යුද්ධයක් හෝ වෙනත් අභ්‍යන්තර ගැටුමක් නොවන සමයක ආණ්ඩු බලය යටතේ ආයුධ සන්නද්ධ බළකායක් රට තුළ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එංගලන්තය, ඇමෙකාව වැනි රටවල වැසියෝද බියපත්ව සිටි බව කියැවේ.   


 කලකට ඉහතදී මෙරට සමාජයද කාකි නිල ඇඳුමට බියපත්ව සිටියහ. කාකි ඇඳුමකින් සැරසුණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එනු දුටුවද පොලිසිය යැයි සිතා බියෙන් සැඟවුණු ඇතැම් පිරිස් සිටියහ.  
වර්ෂ එක්දහස් අටසිය හැටහයේදී ‘ලංකා පොලිස් බළකාය ලෙස ස්ථාපනය වූ මෙරට පොලිස් සේවය වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ දෙකේ සිට ශ්‍රී ලංකා පොලිස් සේවය ලෙස නාමකරණය විය. 


 නිලධාරීන් අසූපන්දහසකට වැඩි පිරිසකගෙන් සංයුක්ත මෙරට පොලිස් සේවය මගින් රටේ සාමය පවත්වාගෙන යෑම, අපරාධ අවම කිරීම, මහජන ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව සම්බන්ධ නීති ක්‍රියාවට නැංවීම වැනි වගකීම් වෙනුවෙන් බැඳී සිටියි. 


පොලිස් ස්ථානයකට යන සැකකරුවන්ට හිරිහැර සිදුවීම, වධ හිංසාවලට ලක්වීම අතුරුදන්වීම, මියයෑම්, මහ මඟදි වෙඩි තැබීම්, ජනතා උද්ඝෝෂණ අතරතුරදී සිදුවන පහරදීම්, වෙඩි තැබීම්වලට අදාළ සිදුවීම් රැසක් ඉකුත් සමයේ වාර්තා විය. රතුපස්වල උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට වෙඩි තැබීම, විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණ අතරතුර සිදුවූ පහරදීම් අණ නොතකා ධාවනය ​ෙවන යතුරුපැදිකරුවන්ට වෙඩි තැබීම් ආදී සිදුවීම් රැසක් ඒ අතර වේ. 


 මේ සියලු සිදුවීම් අතරතුර කතරගම පූජා නගරයේදී ඉකුත් දිනෙක සිදුවූ ඛේදනීය සිදුවීම පොලිසිය තමාට හිමි බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමක් බවට චෝදනා එල්ල විය. 


පොලිසිය සම්බන්ධ පැමිණිලි වශයෙන් දෙදහස් දාහත වර්ෂය තුළ ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව එක්දහස් හාරසිය හතළිස් අටකි.


ඉකුත් දෙදහස්දාසය වර්ෂයේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව එක්දහස් අටසිය හැත්තෑ නවයකි. වර්ෂ දෙදහස් පහළොවේදී පොලිස් කොමිසම සක්‍රිය නොවන අවධිය 19 දහනව වැනි සංශෝධනයේ පොලිස් කොමිසම සක්‍රියවීමට පෙරද පැමිණිලි හාරසිය හැට හතක්ද ජාතික පොලිස් කොමිසන් සභාවට ලැබී ඇත. 


 මෙලෙස ලැබෙන පැමිණිලි අතුරින් සියයට හැත්තෑවක්ම අයත් ​ෙවන්නේ පොලිසියට ලැබෙන පැමිණිලි විභාගයට නොගැනීම සම්බන්ධයෙනි. ඊට අමතරව පොලිසිය පක්ෂග්‍රාහී වීම, පොලිසිය තම බලය අයුතු ලෙස යොදාගැනීම යනාදිය පැමිණිලි අතරට අයත් වේ. 


 ඊට අමතරව සුළු පහරදීම්, නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් මෙන්ම බොරු පැමිණිලි කිරීම් මගින් නඩු පනවා රිමාන්ඩ් භාරයට ගැනීම් සම්බන්ධ පැමිණිලි ද ඒ අතර වේ. 


 ජාතික පොලිස් කොමිසමට වාර්තා ​ෙවන පැමිණිලි අතරින් බහුතරය වාර්තා ​ෙවන්නේ බස්නාහිර පළාතෙනි. එය සියයට හතළිහක පමණ පැමිණිලි ප්‍රතිශතයක් ලෙස ගැනේ. බස්නාහිර පළාතට අමතරව මධ්‍යම හා දකුණ යන පළාත්වලින් වැඩි වශයෙන් පැමිණිලි ලැබෙන අතර උතුරු නැගෙනහිර පළාත්වලින්ද පැමිණිලි ලැබේ. 


ඉකුත් වසරේදී මඩකළපුව දිස්ත්‍රික්කයේ පැමිණිලි එකසිය හතළිස් හයක් ලැබී ඇත. 


 2017 වසරේදී වාර්තා වූ පැමිණිලි එක්දහස් හාරසිය හතළිස් අටෙන් පොලිසියට ලැබෙන පැමිණිලි විභාග නොකිරීම සම්බන්ධ පැමිණිලි තුන්සිය හැටඅටක්, පොලිසිය නීතිය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධ පැමිණිලි දෙසීය අසූහයක්, පොලිසිය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධ පැමිණිලි දෙසිය දහයක් බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම් හැත්තෑ එකක්. පහරදීම් තිහක්ද වශයෙන් වාර්තා වේ. 


 ඊට අමතරව කාන්තාවන් හා ළමයින්ට එල්ලවීම් හිරිහැර සිදුවීම් සම්බන්ධ පැමිණිලි හතක් අල්ලස් ගැනීම් හා දූෂණ චෝදනා දහයක් ද මේ අතර වේ. 


 පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී පුද්ගලයන් දෙදෙනෙක්ද ඉකුත් වසරේදී මියගොස් ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සංඛ්‍යා දත්ත වාර්තා සපයයි. 


 ඉකුත් සතියේදී කතරගම ප්‍රදේශයේ සිදුවූ පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය යෑමේ සිදුවීමට අදාළව පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය. 
එහිදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අදහස් දක්වමින් සඳහන් කළේ පොලිසිය බලපත්‍රලාභී චණ්ඩි බවට පත්ව ඇති බවයි. 


 කතරගමදී ඉකුත් සෙනසුරාදා සිදුවූ සිදුවීම සරළ කාරණාවක් ලෙස සැළකුවහොත් මෙය පුද්ගලබද්ධ ගැටලුවක් ලෙස පටු කරන්න පුළුවන්. එවිට එය පුද්ගලයාගේ ප්‍රශ්නයක් ලෙස හඳුන්වා විනය ක්‍රියාමාර්ග ගන්නත් පුළුළන්. නමුත් මෙවැනි සිදුවීම වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. මෙයට පෙර පොලිසිය විසින් ඝාතන බොහෝමයක් සිදුකර තිබෙනවා. 


පසුගිය දෙදහස් දාහත හා දෙදහස් දාසය අවසාන කාලසීමේදී සිදුවීම් අටක් වාර්තාවී තිබෙනවා. විශේෂයෙන් පොලිස් ස්ථානය තුළදී ඝාතනයට ලක්වීම් අටක් රිය පැදවීම් අතරතුර වෙඩි තැබීම් තුනක් ද වාර්තා වී තිබෙනවා. 
දෙදහස් දාසය නොවැම්බර් මාසයේදී ගම්පහදී සුරේන්ද්‍ර ඩයස් ඝාතනය වීම, දෙදහස් දාහත පෙබරවාරි විසිපහ පෑලියගොඩදී චදිත්, එස්. වික්‍රමආරච්චි ඝාතනය වීම, දෙදහස් දාහත අප්‍රේල් විසිහත් වැනිදා වලානේදී ජයලත් කංඩබ්ගේ චමින්ද මහතා ඝාතනය වීම, අගෝස්තු 17 වැනිදා පිටිගලදී ඒ.ඩී, පුෂ්පකුමාර මහතා ඝාතනය වීම, සැප්තැම්බර් අටවැනිදා කොළඹ උතුරු කොට්ඨාසයේදී ඩී.පී. ප්‍රේමසිරි සැප්තැම්බර් දහඅට වැනිදා බකමූණේදී පී. චන්ද්‍රරත්න මහතා සැප්තැම්බර් දහනව වැනිදා එම්.පී. හේමවිපුල මහතා ඝාතනයවීම ඔක්තෝබර් හතරවැනිදා දිවුලපිටියේදී එන්.ඒ. ගාමිණී එඩ්වඩ් මහතා ඝාතනයවීම මෙහිදී දක්වන්න පුළුවන්. 


 පොලිසිය අද වෙද්දී ලයිසන් ගත්තු චණ්ඩි බවට පත්වෙලා. කතරගම උද්ඝෝෂණය අවස්ථාවේ පුද්ගලයන් හැට තුන්දෙනෙක් අත්අඩංගුවට අරන් මිනිසුන්ව භීතියට පත් කිරීමට පොලිසිය උත්සාහ දරනවා. උද්ඝෝෂණ අවස්ථාවලදී පොලිසිය මිනිසුන්ව අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මේක මිනිස්සුන්ට උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය නැති කිරීමක්. 


 මේ කියන විදිහට පොලිසිය මිනිස්සු මරලා මිනිය ගෙදරට ගෙන යනකල් ජනතාව නිශ්ශබ්දව සිටිය යුතුද? යන ප්‍රශ්නය මෙහිදී අපට මතුවෙනවා. 


මෙවැනි සිදුවීම් අහඹු සිදුවීම් ලෙස ඇතැම් අයට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මේක ඝාතන සංස්කෘතියක්. මේ සංස්කෘතියට අවශ්‍ය වී තිබෙන්නේ ජනතාව මර්ධනය කිරීමටයි. වෘත්තිය සමිති, ශිෂ්‍යාගේ කම්කරුවෝ, ගොවියෝ හෙට දවසේ ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට විරුද්ධව පොලිසිය තුවක්කුව එල්ල කිරීම සිදුවෙනවා. 


​ෙම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු පොලිස් කොමිසම අද සුදු අලියකු තත්ත්වයට පත්වී තිබෙනවා. එක්දහස් නවසිය තිස්හයේ සිට ව්‍යවස්ථාවලදී නිලධාරි තන්ත්‍රයට අධික බලයක් ලබාදී තිබෙනවා. සමසමාජ පක්ෂය කච්චේරියට විරුද්ධව උද්ඝෝෂණ කළා. 


 එක්දහස් නවසිය හැත්තෑ දෙකේදී දේශපාලන තන්ත්‍රයට ඒ නිසා බලය ලබා දුන්නා. එයින් වසර හතළිහකටවත් වඩා බැට කෑමට සිදුවුණා. දැන් විසඳුම විදිහට ආයෙත් කොමිෂන් සභා මගින් නිලධාරි තන්ත්‍රය අතරට බලය ගෙනැවිත් තිබෙනවා. 


 මේ තත්ත්වය හරියට ඔළුව මාරු කිරීම වෙනුවට කොට්ට මාරු කිරීම වැනි ක්‍රියා වර්ගත් මෙහිදී ඇතිවෙන ගැටලුව ​ෙවන්නේ මෙම ආයතන හසුරු​ෙවන්නේ කවුරුන්ද යන්නයි. එය හසුරුවන්නට කාගේ උවමනාවටද? කාගේ ආරක්ෂාව වෙනුවෙන්ද යන ගැටලු මෙහිදී මතුවෙනවා. දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය. 


 ඉකුත් ජනවාරි දහතුන් වැනිදා කොළඹ, පිටකොටුව පොලිස් ස්ථානයේ පොලිස් සිරමැදිරියක් තුළ සැකකරුවකු - මිය යෑමේ සිදුවීමක් වාර්තා විය. අදාළ සැකකරුවා ගංජා ළඟ තබා ගත් බවට චෝදනා එල්ලවීම නිසා මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර මියයැමේ සිදුවීම නිසා ජාතික පොලිස් කොමිසමේ මැදිහත්වීම මත පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුවක් සිදු කළේය. 


කතරගම සිදුවීම අදාළව ද ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් මාරුකර යැවීම සිදුවිය. පොලිසිය අතින් සිදු​ෙවන වැරදිවලදී එම පොලිස් නිලධාරීන් මාරු කර හැරීම පමණක් ප්‍රමාණවත් වන්නේද යන්න ගැටලුවකි. 


 කතරගමදී සිදුවූ මිනිස් ඝාතනය හා උද්ඝෝෂණ අවස්ථාවේ සිදුවූ පහරදීම් ආදිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම මේ ​ෙවන විට පරීක්ෂණයක් පවත්වමින් සිටින බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධ රහස් පොලිස් විශේෂ විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධ වාර්තාවක් නිකුත් කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

 

 

 

 

 

සමන්තිකා මාධවි