ජීවන වියදම අහස උසට නැඟ ඇති කාරණය සත්‍යයකි. සියලු දේ රුපියල් සත මත තීරණය වී ඇති යුගයක මුදල් පසුපසම හඹා යන්නට මිනිසුන් පෙළඹී තිබීම පිළිබඳව ද පුදුම විය යුතු නැත.


රාජ්‍ය සේවකයා මෙන්ම පුද්ගලික අංශ සේවකයින්ට ද ලබන වැටුප ප්‍රමාණවත් නැත. එනිසාම රට තුළ වර්ජනවල කෙළවරක් ද නැත. දුම්රිය වර්ජනයක් නිසා මුළු රටම කැලඹුණ හැටි අපට මතකය.


වර්ජනය ක්‍රියාත්මක වූයේ දුම්රිය එන්ජින් රියැදුරන්ට, දුම්රිය නියාමකවරුන්ට, ස්ථානාධිපතින්ට, දුම්රිය පාලක නිලධාරීන්ට සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමිනි.


ඇත්තටම මේ අය ඉල්ලූයේ ඔවුනගේ මූලික වැටුපට රුපියල් 320ක් එකතු කරන ලෙසය. බැලූ බැල්මට ඒ ඉල්ලීම මොන තරම් සුළු ඉල්ලීමක්ද? කියා කොයි කාටත් සිතෙන එක සාධාරණය. නමුත් රුපියල් 320ක් මූලික වැටුපට ඉල්ලන මේ අයගේ නොපෙනෙන පැත්ත පිළිබඳ අප හෙළි කරන්නේ එම හෙළි දරව්වේ වගකීම කොයි කාගේත් කරමත පතිත වන්නට ඉඩ දෙමිනි.


දුම්රිය දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේ ඉංග්‍රීසි පාලන සමයේදීය. ඒ කියන්නේ මීට වසර 160කට පෙරාතුවය. උඩරට වගා කළ කෝපි කොළඹට ගෙන ඒමේ අරමුණින් ස්ථාපිත කළ දුම්රිය සේවය කාලයත් සමඟ මෙරට මගී ප්‍රවාහනයේ අංක එක බවට පත්ව ගියේ කාලයත් සමගිනි.


අදටත් දුම්රිය සේවය මෙරට පොදු ප්‍රවාහනයේ අංක එකේ වටිනාකම රඳවාගෙන ඇතැයි කීමට පසුගියදා සිදුකළ දුම්රිය වැඩ වර්ජන වුවද ප්‍රමාණවත්ය.


මේ පිරිස වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් කළ වැඩ වර්ජනය දින හතරක් තිස්සේ ඇදී ගියේ රටම අවුල් කර දමමිනි. හදිසියේ ඇරැඹුණ එම වැඩ වර්ජනය නිසා කොළඹ ඇතුළු රාජකාරිවලට පැමිණ සිටි අය අතර මඟ අතරමං වූ හැටි අපට මතකය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය යුද පිටියක් බවට පත්ව ගිය හැටි මතකය.


එම වැඩ වර්ජනය වූ කලී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ සදාචාරාත්මක පියවර සියල්ල කණපිට පෙරළුෑ වර්ජනයකි.


පීඩාවට පත්ව අසරණ වූයේ මගී ජනතාවය.


දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ ඉල්ලීම වූයේ ඔවුනගේ මූලික වැටුපට රුපියල් 320ක් එක් කරන සටනය.


6-2006 චක්‍රලේඛයට අනුව මෙම නිලධාරීන්ට අයත් වැටුප් ශ්‍රේණියට අදාළ මූලික වැටුප රුපියල් 15,005කි. 2015 වසරේදී එම මූලික වැටුපට තවත් රුපියල් 1495ක් ලැබුණ පසු රැපියල් 16,500ක මූලික වැටුපකට මේ අය හිමිකම් කීහ. යහපාලන රජයේ ඊළඟ පොරොන්දුවට ප්‍රකාරව රුපියල් 16,500ක මූලික වැටුපකට හිමිකම් කී මොවුන්ට අදියර තුනක් යටතේ රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව ද ලැබිණි. මේ තරම් සොච්චම් මුදලක් උපයන මෙකී දුම්රිය රියැදුරන් ඇතුළු නිලධාරීන්ගේ මූලික වැටුපට තවත් රුපියල් 320ක් එකතු කිරීමේ වරද කිමෙක්ද?


සාමාන්‍යයෙන් කම්කරු නීතියට අනුව පැය අටක රාජකාරිවලින් පසුව වැඩ කරන සෑම පැයකටම අදාළව අතිකාල ලැබේ. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන අතිකාල දීමනා ක්‍රමය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මොවුනට ලැබෙන මූලික වැටුප සොච්චම් බව පෙනුණ ද මසකට පසුව පළමු ශ්‍රේණියේ දුම්රිය රියැදුරකුට ලැබෙන වැටුප 227,000කට වැඩිය. දුම්රිය රියැදුරකු ලෙස අලුතින් එකතු වන ආධුනික රියැදුරකු මසකට උපයන වැටුප රුපියල් 90,000ක් පමණකි. ඔහු වැටෙන්නේ III වැනි ශ්‍රේණියේ වැටුප් තලයටය.


ආධුනික දුම්රිය නියාමකයෙකුගේ වැටුප රුපියල් 85,000ක් පමණ වේ. පළමු ශ්‍රේණියේ දුම්රිය නියාමකවරයකුගේ මාසික වැටුප රුපියල් 150,000ක් පමණකි. දුම්රිය පාලකයින් ගත්තද පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් දළ වශයෙන් රුපියල් 125000ක පමණ වැටුපකට හිමිකම් කියයි. ආධුනිකයකු ලෙස තුන් වැනි ශ්‍රේණියට එන දුම්රිය නියාමකයෙක් වුවද රුපියල් 75,000ක පමණ වැටුපකට හිමිකම් කියන බව ඔවුනගේ වැටුප් වාර්තාවලින් තහවුරු වේ.


එසේ නම් මූලික වැටුපට රුපියල් 320ක් ඉල්ලන්නේ මන්ද? ඇත්තටම එනිසා දැනට වැටුප් විෂමතාවලට අනුව එම ඉල්ලීමේ වරදක් නැත. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවා වෘත්තීය සමිති නායකයින්ගේ ඉල්ලීම සාධාරණ බව කීවේ එනිසාය.


දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දුම්රිය රියැදුරන් 200ක් පමණද දුම්රිය නියාමකවරු 180 පමණද, දුම්රිය පාලකවරු 70ක් පමණ සේවය කරති. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවකයින් 14,600කට වඩා සේවය කරති.


දුම්රිය රියැදුරන් ඇතුළු පිරිසට වැටුප් වැඩි කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව තුළම සිටින සෙසු වෘත්තීන්වල නිරත අය අතරම අභ්‍යන්තර වශයෙන්ද වැටුප් විෂමතාවක් ඇති වේ. ඒ අනුව රියැදුරන් ඇතුළු පිරිසට වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව දුම්රිය දෙපාර්තමේන්තුවේ සෙසු සේවකයින්ටද සියයට 12ක වැටුප් වැඩි කිරීමක් ලබා දීමට රජයට සිදුවේ.


නැතිනම් සිදුවන්නේ දුම්රිය රියැදුරන්, නියාමකයින්, පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ මූලික වැටුප රුපියල් 320කින් වැඩි කළ පසු සෙසු සේවක වැටුප්ද වැඩි කිරීමට සිදුවීමය.


එපමණක්ද නොව දුම්රිය රියැදුරන් ඇතුළු නිලධාරීහු පිරිසගේ වැටුප් වැඩි කිරීම නිසා ඊට සමාන්තර ශ්‍රේණිවල නිලධාරි වැටුප් ද ඉහළ දැමීමට සිදුවේ.


එපමණක්ද නොව දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම තනතුරුවලට අදාළව අලුතින් බඳවා ගැනීම්වලදී ඔවුනට දැනට සීමාකර ඇති අධ්‍යාපන සුදුසුකම්ද වැටුපට අදාළව ඉහළ දැමීමට සිදුවන බව ද සඳහන්ය. දුම්රිය රියැදුරු ඇතුළු නිලධාරින් පිරිසගේ වර්ජනය හමුවේ සත පහක වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීවේ හේතු ඇතිවය.


ඇත්තටම තවත් කාරණයක් ඉතා පැහැදිළිය. දුම්රිය රියැදුරකුවීම ලෙහෙසි නැත. එය ඔබට හෝ මට කළ නොහැකි වග ද පිළිගත යුත්තකි. අනෙක් සේවාවල නිරත අයගේ රාජකාරියද සුවිශේෂීය. හමුදාවේ පිරිසකට දුම්රිය රියැදුරු පුහුණුව ඇතුළු දුම්රිය සේවයට අදාළ පුහුණුවක් ලබාදෙන බව කියන්නේ කලක සිටය.


නමුත් වර්ජන රැල්ල යට යෑමත් සමඟ ඒ කතාද යටපත්වී යන හැටි අපි දැක ඇත්තෙමු. මෙවර වර්ජනය හමුවේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා ද හමුදාවේ පිරිසක් ඉන්දියාවට යවා දුම්රිය රියැදුරු පුහුණුවක් අාරම්භ කරන බව කීවේය. කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතාද එය යළි කියා ඇත.


රාජ්‍ය සේවකයින් ඉටු කරන සේවය කුමක් වුවත් ඒ අය ඉල්ලීම් දිනා ගන්නට නම් සැම විටම සටන් කරති. දොස්තර, කොන්දොස්තර, රියැදුරු හෙදියන්, විදුලි සේවකයින් ආදී කී නොකී බොහෝ රාජ්‍ය සේවකයින් වර්ජන පිට වර්ජන කර ඒ අයගේ ඉල්ලීම් දිනා ගනිති. පුද්ගලික අංශවල සේවකයෝද කුමන හෝ ක්‍රමයකින් ජීවිතය ගැට ගසා ගනිති.


මේ කොයිම ඉල්ලීමක්වත් කළ නොහැකි ලක්ෂ සංඛ්‍යාත අසරණ මිනිසුන් මේ වර්ජනවලින් පීඩාවට ලක්වෙති. රෝහල්වල වර්ජන හමුවේ ජීවිතවලින්ම වන්දි ගෙවති. බස් හා දුම්රිය වර්ජනවලින් මහමඟ අතරමං වී පීඩා විඳිති. අකාර්යක්ෂම නිලධාරීන්ගෙන් පිරුණු රාජ්‍ය ආයතනත් එහි සේවයට එක්වන අයගේ ප්‍රශ්නත් අවසානයේ නතර වන්නේ පොදුජන හිස මතමය. බදු බරින්ද, පවුල් බරින්ද, බඩු මිලෙන්ද පීඩා විඳින මේ රටේ පොදු මහජනයා පෙළන මේ සටන් කලාවට ස්ථිර සාර පිළියමක් අවැසිය.


දේශපාලනඥයින් දෙපතුල් ළඟ වැඳ වැටී රාජ්‍ය සේවයට එක්වන ඇතැමුන් වර්ජන හරහා මේ රට රැගෙන යන්නේ වළපල්ලටය. පාලකයින්ද තවත් එක් දෙයක් කල්පනා කළ යුතුය. සේවකයින්ට ප්‍රශ්න ඇත. ඒ ප්‍රශ්න බුර බුරා නැගවිත් වර්ජන දක්වා දිග්ගැසෙන තෙක් විසඳුම් නොදීමද වරදකි. හෙට අනිද්දා වනවිට දුම්රිය ගාස්තු සියයට පහළොවකින් ඉහළ දැමීමට නියමිතය. දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකර මගීන්ගෙන් ඒ මුදල් අයකර ගන්නේ නම් එයින්ද තැ​ෙළන්නේද අසරණ මගියාය. එනිසා රටට නිසි දැක්මක් අවශ්‍යව ඇත.


ඒ ඒ ප්‍රශ්නයට ඒ ඒ පැලැස්තරය අළවා ප්‍රශ්න විසඳිය නොහැකිය. මේ අලවන පැලැස්තර එකවිට ගැලවුණ දවසට පාලකයින්ට ඉන්නට සිදුවන්නේ ගෙදරය. එවිට ඒ අයට ‘බලය ඇති කල මොළය නැත. මොළය ඇති කල බලය නැතැයි’ යන සුපුරුදු හුරුපුරුදු කියමනම යළි සිහිවනු ඇත. දැන්වත් බලය ඇති කල මොළයත් පාවිච්චියට ගත යුතුය.


මේ වර්ජනවලින් රට කම්බස් වනු නිසැකය. වැඩ නොකරන රටකට හෙටක් නැත. යම් දිනක මේ රට පිටරැටියන්ගේ කෙළිබිමක් වූ දවසකට සිදුවූ වින්නැහිය වැටහෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි කියා දැනෙනු ඇත.

 

 

ශිරාන් රණසිංහ