තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් අප මහත් හරසරින් පසුගියදා සැමරුවෙමු. විටෙක පුරුෂ මූලික සමාජයේ පරම්පරාව පවත්වා ගැනීම උදෙසා දරුවන් බිහි කරනු ලබන යන්ත්‍රයක් ලෙසට හඳුනාගත් කාන්තාව තවත් විටෙක සමාජය හඳුනාගෙන තිබුණේ පුරුෂයාගේ රැකවරණය යටතේ ජීවත්විය යුතු අසරණියක ලෙසටය.


ධනපති ප්‍රාග්ධනයට, කුණු කොල්ලයට, සූරාකෑමට ලක්විය හැකි ලාභ ශ්‍රමයක් ලෙසින් හංඩවු ගැසුණු කාන්තාව අද වනවිට බහුතර කාන්තාවන් පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ දරුවන් සාදාගත නොහැකි වඳ කාන්තාවන් ලෙසය.


දිගු කාලීන, කෙටි කාලීන සහ හදිසි උපත් පාලන ක්‍රම හිතුමතේ භාවිතා කිරීම හේතුවෙන් හා ඉවක් බවක් වන්ද්‍යාකරණ සැත්කම් කර ගැනීම හේතුවෙන් ජාතියක් ලෙසට අප අද වනවිට අංශ ගණනාවකින් පරාජයට පත්වී ඇත්තෙමු.


පසුගියදා අප කන වැටුණ තවත් අභාග්‍යසම්පන්න ප්‍රවෘත්තියක් වූයේ දඹුල්ල රෝහලේ දරු ප්‍රසූතියකට භාජනය වන කාන්තාවන්ට පවුල් සැළසුම් කර ගන්නා ලෙසට බල කරන වෛද්‍ය නිලධාරිනියක් ගැනය.


සදාචාරසම්පන්න නොවන මෙවැනි කරුණු හේතුවෙන් අද වනවිට පවුල්වල දරුවන් එක්කෙනෙකුට, දෙදෙනකුට සීමාවී ඇතුවා සේම තවත් පිරිසක් ජීවිත කාලය පුරාවටම දරුවන් නොලැබෙන අවාසනාවන්ත ඉරණමකට මුහුණදී තිබේ.


ජාතියක් ලෙසට මුහුණ දෙන මෙම ප්‍රශ්නය ගැන අපි විද්වත් පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමට උත්සාහ ගත්තෙමු.


කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ඇසුරෙන් මෙම ලිපිය සකස්වේ.


කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි:


“ජාතියක් විනාශවීම සඳහා හේතුවන කරුණු කිහිපයක් ගැන සමාජ විද්‍යාත්මකව පෙන්වා දෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද ලෝකයේ පුරාවට වඳවීගෙන යන ජාතීන් නම් කර තිබෙන බව ලෝකප්‍රකට කරුණකි. 


ලංකාවේ වෙසෙන සිංහල ජාතිය වඳවීමේ තර්ජනයට හසුවී ඇති බව හඳුනාගෙන ඇත. ලොව අනෙක් රටවල් හා බැලීමේදී රතු ඉන්දියානුවන්, ඕස්ටේ්‍රලියානු ඇබනේස්වරු ආදී ජාතීන්ද වඳවීමේ තර්ජනයට හසුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන තිබේ. ජාතියක් විනාශවීම සඳහා ස්වාභාවික හේතූන්, සදාචාර විරෝධි උපාය උපක්‍රම, හේතු භූත වන බව දක්නට පුළුවන්. සාමාන්‍යයෙන් ජාතීන් විනාශවීමට බලපාන ස්වාභාවික හේතූන් වනුයේ රෝග උපද්‍රව, වසංගත ඇතිවීම ආදී කරුණු ශ්‍රී ලංකාවේ සිංහලයින් මෙම ක්‍රමවලට අමතරව මුහුණ දෙන්නේ කූට උපක්‍රමික මගින් දීර්ඝකාලීනව සැළසුම්වලට බව කිව හැකි කරුණකි.


ලෝකයේ වෙසෙන්නා වූ පුද්ගලයන් තම තමන්ගේ නියෝජිත ආයතනවල, නියෝජිතයන් ලෙස කටයුතු කළ විට, ජාතීන් සතු අනන්‍ය ලක්ෂණ නැතිවී යන්නට පටන් ගැනේ. ලංකාවේ ජීවත්වෙන මිනිසුන් ජීවත් විය යුත්තේ ලංකාවේය. 


සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට නම් ශ්‍රී ලංකා භූමියේ ඇඟ තිබෙන්නාවූද, හිත තිබෙන්නා වූද කෙනෙකු විය යුතුය. එපමණක් නොව සමස්ත ශ්‍රී ලංකා දේශපාලනය කේන්ද්‍ර ගත විය යුත්තේද ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීම උදෙසාය. එසේ නොමැතිව දේශපාලනය තම ගොඩ වැඩිකර ගැනීම සඳහා භාවිත කිරීම ජාතියට වින කරන කරුණක් බවට හඳුනාගෙන ඇත.


කෙසේ වෙතත් මේ වනවිට ජාතියක් ලෙස සිංහල ජාතිය මුහුණදෙන අභියෝග කිහිපයකි.


ඉන් පළමු කරුණ වන්නේ ආහාර පද්ධතිය විකෘතිවීම නිසා ජාතියක් ලෙසට අපි රෝගීන් වීමට පටන් ගෙන තිබීමය. බෝ නොවන රෝග ඉන් ප්‍රධානය. මේ නිසාම නිරෝගීසම්පන්නව දීර්ඝ කාලයක් ජීවත්වූ ජාතියක් හැටියට අවම ආයුෂ ලබා වඳවීගෙන යන  තත්ත්වයට අද පත්ව තිබේ.


වසර 120ක් ජීවත්වූ මිනිසුන් මෙරට ජීවත්වූ බව වරක් රොබට් නොක්ස් ලෝකය ඉදිරියේ සඳහන් කර තිබුණේ අප මුතුන්මිත්තන් පරමායුෂ ලැබූ සැබෑ තත්ත්වය ලොවට හෙළි කරමිනි.


නමුත් අද වනවිට වයස අවුරුදු 40-45 වැනි වයසේ පසුවන්නන් පිළිකාවෙන්, දියවැඩියාවෙන්, කොලොස්ටරෝල්වලින්, හදවත් රෝගවලින් අවාසනාවන්ත ලෙස මියයෑමට පටන් ගෙන තිබීම ඉතාම ඛේදනීය තත්ත්වයකි.


විශේෂයෙන්ම මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇත්තේ විශේෂයෙන්ම සිංහලයින් සහ බෞද්ධයන් බව කරුණු සොයා බැලීමේදී අනාවරණය වී තිබේ. 


මෙපමණක් නොව අද වනවිට කූට උපක්‍රම භාවිතා කරමින් රාජ්‍ය නොවන ඇතැම් සංවිධාන සිංහල, ජාතිය වඳභාවයට පත් කරන ක්‍රමයන්හි නිරත වන බව ඔප්පුවී ඇත.


විශේෂයෙන්ම ආහාරපාන, රසකැවිලි, කේක් වර්ග, දේශීය ඖෂධවලට වඳ බෙහෙත් අඩංගු කර සිංහල බෞද්ධයන් වෙසෙන ප්‍රදේශවලට බෙදාහැරීමට පටන් ගෙන තිබේ.


මේ සියලු කරුණුවලින් අවසානයේ සිදුවී ඇත්තේ විවාහවී දරුවන් නොලැබෙන තත්ත්වයට අපේ කාන්තාවෝ පත්වීමය. 


රටක ජනතාව අතර දරුවන් හැදීමේ පරතරය වැඩි කිරීමේදී පවුල් සැළසුම් ක්‍රම භාවිත කළද, මවගේත්, දාරුවාගේත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් පවුල් සැළසුම් ක්‍රම භාවිත කළද, මෙම සියලු ක්‍රමවේදයන් සිංහල ජාතියකට පමණක් අදාළ වන්නේ නැත.
පුංචි පවුල රත්තරං යන සංකල්පය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන මුල් අවදියේදී, මෙම සංකල්පය සිංහල බෞද්ධයන් වැළඳගත්තද, අනෙක් ජාතීන් සියල්ලම දරුවන් සීමාකිරීමේ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.


මෙලෙසින් පවුලක දරුවන් සීමාවීමට ප්‍රථම, අප වැඩිහිටියන්ගේ එක් පවුලක දරුවන් දහ දෙනකු, පහළොස් දෙනකු සිටි අතර ඒ සියලු දරුවන් සේම දරුවන් බිහි කළ මෑණියන්ද සෞඛ්‍යසම්පන්නව ජීවත් වූ බව අපි දනිමු. එදා අප සමාජය තුළ මුල් බැසගෙන තිබුණේ “ලොකු පවුල ඉස්තරම්” යන්නය.


ලොකු පවුලක් තම පවුලට හෝ සමාජයට බරක් වූ බවක් එදවස දක්නට ලැබුණේ නැත. එදා දරුවන් දහ දෙනෙකු දොළොස් දෙනෙකු බිහි කළ පවුල්වල දරුවන් අද වනවිට වයස අවුරුදු 80-90 පරමායුෂ ලැබ අද වන විටත් ජීවත්ව සිටී. දරුවන් වැඩිපුර බිහිකළා කියා ඔවුන් සෞඛ්‍ය පිරිහුණු ජාතියක් බවට පත්වූයේ නැත. එම පවුල් එදා ඉතාම ඝණත්වයකින් ජීවත් වුණා පමණක් නොව, ආර්ථික අතින්ද පෝෂිත පිරිසක් බවට පත්ව සිටියහ. ඔවුන් සැබෑ ලෙසම ජීවිතය ජයගත් පිරිසක් විය. 


මේ සියලු කරුණු දෙස බුද්ධියෙන් බැලූ විට පෙනී යන්නේ දරුවන් අතර පරතරය තබා ගැනීමට හෝ දරුවන් දෙදෙනකු පමණක් ලබාගැනීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට හේතුවන බවට වර්තමානයේ ගෙන යන කථිකාව කොතරම් දුරට සාධාරණද යන්න සැක සහිතය.


එපමණක් නොව අදටද සීමාවකින් තොරව දරුවන් බිහි කරන ඇතැම් ජාතීන්ට මෙම පවුල් සැළසුම් ක්‍රම ඔස්සේ ලබා ගැනීමට උත්සහ දරන සෞඛයසම්පන්න බව බල නොපාන්නේ ඇයි? සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ගැටලු සෑම විටම බලපාන්නේ සිංහල බෞද්ධයන්ට පමණක්ද යන්න ප්‍රශ්නාර්ථයකි.


එම නිසාම යම් අයෙකු බුද්ධියෙන් නොසිතා කෙටි ලාභ බලාපොරොත්තුවෙන් වන්ද්‍යාකරණ ආදී සැත්කම්වලට භාජනය වීමත්, එන්නත් ආදිය ලබාගනිමින් දරුවන් බිහිකිරීම පමාකිරීමේ මූලික කරුණුවලින් සහ සදාචාර විරෝධීව කටයුතු කිරීමෙන් සිදුවන්නේ ජාතියක් ලෙසට අපි නොදැනුවත්වම වඳභාවයට පත්වීමය. එම නිසා අපි සැවෝම ජාතියක අනාගතය පිළිබඳ මීට වඩා සොයාබැලිය යුතුය.


ඉදිරි පරම්පරාව ගැන සොයාබැලිය යුතුය.


ජාතිය වඳවිය යුතු යැයි කෙළින්ම ඍජුව නොසිතුවත්, වක්‍රාකාරයෙන් ඊට උදව් උපකාර කරන්නාවූ, ක්‍රියා නිසා සිදුවී ඇති හානිය ඉතාම ප්‍රබලය.


වගකිවයුතු බලධාරින්, මහජන නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක පවුල් සංවිධානය ආදී ඒවායින් එවන ලද චක්‍රලේඛවලින් ඉදිරිපත් කර ඇති කරුණු පමණක් නිශ්චිත වශයෙන් පිළිනොගෙන ජාතියේ අනාගත ඉරණම තීරණය කරන දැවැන්ත තීරණයක් ලෙසට මේ පිළිබඳ සොයා බැලිය යුතුය.


පවුල් සෞඛ්‍ය සංවිධාන මගින් ‘පුංචි පවුල රත්තරං’ යන සංකල්පය ඒමට කළින් මේ රටේ සිටි ජනතාවට සිද්ධ වී තිබුණ අනාගතය කුමක්ද? විශාල දරු පිරිසක් හදාගත් අම්මාවරුන්ට තිබුණු ගැටලු මොනවාද?


සැබෑවටම බුද්ධියෙන් සිතන්න. විසඳුමක් දිය යුත්තේ ප්‍රශ්නයක් තිබෙන තැනකටය. එසේ නොමැතිව “ලොකු පවුල ඉස්තරම්” යනුවෙන් තිබූ තැනට ‘පුංචි පවුල රත්තරං’ යන සංකල්පය රැගෙන ආවේ කුමන හේතුවකටද යන්න ගැටලුසහගතය. 
විශේෂයෙන්ම අද වනවිට පුංචි පවුල රත්තරං යන සංකල්පය ස්වෙච්ඡාවෙන් ගෙල සිරකර ගැනීමක් බවට පත්ව තිබේ.


කෙසේ නමුත් හෙට දවසේ ජාතිය මුහුණ දෙන ප්‍රධානම ගැටලුව බවට මෙම ලිපිය පුරාවටම කියවූ වන්ද්‍යාකරණය කිරීමත්, බලහත්කාර ලෙස, සදාචාර විරෝධී ලෙස ආහාර පාන මගින් නිරෝගි පිරිස රෝගී කිරීමට කටයුතු කිරීමත් පෙන්වා දිය හැක.
මහපොළොව පවා නුහුලන තරමට අදවනවිට සිංහලයන් අතර අති බහුතරයකට දරුවන් නොමැති තත්ත්වයක් උදාවී ඇත්තේ නිසරුභාවයට ඔවුන් ජීවිත කාලය පුරාවටම පත්ව තිබීමයි. ජාතිය ලෙසට අඩුවීමට මෙම කරුණ බලපා ඇත.


ජාතියේ ජීවනාලිය බඳු දරුවන් නැතිවී යාම, සමස්ත පවුල් පද්ධතිය හීනවීම, සමස්ත ආර්ථික බලය කඩා වැටීම, සමස්ත භූමිය අහිමිවීම සිදුවූ තැනේදී, ඉන් අනතුරුව ඉතිරිවන පිරිස වහලුන් ලෙස ජීවත්වීමටත් ඇතැම් විට ලිංගික වහලුන් ලෙස ජීවත්වීමටත් සිදුව තිබේ. ඉතිරි පිරිස ඝාතනය වීමටත් ලක්ව ඇත.


මෙම කරුණ ශ්‍රී ලංකාවට පමණක් නොව අද වනවිට ලෝකයේ බොහෝ රටවලට බලපාන කරුණක් බවට පත්ව තිබේ. 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි:


“පවුල් සැළසුමේ මූලිකම අරමුණ වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමය. පවුල් සැළසුම අවස්ථා තුනකදී සිදුකරගන්නා අතර ඉන් ප්‍රධානම කරුණක් වනුයේ විවාහයෙන් පසු පළමු දරු උපත පමා කිරීමය. 


පළමු දරු උපතෙන් පසු ඉතිරි දරු උපත් අතර පවත්වා පරතරය දීර්ඝ කර ගැනීමද පවුල් සැළසුමේ අරමුණක් වූ අතර දරුවන් සෑදීම පමා කිරීමද මෙම උපක්‍රම භාවිතා කිරීමේ අරමුණු විය.


පවුල් සැළසුම් ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා 1953 වසරේදී පවුල් සංවිධාන සංගමය ආරම්භ කෙරුණු අතර මෙය රාජ්‍ය ආයතනයක් නොවීය.


1958 වසරේදී එවකට පැවැති රජය ස්වීඩන් රජය සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියාත්මක කළ පවුල් සැළසුම් වැඩසටහනේ මූලිකම අරමුණ වී තිබුණේ පවුල් සංවිධාන ක්‍රමයක් ක්‍රියාත්මක වීමේදී ආගමික වශයෙන් සහ සමාජීය වශයෙන් ඇතිවන විරෝධතාවය කවරේද යන්න සොයාබැලීමය.


එහිදී එම පාර්ශ්වයන්ගෙන් විශේෂ බලපෑමක් එල්ල නොවීය. ඒ අනුව ජාතික වැඩසටහනක් ලෙසට පසුව 1965 වසරේදී පවුල් සැළසුම් ක්‍රමය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.


මෙහිදී “පුංචි පවුල රත්තරං” යන සංකල්පය සෑම හදවතකටම දැනෙන පරිදි, මතකයේ රැඳෙන පරිදි නිතර නිතර සන්නිවේදන ක්‍රම ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට විය. 


‘නැණති දනා පමණ දැනා
දරු සුරතල් බලති මනා’


යනුවෙන්ද දරුවන් සීමාකිරීම පිළිබඳ නිතර නිතර ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීමට පටන් ගැනිණි. මෙම දැන්වීම් සියල්ලෙහි මූලිකම අරමුණ වූයේ පවුලකට දරුවන් දෙදෙනකු සිටීම ප්‍රමාණවත් යනුවෙන් සමාජගත කිරීමය.


ඉතිහාසය දෙස බැලීමේදී උපත් පාලනය, පවුල් සැළසුම දරුණු ලෙසටම ක්‍රියාත්මකවූ කාලයක් ලෙස 1985-1994 කාලය හඳුනාගෙන තිබේ.


මේ කාලයේදී බොහෝ දේ සිදුවූ අතර 1987 වසර වනවිට ස්ථිර පවුල් සැළසුම් ක්‍රම වැඩි වශයෙන් මෙරට භාවිත වන්නට විය. ස්ථිර පවුල් සැළසුම් ක්‍රම යටතේ වන්ද්‍යාකරණ සැත්කම් කිරීම සිදුවිය.


පුරුෂයන් සඳහා වාසෙත්තමී ශල්‍යකර්මයත්, කාන්තාවන් සඳහා එල්.ආර්.ටී. සැත්කමක් ක්‍රියාත්මක විය.


මෙම සැත්කම් කරගන්නන් හට නැවත තමන්ට අවශ්‍ය වුවත් දරුවන් සාදා ගැනීමට නොහැකි විය.


මෙලෙසින් ස්ථිර පවුල් සැළසුමට භාජනය වන කාන්තාවට හෝ පුරුෂයාට එයට දිරි දීමනාවක් ලෙස රුපියල් 500ක මුදලක් පිරිනැමුණ අතර ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවිත ගැට ගසාගත් බොහෝ දෙනෙකු රුපියල් 500 ගැනීමටද සැත්කම් කර ගත් අවස්ථා එදවස වාර්තා විය. කාලයත් සමඟ මෙලෙසින් ස්ථිර පවුල් සැළසුම් කරගන්නන්ගේ ප්‍රතිශතය ශීඝ්‍ර ලෙස වැඩිවී පසුව අඩුවූ අතර 2007 වසරින් පසුව වැඩිපුරම මෙරටදී ක්‍රියාත්මක වූයේ තාවකාලික පවුල් සැළසුම් ක්‍රමය. එවකට මෙරට ස්ථිර පවුල් සැළසුම් ක්‍රම ක්‍රියාත්මක වී තිබුණේ 17% වැනි ප්‍රතිශතයකි.


කෙසේ නමුත් මිනිසුන් බුද්ධියෙන් සිතා මෙලෙසින් ස්ථිර පවුල් සැළසුම් ක්‍රමවලින් ඉවත් වූවා විය හැකිය. අද වනවිට බහුලව භාවිතා වන බවට වාර්තා වන්නේ තාවකාලික පවුල් සැළසුම් ක්‍රමය.


තාවකාලිකව සිදුකෙරෙන පවුල් සැළසුම් ක්‍රම තුනකි.


(1) බැහැරින් හෝමෝන ලබාගැනීම
(2) කාන්තාවන් සඳහා ලූප පැළඳීම :ෂඹඔ* 
(3) පුරුෂයන් කොන්ඩම් භාවිත කිරීම


මේ අතරින් කාන්තාවන් වැඩිපුරම තාවකාලික පවුල් සැළසුම් ක්‍රම ලෙස භාවිත කරනුයේ හෝමෝන ලබා ගැනීමය. හෝමෝන ලබාගැනීමේ සුලභ ක්‍රමය ලෙස භාවිතා කරනුයේ දිනපතා ගිලින උපත් පාලන පෙතිය.


හෝමෝන අඩංගු ඖෂධ කාන්තාවන් ලබාගතයුත්තේ වෛද්‍ය උපදෙස් මත වුවද, වර්තමානයේ බොහා් කාන්තාවන් මෙම පෙති ගිල දමනුයේ දන්නා අඳුරණ අයගෙන් අසා හිතුමතේය. එම නිසාම මෙය අනතුරුදායක තත්ත්වයක් බවට පත්ව තිබේ.


තාවකාලික පවුල් සැළසුමක් ලෙසට භාවිත කරන උපත් පාලන පෙති භාවිතයට පෙර ඒවා භාවිතා කරන කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීම අනිවාර්යය වේ.


අවුරුදු 40ට වැඩි කාන්තාවක් නම්, ඇය දියවැඩියාව, අධිරුධිර පීඩනය හෝ ස්ථුලතාවයෙන් පෙළෙන්නේ නම් දිනපතා භාවිතා කරන හෝමෝන පෙති ලබාගැනීම ඉතාම අනතුරු දායක බව වෛද්‍ය මතයකි.


ඉරුවාරදය ඇති කරන්තාවන්ටද මෙම තාවකාලික පවුල් සැළසුම් පෙති ගැනීම අවදානම් අතර ආඝාතයට, හෘදයාබාධ සඳහා ප්‍රතිකාර ගන්නන්ටත් මෙම ප්‍රතිකාර ක්‍රම ලබා නොදිය යුතු බවට වෛද්‍ය විද්‍යාවේදී පෙන්වා දී තිබේ. 


මීට අමතරව යම් කාන්තාවක් අක්මා රෝගයකින්, සෙංගමාල රෝගී තත්ත්වයකින් පෙළේනම් එවැනි කාන්තාවන්ටද මෙම හෝමෝන පෙති ලබා නොදෙනා ලෙසට දෛව්‍යවරු නිර්දේශ කර ඇත්තේ එමගින් අක්මාවට බලපෑමක් වේ යැයි යන සැකයෙනි.
තවද දරු උපතකින් පසුව ගත වන මුල් සති 06 තුළදී මවුකිරි ලබාදෙන මවටද හෝමෝන පෙති ලබා නොදේ. 


පියයුරු පිළිකා, ගර්භාෂා පිළිකාවලට භාජනය වී ප්‍රතිකාර ගන්නා කාන්තාවකටද හෝමෝන පෙති ගැනීම නොකරන ලෙසට වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ මෙමගින් රෝගය උත්සන්න විය හැකි බැවිනි.


අපස්මාරය රෝගයට ප්‍රතිකාර ගන්නා කාන්තාවකටද මෙම ඖෂධය ලබා නොදෙන්නේ ඖෂධ ප්‍රතික්‍රියාව නිසා රෝග තත්ත්වය වැඩිවීමට බලපා හැකි බැවිනි. තාවකාලික පවුල් සැළසුම වෙනුවෙන් හෝමෝන ලබාගන්නා දෙවැනි ක්‍රමය වන්නේ එන්නත් මගින් ලබා ගැනීමය. මාස තුනෙන් තුනට ගන්නා එන්නත මගින් කාන්තාවන්ට අතුරු ආබාධ රැසක් මතුවිය. මාස තුනෙන් තුනට එන්නත ගන්නා කාන්තාවකට එන්නත නොගෙන සිටීමෙන් ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමකට යා හැකි යැයි විශ්වාස කළද, එම උත්සාහයන් ව්‍යාර්ථ වී ගිය අවස්ථා ඕනෑ තරම් වාර්තාවිය. එම නිසා මෙම ක්‍රමය අදවනවිට ක්‍රියාත්මක වන්නේ විදේශගතවන කාන්තාවන්ට පමණි.


හෝමෝන ලබාගැනීමේ තුන්වන ක්‍රමය ලෙසට ක්‍රියාත්මක වූයේ සම යට තැන්පත් කිරීම.


වෛද්‍යවරයෙකු යටතේ අතේ (බාහුවේ) ඉහළ කොටසේ කැපුමක් දමා හෝමෝන තැන්පතුවක් ඇතුළත් කරගත හැකි අතර එම තැන්පතුවේ වර්ගය අනුව, වසර 3ක් හෝ වසර 5 ක කාලයක් තාවකාලික පවුල් සැළසුම් ක්‍රමයක් භාවිතා කළ හැකිය.


කාන්තාවන් සඳහා භාවිත කරන අනෙක් ප්‍රධානම තාවකාලික පවුල් සැළසුම් ක්‍රමය වන්නේ ලූපය :ෂගඹගඔග* භාවිත කිරීම.
කොණ්ඩම් භාවිතයද පවුල් සැළසුම වෙනුවෙන් භාවිත කරන සාර්ථක ක්‍රමයකි.


මෙම සියලු කරුණු මෙලෙසින් ක්‍රියාත්මක වුවද, වර්තමානයේ බොහෝ තරුණියන් හදිසි පවුල් සැළසුම් ක්‍රමලෙසට භාවිතා කරනුයේ වෛද්‍ය නිර්දේශයකින් තොර ලබාගන්නා ඖෂධය භාවිත කිරීමය. 


මෙලෙසින් භාවිතා කරන ඖෂධයන් ගෙන් හදිසි අවස්ථාවලදී ඇතිවන අනාරක්ෂිත ගැබ්ගැනීම් පාලනය කෙරෙන අතර මෙය තරමක් අවදානම් කරුණක් වේ.


අද වනවිට විවාහයට පත් නොවූ තරුණියන් සේම, අනවශ්‍ය සම්බන්ධතා පවත්වන වැඩිහිටි කාන්තාවන්ද හදිසි පවුල් සැළසුම් ක්‍රම බහුලව භාවිතා කරන බවට කරුණු අනාවරණය වී තිබේ.


හදිසි උපත් පාලන පෙතිවල ඉතා අධික සාන්ද්‍රනයන්ගෙන් හෝමෝන තැන්පත් කර ඇති අතර මේ නිසාම භාවිත කරන්නන්ට ගැටලු රාශියක් මතුවිය හැකි බව හඳුනාගෙන ඇත. 


අද වනවිට කාන්තාවන් බොහොමයකට ගර්භාෂයට පිටතින් දරුවන් පිළිසිඳ ගැනීම වැඩිවීමට, හිතුමතේ භාවිතා කරන හදිසි උපත් පාලන ක්‍රම හේතුවී ඇති බව නාරි හා ප්‍රසවවේද වෛද්‍යවරුන් පවා හඳුනාගෙන ඇති කරුණකි. 


වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පෙන්වා දෙන්නේ දරුවන් අතර පරතරයක් පවත්වා ගැනීමට උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය නිර්දේශය මත ලබාගැනීම වරදක් නැත. නමුත් වෛද්‍ය නිර්දේශයකින් තොරව දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන පවුල් සැළසුම් ක්‍රම භාවිතා කිරීම සදාකාලිකවම දරුවන් නොලැබෙන නිරෝගි දරුවන් නොලැබී යා හැකි බවට අද වනවිට හඳුනාගෙන තිබේ. මෙම කරුණුවලට අමතරව භාවිත කරන්නා හට ජීවිත අවදානමක්ද ඇතිවීමට මෙම කරුණු බලපෑ හැකිය. හෝමෝන ලබාගැනීමේ අතුරු ආබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, කොලෙස්ටරෝල්, අක්මා ආබාධ, සෙංගමාලය, ඉරුවාරදය වැනි රෝග තත්ත්වයන් තිබියදී හෝමෝන පෙති ලබාගැනීමෙන් ජීවිත අවදානමක් පවා ඇතිවිය හැක.


හෝමෝන ලබා ගැනීමෙන් ස්ථුලතාවයට පත්වීමට පුලුවන.


හදිසි උපත් පාලන ක්‍රම භාවිතයේදී ගර්භාෂයෙන් රුධිරය වහනයවීම, ආර්ථවයේ දින වෙනස් වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.
ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම්ද ඇතිවේ. 


නිතර හිසරදය ඇතිවීම, වෙහෙසකර බව, කරකැවිල්ල ආදී තත්ත්වයන් දැක ගත හැකිය. 


කෙසේ නමුත් රටේ පවතින නීතියට අනුව කිසිම අවස්ථාවක උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරන ලෙසට වෛද්‍යවරුන් බල කරන්නේ නැත. එය හුදෙක් ආචාර ධර්මයන්ට පටහැනිය. ස්ථිර පවුල් සැළසුමක් කරගත යුතු යැයි යම් කාන්තාවක් ඉල්ලා සිටියහොත් එහිදී වෛද්‍යවරයා මගින් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරේ. එහිදී, දරුවන් දෙදෙනකුට වඩා අඩු පවුල් සඳහා ස්ථිර පවුල් සැළසුම් ක්‍රම වෙනුවෙන් ඉඩක් ලැබෙන්නේ නැත. 


කරුණු සොයා බැලීමේදී අනිත් ජාතීන්ට වඩා සිංහල ජාතිය පවුල් සැළසුම් ක්‍රමවලට මූලික තැනක් ලබාදුන් අතර එයට මූලිකම හේතුවක් ලෙසට හඳුනාගෙන ඇත්තේ ඔවුන්ගේ ආර්ථික පසුබිම, සමාජීය තත්ත්වයන් ගැන වැඩි සැළකිල්ලක් දැක්වීමය.


වෙනත් ජාතීන් තුළ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට ඔවුන්ගේ ජාතිය තුළින්ම යම් පෙළඹවීමක් සිදුවන බව හඳුනාගෙන තිබේ. එහිදී වත්කමින් අඩු පවුල්වලට උදව් උපකාර කිරීම, සිදුවන නමුදු සිංහල බෞද්ධයන් අතර එවැනි තත්ත්වයක්ද දක්නට ලැබෙන්නේ නැත.

සටහන:- අසුන්තා එදිරිසූරිය