඉඩම් සීමාව (Borderline) ක්‍රමයෙන් වැඩිවෙනවා. 


ප්‍රශ්නය:- ඔබ දකින පරිදි වී වගාවෙන් උපරිම ලාභ ලැබීමට ගත යුතු ප්‍රායෝගික ප්‍රතිකර්ම මොනවාද? 


පිළිතුර:- මුලින්ම යැපුම් මට්ටමේ වී කර්මාන්තය වාණිජ මට්ටමට ගෙන යාමට සැලසුම් සැකසිය යුතුයි. මෙහිදී සැලසුම්සහගත යාන්ත්‍රණයන් සහ ප්‍රතිපත්ති සැකසීම වගේම පර්යේෂණ ඉතා වැදගත්. මෙහෙ කෙරෙන්නේ වී වගාවට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් කොමිස් කුට්ටි කඩා ගැනීම විතරයි. කරන ඉලව්වක් නැහැ. 


 මේ රටේ වී වගාව ගැන ඇතැම් පර් යේෂණවල ප්‍රතිඵල පිලිපීනය, ජපානය, තායිලන්තය වගේ රටවලට ගලා ගිහිල්ලා ඒවායෙන් ඒ රටවල් නිසි ප්‍රයෝජන අරගෙන තියෙනවා. 


ජපානය වැනි බොහෝ රටවල සහලින් බොහෝ නිෂ්පාදන කෙරෙනවා. පර් යේෂණ දැනුම අත්‍යවශ්‍ය මේ නිසා තමයි. යැපුම් මට්ටමේ වී කර්මාන්තය වාණිජ මට්ටමට ගෙනත් ගොවියාගේ සිට පර්යේෂකයා, අළෙවිකරුවා විතරක් නොවේ පරිභෝගිකයා දක්වා ජාලගත කිරීමට නිශ්චිත යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ විශේෂඥ දැනුම ඉහළ සිට පහළට හුවමාරුවීම තුළ තමයි වී ගොවියාට වඩාත් ලාභයක් උත්පාදනය කළ හැක්කේ. 


ප්‍රශ්නය:- ඔබ කියන පරිදි වී වගාවෙන් උපරිම ලාභයක් මෙරට ගොවීන්ට නොලැබීමට මූලික හේතු මොනවාද? 


පිළිතුර:- පළවෙනි ප්‍රශ්නය තමයි නිසි යෙදවුම් කළමනාකරණයක් වී ගොවිතැනේදී භාවිතා වනවාද යන ප්‍රශ්නය. දෙවැනි කරුණ වන්නේ ශ්‍රම භාවිතය හා භූමි පරිභෝජනයයි. තාක්ෂණය නිවැරදිව භාවිත කිරීමේ හැකියාව හා අලෙවි උපක්‍රම භාවිත කිරීම තුන්වෙනි කාරණය. සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදී තමන්ගේ වී නිෂ්පාදනයට අගය එකතු කිරීමේ ක්‍රමවේදය හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගොවීන්ගේ දැනුම්වත් භාවය යන කරුණු සැලකිල්ලට නොගැනීම වී වගාවෙන් උපරිම ලාභයක් නොලැබීමට හේතු වී තිබේ. 


ප්‍රශ්නය:- ඔබ කියන්නේ වී අැටයෙන් ඉවතට යන දහයියාවලින් පවා ප්‍රයෝජනයක් ගත හැකි බවද? 


පිළිතුර:- කුකුළු ගොවිපොළවලටත් වඩා දහයියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ සැලසුමක් සැකසීම තුළින් ගොවීන්ට ආදායමක් ලැබිය හැකිය. 


ප්‍රශ්නය:- මෙරට කන්න රැස්වීම් ප්‍රධාන වශයෙන් සොරොව් ඇරීම සහ වැසීමට පමණක් සීමාවෙලා. පළිබෝධ මර්දනයට ඉපැරැණි ක්‍රමවේද භාවිතය ගැන මේ රැස්වීම්වලදී දැනුම්වත් කළ හැකි නේද? 


පිළිතුර:- පළිබෝධ මර්දනයට රසායනික ක්‍රම වෙනුවට සාම්ප්‍රද‌ායික ක්‍රම ගොවීන්ට ඉගැන්වීමෙන් විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. මේ ගැන හැදෑරූ විශ්වවිද්‍යාල සිසුන් සම්පත්දායකයින් ලෙස මෙහිදී යොද‌ාගත හැකියි. 


ප්‍රශ්නය:- වී වගාව ගැන කෘෂි නිලධාරින් යොදවා සිටියත් වී අලෙවිය සම්බන්ධයෙන් අලෙවි නිලධාරින් නොවීම වී වගාවෙන් උපරිම ලාභයක් ලැබීමට බාධාවක් නොවන්නේද? 


පිළිතුර:- අලෙවි නිලධාරින් යන්නෙන් ඔබ අදහස් කරන්නේ රාජ්‍ය මැදිහත්වීම මත සහතික මිලක් තීරණය කිරීම වන්නට පුළුවන්. මෙහිදී සහල් වෙළෙඳපොළෙහි මිලෙහි විකෘති වීමක් (Marked Distortion) ඇතිවන්නට ද පුළුවන්. 


රජය විසින් මිලදී ගැනෙන වී ප්‍රමාණය සමස්ත වී නිෂ්පාදනයෙන් 5-6% කට අධික ප්‍රතිශතය මිලදී ගන්නේ පෞද්ගලික අංශය විසින්. 


ප්‍රශ්නය:- තිරිඟු පිටි මිල ඉහළ දැමීම දේශීය වී ගොවියාට අතිරේක ආද‌ායමක් ලැබීමට හේතුපාදක කරගත හැකිද? 


පිළිතුර:- තිරිඟුපිටි සහ සහල් අනුපූරක (Complementary) බෝග දෙකක් බවට පිළිගැනීමක් තිබෙනවා. දේශීය සහල් පරිභෝජනය වැඩි කිරීමට තිරිඟු පිටි මිල වැදගත් සාධකයක්. එම නිසා තිරිඟු පිටි ආනයන ප්‍රතිපත්තිය දේශීය වී ගොවීන්ට ලැබෙන ආදායම ප්‍රවර්ධනයට සෘජු ලෙස බලපාන කරුණක්. වී ගොවීන්ට වැඩි ආදායමක් ලබා දෙනවාද යන තීරණය ඇත්තේ රාජ්‍ය ආයතන ප්‍රතිපත්තිය මතයි. 


ප්‍රශ්නය:- අවසාන වශයෙන් ඔබ වී වගාව ගොවීන්ට ඉහළම ආදායමක් ලබාගත හැකි බව කීවත් තමන්ගේ වී ටික විකුණා ගන්නට ගියහම ‘වී මාෆියාව’ නේද අවසානයේ මිල තීරණය කරන්නේ? 


පිළිතුර:- 1995 චන්ද්‍රිකා සමයේ දි.මු. ජයරත්න කෘෂිකර්ම ඇමැති යුගයේ වී අ​ලෙවි මණ්ඩලය අහෝසි කිරීමට කෙටුම්පත් පවා සකස් කරල තිබුණත් වැ​ෙඩ් හරි ගියේ නැහැ. අන්තිමට මණ්ඩලය ක්‍රියාකාරිත්වය අක්‍රිය බවට පත්වුණා. වී අලෙවි මණ්ඩලයට පෞද්ගලික අංශය මෙන් ක්ෂණික තීරණ මත වී මිලදී ගත නොහැකියි. 


 සියල්ල රාජ්‍ය මුදල් රෙගුලාසි මත තීරණය විය යුතුයි. ඔවුන් මිලදී ගන්නේ නිසි ප්‍රමිතියේ වී පමණයි. එහෙත් පෞද්ගලික අංශය පෞද්ගලික අංශය කුඹුරටම ගොස් අස්වැන්න තොග පිටින්ම ‘ගාණක්’ කතා කොට මිලදී ගන්නවා. වී අලෙවි මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් වෙන්කරන මුදල ප්‍රමාණවත් නැහැ. 


ප්‍රශ්නය:- අතේ සල්ලි තිබ්බාට, ලොරි හිමියන් පොළොන්නරුව පැත්තේ වී සල්ලිවලට ගන්න ගියොත් ලොරියත් කුඩු කරගෙන අම්බානක ගුටිත් කාල එන්න වෙන්නේ. ඉතිං වී ගොවීන් උපරිම ලාභයක් ගන්නේ​ කොහොමද? 


පිළිතුර:- මේ රටේ මොන කෘෂිකර්ම විප්ලවයක් කළත් අවසානයේ සියල්ල දේශපාලනීකරණය වී හමාරයි. ලංකාවේ වත්මන් සහල් නිෂ්පාදනය හා වෙළෙඳපොළ සඳහා රජය කොතෙක් දුරට මැදිහත් විය යුතුද යන කරුණ තීරණය කිරීමත් සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වී මිලදී ගැනීමට වෙළෙඳපොළ මුල්කරගත් සාර්ථක එමෙන්ම ප්‍රායෝගික ප්‍රතිපත්තියක් සැකසීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක් වී තිබෙනවා. 


ප්‍රශ්නය:- මේ සියලු කරුණු අනුව වී ගොවිතැනෙන් උපරිම ලාභයක් ලැබීමට ඔබ දරන අදහස් ලඝුකොට දැක්විය හැක්කේ කෙසේද? 


පිළිතුර:- යූරියා, ට්‍රිපල් සුපර් පොස්පේට් වගේ ඕනම පෝර වර්ගයක් කිලෝ පනහක ගෝනියක් රු. 350 දුන්නත් හෙක්ටයාරයකට රු. 25,000 ක පෝර සහනාධාරයක් දෙනවාටත් වඩා කළ යුතු සුදුසුම දේ ගොවීන්ට පෝර නොමිලේ දීමයි. 


 අද වී ගොවිතැනේ නියුතු තරුණයකුට බැංකු ණයක් ගන්නවා තියා කසාදයක්වත් කරගන්න බැරි සමාජ තත්ත්වයක් උදාවී තිබෙනවා. මේ ගොවීන් යැපීම් මට්ටමෙන් මුදවාගෙන නිෂ්පාදන ඵලදායිතාව මත ගොවීන්ට උපරිම උපභෝගිතාවයෙන් යුතු ලාභදායි පරිසරයක් ගොඩනැගිය යුතුයි. 


 විදේශ වෙළෙඳපොළ ඉහළ ඉල්ලුමක් ඇති ගුණාත්මක භාවයෙන් යුත් දේශීය සහල් වගාවට ගොවීන් දිරිමත් කිරීමත් වැදගත්. වී වගාවට ගොවීන් යොමුකිරීම මෙරට විරැකියාව විසඳීමට සක්‍රිය ලෙස දායක කරගත හැකියි. 
 සහල් නිෂ්පාදනය ඉහළ නංවනවා මෙන්ම අතිරික්ත නිෂ්පාදනය අලෙවි කරන ක්‍රමවේදයක් රට තුළ අලෙවි කරන හෝ සහල් පදනම් කරගත් නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ සොයා ගැනීම ඉතා වැදගත්. කෙසේ වෙතත් වී ගොවිතැනෙන් උපරිම ලාභ ලබන්නට මුලින්ම කළ යුතු කටයුත්ත වී මිලදී ගැනීමේ මාෆියාවට රාජ්‍ය අංශය විධිමත් ලෙස මැදිහත් වීමයි.

 

 

 

සටහන - වජිර ලියනගේ