උතුරේ තල් ගසත්, දකුණේ පොල් ගසත් එම ප්‍රදේශයන්හි ජනතාවගේ ආර්ථීකයට ලබා දෙන දායකත්වය සුළුපටු නොවේ. ඒ අතින් ගත් කල ඈත අතීතයේ සිටම කඳුකරයේ ජනතාවගේ ආර්ථීකයට ශක්තියක් වූයේ කිතුල් ගස හා ඒ ආශ්‍රිත කර්මාන්තවලින් යැයි කිවහොත් එහි වරදක් නොමැත. අතීතයේදී ගම්බද ජනතාවගේ ආර්ථීකය ඉහළ නැංවූ ප්‍රධාන ජීවනොපායන් අතර කිතුල් කර්මාන්තයට හිමි​ෙවන්නේ සුවිශේෂී ස්ථානයකි.   
 කිතුල් කර්මාන්තයට ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරය තරම්ම දිගු ඉතිහාසයකි. බුද්ධ චරිතයේ එන නාළාගිරි දමනයේ මෙන්ම උඩුවියන් බැඳි මණ්ඩපවල රජ දරුවන්ට කිතුල් හකුරු හැදූ කතා ගැනද අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු.  


හේන් සහ වී ගොවිතැනින් ලබන ආද‌ායම හැරුණු විට අදින් දශක හත අටකට පෙර ඌවේ ගම්බද ජනතාවගේ ප්‍රධානතම ආද‌ායම් මාර්ගය වූයේ කිතුල් කර්මාන්තයයි. කිතුල් යනු පොල් ගස මෙන් හිතාමතා වගාකළ යුතු වගාවක් නොවේ. එය ජල ශීරාව ඇති දියකඳුරු ආශ්‍රිත මෙන්ම ගම්බද ප්‍රදේශයන්හි ඇති කුඩා කැලෑ රොදවල් තුළද ගෙවතුවලද , රක්ෂිතයන්හිද කිසිදු මිනිස් ක්‍රියාකාරකමකින් තොරව හට ගනු ලබන ශාකයකි.  
හේනක් කුඹුරක් වගා කර ලබන අස්වැන්න වසරේ ඉදිරි කාලයේ පාරිභෝජනය සදහා අටුකොටුවල ගබඩා කර ගන්නා ඌවේ ගැමියෝ තම පවුලේ සෙසු අඩුපාඩු සපුරා ගත්තේ කිතුල් පැණි ටිකක්, හකුරු ටිකක් වෙ​ෙළඳපොළ වෙත රැගෙන ගොස් අ​ෙලවි කර ලබා ගන්නා මුදලින්ය.  


කිතුල් පැණිවලට මෙන්ම කිතුල් හකුරුවලටද එකල මෙන්ම අද වන විටත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ආයුර්වේදවෛදකමේදී ද කිතුල් හකුරු මහාර්ඝ ඖෂධයකි. සංචාරක හෝටල් ආශ්‍රිතවද කිතුල් හකුරුවලට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි.  


කිතුල් පැණි හා කිතුල් හකුරු හැරුණු විට කිතුල් පිටිවලටද කිතුල් රාවලටද එදා මෙන්ම අදටත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි.  


 දශක ගණනාවකට පෙර ඌව පළාතේ ගම්බද ප්‍රදේශවල දහස් සංඛ්‍යාත පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබූ කිතුල් කර්මාන්තයට අද ​වන විට කණකොකා හඬන්නට පටන්ගෙන ඇති බව කලකට පෙර කිතුල් කර්මාන්තය බහුලවම සිදුකෙරුණු ඌවේ ගම් නියම්ගම්වල සිදුකළ සංචාරයකදී අපට අසන්නට ලැබිණි.  


බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයන්ට අයත් මීගහකිවුල, වැලිමඩ, පස්සර, කන්දකැටිය, බඩල්කුඹුර, බිබිල, රිදීමාලියද්ද ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ගම්මාන රැසක බහුලව සිදුකෙරුණු කිතුල් කර්මාන්තය අද ​වන විට දැඩි පිරිහීමකට ලක්වෙමින් තිබේ.   


 නීතිය හරස්වීම, රාජ්‍ය අනුග්‍රහය නොලැබීම, කිතුල් පිටි ගැනීම සඳහා පීදුණු කිතුල් ගස් කපා දැමීම, වත්මන් පරපුර වෙනත් රැකියාවන්ට යොමුවීම, ආදේශක රස කැවිලි වෙ​ෙළඳ පොළ ආක්‍රමණය කිරීම, මෙන්ම ඉවක් බවක් නැතිව සිදුවන පරිසර විනාශයද මෙම කර්මාන්තය පිරිහීමට හේතු වූ කාරණා බව මෙම ගම්මානවල දැනට ඉතිරි වී සිටින අතළොස්සක් වූ කිතුල් මල් කපන්නෝ පවසති.  


කිතුල් කර්මාන්තයට මේ ​ෙවන විට අත්වෙමින් පවතින ඉරණම ගැන අදහස් දැක්වූ ජනතාව මෙසේ කීහ.  


 ඩී.එම්. ජයසුන්දර  - කිතුල් මැදීම කියන්නේ අතීතයේ ඉඳන්ම පැවැති රස්සාවක්. අවුරුදු 15-20 කට උඩදී අපේ ගම්වල මිනිස්සු හැමෝම වගේ කිතුල් මැදීම සිදු කළා. අවුරුද්දකට වරක් කරගෙන යන හේන් ගොවිතැන ඇරුණම මේ මිනිස්සු ජීවත් වුණේ කිතුලක් මැදල හදා ගන්න පැණි හකුරු ටික අ​ෙලවි කිරීමෙන්.  


 ඩී.එම්. සෝමාවතී  - අපි පොඩි කාලේ මේ පැත්තේ හැම ගෙදරකම පැණි මුට්ටියක් රත් කරනව. ඒත් අද හුඟක් කලාතුරකින් තමා ගෙදරක පැණි හකුරු ටිකක් හදන්නේ. ඒකත් කරන්නේ හරිම බයෙන්. මොකද මල් කපනව දැනගත්තොත් පොලිසියෙන් ඇවිත් රා පෙරනව කියල මිනිස්සු අල්ලගෙන ගිහින් දඩ ගහනව. ඒ නිසා කිසි කෙනෙක් අද මේ රස්සාව කරන්නේ නැහැ. කරන අයත් හොරෙන් තමා කරගෙන යන්නේ.  


ඩී.ඇම්. මුතුමැණිකා  - ඉස්සර වතුවල වගේම දියකඳුරු අද්දර කිතුල් ගස් දහස් ගාණක් තිබුණ. ඒත් අද මිනිස්සු පිටි ගන්න ඕනි නිසා කිතුල් ගස් කපල දානව. හැබැයි අලුත් ගහක් හැදෙන්නේ ඊට වසර ගාණකට පස්සේ. මේ නිසා හුඟ දෙනකුට කිතුල් මදින්න වුවමනාව තිබුණත් මදින්න කිතුල් ගස් නැහැ.  


ඩී.එම්. ගුණපාල  - අලුත් පරම්පරාවේ හුඟ දෙනෙක් කිතුල් මදින්න දන්නේ නැහැ .දැනගත්තත් ඒ අය මේ රස්සාව කරන්න කැමැති නැහැ. ඒ වගේම ගෙවල්වල වයසක අය ඇරුණම පැණි පදම හකුරු පදම ගන්න තරුණ පරම්පරාව දන්නේ නැහැ. කිතුල් මලක් බේත් තියන හැටි, මල පදම් කරන හැටි, කපන හැටි මේ කිසි දෙයක් දන්නේ නැතිව මේ රස්සාව කරන්න කිසි කෙනකුට බැහැ.  


ඩී.එම්. සමරපාල   - ඒ වගේම තමා අද වෙනකොට මේ රස්සාව ව්‍යාපාරික මට්ටමට පත් වෙලා. හුඟ දෙනෙක් බලන්නේ ලාබය විතරයි. ඒ නිසා සීනි ද‌ාල තමා පැණි හකුරු හදන්නේ. අපි හරියට හැදුවත් මිනිස්සු ඒවා අරන් ගිහිල්ල තව සැරයක් උණු කරල සීනි ද‌ාල ආයෙත් පදම් කරනව. ඊට පස්සේ අඩු මිලට විකුණනව. ඒ පැණි හකුරුවල කිතුල් රස නැහැ. ඒත් ගාණ අඩු නිසා මිනිස්සු ගන්නව. අන්තිමට අපි ප්‍රමිතියට කලවම් නොකර හැදුවත් ගාණ වැඩි නිසා මිනිස්සු ගන්නේ නැහැ. මේ වගේ දෙවල් නිසා අද මේ කර්මාන්තෙන් හුඟ දෙනෙක් ඈත්වෙන තත්ත්වයට පත්වෙලා. තව අවුරුදු 10-15 යනකොට මේ රස්සාව නැත්තටම නැතිවෙලා යාවි.  


 කිතුල් කර්මාන්තය යනු හුදෙක් ගම්බද ජනතාවගේ අාද‌ායම් මාර්ගය සරි කළ කර්මාන්තයක් පමණක්ම නොවේ. එය එක්තරා කාලයකදී මෙරට ග්‍රාමීය ජනතාව අතර අපූරු සංස්කෘතියක් නිර්මාණය කළ කර්මාන්තයක්ද විය. කිතුල් කර්මාන්තය හරහා විවිධ යන්ත්‍ර මන්ත්‍ර, වාග් මාලාවන් මෙන්ම කෙම් ක්‍රම රාශියක්ද අපේ ජන වහරට එක් වී ඇති බව මෙම ප්‍රදේශවල ජනතාව හා කළ කතා බස්වලදී අපට අසන්නට ලැබිණි.  


කිතුල් කර්මාන්තයේදී බොහෝ විට ප්‍රයෝජනයට ගැනෙන්නේ එහි මලය. කිතුල් ගසක මලක් හට ගැනීම සිදුවන්නේ එය පරිණත කිතුල් ගසක් වීමෙන් අනතුරුවය. එවැනි කිතුල් ගසක් දකින ගැමියන් පවසන්නේ ‘‘කිතුල පීදී’’ ඇතැයි කියාය. පීදුණු කිතුලක් දකින බොහෝ ගැමියෝ ඒ කෙරේ ඇස ගසාගෙන සිටින්නේ කිතුල් මල බෙහෙත් තැබීමට සුදුසු තත්ත්වයට පත්වෙන තෙක්ය. කඳුරු, දොළ පාරවල් හෝ රක්ෂිතවල හටගන්නා කිතුල් ගස්වලට බොහෝ විට කිසිවකුත් අයිතිවාසිකම් නොකියන අතර අතීතයේදී නම් ගමේ ඕනෑම අයකුට එම කිතුල මැද ගැනීමට කාගේවත් අවසරයක් අවශ්‍ය ​ෙවන්නේද නැත.  


තම අත්දැකීම් අනුව මැදීමට ආසන්න වෙමින් පවතින කිතුලක් තෝරාගන්නා ගම්මු, ඉන් පසුව සිදු කරනු ලබන්නේ කිතුල් මලට විවිධ ඖෂධ ගැල්වීමයි. එයට ඔවුහු බෙහෙත් තැබීම යැයි කියති.  


ඕනෑම තැනක හටගන්නා ඕනෑම කිතුලකටද බෙහෙත් තැබීමෙන් ද ඵලක් නොමැති බව ගැමියෝ දනිති. ඔවුහු සුදුසු මල තෝරාගනු ලබන්නේද අත්දැකීමෙන්ය.  


මල බෙහෙත් තැබීමට ප්‍රථම පළමු රාජකාරිය වන්නේ ගසට ගොඩවීම සඳහා ආධාරකයක් සවිකර ගැනීමය. දිනකට දෙතුන් වරක් කිතුලට ගොඩවීමට අවශ්‍ය නිසා එම කාර්යය ඉතා සැලකිල්ලෙන් සිදුකිරීමට කිතුල් මදින්නෝ බෙහෙවින්ම අවධානය යොමු කරති.  


ඒ සඳහා බොහෝ විට යොදා ගනු ලබන්නේ අඟල් හත අටක් දිගට ගැට ඉතිරිවන සේ කපා ගනු ලබන උණ ගස් කීපයකි. ගසේ උස අනුව කිතුල් ගසට උණගස් හේත්තු කර කැලෙන් සොයා ගන්නා තිත්තවැල්, මදු වැල් හෝ කිතුල් රෑන් (මේරූ කිතුල් මලේ වැල් වැනි කොටස්) ආදිය යොදා ගනිමින් ඉතා සැලකිලිමත් ලෙස මෙම උණගස් ගැටගසනු ලබන අත උණ ගසේ සවිමත් බව ගැනද බොහෝ විට ඔවුහු අවධානය යොමු කරති. කිතුල් මදින්නන් මෙම නැගීමේ ආධාරක සවි කිරීම හඳුන්වනු ලබන්නේ හැර බැදීම ලෙසිනි.  


නැගීමේ ආධාරකය සවිකර ගැනීමෙන් පසුව ඔවුන්ගේ මීළඟ ප්‍රමුඛ කාර්යය ​ෙවන්නේ ගසේ මල බෙහෙත් තබන ස්ථානයේ රැඳී සිටීමට හැකිවන අයුරින් අට්ටලයක් ඉදිකිරීමයි. එය දෙතුන් දෙනකුට වාඩිවී දවසක් හමාරක් රැඳී සිටීමට පවා හැකිවන අයුරින් ඉදිකිරීමට ගම්මු උනන්දුවක් දක්වති.  


කැලෑවෙන් සොයා ගත් ලී දඬු යොද‌ාගෙන ඉදිකරනු ලබන මෙම අට්ටාලයද ඉතා සවිමත් අයුරින් සකසා ගැනීමට මල් මදින්නෝ දැඩි අවධානයක් යොමු කරති.  


මෙම තට්ටුවේ ආරක්ෂාව සඳහා ගසේ ඉහළ අත්තක සිට ගැට ගැසූ වැලක් තට්ටුවට තබා ගැට ගසන අතර එය ඔවුන් හඳුන්වනු ලබන්නේ ඔත් වැල යනුවෙනි. මෙම තට්ටුවේ ආධාරය සඳහා ඊට යටින්ද ඇතැම්විට ආධාරක පොලු කීපයක් කඳට තබා ගැට ගැසීම සාමාන්‍ය සම්ප්‍රදායකි. එය ‘‘ඔලොක් කණු” ලෙස හඳුන්වති.  

 

 

පුපුරා යාමට සතියක් දෙකක් ආසන්න වෙමින් පවත්නා කිතුල් මල බෙහෙත් ගැල්වීමේ කාර්යය සඳහා ඉතා සුදුසු වන අතර මල පුපුරා ගියහොත් එය අත්හැර දමන්නට කිතුල් මදින්නාට සිදුවෙයි. බෙහෙත් ගැල්වීමට සුදුසු තත්ත්වයට පත් වූ මල හඳුන්වනු ලබන්නේ අක්මල යනුවෙනි.  


කිතුල් මල මැදීමට සුදුසු තත්ත්වයට පත් කර ගත යුත්තේ මල බෙහෙත් ගල්වා පදම් කර ගැනීමෙනි. ‘‘මල බෙහෙත් තැබීම’’ ලෙස හඳුන්වන මෙම කාර්යය කළ යුත්තේ ඉතා පරිස්සමින් වන අතර ඒ සඳහා කිතුල් කර්මාන්තයේ පරිණතභාවයක් තිබීමද අත්‍යාවශ්‍ය කරුණකි.  


කිතුල් මලේ මුල් කොටස හෙවත් හිස කොටස ලෙස හඳුන්වනු ලබන ස්ථානයේ සිට පුරුක් කීපයක් සුඹුල ඉවත් කර (අඟල් 2-3ක කොටසක් පුරුකකි.) පිටතට වන්නට සිදුරු කර මෙම බෙහෙත් තැබීම සිදුකරන අතර මල සිදුරු කිරීමේදී එහි මැද ඇති ‘‘දිව මදයට’’ හානි නොවීමටද වග බලා ගත යුතුය.  


මල් බෙහෙත් තැබීම හෙවත් පදම් කිරීම සඳහා වර්තමානයේදී විවිධ රසායන ද්‍රව්‍යය යොදා ගනු ලබුවත් අතීතයේදී මෙන්ම වර්තමානයේදීද බොහෝ ගැමියන් ඒ සඳහා මිරිස්, කොච්චි, ගම්මිරිස්, සූදුරු, මාදුරු, ඇඹුල් වර්ග, සුදු ලූනු ආදිය බහුලව යොදා ගැනීම සිදුකරනු ලබයි.  


ඇතැම් අවස්ථාවන්හිදී මල නිසියාකාරව සකස් නොවන අතර ඒ අවස්ථාවන්හිදී පොල් අළු හෝ අළු හුණු යොදා යළි මල බෙහෙත් තබන අවස්ථාද අසන්නට ලැබෙයි. ඇතැමුන් මේ සඳහා බෙහෙත් ගල්වන ලද කිතුල් මල ‘‘නාහ’’ නමැති වැල් වර්ගය යොදාගෙන දින කීපයක් ඔතා දැමීමද සිදුකරති.  


මෙලෙස බෙහෙත් ගල්වන මල් ඇතැම් විට වැඩිපුර තැම්බී කඩා වැටීමට ඉඩ ඇති බැවින් අත්දැකීම් සහිත මල් කපන්නෝ එය කඩා වැටීම වැළැක්වීම සඳහා කිතුල් මල ගසේ ඉහළින් පිහිටි කිතුල් අත්තකට තබා ගැට ගසනු ලබයි. ඊට කිතුල් මදින්නන් කියන්නේ ඔට්ටු වැල බැඳීම කියාය.  


දින කීපයකට පසුව මල පදම් වන අතර එහි අග්මල ලෙස හඳුන්වන මලේ අග කොටස කපා හැරීම මුලින්ම සිදුකරනු ලබයි. එම අවස්ථාවේදී කහට රසයෙන් යුත් මුල්ම තෙලිදිය වඩිය මලෙන් වෑස්සීමට පටන් ගන්නා අතර ගම්බද කිතුල් මල් කපන්නන් එම පළමු තෙලිජ්ජ මුරය හඳුන්වනු ලබන්නේ ‘‘කහට කදුළු’’ යනුවෙනි.  


දින තුනක පමණ කාලයකින් පසුව පැණි හකුරු හෝ රා නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු තෙලිජ්ජ වෑස්සීමට පටන් ගන්නා අතර මල් කපන්නෝ ඊට ‘‘කඳුළු අල්ලනවා යැයි ව්‍යවහාර කරති. ඉන් පසුව සිදුවන්නේ මල කැපීමේ කටයුත්තයි. මල් පිහිය නම්වූ බ්ලේඩ් තලයක් තරම් තියුණු වූ පිහියකින් ඉතා තුනී සිවියක් දිනකට වරක් හෝ දෙවරක් කපා ඉවත් කරන අතර මල දිගු කලක් රඳවා තබා ගත හැක්කේද මල කපන්නාගේ එම දක්ෂතාව මතය.   
බෙහොමයක් ගැමියෝ මලෙන් වෑස්සෙන තෙලිජ්ජ එකතුකර ගනු ලබන්නේ පුවක් අත්තේ මුල කොටසේ ඇති කළං කොළය සේ හඳුන්වනු ලබන කොළයක් ආධාරයෙන් සකස් කර ගන්නා ගොටුවකටය. ඇතැමුන් මැටි මුට්ටිද ඒ සඳහා යොදා ගනිති.  


නිසි පරිදි බෙහෙත් ගැල්වීම සාර්ථක වුවහොත් ඇතැම් විට මාස ගණනාවක් වුවද එම කිතුල් මලෙන් තෙලිජ්ජ ලබා ගත හැකි අතර එක කිතුලකින් රුපියල් දස දහස් ගණන් ආදායම් ලැබුවෝද එකල මේ ගම්වල සිටි බව අපට අසන්නට ලැබිණි.  


කෙසේ වෙතත් තෙලිජ්ජ මුට්ටිය ගසින් බෑමෙන් පසුව බොහෝ විට එහි ඊළඟ භාරදූර කාර්යය බොහෝ විට පැවරෙන්නේ මල් මදින්නාගේ නිවසේ කාන්තා පාර්ශ්වයටය.  


ගසින් බා රැගෙන එන තෙලිජ්ජ මුට්ටියක දමා පැය ගණන් හැඳි ගාමින් උණු කළ යුතු අතර අවශ්‍ය පදමට ගැනීමෙන් පසුව කිතුල් පැණි හෝ හකුරු නිෂ්පාදනය සිදුකරනු ලබයි.  


මේ අතර නීතියේ ඇසට වැළි ගසමින් පැණි හකුරුවලට අමතරව කිතුල් රා ටිකක් පෙරාගන්නා පිරිස්ද ඒවා අ​ෙලවිකරන පිරිස්ද මේ ගම්වල ඕනෑ තරම්ය.  

 

 

කෙසේ වෙතත් සරුසාර ලෙස තෙලිජ්ජ ලබෙන කිතුල් මල් දින කිපයකදී වියළී විනාශ වී යන අවස්ථා ගැනද අසන්නට ලැබෙයි. ගැමියන් විශ්වාශ කරන පරිදි බොහෝ විට ඊට හේතු​ වන්නේ මලේ අස්වැන්න දකින වෙනත් ගැමියකුගේ ඇස්වහ හෝ කටවහ දෝෂ යැයි මල් මදින්නෝ තරයේ විශ්වාස කරති. ඒ නිසාම මල් කපන්නාත් ඔහුගේ බිරිඳත් මලෙන් වෑස්සෙන තෙලිජ්ජ ප්‍රමාණය රහසක් ලෙස තබා ගන්නට උත්සාහ ගනිති.  


කෙසේ වෙතත් මලට ඇස්වහ වැදුණ බව දැනගතහොත් එක් වරම මල අත්හැර නොදමන ඔවුහු ‍එය යළිත් ප්‍රකෘත්ති තත්ත්වයට ගැනීම සඳහා විවිධ කෙම් ක්‍රම හෝ යන්තු මන්ත්‍රවල පිහිට අපේක්ෂා කරති.  


මීගහකිවුල කොලලාවත්ත ගම්මානයේදී අපට හමුවූ ඩී.එම්. ගුණසේන මහතාටද කිතුල් කර්මාන්තය පිළිබඳ ඇත්තේ හසල අත්දැකීම් ගොන්නකි. ඇස්වහ කටවහ දෝෂයන්ට ලක්වූ කිතුල් මලක දෝෂය ඉවත් කිරීම සදහා කිතුල් මදින්නන් බෙහෙවින් යොදා ගන්නා මන්ත්‍ර කොටසක් ඔහු මෙලෙස සිහිපත් කළේය. එය   


‘‘ඕ නාමෝ කොරතිස් මහ තෙරුන්වහන්සේ වැඩසිටින වේලාවට ඊස්වර දෙවියෝ දැක ලේනකු වෙස් මවාගෙන ගොසින් කැපූ මුදුන් මල් හිගිත්තයි මා මේ කපන්නේ, මාගේ කැත්ත බලා මාගේ මූණ බලා අඬ, අඬා පිරි, පිරී ඉතිරි, ඉතිරී වර වර ඒස්වාහ්........” ආදී වශයෙනි.  


ඇතැම් කිතුල් මල්වලින් වෑස්සෙන තෙලිජ්ජ උණු කර පැණි මෙන්ම හකුරුද සකස් කළ හැකි වූවත් ඇතැම් තෙලිජ්ජවලින් සැකසිය හැක්කේ පැණි පමණි. මෙලෙස සකස් කර ගන්නා කිතුල් පැණි ඊට ඇති ආවේණික රසයෙන් හා සුවඳින් ඉතා පහසුවෙන්ම හඳුනා ගත හැකි අතර නියම කිතුල් හකුරු හඳුනා ගැනීමද එතරම් අපහසු කටයුත්තක් නොවන බව ගැමියෝ පවසති. කෙසේ වෙතත් නියම කිතුල් හකුරු කැටය මත සියුම් තුඩකින් හෝ නියපොත්තකින් ඉරක් ඇඳි කළ එය වහා හාවී ඇඳි ඉර අතුරුදන් වන අතර කවලම් කර තැනූ කිතුල් හකුරුවල එම ඉර මැකී නොයා සුදු පැහැයෙන් බොහෝ වේලාවක් පවතින්නේ යැයිද කිතුල් රස්සාවේ නිරත​ෙවන්නෝ පවසති.  


වෙනත් රස්සාවලදී මෙන්ම කිතුල් රස්සාවේ යෙදෙන්නන්ටද අතැම්විට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවීමද සාමාන්‍යය සිද්ධියකි.  


ගස්වලින් ඇද වැටීම, අරපරිස්සමින් තොරව මල් කපන පිහියේ තියුණු මුවාතට සිරුරේ අත පය කැපීයාම එහිදී බහුලව සිදු​ෙවන අනතුරු කීපයකි. මෙම අනතුරු මරණයෙන් කෙළවර වූ කතා පුවත්ද මේ ගම්වල ඕනෑ තරම්ය.   


 මීට අමතරව හොර රහසේ ගස්වලට ගොඩවී තෙලිජ්ජ පානය කරන ගමේ කොලු කුරුට්ටන්ගෙන් මෙන්ම උගුඩුවන්, දඬුලේනුන්, කලවැද්දන්, හග (කලවැද්දෙක් වැනි සතෙකි) වැනි සතුන්ගෙන් තෙලිජ්ජ මුට්ටිය රැක ගැනීමද මල් මදින්නන්ට මුහුණ දීමට සිදු​ෙවන අභියෝගන්ය.  


ඇතැම් විට මෙම ක්‍රියාවන් නිසා උරන ​ෙවන කිතුල් මදින්නෝ තෙලිජ්ජ මුට්ටියට පොළොං තෙල් විවිධ කෘමිනාශක ආදිය යෙදීමටත් ගස් අවට ගල් මල නමැති උගුල් විශේෂ ඇටවීමටත් කටයුතු කරති. මේ අතර හොරෙන් රා බොන්නන් ඉලක්ක කරමින් බට තුවක්කු බඳින පිරිස්ද නැතිවාම නොවේ.  


කෙසේ වෙතත් අද​ෙවන විටත් පිරිසිදු කිතුල් හකුරුවලට මෙන්ම පැණි වලටද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ ​ෙවන විට පිරිසිදු කිතුල් හකුරු හොයා ගැනීම ඉතා දුර්ලභ කටයුත්තක් වුවත් කිතුල් හකුරු යැයි නම් කරමින් අ​ෙලවිකරන ව්‍යාජ හකුරු කිලෝවක් පවා මිලදී ගන්නට නම් රුපියල් දහස ඉක්මවූ මිලක් වෙ​ෙළඳසල් හිමියන්ට ගෙවිය යුතුය. පැණි බෝතලයක මිලද ඉන් අඩකටත් වැඩිය.  


මේ ඉහළ ඉල්ලුම නිසාම අද ​ෙවන විට කිතුල් කර්මාන්තයේ යෙදෙන අතළොස්සක් දෙනාද සිය නිෂ්පාදන අලවියෙන් ඉහළ ආදායමක් ලබා ගන්නට ඇති ආසාව නිසා කිතුල් පැණිවලට මෙන්ම හකුරුවලටද සීනි පිටි ආදිය එක්කර වැඩි ලාභ ලබන්නටද පුරුදුවී සිටිති.  


ගම්මානවලට ගොස් පැණි හකුරු රැගෙන එන ඇතැමුන් සීනි හා පිටි එක්කරමින් මහා පරිමාණයෙන් ව්‍යාජ කිතුල් හකුරු හා පැණි නිෂ්පාදනය කිරීමට පටන් ගෙන ඇති අතර එය තවත් පැත්තකින් ජනතාවට කිතුල් නිෂ්පාදන එපා වීමට ප්‍රබල හේතුවක් වී ඇත. ආහාර පිණිස පමණක් නොව පිරිසිදු කිතුල් හකුරුවලට ආයුර්වේද වෙදකමේද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ආයුර්වේද වෙදකමේදී කිතුල් ගස හඳුන්වනු ලබන්නේ රස කුම්මානං ගස යනුවෙනි. කිතුල් මලේ සුඹුල සර්ප වෙදකම සඳහා ගනු ලබන ප්‍රබල ඔසුවක් වන අතර කිතුල් මුල් දත් කැක්කුමට ප්‍රතිකාරයකි. කිතුල් ඇට කුඹුරුවල පණුවන් මර්දනය කිරීමේ ප්‍රබල ඔසුවකි. කිතුල් රෑන් මෙන්ම කිතුල් තත්ද සවිමත් කෙඳි විශේෂයකි.  

 

 

මීට අමතරව කිතුල් පැණි හා හකුරුවලට ඇති ඉල්ලුමට සමාන ඉල්ලුමක්ම කිතුල් පිටිවලටද ඇතත් කිතුල් කර්මාන්තයේ දැඩි පරිහානියට බලපෑ ප්‍රබලම හේතුවක් වී ඇත්තේද කිතුල් පිටි නිෂ්පාදනය සඳහා ඉවක් බවක් නැතිව සිදුකරනු ලබන කිතුල් ගස් කපා දැමීමයි.  


ඌවේ පාරම්පරික කිතුල් මදින්නන් කිතුල් මැදීම පසෙක තබා කිතුල් පිටි නිෂ්පාදනයට පෙළඹී සිටින අතර ඇතැම් අවස්ථාවල පිටි ඇති කිතුලක් සොයා ගැනීම සඳහා දැවැන්ත ගස් හත අටක් කැපීමට සිදුවෙන බවද ඔවුහු පවසති.  


මීට අමතරව ගෘහ භාණ්ඩ තැනීම, පරාල රීප්ප සකස් කිරීම, නිවෙස්වල පඩිපෙළ අලංකාර කිරීම, මෝල්ගස් හැදීම ආදී කටයුතු සඳහා ද කිතුල් ගස් කැපීම මේ ​ෙවන විට බහුලව සිදු​ෙවන අතර පරිසරයේ සෙසු ගහ කොළ කැපීමේදී බලපවත්වන නීතිය මේ කෙරේ යොමු නොවීමද විශාල අභාග්‍යයකි.   


කෙසේ වෙතත් අදින් දශක තුන හතරකට උඩදී තෙළිජ්ජ මුට්ටියක් ළිප නොතැබූ මුළුතැන්ගෙයක් නිවසක් වූවේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ගමේ දුප්පතාගේ නිවසේ මෙන්ම ගමේ කෝරාළගේ නිවසේද, ආරච්චිගේ නිවසේද තෙලිජ්ජ මුට්ටියක් ළිප නොතිබුණේ නම් ඒ බොහෝ කලාතුරකින්ය. ඇතැම් ගම්බද නිවෙස්වල එම කාර්යය සඳහාම මඩු ගේ නමින් හැඳින්වෙන කාමරයක් තනා තිබූ බව ප්‍රදේශයේ පැරැන්නෝ පවසති.  


එහෙත් අද තත්ත්වය ඊට බොහෝ වෙනස්ය. අද ​වන විට එදා බහුලව වැවී තිබූ කිතුල් ගස් ප්‍රමාණය බෙහෙවින්ම සීමා සහිත තත්ත්වයට පත් වී ඇති අතර ඊට පිළියම් ලෙස ඇතැම් ව්‍යාපෘති මගින් වැඩිදියුණු කළ කිතුල් ප්‍රභේද වගා කරන්නටද ජනතාවට සිදුව ඇත. මේ ​වන විට සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තය සීඝ්‍රයෙන් වියැකී යමින් පවතින අතර කිතුල් කර්මාන්තයේ බොහෝ ඉසව්වලටද නවීන තාක්ෂණය සීඝ්‍රයෙන් ඇතුල් වෙමින් පවතින බව දැනට ඉතිරි වී සිටින අතළොස්සක් වූ කිතුල් මදින්නන්ගෙන් අපට අසන්නට ලැබිණි.   


එදා අමුඩයක් ගසා මල් කපන පිහිය ඉනේ ගසාගෙන කිතුලට ගොඩවූ ගැමියා වෙනුවට අද සිටින්නේ ආරක්ෂිත ඇඳුම් සහ දිගු කලිසම්වලින් සැරසුණු කිතුල් මදින්නන්ය. මල් පදම් කිරීමට එදා යොදා ගත් දේශීය ඖෂධ වෙනුවට අද එම කාර්යය සිදු​වන්නේ විවිධ රසායනිකයන්ගේ පිහිටෙන්ය. කිතුල් හකුරු වෙනුවට ඇත්තේ පාන් පිටි සහ සීනි කවලම් කළ අපූරුම හකුරු වර්ගයන්ය. එදා ගැමියා සවස් යාමයේදී පාළුව කාංසිය වෙහෙස නිවාගන්නට පානය කළ මල් පැන් වෙනුවට අද ඇත්තේ තෙලිජ්ජ, යීස්ට් සිනි ඇතුළු රසායන ද්‍රව්‍ය විවිධ අනුපාතයන්ට යොදා කෘත්‍රීමව සකස් කළ සුක්කු නමැති නීති විරෝධී පානයකි.  


සියවස් ගණනාවක් අපේ සංස්කෘතිය, බස් වහර පමණක් නොව ගැමි ආර්ථිකයද පෝෂණය කළ කිතුල් කර්මාන්තය අද වන විට පවතින්නේ මියැදෙන තත්ත්වයේය. ඒ තත්ත්වයෙන් මෙම කර්මාන්තය ගොඩගැනීම හෝ එය තව තවත් වළපල්ලට රැගෙන යාමේ සැලසුම් සකස් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේත් පවත්නා රජයේ හා පළාත් සභාවලත් වගකීමකි.  

 

 

 

 

 

සටහන සහ ඡායාරූප   
වියලුවේ නිශාන්ත කුමාර