පළමුවැනි ජනාධිපතිවරණය අවස්ථාව වනවිට ප්‍රජා අයිතිය අහෝසිව සිටි කෙනෙකු වූවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂය වෙනුවෙන් විශාල දේශපාලන මෙහෙවරක් කළ බව ඇගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි සෙනරත් සෝමරත්න මහතා කියයි. එම සිදුවීම් ඔහු විස්තර කරන්නේ මෙසේය.


“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශවී යන මහ බෝම්බයක් තරමට එදා එහි අර්බුදය මෝරලයි තිබුණේ. එම බෝම්බය පුපුරුවා හරින රිමෝට් එක තිබුණෙ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතේයි. එය එහෙම්මයි කියල කෙළින්ම කියන්න තරම් දේශපාලන දැක්මක් එදා මට තිබුණා යැයි කියා මා කියනවා නොවෙයි. මොකද මා එය අධ්‍යයනය කරමින් දේශපාලනය කළ කෙනෙක් නොවෙයි. මට තිබුණේ මැතිනියගේ ආරක්ෂාවයි. නමුත් මැතිනියගේ අනාරක්ෂාවට ඒවාත් බලපාන බැවින් මට ඒ ගැනත් අවධානයෙන් ඉන්න සිදුවුණා. ඒ තුළ කටයුතු කිරීමේ අත්දැකීම් තුළිනුයි මට එවැනි දේ ගැන දැනීමක් අවබෝධයක් ඇති වුණේ. 


මැතිනියටත් පක්ෂයටත් තර්ජනයක් වුණා. ඒ බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ ප්‍රබල අවස්ථාවක් හැටියටයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මුල්වෙලා පැවැත්වූ නිට්ටඹුවෙ ටකරන් සම්මේලනය මම දකින්නෙ.


ටකරන් සම්මේලනය මැතිවරණ කොමසාරිස් චන්දානන්ද සිල්වා මහත්මයාට පිළිගන්න සිද්ධ වුණා. ඒ පිළිගැනීම තුළම පක්ෂයේ අයිතිය ඉල්ලා අනුර - මෛත්‍රී පිල දමා තිබූ නඩු හතමත් අහෝසි වුණා. පක්ෂයේ හිටපු මධ්‍යම කාරක සභාව අහෝසි වීමත් නීත්‍යනුකූල වුණා. අලුත් නිලධාරි මණ්ඩලයක් නීත්‍යනුකූල විදිහට පත්වුණා.


මේ සිද්ධියෙන් වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වුණේ අනුර - මෛත්‍රී කල්ලියේ 13 දෙනා නැවත කිසිම හේතුවක් සඳහා ආපසු පක්ෂයට බඳවාගන්න එපා කියන යෝජනාව මහ සම්මේලනයෙන් සම්මත වීමයි. නායකයන් අතර පැවැති කතාබස්වලින් මට ඇසුණ දැනුණ හැටියට එවැනි යෝජනාවක් ගෙන එන්න සම්මේලන න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබිල නෑ. එය චන්ද්‍රිකා මැතිනිය, විජය කුමාරතුංග, රත්නසිරි වික්‍රමනායක ඇතුළු කීප දෙනෙක් ඉතා සැලසුම් ගතව රහසිගතව කළ වැඩක් බවයි කියැවුණේ. මොකද අනුර බණ්ඩාරනායක මහතා, මෛත්‍රීපාල සේනානායක හා බැසිල් රාජපක්ෂ යන අයගෙන් ගලවලා ආපහු අරගන්න මැතිනිය තුළ තිබුණ ප්‍රයත්නය ඒ වනවිටත් ඉවත්වෙලා තිබුණෙ නෑ. ඇත්තෙන්ම එවැනි හැඟීමක් එතුමිය තුළ තිබුණ බව මා දන්නවා. හයදාහක් තරම් පිරිසක් එකහෙළා අත උස්සල ඒ යෝජනාව සම්මත කරද්දී මැතිනියගෙ දෑස්වලින් කඳුළු වැටුණේ ඒ නිසාම කියලයි මට නම් සිතෙන්නෙ.


කොහොම වුණත් අනුර බණ්ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක පී. බී. ජී. කළුගල්ල, ස්ටැන්ලි තිලකරත්න, හලීම් ඉෂාක්, අලෙවි මව්ලානා, එස්. ඩී. ආර්. ජයරත්න, කුමාරි බාලසූරිය, ඩික්සන් පෙරේරා, සුමතිපාල ජයවර්ධන, ජේ. ආර්. පී. සූරියප්පෙරුම ඇතුළු 13 දෙනාගෙ පිරිස තමයි නැවත පක්ෂයට බඳවා නොගන්න තීරණය වුණේ.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ සභාපතිත්වයෙන් අලුත් මධ්‍යම කාරක සභාවත් එදා ටකරන් සම්මේලනයෙන් පත්වුණා. රත්නසිරි වික්‍රමනායක මහත්මයා ලේකම් වුණා. මට මතක හැටියට විජය කුමාරතුංග මහත්මයා පත්වුණේ උප ලේකම්වරයෙක් හැටියට. 


ආ. ම. කරුණාරත්න, ඉන්ද්‍රපාල අබේධීර, රත්න දේශප්‍රිය සේනානායක, ආරිය බුලේගොඩ, කේ. බී. රත්නායක, චන්ද්‍රිකා කුමාරතුංග, බදුල්ලෙ පී.ඇම්. රත්නායක, ටී. බී. ඉලංගරත්න, හෙක්ටර් කොබ්බෑකඩුව, දි.මු. ජයරත්න, ආර්. ඇම්. අප්පුහාමි, ධර්මසිරි සේනානායක, ජයවර්ධන අත්තනායක, ආනන්ද දසනායක, මෛත්‍රීපාල සිරිසේන, පියදාස සිරිසේන, මහින්ද සේනානායක, නීතිඥ ජයා පතිරණ, නීතිඥ වී. ඩබ්ලිව්. කුලරත්න, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු 21 දෙනෙකුයි අලුත් විධායක සභාවට පත්වුණේ.”


“1982 සැප්තැම්බර් 17 වැනිදාටයි පළමුවැනි ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දෙන්න තිබුණේ. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කර ගැනීමට තිබුණ බාධක සියල්ලම ඉවත් කරගෙනයි තිබුණෙ. ඒත් ප්‍රජා අයිතිය අහෝසිවී ඇති මැතිනිය පක්ෂයේ නායිකාව හැටියට ඉන්න නිසා එම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ නොහැකිය යන මතය දේශපාලන භූමියෙන් ඉවත්වෙලා තිබුණෙ නෑ, නමුත් සංවර්ධන සභා ඡන්දයෙන් මාතලේ දිස්ත්‍රික්කයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමෙන් මැතිනිය කර තිබූ අත්හදා බැලීමේ සිදුවීම ගැන නොදත් අය අතර පමණයි ඒ මතය තිබුණේ. මුට්ටිය දාල බැලීමක් හැටියටයි එදා මාතලේ නොමිනේෂන් එක ගැන සඳහන් වුණේ. ඒ නිසා එය ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැවතත් අර්බුදයක් ඇති වුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම ගැනයි. එතනදී සිරිමා පිල සහ චන්ද්‍රිකා - විජය කියා පිල් දෙකක් හැදුණා.


සිරිමා පිලේ යෝජනාව වුණේ ටී. බී. ඉලංගරත්න මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කිරීමයි. චන්ද්‍රිකා - විජය පිල යෝජනා කළේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ නමයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ලෙස සේවය කළේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ අමාත්‍යංශය යටතේය. ඒ නිසා විය හැකියි එතුමිය කොබ්බෑකඩුව මහතා ගැන පැහැදීමක් තිබුණෙ. ඒ අනුව චන්ද්‍රිකා - විජය පිල කිව්වෙ කොබ්බෑකඩුව මහතාට රටේ ප්‍රසාදය වැඩියි කියලයි. විදේශීය බහු ජාතික කොම්පැනිවලට අයත්ව තිබූ රන් පවුම් වතු රජයට පවරාගෙන දුප්පත් ජනතාව අතර බෙදාදීම තුළ එතුමාට ඉහළ ජන ප්‍රසාදයක් පවතින බවයි ඒ කණ්ඩායම තර්ක කළේ. ටී. බී. ඉලංගරත්න මහතා මැතිනියගෙ රජයේ සිටියේ වෙළෙඳ ඇමැති හැටියටයි. ඔහුට කරෝල කුමාරයා වැනි ප්‍රවාද පවා බැඳී ඇති බවත් ඒ තුළ ලොකු ජන අප්‍රසාදයක් පවතින බවත් ප්‍රකාශ කළා. කොහොම වුණත් මේ අර්බුදය වැඩිදුර යන්න ඉඩ නොදී නිරවුල් කළේ මම දන්න හැටියට විජය කුමාරතුංග මහත්තයයි. එයා ඉලංගරත්න මහතා හමුවී කීප වතාවක් සාකච්ඡා කරල තියනවා. ඒ සාකච්ඡාවල හැටියට ඉලංගරත්න මහත්මයා ජනාධිපති අපේක්ෂක ධුර අපේක්ෂාව අත්හැරල කොබ්බෑකඩුව මහතා ගැන කැමැත්ත පළ කරල තිබුණා. මැතිනිය එතැනදී තමාගෙ පරාදය ගැන නිහතමානී වුණා.”