වාහන දඩ මුදල් වැඩි කිරීම ‘නැවතත්’ සමාජයේ දැඩි කතාබහට පත්ව ඇත්තේ 2018 අගෝස්තු 12 වැනිදා සිට අලුත් රෙගුලාසි ක්‍රියාත්මක වීමත් සමගය. මෙම වාක්‍යයේ ‘නැවතත්’ යනුවෙන් සඳහන් කිරීමට සිදුවූයේ ‘රථවාහන දඩ’ ගැන කවදත් මෙරට පොදු ජනතාව බොහෝවිට සමස්ත පොලිස් ප්‍රජාවටම සාප කරන නිසාය. කොතරම් ආචාරශීලී ලෙස රථවාහන නීති කඩ නොකරමින් ගමන් කරන රියැදුරෙකු අල්ලා දඩ කොළයක් ලිවීමට හේතුවක් නැත්නම් තමන් කළ වරද කුමක්දැයි පොලිස් නිලධාරියා ගෙන් කරුණු විමසූ රියැදුරාට ‘රාජකාරියට බාධා කිරීම’ යටතේ හෝ මානුෂිකව උසාවියට දැක්කවීම අද භාවනාවේ නියුතු පොලිස්පති ‘පූජිත්’ මහතාගේ ගෝලයින් වන රථවාහන පොලිස් නිලධාරින්ගේ ‘කුජීත’ පිළිවෙත බව පිළිකුළෙන් හෙළා දැකීමට සිදුවී තිබේ. 


සමහර වටරවුම්වල විවිධ පැතිවලට ඊතල ඇඳ ඇත. සමහර ඊතල ස්ථානගත වී ඇත්තේ උඩුගුවනටය. ඉන් ඇඟෙන්නේ වාහනය උඩුගුවනට ගන්නට එපා කියන්ට විය යුතුය. එක් තැනක පාර පනින්නට කහ ඉරිය. තවත් තැනක සුදු ඉරිය. විවිධ පළාත්වල පාරේ ඇඳ ඇති ‘ඉරි’ මෝටර් රථවාහන මාර්ගෝපදේශ පොත්වලවත් නැත. තනි අතට යන වීදිවල සංඥා පුවරුවල මරණ දැන්වීම් අලවාය. ඒ සාපයටත් වගකියන්නට වී ඇත්තේ අසරණ රියැදුරන්ටය. දීර්ඝ නිවාඩුවකට දුර පළාතකට යන පවුල්කාරයකුට දුර බැහැර දී දෙන දඩ කොළය ගෙවා කොළඹට ඒමට දිගු නිවාඩුව ඉවරවෙන තුරු සිටීමට සිදුවී ඇත. ලෝකයෙන්ම ‘මුදල්’ භාවිතය ඉවත්ව යන යුගයක අපේ දඩ කොළ තාමත් ගෙවන්නේ මුදලෙනි. ටෙලර් මැෂිමෙන් ගත් නෝට්ටුවේ බලි කුරුටු ගා තිබුණොත් ඒ නෝට්ටුවේ අලාභය ද රියැදුරා දරා ගැනීමෙන් පසු දඩ මුදල ගෙවා රිසිට්පත අතට ගත යුතුය. රිසිට් පත ගෙවා පොලිසියට ගිය විට ‘ට්‍රැෆික් අංශයේ’ කාර්යක්ෂමතාව ඇතිකර ගැනීමට ගම්බෝතල්, පෑන්, පැන්සල් දොළ පිදේනියක් දීම ප්‍රමාණවත් නොවූ විට ගතමන්ට් එකක් සංතෝෂමක් නොහොත් ජරාවක් ලෙස දිය යුතුව ඇත. මේ හත් ඉලව්ව කර ලයිසන් එක දාන තඩි ලී පෙට්ටිය බලන විට ලයිසන් එක වෙනත් පුද්ගලයකු ගෙනගොස් හමාරය. අපේ රථවාහන දඩ ගැන ප්‍රගති වාර්තාව ඕං ඔහොමය. 


නව රථවාහන නීති රෙගුලාසි යටතේ ත්‍රිරෝද රියැදුරු බලපත් නිකුත් කරන්නේ වයස 35න් පසුවය. කලකට ඉහත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා ප්‍රකාශ කරන ලද්දේ පැයකට මෙරට ත්‍රිරෝද රථ 72ක් ලියපදිංචි කරන බවය. 2011 දී ත්‍රිරෝද රථ 1,38,426ක් ලියාපදිංචි කරන ලද අතර 2012 දී ලියාපදිංචි ත්‍රිරෝද සංඛ්‍යාව 7,10,919 දක්වා ඉහළගොස් තිබුණි. 2017 මහ බැංකු වාර්තාව වාර්තා කොට ඇති පරිදි මෙරට ඇති ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව සලකන විට වයස අවුරුදු 35ට අඩු කොතරම් රියැදුරන් පිරිසක් ත්‍රිරෝදයෙන් ‘බඩ රස්සාව’ කරනවාදැයි ඇස්තමේන්තු ගත නොකිරීම බලවත් අඩුවකි. 


අලුත් සංශෝධනයට අනුව හඳුනා ගැනීමේ අංක සඳහා වැරැදිවලට දඩය රුපියල් දහසකි. මේ ‘ලූණු සිවියක්’ තරම් නැති අංක තහඩුවකට මෙතරම් අධික මුදලක් අය කරන්නේ ඇයි? මේ මුදල යන්නේ මහා භාණ්ඩාගාරයට නොව පෞද්ගලික කොම්පැනියකටය. එදා කොළඹ ඩාර්ලිපාර, නාරා​ෙහ්න්පිට ප්‍රදේශ මූලිකවත් පොදුවේ මේ රට පුරාත් වාහන අංක තහඩු නිමවා කී දහසක් ජීවත් වුණාද? මේ තුනී අංක තහඩුව ගංවතුරකට හසු වුවහොත් ගසාගෙන යන තරම් ‘බාල’ නිෂ්පාදනයකි. එය නැවත ගැනීමට සපුරාලිය යුතු කොන්දේසිවල ‘ගොරහැඩි’ බව දන්නේ ඒ අත්දැකීමට මුහුණ දුන් පුද්ගලයා පමණි. අංක තහඩු වැරැදිවලට රියැදුරු බලපත්‍ර අපේක්ෂකයන්ගේ 'L' බෝඩ් එක ද අදාළ දැයි පැහැදිලි නැත. 2009 දී ඩොමර් රථවාහන දෙපාර්තමේන්තුව රියැදුරු පුහුණුවට භාවිත 'L' බෝඩ් එක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රු. 300/-ක් ගෙවා මිලදී ගැනීමට අනිවාර්ය නීතියක් පැනවූ බව අද බොහොමයකට අමතකය. 


නව සංශෝධනවලට අනුව රියැදුරු බලපත්‍රය ​රැගෙන නොයෑමට ඇති දඩය රු. 1000/-කි. 2012 දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අනතුරු අවම කර ගැනීමට අභිවෘද්ධි ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන බවය. මේ ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණා නම් දඩ මුදල් මෙතරම් වැඩි කිරීමට සිදුවේ දැයි සැක සහිතය. එදා ලකුණු දීමේ ක්‍රමවේදය දැක්වූයේ මෙසේය. 


1. සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් හිමි රියැදුරෙකු තමන් විසින් මහා මාර්ගයේ දී මාස 24ක් ඇතුළත කළ වැරැදි සඳහා අභිවෘද්ධි ලකුණු 24ක් ලබා ගතහොත් එම සාමාන්‍ය රියැදුරු බපලත්‍රය මාස 12ක කාලයක් අත්හිටුවනු ලැබේ. 


2. සාමාන්‍ය බලපත්‍රයක් දරන්නකු රියැදුරු අභිවෘද්ධි ලකුණු 18 වැඩි 23ට අඩු සංඛ්‍යාවක් ලබාගත් විට තව එක ලකුණක් ලබාගත් පසු රියැදුරු බලපත්‍රය අවලංගුවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට අනතුරු හැඟවීමක් කරනු ඇත. 


3. සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක පරිවාස කාලය ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 06ක් ලබාගත හොත් එම රියැදුරු බලපත්‍රයේ පරිවාස කාලය තවත් වසරක් දීර්ඝ කරනු ලැබේ. 


4. පරිවාස කාලය තුළ රියැදුරු අභිවෘද්ධි ලකුණු 6ට වැඩි සංඛ්‍යාවක් ලබාගතහොත් එම රියැදුරු බලපත්‍රය අවලංගු වේ. එවිට නැවත රියැදුරු බලපත්‍රය ලබා ගත යුතුය. 


5. සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24 ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24ට අඩු ප්‍රමාණයක් ලබා ඊළඟ වසර තුළ රියැදුරු අභිවෘද්ධි ලකුණු ලබා නොගතහොත් එම ලකුණුවලින් 06ක් අඩු කරනු ලැබේ. 


6. ඉන්පසු එළැඹෙන අවුරුද්දේ රියැදුරු අභිවෘද්ධි ලකුණු තව දුරටත් ලබා නොලැබ සිටියහොත් ඔහුගේ රියැදුරු බලපත්‍රය සඳහා හිමිව තිබූ සියලුම අභිවෘද්ධි ලකුණු අහෝසි වනු ඇත. 


7. රියැදුරු උපදේශක බලපත්‍රය දරන්නෙකු (රියැදුරු පුහුණුකරුවන්) මාස 24ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 12ක් ලබා ගතහොත් ඔහුගේ උපදේශක රියැදුරු බලපත්‍රය මාස 12 ක කාලයක් අත්හිටවනු ලැබේ. 


8. රියැදුරු උපදේශක බලපත්‍රය දරන්නෙකු වසර 4ක් ඇතුළත මෙසේ අභිවෘද්ධි ලකුණු 24 බැගින් ලබාගෙන රියැදුරු උපදේශක බලපත්‍රය අත්හිටුවනු ලැබුවහොත් එම උපදේශක බලපත්‍රය අවලංගු කරනු ලැබේ. 


9. ඉහත ඳහන් සාමාන්‍ය රියැදුරු බලපත්‍රය හෝ උපදේශක බලපත්‍රය අවලංගු කිරීම ආරම්භක දිනය වන්නේ එම සාමාන්‍ය රියැදුරු බලපත්‍රය හෝ උපදේශක බලපත්‍රය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත භාරදුන් දිනයයි. 


10. සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නකුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු ඔහු පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කර එම සහතිකය මෝටර් රථ ප්‍රවාහන ​කාමසාරිස් ජනරාල්ටත් මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කර එම කාලසීමාව මාස කිහිපයකින් අඩුකරගත හැක. 


11. මෙම අභිවෘද්ධි ලකුණු සාමාන්‍ය රියැදුරු බලපත්‍රය හෝ උපදේශක බලපත්‍රයට ඇතුළත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය මගින් සෑම මසකම 10 වන දිනට ප්‍රථම ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛන මගින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත දන්වා එවිය යුතුය. 


මේ නව දඩ ක්‍රමයෙන් පෙනෙන ප්‍රධාන කරුණ රථවාහන අනතුරු වළක්වා ගැනීම නොව රජයට ආදායමක් එකතු කර ගැනීමේ එකම අරමුණ බව ‘අභිවෘද්ධිය ලකුණු’ ක්‍රමයෙන්ම පැහැදිලි වේ. 


බස් රථ රියැදුරන්ගේ ප්‍රධාන අභියෝගයක් එල්ලවී ඇත්තේ වේග සීමා කඩ කිරීමේ දඩය රුපියල් තුන්දහසක් (3,000/-) වීමත් මාර්ග නීතිවලට අවනත නොවීම දඩය රුපියල් දෙදහසක් (2,000/-) වීමය. මෙම දඩ මුදල් වැඩි කිරීමේ අරමුණ රජයට ආදායම් එකතු කර ගැනීම වුවත් ප්‍රායෝගිකව අත්විඳිය හැකි ප්‍රතිඵලයක් ලෙස වැරැදිකරු මුදා හැරීමට ට්‍රැෆික් රාළහාමි අනිසි ලෙස අය කරනු ‘ස්ථානීය පගාව’ ඉහළ යාමද වැළැක්විය නොහැකිය. 
දුම් විමෝචන සහතිකය අද එකම විහිලුවක් වී තිබේ. නව රෙගුලාසි අනුව අධික දුම් විමෝචනය සඳහා දඩය රුපියල් දහසකි. දුම් විමෝචන ස්ථානයට සහතිකය ගන්නට යන වාහනය එයින් ‘ෆේල්’ වුණොත් කීයක් හෝ අතමිට මොළවා සහතිකය ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එම දුම් සහතිකය ඉදිරි වසර සඳහා පරිසර හානියක් නොවන බවට සහතිකයක් වන්නේ කෙසේද? දුම් සහතිකය නිකුත් කළ වාහනයකින් රුපියල් දහසක දඩයක් අය කරන්නේ නම් එය අය කළ යුත්තේ වාහන හිමිකරුගෙන් නොව සහතිකය නිකුත් කළ ආයතනයෙනි. 


රජයේ විගණකාධිපතිවරයා වරක් ප්‍රකාශ කරන ලද්දේ 2010 මාර්තු 15 සිට 2011 නොවැම්බර් 30 දක්වා දුම් විමෝචන නිකුත් කරන කොම්පැනි දෙක නීති විරෝධී ලෙස අය කරගෙන ඇති මුදල රුපියල් දහසය කෝටි අසූහය ලක්ෂ දහ නව දහස් හයසිය නවයක් බවය. විගණකාධිපති වාර්තාව අනුව උක්ත කාල පරිච්ඡේදය තුළ දුම් සහතික නිකුත් කිරීමේ ගාස්තුව වැඩි කර තිබූ ප්‍රතිශතය 47%කි. ඉහත කෝටි ගණන අයතා ලෙස අය කරගෙන ඇත්තේ එම වැඩි කිරීම තුළිනි. මෙම ගාස්තුව වැඩි කිරීමේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය, තොග මිල දර්ශකය, වැටුප් අනුපාත දර්ශකය, ආදි දර්ශක පාදක කර නොගත් බව විගණකාධිපති වාර්තාවේ සඳහන්ය. මෙතරම් අධික මුදලක් වැයකොට දුම් පරීක්ෂණ වාර්තාවක් ලබාගත්තත් අවසානයේ වාහන හිමිකරුට ඒ ගැන දඩ මුදල්ද ගෙවීමට සිදුවීම මේ ‘දඩයම්’ යුගයේ මෛත්‍රියෙන් යුතුව ඉවසා වැදෑරිය සිටිය යුතුව තිබේ. 
නව සංශෝධන තුළින් වාහන ‘සීට්බෙල්ට්’ පැළඳ නොසිටීමට දඩය දහසකි. එය ආරම්භ කළ යුගයේ දඩ කොළ ද නොවීය. දඩ මුදලට වඩා මුලින්ම ආයතනයට තබා ගැට ගැසිය යුත්තේ මාරක අනතුරු සිදුකොට පලායන බස් රියැදුරන්ය. වැරැදි ලෙස වාහන නැවැත්වීමට අදාළ දඩ මුදල රුපියල් දහසක් වීම හතර බීරි කතාවකි. එය නැවත අධ්‍යයනය කළ යුත්තකි. කොළඹ නගරයේම වාහන නැවැත්වීමට 'P' අකුර ඇති සංඥා පුවරු ඇත්තේ කීයද? වාහන ගාල් කරනවාට මුදල් අය කරන්නන්ට පාර දෙපස බදුගෙන ඇති ආයතන නිකුත් කරන රිසිට් පත ‘වැරැදි ලෙස වාහනය නවත්වා නැති බවට’ දෙන සහතිකයක් දැයි ප්‍රශ්නයක් මෙහිදී පැන නගින්නේ නිරායාසයෙනි. 
පොදුවේ ගත් කල මෙරට ක්‍රියාත්මක රථවාහන දඩ ක්‍රමවේදය පොදු ජනතාවගේ වෛරයට ලක්වූ දරුණු වධයකි. මෙරට රථවාහන නීති ​ෙකතරම් කටුකදැයි දුර බැහැරක ගොස් එන රියැදුරකුට ලැබෙන දඩකොළ කිහිපය කදිම සාක්ෂියකි. 


වාහන අනතුරුවලදී ට්‍රැෆික් රාළහාමිලා හැසිරෙන ආකාරය රක්ෂණ සමාගම්වලට බැල මෙහෙවරක යෙදී සිටීදැයි කුහුලක් උපදී. අනතුරකදී රක්ෂණ සමාගමක් විත්තිකරුවකු කර නඩුවක් පෙර පැවැති ක්‍රමයයි. සිවිල් නඩුවක් පැවැරීමට එය අත්‍යවශ්‍ය කරුණක් විය. නමුත් අද ට්‍රැෆික් රාළහාමි බලා සිටියදීම වැරැදි කළ පුද්ගලයාට රක්ෂණ සමාගම එතැනදීම හිටු කියා වන්දිය දෙන්නේ ෆේස්බුක් එකේද දමාය. ලංකාවේ නීතිය අනුව අනතුරක් වාර්තා නොකිරීම ද වරදකි. මොරටුව විශ්වවිද්‍යාලය මගින් කරන ලද සමීක්ෂණයක දී පෙනී ගොස් ඇත්තේ රක්ෂණ හිමියන් අනතුරක දී පොලිසියේ ඇන්ට්‍රියක් නොදමා වන්දි ගෙවීම නිසා රටේ වෙන අනතුරු ගැන දත්ත වර්තා සැකසීම මහත් අර්බුදයක් ඇතිවී ඇති බවයි. එසේ නම් මේ නම සංශෝධන තුළ රක්ෂණ සමාගම්වලට ඇති දඩ මොනවාද? පොලිසියේ පැමිණිලි නොදමා අවසානයේ රක්ෂණ වන්දිය ප්‍රමාණවත් වූ විට අගතියට පත් පාර්ශ්වයේ එකම ගැලවුම්කරු ‘ඔම්බුඩ්ස්මන්’ වරයාය. එතුමා බොහෝ විට කරන්නේ රක්ෂණ සමාගමේ හේතුපාඨ හිස නමා අනුමත කිරීම පමණකි. 


මීට කලකට ඉහත බොහෝ මාර්ගවල තිබූ පුවරුවකින් කියවුණේ ඉස්සර කිරීමෙන් පසු වම් තීරුවට වාහනය ගන්න පාඨයයි. අද බොහෝ විට වෙන්නේ ත්‍රිරෝද රියැදුරන් හා යතුරුපැදි පාර මැද මන්දගාමීව ගමන් කරද්දී අනෙකුත් රථවාහන වම් පසින් ඉස්සර කිරීමය. 


බීමත්ව රිය පැදවීම වැනි වැරැදිවලදී අධිකරණයෙන් අධිකරණයට අය කරන දඩ මුදල් වැරැදිකරු අල්ලන පෙරකදෝරුවා අනුව වෙනස් වේ. ‘ලයිසන්’ එක කැන්සල් කළ බවක් කීවාට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නිසි දැනුම් දීමක් කෙරෙන්නේ එහෙමත් විටකය. බොහෝ විට සිදුවන්නේ බීමත් රියැදුරා පිරික්සූ විට ‘මොහුගේ මුවින් අරක්කු ගඳ වහනය’ නමැති පාඨයට වැරැදිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමය. රථවාහන දඩවල ලංකාවේ ඛේදවාචකය වන්නේ නිසි ලෙස රිය පැදවූ විනීත රියැදුරන්ද උගුල් අටවා හොර රහසේ පොලිස් නිලධාරින් විසින් වැරැදිකරුවන් කිරීමය. ප්‍රමිතිගත පුහුණුවක් මත රියැදුරු බලපත්‍ර දෙක රටක ‘රථ වාහන දඩ’ වැඩි කිරීම හේතුවන්නේ විනීත රියැදුරන් පිරිසක් බිහි කිරීමට නොව පවත්නා ආණ්ඩුව පොදුජනතාව හූරා කෑමට අවස්ථා විවර කිරීමක් පමණි. 

 

 

 

 

වජිර ලියනගේ