ග්වාතමාලාවේ නිකල් ආකරයක්

 

 

භයානක බව අතින් යුද වාර්තාකරණයට පමණක් දෙවැනි වන අංශය ලෙස පාරිසරික ජනමාධ්‍යවේදය සැලකේ. යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වරප්‍රසාද ලත් පරිසරයක සිට පාරිසරික ජනමාධ්‍යකරණයේ යෙදෙන සුළුතරයක් හැරුණු විට, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන, පෘථිවියෙන් ලබා ගන්නා සම්පත් ස්වල්පයක් මත බලය හා ධනය රඳා පවතින රටවල් බහුතරයක පාරිසරික ජනමාධ්‍යවේදීන්ට අත්වන ඉරණම දුක්ඛද‌ායකය. මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම පිළිබඳ කමිටුව - Committee to Protect Journalists (CPJ) නමැති අන්තර්ජාතික සංවිධානය වාර්තා කරන පරිදි පරිසරය පිළිබඳ ලිපි සැකසීමේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් 13 දෙනකු පමණ පසුගිය වසර 10 තුළ ඝාතනය කර තිබේ.   

 

 

එම කමිටු වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන ආකාරයට මාධ්‍යවේදීන්ට එරෙහි භීෂණය දැඩි ලෙස ක්‍රියාත්මක නොවෙතත්, ඉතාලියේ හා බල්ගේරියාවේ මාධ්‍යවේදීහු අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත් වෙති. ස්පාඤ්ඤ පොලිසිය ඔවුන් විහිළුවට ගන්නා අතර ප්‍රංශයේදී ආගමික අන්තවාදීන්ගෙන් ගැටලු ඇති වේ. මාධ්‍යවේදීන් මුහුණ දෙන මෙවන් ගැටලු විසඳීමට අපොහොසත් වීම නිසා යුරෝපා සංගමයට අයත් රටවල පමණක් නොව, එයින් පිටත රටවලත් මාධ්‍ය නිදහස සුරක්ෂිත නොවෙන බව ඔවුන්ගේ අදහසයි. 
අසීමිත බලයකට ආසන්න වීමත් පහර දෙනු ලැබීමට, අපයෝජනය වීමට හා තර්ජන එල්ල වීමට හේතුවකි. රුසියාවේ මොස්කව්හි සිට සෙන්ට් පීටර්ස්බර්ග් දක්වා වනාන්තරය තුළින් දිවෙන මාර්ගයක් ඉදිකිරීමෙන් ඇතිවන අනිසි බලපෑම් පිළිබඳ හෙළිදරවු කළ රුසියානු ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුටම එබඳු අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවිය. ඇමේසන් වනාන්තරය ආක්‍රමණය කරන සෝයා බෝංචි වගාව පිළිබඳව වාර්තා කළ බ්‍රසීලියානු ජනමාධ්‍යවේදීන්ට ද ඒ හා සමාන අත්දැකීම් ලැබී තිබේ. ගාඩියන් පුවත්පත වෙත ග්‍රීන් බ්ලඩ් (Green Blood) යන සිරස්තලය ඔස්සේ ආකර කැණීම් හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳ නව ලිපි මාලාවක් සපයමින් අනාවරණය කරන්නට උත්සාහ කළ ටැන්සානියානු මාධ්‍යවේදීන්ට ද එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්නට විය. 


මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ්‍ර වශයෙන් කටයුතු කරන වැඩි දෙනෙක් පරිසර ක්‍රියාකාරීහු වෙති. ඔවුනට ද මේ තර්ජනය මාධ්‍යවේදීන්ට නොඅඩු මට්ටමකින් එල්ල වී ඇත. ග්ලෝබල් විට්නස් රිපෝට් (Global Witness Report) නමැති වෙබ් අඩවියට අනුව කෘෂි ව්‍යාපාර හා කැණීම් ව්‍යාපෘතිවලට විරෝධතාව දැක්වූ පාරිසරික ක්‍රියාකාරීහු 207 දෙනෙක් 2017 වසරේදී ඝාතනය වූහ. එම සිද්ධි පිළිබඳව ගැඹුරු සොයා බැලීමක් කරන්නට සිතන අනෙක් මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක් වශයෙන් මෙම ඝාතන යොදාගෙන ඇතැයි වාර්තා වේ. 


පාරිසරික මාධ්‍යවේදියෝ කිසියම් හෝඩුවාවක් පසුපස යමින්, පරිසරයට හානිකර ක්‍රියාකාරකම් හෙළි කරන්නේ ගැටලුවක මුලට ගමන් කරමිනි. එවැනි ගැටලුවක මුල සොයා ගත් විට ඒවාට සම්බන්ධව සිටින්නේ දේශපාලකයන් නැතහොත් සමාජයේ බලවත් ව්‍යාපාරිකයන් හෝ වෙනත් බලවතුන්ය. මාධ්‍යවේදියාගේ ගැටලුවලට ඔවුන් සතුව පිළිතුරු තිබෙන නමුත් ඒවා පළකිරීමට අවකාශ නොලැබේ, නැතහොත් එම තැනැත්තෝ එවැනි ගැටලුවලට පිළිතුරු දීම දක්ෂ ලෙස මගහරිති. 

 

 රොඩ්නි සියේ

ටැන්සානියාවේ රත්රන් ආකරයක් 

 

 


පරිසරයට වින කරන්නන් වශයෙන් වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ බටහිර සමාගම්ය. බොහෝ විට කොටස් වෙළෙඳපොළේ ඉහළ අගයක් හිමි සමාගම්, කර්මාන්තශාලා ආදිය පිහිටි ස්ථානයට නැතහොත් පාරිසරික හානිය සිදුවන ස්ථානයට සපුරාම වෙනස් රටක හෝ මහද්වීපයක ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති මෙවැනි සමාගම් මගින් ඍජුව හෝ වක්‍රව එම ගැටලුකාරී ස්ථානවල සිදුකරන නිපැයුම් මිලදී ගන්නා බව වාර්තා වේ. ඛණිජ, දැව හා කැණීම් මගින් ලබාගන්නා සම්පත් හේතුවෙන් එම සම්පත් ලබාගන්නා රටේ හෝ ස්ථානයේ පොදු ජල මූලාශ්‍ර, ගංගා දියඇලි ඇතුළු වනාන්තර ආදියත් හානියට ලක් වේ. 


පරිසරයට හානි පමුණුවන ව්‍යාපාර හා සබැඳි කටයුතුවලදී මාධ්‍ය සීමා කිරීම, විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම හා පුද්ගලික වුවමනා එපාකම් මත රජයේ නීති සැකසීම ආදිය බහුලව දක්නට ලැබේ. කම්හල්වලින් සිදුවෙන පාරිසරික හානි ගැන අවධානයෙන් සිටින්නේ ද පරීක්ෂා කරන්නේ ද මාධ්‍යවේදියෝ වෙති. 


මානව අයිතිවාසිකම් හා මාධ්‍ය නිදහස එකිනෙක හා සම්බන්ධිතය. ඕනෑම ක්ෂේත්‍රයකදී මාධ්‍යවේදීන්ට හා පරිසර ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වීමම එතැන යම්කිසි අගතියක් ඇති බවට සංඥාවකි. ව්‍යාපාර හා ආර්ථික කටයුතු, දේශපාලන අරගල, මැර ක්‍රියාකාරකම් හා වංචා දූෂණ ආදී අක්‍රමිකතා හා පරිසර ගැටලු අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි. 


දියුණු වන රටවල මූල්‍ය ව්‍යාපාර වර්ධනය සඳහා උදවු කරන ලෝක බැංකුව එහි සහය ලබන ආයතනවල ක්‍රියාකාරිත්වය නිසා මිනිසුන්ට හා පරිසරයට සිදුවන හානි අවම කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතත් බොහෝ අන්තර්ජාතික හා ජාතික බැංකු එවැනි ක්‍රියාමාර්ග ගෙන නොමැත. ඒ හේතුවෙන් වැසි වනාන්තරයක් තුළින් බුල්ඩෝසරයක් ගෙන යාම වැනි කටයුතු සඳහා ඉඩ පෑදී තිබේ. හොන්ඩුරාස්, කොළොම්බියා හා ග්වාතමාලාව එවැනි දේ සිදුවූ රටවල් කිහිපයකි. 


තර්ජනවලට නොසැලී දිගින් දිගටම සිය කාර්යභාරය සිදුකරන මාධ්‍යවේදීන් ඝාතනය වීමත් සුලබ වී ඇත. උතුරු ඉන්දියාවේ වැලි ගොඩදැමීමෙන් සිදුවන හානි ගැන ගවේෂණාත්මක ලිපි ලියූ නිදහස් මාධ්‍යවේදියෙකු වූ ජගේන්ද්‍ර සිං 2015 දී ඝාතනය කෙරිණි. ගර්රා නදියේ කළ අනවසර වැලි ගොඩදැමීම් හා භූමිය අල්ලාගැනීම් ගැන ඔහු වාර්තා කළේය. දේශපාලකයින්, මැරයන් හා පොලිසිය ඔහු පසුපස පැමිණෙන බවත්, ලියූ දේවල් නිසා ජීවිතය අනතුරේ බවත් ඔහු මිය යාමට පෙර තැබූ සමාජ මාධ්‍ය සටහනක දැක්වේ. වැලි ටොන් බිලියන 50ක් පමණ වාර්ෂිකව ඉදිකිරීම් කර්මාන්තයට සපයන අතර ලෝකයේ බොහෝ රටවල වැලි ගොඩදැමීම තහනම් කර ඇත්තේ ඛාදනය, ගංවතුර තර්ජන හා නොසැලකිය නොහැකි වෙනත් හානි හේතුවෙනි. 


ඔහු මිය යන්නට හේතුව නම්, මැරයන් පිරිසක් විසින් ඔහුගේ නිවෙසට කඩා වැදී, ඔහුගේ ඇඟට පෙට්‍රල් හලා ගිනි තැබීමය. එයින් ඔහු දරුණු ලෙස තුවාල ලැබීය. පොලිසිය කියා තිබුණේ ඔහු සිය දිවි නසාගත් බවය. දියණිය වෙනුවෙන් මංගල තෑග්ගක් ලබාදෙන මුවාවෙන් පවුලේ අය නිහඬ කිරීම සඳහා රුපියල් මිලියන තුනක් ලබාදී ඇත. සිං ගේ මරණයෙන් පසු ඉන්දියාවේ වැලි ගොඩදැමීම ගැන ලියූ තවත් මාධ්‍යවේදීන් දෙදෙනකු වන කරුන් මිස්රා 2016 පෙබරවාරියේ සහ සන්දීප් ෂර්මා 2018 මාර්තුවේ ඝාතනය වූහ. 


මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පාරිසරික ජනමාධ්‍යවේදය පිළිබඳ නයිට් මධ්‍යස්ථානයේ සභාපතිවරයා මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ද වන එරික් ෆ්‍රීඩ්මාන් මහද්වීප පහක ජනමාධ්‍යවේදීන් සමඟ ගැඹුරු සාකච්ඡාවල යෙදෙමින් සිදුකළ පර්​‌යේෂණයකට අනුව මරණ තර්ජන, අත්අඩංගුවට ගැනීම්, නඩු හබවලට පැටලීම් හා අපහරණය කිරීම් ඇතුළු තර්ජන ගර්ජන නිසා බහුතරයක් මාධ්‍යවේදීන් වාර්තාකරණයෙන් ඉවත් වෙන බවද, තවත් පිරිසක් ඒ කිසිවක් නොතකා පෙර නොවූ විරූ කැපවීමෙන් විස්තර වාර්තා කරන බවත් සොයා ගන්නා ලදී. 


රොඩ්නි සියේ නමැති ලයිබීරියානු නිදහස් මාධ්‍යවේදියෙක් වරක් එරට හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක් පරපෝෂිත වසංගත රෝගයක් පැතිර යෑම මැඩපැවැත්වීමට ලැබුණු මුදල් අවභාවිත කර සිදුකළ බරපතළ වංචා දූෂණ පිළිබඳව හෙළි කළේය. එම ඇමැතිවරයාගේ කීර්තිනාමයට හානි කළේ යැයි චෝදනා කරමින් එකී මාධ්‍යවේදියාට වසර 5000ක සිර දඬුවමක් නියම කළ අතර ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් වන්දි වශයෙන් ඇමැතිවරයාට ගෙවීමට ඔහුට සිදුවිය. ලයිබීරියාවේ දරුණුම බන්ධනාගාරයක මාස තුනක් ගත කිරීමෙන් පසුව, එල්ල වුණු අන්තර්ජාතික පීඩනය හේතුවෙන් ඔහු නිදහස් කෙරිණි. 


නිදහස් අන්තර්ජාල පුවත් සමාගමක් වෙනුවෙන් සේවය කළ කැනේඩියානු වාර්තාකරුවෙක් වූ මයිල්ස් හොවේ මහජන උද්ඝෝෂණ වාර්තා කිරීම භාරව සිටියෙකි. අධි පීඩිත ජලය භාවිත කිරීමෙන් ස්වාභාවික වායු පිටතට ගැනීමේ ව්‍යාපෘතියකට එරෙහිව නිව් බ්‍රන්ස්වික්හි ජනතාව පැවැත්වූ උද්ඝෝෂණ පිළිබඳ සොයා බැලීමට ඔහු නිතර සම්බන්ධ වූවෙකි. එනිසා ඔහු නිතර අත්අඩංගුවට පත් විය. මෙසේ එක් වරක පොලිසිය ඔහු ද උද්ඝෝෂණකරුවෙක් ලෙස අල්ලාගෙන ඔහුගේ නිවසට කඩා වැදී වෘත්තීය උපකරණ අත්අඩංගුවට ගත්හ. තවද, උද්ඝෝෂණ පැවැත්වීමට පෙර ඒ පිළිබඳව ඔත්තු සපයන ලෙස ද මාධ්‍යවේදියාගෙන් ඉල්ලූ බවත් වාර්තා වේ. අත්අඩංගුවට ගැනීමෙන් වසර දෙකකට පසුව ඔහු සිය මාධ්‍ය මෙහෙවර අත්හැරීය. 


මෙක්සිකෝවේ සියෙරා ටරාහුමාරාවේ වනාන්තර රැකගැනීම උදෙසා සටන් වැදුණු මාධ්‍යවේදියෙකු වූ ඉසිද්රෝ බැල්ඩිනීග්‍රෝ තර්ජනයක් ලෙස සැලකූ දැව හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඔහු ඝාතනය කළ බව කියැවේ. 


කොළොම්බියානු රේඩියෝ මාධ්‍යවේදියෙකු වූ එෆිජීනියා අස්ටුඩිලෝ, එරට දේශීය ජනතාවගෙන් කොල්ලකා ගත් පාරම්පරික ඉඩම්, වගාවන් සහ කර්මාන්තවලට යොදාගැනීමට එරෙහිව හඬ නැගීම නොකඩවා සිදු කළ බැවින් ඔහුට ද වෙඩි තබන ලදී. 


යුක්‍රේනයේ වංචා දූෂණ පිළිබඳව වාර්තා කළ ගවේෂණාත්මක නිදහස් මාධ්‍යවේදී වාඩිම් කොමරොව් නාඳුනන පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දෙනු ලදුව, මොළයේ ශල්‍යකර්මයක් කරන්නට වූ බවත්, ඉන්පසු කෝමා තත්ත්වයකට පත්වූ බවත්, සති දෙකකින් අනතුරුව මියගිය බවත් වාර්තා වේ. එවැනි සිදුවීමක් වී තිබෙන්නේ නව යුක්‍රේන අගමැති වොලොඩිමිර් සෙලෙන්ස්කි රටේ වංචා දූෂණ නවත්වන බවට ඡන්ද පොරොන්දුවක් දී තිබියදීය. 


හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් යටතේ එරට මාධ්‍ය අවභාවිතය පිළිබඳ එකී කමිටුව අධ්‍යයනය කර ඇති අතර රජය පත්වීමට පෙර ඔවුන්ගේ ගුණ වැයීමට, හිතවතුන් අගය කිරීමට හා විරුද්ධවාදීන්ට දඬුවම් පැමිණවීමට රාජ්‍ය දැන්වීම් අංශය යොදාගැනීම මෙන්ම නිදහස් මාධ්‍යවේදීන් කොන් කිරීම, තොරතුරු පනතේ නිදහස සීමා කිරීම, දූෂණ වංචා පිළිබඳ සෙවීම හිතාමතා දුෂ්කර කිරීම ආදිය සිදුවී ඇති බව සොයා ගැනිණ. 


එම කමිටු වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2019 වසරේ මුල සිට මේ දක්වා ලෝකයේ මාධ්‍යවේදීන් නව දෙනෙක් මිය ගියහ. ඉන් දෙකක් ඍජු ඝාතන වේ. 


1992 සිට වර්තමානය තෙක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 19 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, 10 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කර ඇති බවත්, කළ කී දෑ හේතුවෙන් තවත් 10 දෙනෙක් මරා දමා ඇති බවත් එම වෙබ් අඩවියේ දැක්වේ. 


නිල නොවන අයුරින් මාධ්‍ය වාරණය කරන්නේ එපරිද්දෙනි. 


ජනමාධ්‍යවේදය යනු ප්‍රතික්ෂේපිත වෘත්තියකැයි ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ දේශකවරියක වන ගෞරි ආනන්තන් කියා සිටින බව ද කොන්සර්වේෂන් වෙබ් අඩවියේ දැක්වේ. 


ද ගාඩියන්, ද කොන්සර්වේෂන්, කමිටී ටු ප්‍රොටෙක්ට් ජර්නලිස්ට්ස් හා ග්ලෝබල් විට්නස් වෙබ් අඩවි ඇසුරිනි. 

 

 

 

 

 

 

 

 

සටහන - නිසංසලා දිසානායක