තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහඇමැතිවරයකු වූ, ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායක මුතුවේල් කරුණානිධි අගෝස්තු 7 දින අභාවප්‍රාප්ත විය. දින 11ක් චෙන්නායිහි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලද ඔහු මිය යන විට 94 වැනි වියේ පසුවිය. මහජන ගෞරවය සඳහා චෙන්නායිහි රාජාජි ශාලාවේ තැන්පත් කර තිබූ දේහයට ගෞරව දැක්වීම සඳහා මැතිඇමැතිවරුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වූහ. කරුණානිධිගේ දේහය තමිල්නාඩු දේශපාලන නායකයන් රැසක් මිහිදන් කර ඇති මරීනා බීච්හි දී අගෝස්තු 8 දින මිහිදන් කෙරිණි. මේ ඔහු මියයාමට පෙර ඩී.බී.එස්. ජයරාජ් ඬේලිමිරර් පුවත්පතට ලියන ලද ලිපියක පරිවර්තනයයි.   


ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ දූතයන් දෙදෙනකු පසුගිය දා ඉන්දියාවට පිටත් කර හැරියේ රෝගාතුරව සිටින දෙමළ දේශපාලන නයකයකු වන මුත්තුවේල් කරුණානිධිට ඉක්මන් සුවය පතන ලිපියක් ද සමඟිනි. ‘කලෛඥාාර්’ නොහොත් කලාකරුවා යන ගෞරව නාමයෙන් ප්‍රචලිත කරුණානිධි 1969 සිට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ද්‍රවිඩ ප්‍රගතිශීලී පක්ෂය) පක්ෂයේ නායකයා විය. පසුගිය ජූනි මස 3 වැනි දින සිය 94 වැනි උපන් දිනය සැමරූ කරුණානිධි 1969 සිට 71 දක්වාත්, 71 සිට 76 දක්වාත්, 1989 සිට 91 දක්වාත්, 1996 සිට 2001 දක්වාත් 2006 සිට 2011 දක්වාත් පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමැතිවරයා ලෙස වසර 19ක් කටයුතු කළේය.   


පසුගිය සතියේ ඔහු චෙන්නාහි පිහිටි කව්වේරි රෝහලට ඇතුළත් කෙරුණේ රුධිර පීඩනය පහත වැටීම හා මුත්‍රාශගත රෝගයකින් පෙළෙන්නට වූ බැවිනි. වෛද්‍ය වාර්තා අනුව ඔහු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැව් පැවසුණු අතර තවත් දින කිහිපයක් රෝහලේ ගත කළ යුතු යැයි ද පැවසිණි. කරුණානිධිගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට වූයේ 2016 සිටය. දශක කිහිපයක් මුළුල්ලේ තමිල්නාඩුව පුරා රිදී සීනුවක් බඳුව ඇසුණු ඔහුගේ දේශපාලන කතා නිහඬ වූයේ ඔහු කතා කිරීමේ අපහසුතාවට පත් වූ බැවිනි.   


වසර 49ක් පුරා පක්ෂ නායකත්ව හොබවන කරුණානිධි තවමත් එය අත්හැර නොමැත. ඔහු ඩී.එම්.කේ. පක්ෂ නායකයා වුවද ක්‍රියාකාරී නායකයා වශයෙන් කටයුතු කරනුයේ ඔහුගේ පුත්‍රයා වන එම්.කේ. ස්ටාලින්ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ දූතයන් ලෙස කව්වේරි රෝහල වෙත ගියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හා කැබිනට් අමාත්‍යවරයකු වන ආරුමුගම් තොන්ඩමාන් සහ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්ය. කරුණානිධිගේ සුවදුක් බැලීමෙන් පසු ඔහුගේ පුත් ස්ටාලින් හමු වූ මේ දෙපොළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘සුව පැතුම්’ ලිපිය ඔහු අත පත් කළහ.   


තම නායකයාගේ රෝගී තත්ත්වය වාර්තා වූ තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් ඔහුගේ සුවදුක් දැනගැනීමේ අරමුණින් රෝහල වටා එක්රැස් වන්නට වූහ. “නීන්ඩු වාෂා තලෛවර්” (නායකතුමා දිගුකල් දිනේවා) “මීන්ඩු වා තලෛවා” (නායකතුමා නැවත එන්න) යනුවෙන් සජ්ජායනය කරමින් ඔවුහු දින ගණන් රෝහල අසල ගෙවා දැමූහ. ඔහුට සුවය පතා තමිල්නාඩුව පුරා විශේෂ පූජා පැවැත් වූහ. කරුණානිධිගේ සුවදුක් බැලීම සඳහා ඉන්දිය උප ජනාධිපති වෙන්කියා නායිදු, ආරක්ෂක ඇමැතිනී නිර්මලා සීතාරාමන්, කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි වැනි දේශපාලන නායකයෝ රැසක් කව්වේරි රෝහල වෙත පැමිණියහ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වරින්වර ඔහුගේ සුවදුක් විමසා සිටියේය. තමිල්නාඩුව දේශපාලනික වශයෙන්, පක්ෂ වශයෙන් බෙදී සිටිය ද සියල්ලෝ කරුණානිධිගේ අසනීප තත්ත්වය පිළිබඳව අවංකවම ශෝක වූහ.   
ඉන්දියාවේ වයෝවෘද්ධතම දේශපාලනඥයා   


දේශපාලනික දුර්වලතා කොතරම් පැවැතිය ද කරුණානිධිගේ දේශපාලනය තවමත් වර්ණවත්ය. ඔහුගේ දේශපාලන ඉතිහාසය සලකා බැලීමේ දී පෙනී යන ප්‍රධානතම කරුණ වනුයේ ඔහු සාමාන්‍ය දේශපාලනඥයකු නොව දේශපාලනික ආයතනයක් බවයි. තමිල්නාඩුවේ දෙමළ දේශපාලනයේ ප්‍රවීණයකු වන ඔහු ඉන්දියානු දේශපාලනයේ දැනට සිටින වයෝවෘද්ධම පුද්ගලයා සේ සැලකිය හැකිය. ඔහු ප්‍රථම වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ 1957දීය. එතැන් සිට කිසිදු මැතිවරණයකින් පරාජය වී නොමැති අතර කිසිදු ඉන්දියානු දේශපාලනඥයකුට ඔහුගේ වාර්තාව සම කළ නොහැකිය. වසර 49ක් පුරා ඔහු තම පක්ෂය වන ඩී.එම්.කේ. පක්ෂයට නායකත්වය සපයයි. ඉන්දියානු මධ්‍යම රජය දෙවරක් ඔහු මහා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබිණි. අවස්ථා ගණනක දී ඔහුගේ පක්ෂය පරාජයට පත් විය. ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ පක්ෂයේ සියලු සාමාජිකයන් පරාජය වුව ද ඔහුට ජය හිමි විය. ඔහු යළි බලයට පත්වන බවට කරුණානිධිගේ අනුගාමිකයන්ට දැඩි විශ්වාසයක් තිබිණි.   


කරුණානිධි 1924 ජුනි 3 දින තමිල්නාඩුවේ වර්තමාන තිරුවාරූර් දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන තිරුක්කුවාලෙයි ගම්මානයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ මුත්තුවේල් සහ මව වූ අන්ජුගම් ‘ඉසෙයි වේලලාර්‘ නමැති ජන කොට්ඨාසයට අයත් වූහ. එම ජන සමාජය වඩාත් ප්‍රචලිත වූයේ කලාකරුවන්ගෙන් සැදි පිරිසක් ලෙසිනි. ඉන්දියාවේ ප්‍රකට සංගීතඥයන්, නර්තන ශිල්පීන්, නාට්‍යකරුවන් සහ නළු නිළියන් රැසක් මෙම ජන කොට්ඨාසයට අයත් වූවෝය. කරුණානිධිගේ මුල් නම දක්ෂිණමූර්තිය. පසු කලෙක ඔහු දක්ෂිණමූර්ති යන සංස්කෘතරූපී නාමය දෙමළ රූපී බවට පත්කරගනිමින් කරුණානිධි ලෙසට වෙනස් කළේය.   


කරුණානිධිගේ දේශපාලන ආගමනය සිදුවූයේ 1938 දීය. එවක 14 හැවිරිදි තරුණයකු වූ ඔහු හින්දි විරෝධී ශිෂ්‍ය දේශපාලන සංවිධානයක් නිර්මාණය කිරීමට පුරෝගාමී විය. උසස් පාසල් ශිෂ්‍යයකුව සිටි අවධියේ ‘මුරසෝලි’ (බෙරහඬ) නමින් පුවත්පතක් ආරම්භ කළේය. වත්මනෙහි එය ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන පුවත්පත බවට පත්ව තිබේ.   


ද්විතියික අධ්‍යාපනයෙන් පසු පාසල් දිවියට සමුදුන් කරුණානිධි දේශපාලන ක්‍රියාකාරකයකු බවට පත් විය. නිදහස් පුවත්පත් කලාවේදියකු වශයෙන් ජීවිතය ආරම්භ කළ ඔහු වේදිකා නළුවකු හා නාට්‍ය පිටපත් රචකයකු ද විය. පසුකාලීනව ඔහුට චිත්‍රපට තිරකතා රචකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි විය. එය ඔහුට විශාල කීර්තියක් ගෙන ආ අතර දේශපාලනයට පිවිසීමේ මඟක් බවට ද පත් විය. ඔහු බහුශ්‍රැත, බොහෝ දක්ෂතා සහිත රචකයකු සහ වේදිකා නළුවකු වූයේය. කරුණානිධි විසින් රචිත තූක්කුමයෙදායි (පෝරකය) නමැති නාට්‍යය දර්ශන වාර 100ක් රංගගත කළ දිනයේ එවක සිටි ප්‍රතිභාපූර්ණ නළුවකු වූ එම්.ආර්. රාධා ඔහු ‘කලෛඥාාර්’ (කලාකරුවා) යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කළේය. එතැන් සිට ඔහු ප්‍රකට වූයේ ‘කලෛඥාාර්’ නමිනි. කරුණානිධි එම වේදිකා නාට්‍ය රචනා කොට එහි ප්‍රධාන චරිතයක් ද රඟපෑවේය.   


කරුණානිධිගේ සිනමා තිරනාටක අනුප්‍රාසයෙන් පිරි, මනාව ගලා යන ශෛලියකින් යුතු වූ අතර ඒවා රසිකයන් අතර මහත්සේ ජනප්‍රිය විය. උසාවි දර්ශන, පැරණි රාජසභා දර්ශන, කෙටි නාට්‍ය වැනි දෑ නූතනයට ගැළපෙන අයුරින් එම තිරකතාවන්හි අන්තර්ගත විය. චිත්‍රපට නිෂ්පාදකයන් අතර ඔහුගේ කතා ඉතා ජනප්‍රිය වූ හෙයින් චිත්‍රපට ප්‍රචාරණයේ දී කතාව සහ දෙබස් කලෛඥාාර් මු. කරුණානිධි යනුවෙන් සඳහන් කරන්නට ඔවුහු මැළි නොවූහ. සිනමාපටයේ සහ සිනමා ශාලාවේ ප්‍රදර්ශන කටවුට්වල පවා නළු නිළියන්ගේ නම්වලට පෙර ඔහුගේ නම ප්‍රදර්ශනය විය.   


කරුණානිධි චිත්‍රපට 60කට අධික සංඛ්‍යාවක තිර රචනය සහ දෙබස් රචනා කළේය. ඔහු තිර රචනය ලියූ ප්‍රථම චිත්‍රපට දෙක වූයේ ‘රාජකුමාරි’ සහ ‘අභිමන්‍යු’ ය. එහෙත් එම චිත්‍රපට දෙකෙහි තිරනාටක රචකයා ලෙස ඔහුගේ නම පළ නොවීය. පළමුවරට ඔහුගේ නම ප්‍රචාරය වූයේ 1950 දී රචනා කළ ‘මරුත නාට්ටු ඉලවරසි‘ නමැති චිත්‍රපටයෙනි. මන්තිරි කුමාරි, පරසක්ති, මනමහල්, පනම්, මනෝහර, තිරුම්බි පාර්, මාලෙයික්කල්ලන්, පුදුමෙයිපිත්තන්, කුරවන්ජි, රාජා රාණි, අරසිලන්කුමාරි, ඉරුවර් උල්ලම්, රන්ගුන් රාධා, පුදයියාල්, කාන්චි තලෙයිවන්, පූම් බුහාර්, පූමාලෙයි, අවන් පිතනා, මරක්ක මුඩියමා, පිල්ලයියෝ පිල්ලෙයි, පාලෙයිවනා රෝජාක්කල්, උලියින් දාසයි සහ පොන්නාර් ෂන්කර් ඔහු රචනා කළ තිරනාටක අතරින් විශේෂිතය. ඔහුට තම ප්‍රථම චිත්‍රපටය සඳහා ගෙවන ලද්දේ රුපියල් 3000ක් පමණි. එහෙත් පසුකාලයේ ඔහුට එක් තිරපිටපතක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක් හිමි විය.   


කරුණානිධි ‘මේකලා පික්චර්ස්’ නමින් තමන්ගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කළේය. එමඟින් චිත්‍රපට රැසක් නිෂ්පාදනය කෙරුණු අතර පසුකාලයේ එහි හිමිකම පැවරුණේ ඔහුගේ බෑණා වන හිටපු ඉන්දීය කැබිනට් ඇමැතිවරයකු වූ මුරසෝලි එම්. කේ. මාරන්හටය. තිර රචනාවලට අමතරව කරුණානිධි චිත්‍රපට ගීත රැසක් ද, නවකතා හා කෙටිකතා රැසක් ද රචනා කළේය. ඔහුගේ විශිෂ්ට නවකතා අතර ‘කුරලොආවියම්’ සහ ‘සන්ගත් තමීෂ්’ යන කෘති ප්‍රධානය. ඔහු තම ජීවිතය අළලා කොටස් හතරකින් යුතු ‘නෙන්ජුක්කු නීති’ නමින් ස්වයං චරිතාපදානයක් ද රචනා කළේය.   


ඩී.එම්.කේ. පක්ෂය තුළ එම්. ජී. ආර්ගේ ජනප්‍රියභාවය

   
මේ ​ෙවන විට කරුණානිධි ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා මෙන්ම තමිල්නාඩුවේ මහඇමතිවරයා වශයෙන් කටයුතු කළේය. සිනමාවේ මෙන්ම ඩී.එම්.කේ. පක්ෂය තුළ ද එම්.ජී.ආර්. ක්‍රමයෙන් ජනප්‍රිය වන්නට විය. මෙය කරුණානිධි මඳක් සසල කළ සිදුවීමක් විය. තම වැඩිමහලු පුත්‍රයා වූ එම්.කේ. මුතු සිනමාවට යොමුකිරීමට සිතූ කරුණානිධි ඔහු යොදා ‘පිල්ලයියෝ පිල්ලායි’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. එහි තිරපිටපත හා දෙබස් රචනා කළේ ද මහ ඇමතිවරයා වූ කරුණානිධිය. කරුණානිධිගේ සහය මත ‘මුතු රසික සමාජ’ එක රැයෙන් බිහිවන්නට විය. තම ජනප්‍රියත්වයට පහර ගැසීමට කරුණානිධිට අවශ්‍ය වී ඇති බැව් එම්.ජී. ආර්ට වැටහී ගියේය. ඩී.එම්.කේ. පක්ෂයේ පැවැති දූෂණ පිළිබඳව ඔහු කලකිරීමට පත්ව සිටියේය. 1972දී ඔහු පක්ෂයෙන් ඉවත් වූයේ එවැනි වාතාවරණයක් යටතේය.   


එම්.ජී. ආර් හට නව පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා කිසිදු බාධකයක් නොවීය. ඔහු තම රසික සමාජ, පක්ෂ සංවිධාන බවට පත් කොට සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය නිර්මාණය කළේය.   
1977දී පැවැති තමිල්නාඩු මැතිවරණයෙන් එම්.ජී.ආර්. ගේ නායකත්වයෙන් යුතු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය, කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පරාජය කළේය. මෙහි කටුක සත්‍යය වූයේ 1969 දී අන්නාදුරෙයිගෙන් පසු තමිල්නාඩුවේ මහඇමැති ධුරයට පත් වන්නට කරුණානිධිට විශාල සහයක් වූ, කරුණානිධි විසින්ම දේශපාලනයට ගෙන ආ එම්.ජී.ආර් විසින් ඔහු පරාජය කිරීමය.   
මිලියන 70කට අධික ජනතාවක් වෙසෙන, ඉන්දියාවේ සාක්ෂරතාව අතින් තෙවැනි ස්ථානයේ පසුවන තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන බලවතකු වීම සඳහා අවශ්‍ය ජනප්‍රසාදය කරුණානිධිට හිමි වූයේ සිනමාවෙනි. වත්මන් මහ ඇමැති පලනිස්වාමි හා හිටපු භාරකාර මහ ඇමැති පන්නීර්සෙල්වම් හැර 1967 සිට තමිල්නාඩුවේ මහ ඇමැති ධුරයට පත් සියලු දේශපාලනඥයෝ සිනමාවෙන් දේශපාලනයට පිවිසි පුද්ගලයෝ වූහ. සී. එන්. අන්නාදුරෙයි, එම්.ජී. රාමචන්ද්‍රන්, ජානකී රාමචන්ද්‍රන්, සහ ජයලලිතා ජෙයරාම් ඒ අතර වෙති.   


කරුණානිධි සහ සිවාජි ගනේෂන්   


දෙමළ සිනමාවේ වීරයකු වූ සිවාජි ගනේෂන් සිනමාවට පිවිසියේ 1952 දී ‘පරාසක්ති‘ නමැති සිනමා පටයේ වීර චරිතයට පණ පොවමිනි. එහි තිර රචනය හා දෙබස් රචකයා වූයේ කරුණානිධිය. කරුණානිධිගේ ප්‍රබල තිර රචනය හා දෙබස් ද, සිවාජි ගනේෂන්ගේ දක්ෂ රඟපෑම් ද දෙමළ සිනමාවට නව අරුතක් එක් කළේය ඔවුන් දෙදෙනා සම්බන්ධ වූ සියලු චිත්‍රපට අති සාර්ථක විය. ඒ අතර තිරුම්බි පාර්, මනෝහරා, කුරවන්ජි සහ ඉරුවර් උල්ලම් ඉහළ ආදායම් ඉපැයීය.   


කරුණානිධි චිත්‍රපට සඳහා රචනා කළ දෙබස් ක්‍රමයෙන් දේශපාලනික මුහුණුවරක් ගත්තේය. සිවාජි හා කරුණානිධි අතර පෞද්ගලික අමනාපයක් ඇති වූ අතර සිවාජි කොන්ග්‍රස් පක්ෂයට බැඳිණි. ඔහුගෙන් ඇතිවූ හිඩස පිරවීම සඳහා කොන්ග්‍රස් පක්ෂයේ සිට ඩී.එම්.කේ. කඳවුරට තවත් ජනප්‍රිය නළුවෙක් එක් විය. ඔහු වෙනකෙක් නොව දෙමළ සිනමාවේ වීරයකු වූ එම්.ජී. රාමචන්ද්‍රන්ය.   


එකල පැවැති සිනමා රසික සමාජ, දකුණු ඉන්දියානු නළු නිළියන් හා ඔවුන්ගේ සිනමාලෝලීන් අතර විශාල බැඳීමක් ඇති කළේය. 1940 වැනි කාලයේ සිට එම්.ජී. රාමචන්ද්‍රන් මෙම රසික සමාජවලට සහය දැක්වූ අතර ඒවා දිරිමත් කළේය. ඒවාට මිලියන ගණනින් සාමාජිකයෝ එක් වූහ. රසික සමාජ වාර්ෂික සමුළු පැවැත් වූ අතර සමාජ සේවා කටයුතු සඳහා ද දායක වූහ. එම්.ජී. රාමචන්ද්‍රන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමත් සමඟ මෙකී මිතුරු සමාජ ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය බවට පත් විය.  


ද්‍රවිඩියානු විඤ්ඤාණය හා දෘෂ්ටිවාදය   


ගත වූ 75 වසරක තමිල්නාඩු දේශපාලනය තුළ ආර්ය-ද්‍රවිඩ බෙදීම පැහැදිලිව දැකිය හැකිය. මෙම දර්ශනය විද්‍යාත්මක පදනමකට වඩා මිථ්‍යාව මත පදනම් වූවක් බැව් පෙනී යන්නකි. මෙකි ද්‍රවිඩියානු විඤ්ඤාණය හා දෘෂ්ටිවාදය දෙමළ ජනතාව සැලකිය යුතු වශයෙන් දේශපාලනීයකරණය කිරීමට මඟ පෑදීය. ද්‍රවිඩියානු විඤ්ඤාණය හා දෘෂ්ටිවාදය අනුව ඉන්දියාවේ මුල් ජන කොට්ඨාසය වූයේ ද්‍රවිඩයන්ය. ඉන්දියාව ආක්‍රමණය කොට උතුරු ප්‍රදේශය අත්පත් කරගත් ආර්යයයෝ එහි සිටි ද්‍රවිඩයන් දකුණු දෙසට පළවා හැරියහ. එතෙක් කුල ක්‍රමයක් නොපැවති ද්‍රවිඩ සමාජය කුල වශයෙන් බෙදන ලද්දේ ආර්යයන් විසිනි. ඒ අනුව බ්‍රාහ්මණයෝ ඉහළම කුලයට අයත් වූහ. ද්‍රවිඩ ආකල්ප අනුව දෙමළ බ්‍රහ්මණයෝ දෙමළ වාර්ගියන් සේ සැලකීමට අකමැති වූහ. දෙමළ බස භාවිත කළ ද ඔවුන් ආර්යයන්ගෙන් පැවත එන්නන් සේ සැලකිණි. දෙමළ සමාජ ප්‍රතිසංස්කරණ වේදිකාව ප්‍රගතිශීලී නැඹුරුවක් පෙන්නුම් කළ ද ද්‍රවිඩ ව්‍යාපාරයේ රළු ආකල්ප අනුව ආර්ය ද්‍රවිඩයන් කෙරෙහි වූ ආකල්පය වෛරී සහගත එකක් විය.   


සමාජ ඓතිහාසික සාධක මත රාජ්‍යයේ පාලනය බ්‍රාහ්මණයන් අත පැවැතිණි. ඔවුනට මනා අධ්‍යාපනයක් හිමි වූ අතර වෘත්තීන් හා විවිධ ක්ෂේත්‍රයන්හි කැපී පෙනුණි. හින්දු දහමේ බලඅධිකාරිය පැවතුණේ ද ඔවුන් අතය. බ්‍රාහ්මණයන් නොවූ පිරිස් බ්‍රාහ්මණ ආධිපත්‍යය කෙරෙහි කලකිරුණු අතර ද්‍රවිඩියානු දෘෂ්ටිවාදය කෙරෙහි නැඹුරුවන්නට වූහ.   


ද්‍රවිඩියානු භාෂා 19ක් ඇති අතර දෙමළ, තෙළිඟු, මලයාලම්, තුලු සහ කන්නඩ යන භාෂා ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනී. ද්‍රවිඩියානු දෘෂ්ටිවාදය වැළඳගන්නා ලද අනෙකුත් ප්‍රාන්ත වූයේ අන්ද්‍රා ප්‍රදේශ් (තෙලිඟු), කේරළ (මලයාලම්) හා කර්ණාටක (කන්නඩ) යන ප්‍රාන්තයන්ය. අතීතයේ ද්‍රවිඩියානු පක්ෂවල ප්‍රධාන ඉල්ලීම වූයේ කේරලය, තමිල්නාඩුව, පොන්ඩිචෙරිය, අන්ද්‍රා ප්‍රදේශ් සහ කර්ණාටකය මැදිකරගත් ද්‍රවිඩියානු ප්‍රාන්තයක් නිර්මාණය කර ගැනීමය. පසුව බෙදුම්වා දී කණ්ඩායමක් විසින් තමිල්නාඩුව පමණක් බෙදා වෙන්කර ගැනීමට උත්සාහ කළහ. එහෙත් 1962 පැවැති ඉන්දු චීන යුද්ධයෙන් පසු ඩී.එම්.කේ. පක්ෂය ජාතික ආරක්ෂාව සහ එක්සත්භාවය අරමුණු කරගනිමින් බෙදුම්වා දී ආකල්පයෙන් බැහැර වූහ.   


ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය   


ඩී.එම්.කේ. පක්ෂය ආරම්භ වූයේ ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුය. කරුණානිධිගේ දේශපාලන ප්‍රවිශ්ටයත් සමඟ එම පක්ෂය තමිල්නාඩුව පුරා ව්‍යාප්ත විය. ඩී.එම්.කේ. පක්ෂය බිහිවන්නට මුලික වූ ද්‍රවිඩියානු ව්‍යාපාරයේ සමාරම්භකයා ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරය නිර්මාණය කළ ඊ.වී. රාමස්වාමි නායික්කර්ය. ඔහු හැඳින්වුණේ පෙරියර් (ශ්‍රේෂ්ඨ පුද්ගලයා) යන නමිනි. ඔහු දේශපාලනයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. ද්‍රවිඩ කසාගම් ව්‍යාපාරය ඔහුගේ ඒකාධිකාරි පාලනය යටතේ පැවතියේය.   


ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවූ කරුණානිධි ඇතුළු කණ්ඩායමක් කොන්ජිවරම් නටරාජන් අන්නාදුරෙයිගේ නායකත්වයෙන් යුතුව 1949 දී නව පක්ෂයක් ආරම්භ කළහ. එය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය නොහොත් ඩී.එම්.කේ පක්ෂය විය. සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ එම පක්ෂය පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වූයේය.   


1957 ඩී.එම්.කේ. පක්ෂය ක්‍රියාකාරී දේශපාලනට පිවිසි අතර එවර පැවැති මැතිවරණයෙන් රාජ්‍ය සභාවේ ආසන 15ක් හා පාර්ලිමේන්තු ආසන 2ක් දිනා ගැනීමට සමත් විය. 1962දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසන 50ක් සහ පාර්ලිමේන්තු ආසන අටක් ජය ගැනීමට ඔවුන්ට හැකි විය. 1967 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසන 234න් 138ක් දිනා ගත්තේ ඩී.එම්.කේ. පක්ෂයයි. ලොක් සභාවේ සියලු ආසන 25 ඔවුනට හිමි වූ අතර අන්නාදුරෙයි ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් විය.   


මදුරාසිය නමින් එතෙක් හැඳින්වුණු එම ප්‍රාන්තය අන්නාදුරෙයි විසින් තමිල්නාඩුව (දෙමළ භූමිය) ලෙස වෙනස් කළේය. 1968 දී අන්නාදුරෙයි මරණයට පත් විය. අන්නාදුරෙයි යටතේ පොදු වැඩ පිළිබඳ අමාත්‍යවරයා වූ කරුණානිධි තමිල්නාඩුවේ මහඇමැතිවරයා බවට පත් විය. 1971 පැවැති මැතිවරණයෙන් ඩී.එම්.කේ පක්ෂය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසන 184ක්ද පාර්ලිමේන්තුවේ ආසන 23ක්ද දිනා ගත්තේය. ඩී.එම්. කේ. පක්ෂය අනිභිභවනීය බවක් පෙනෙන්නට තිබිණි. 

 
1972දී පක්ෂයේ බිඳීමක් ඇති විය. ඩී.එම්.කේ පක්ෂයේ ප්‍රධානතම ඡන්ද යාන්ත්‍රණය බවට පත්ව සිටි මරුතූර් ගෝපාලමෙනන් රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර්. පක්ෂයෙන් ඉවත් විය. ‘සමස්ත ඉන්දීය අන්නාදුරෙයි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය’ නමින් නව පක්ෂයක් නිර්මාණය කළ පසුව එය ‘අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය’ ලෙස නම් කළේය. ඔහුගේ පක්ෂය අති සාර්ථක ලෙස පිට පිට මැතිවරණ තුනක් ජය ගැනීමට සමත් විය. 1977 දී ආසන 125ක්ද, 1980 දී ආසන 130ක්ද, 1984 දී ආසන 125ක්ද දිනා ගැනීමට රාමචන්ද්‍රන්ගේ පක්ෂයට හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ කරුණානිධිහට නොකඩවා වසර 11ක් විරුද්ධ පක්ෂ නායක ලෙස කටයුතු කරන්නට සිදු වීමය.   


1987 දෙසැම්බරයේ එම්.ජී.ආර්. මරණයට පත් විය. ඔහුගෙන් පසු මහ ඇමැති පදවියට පත් වූයේ ඔහුගේ බිරිය වූ ජානකී රාමචන්ද්‍රන්ය. එහෙත් කොන්ග්‍රස් පක්ෂයේ කූඨෝපාය හේතුවෙන් මසකින් ඇගේ නායකත්වය හා පක්ෂය බිඳ වැටිණි. එවක එම්.ජී.ආර්. ගේ ප්‍රචාරක ලේකම්වරිය වූ ජයලලිතා පක්ෂ නායකත්වය තමන්ට හිමි විය යුතු බවට කරන ලද උද්ඝෝෂණය ද පක්ෂය බිඳවැටීමට බලපෑවේය. දෙකට බෙදුණු ඒ. ඩී.එම්.කේ. පක්ෂය කණ්ඩායම් දෙකක් ලෙස 1989 වසරේ පැවැති මැතිවරණයට තරග කළහ. එක් කණ්ඩායමක් ජානකීගේ නායකත්වයෙන් යුතු වූ අතර, අනෙක් කණ්ඩායම ජයලලිතාගේ නායකත්වයෙන් යුතු විය. එහිදී ජානකී කණ්ඩායමට එක් ආසනයක් ද ජයලලිතාට ආසන 24ක් හිමි විය. කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ඩී.එම්කේ. පක්ෂය මැතිවරණයෙන් ජය ලැබීය.   


කරුණානිධිගේ දේශපාලන ජීවිතයේ නිමාව   


රාජිව් ගාන්ධිගේ මරණයෙන් පසු 1991දී ජයලලිතා හා කොන්ග්‍රසය එක්ව ඩී.එම්.කේ පක්ෂය පරාජය කළහ. එම මැතිවරණයෙන් ජය ගත්තේ ඩී.එම්.කේ. නායක කරුණානිධි පමණකි. 1998දී ඩී.එම්.කේ. පක්ෂය යළි බලයට පත් වූ අතර 2001 වන තෙක් බලයේ සිටියේය. 2001දී යළි ජයලලිතා බලයට පත් වූ අතර 2006දී යළි කරුණානිධි බලයට පැමිණියේය. චක්‍රය යළි කරකැවෙමින් 2011 දී ජයලලිතා මහා ඇමැති ධුරයට පත් විය. 2016 මැතිවරණයෙන් ඇය ජය ලැබුව ද රෝගාතුරව එම වසරේ දෙසැම්බරයේ මරණයට පත් වූවාය. කරුණානිධිගේ සෞඛ්‍ය තත්ත්වය ද ඒ වන විට පිරිහෙමින් පැවතියේය.   


මෙම පසුබිම තුළ ජනප්‍රිය නළුවන් වන රජිනි කාන්ත් සහ කමල් හසන්ද නව දේශපාලන පක්ෂ ආරම්භ කළහ. වර්තමාන තත්ත්වය අනුව ඔවුනට තමිල්නාඩුවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නට මාවත නිර්මාණය වී තිබේ. 1967 සිට තමිල්නාඩුවේ පාලනය හිමි වූයේ ඩී.එම්.කේ පක්ෂයට හෝ ඒ. අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයටය. එහෙත් මේ වන විට එහි දේශපාලන රික්තයක් මතුව තිබේ.   


ජයලලිතා ජයරාම්ගේ මරණින් පසු තමිල්නාඩුවේ පාලන බලය එම පක්ෂයට හිමිවුවද මේ වන විට පක්ෂය කණ්ඩායම් හතරකට බෙදී තිබේ. හිටපු ප්‍රධාන අමාත්‍ය ඕ.එස්. පන්නීර්සෙල්වම්, වත්මන් ප්‍රධාන අමාත්‍ය එඩප්පාඩි පලනිස්වාමි දැනට සිරභාරයේ පසුවන ජයලලිතාගේ සහයිකාව වූ සසිකලා නටරාජන් හා ජයලලිතාගේ ලේලියක වන පක්ෂයේ වත්මන් ප්‍රධාන ලේකම් දීපා ජයකුමාර් අතර පක්ෂය බෙදා ගැනීමේ තරගයක් පවතී.   
මධ්‍යම රජය පන්නීර්සෙල්වම් හා පලනිස්වාමි අතර විරසකය තාවකාලිකව සමනය කිරීමට කටයුතු කළ අතර මේ වන විට එය මධ්‍යම රජයේ රූකඩයක් බවට පත්ව තිබේ. පසුගියදා ආර්.කේ. නගර්හි පැවැති අතුරු මැතිවරණයෙන් ස්වාධීන අපේක්ෂයකු ලෙස තරග කළ සසිකලාගේ බෑණා වන ටී.ටී.වී. ධනකරන් ජය ලැබුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. හා ඩී.එම්.කේ. අපේක්ෂයන් දෙදෙනාම පරාජයට පත් කරමිනි. ඒ අනුව වත්මන් මහඇමැතිවරයාගේ පදවි කාලය ද සීමාසහිත විය හැකිය. 

 
කරුණානිධිගේ පුත්‍රයා එම්. කේ. ස්ටාලින්   


මෙය ඩී.එම්.කේ. පක්ෂයට ද උදා වී ඇත්තේ යහපත් සමයක් නොවේ. පක්ෂ නායක කරුණානිධිගේ අසනීප තත්ත්වය ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. කරුණානිධිගේ පුත්‍රයා වන ස්ටාලින් පක්ෂයේ ක්‍රියාකාරී නායකයා වුව ද කරුණානිධිගෙන් පසු ඔහුට පක්ෂය මෙහෙය විය හැකි ද? යන්න පිළිබඳව ඇත්තේ සැකයකි. පසුගියදා පැවැති ආර්.කේ. නගර් අතුරු මැතිවරණ ප්‍රතිඵලය ද ඩී.එම්.කේ. පක්ෂයට විශාල කම්පනයක් ඇති කළේය. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ඡන්ද බෙදී ගිය හෙයින් ඩී.එම්.කේ. පක්ෂයට ජය අත්වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එහෙත් ජය හිමි වූයේ ස්වාධීන අපේක්ෂකයකුටය. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය දෙවැනි ස්ථානයටත් ඩී.එම්.කේ. පක්ෂය තෙවැනි ස්ථානයටත් පත් විය. “ඡන්දය සඳහා මුදල්” යන සිද්ධාන්තය මෙහි දී වඩා ප්‍රබල විය.   


වාමාංශික පක්ෂ හා කුඩා පක්ෂ එකතුව පොදු පෙරමුණක් නිර්මාණය කරමින් තුන් වැනි බලවේගය බවට පත්වීමට උත්සාහ කළ ද 2018 මැතිවරණයේ දී ඔවුනට හිමි වූයේ කනගාටුදායක ඉරණමකි. බී.ජේ.පී. යේ සහ කොන්ග්‍රස් පක්ෂයේ ජාතික ඉල්ලීම් දෙමළ භූමියේ සාර්ථක වූයේ නැත. මෙවන් පසුබිමක් යටතේ තමිල්නාඩු දේශපාලනයේ රික්තයක් පවතින බැව් පෙනෙන්නට තිබේ. 50 වසරක් මුළුල්ලේ පැවැති ද්‍රවිඩියානු දේශපාලනයේ වෙනසක් අවශ්‍ය වී තිබේ. කමල්හසන් හා (හෝ) රජිනි කාන්ත් ඔවුන්ගේ මිලියන ගණනක් වන රසිකයන් සමඟ එම රික්තය පිරවීමට ඉඩ තිබේ. එසේ වුවහොත් තමිල්නාඩුවේ ද්‍රවිඩියානු දෘෂ්ටිවාදී ආධිපත්‍යය ද බිඳ වැටෙන්නට ඉඩ ඇත.

 

 

 

 

පරිවර්තනය - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඩී.බී.එස්. ජෙයරාජ් 
ඩේලි මිරර් පුවත්පතට සැපයූ ලිපිය ඇසුරිනි.