කළපුවේ නවතා ඇති බෝට්ටු

 

 

ධීවර සම්පත ගැන කතා කරන විට වසර ගණනාවක සිට මුලතිව් හි කෝකිලායි ධීවර ගම්මානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කෝකිලායි ධීවර ගම්මානය සුන්දර ගම්මානයක් වුවත් එහි ජීවත් වන ධීවරයන්ගේ ජීවිත නම් සුන්දර නැත.   


කෝකිලායි දූපතේ එක් පැත්තක ජීවත් වන්නේ මුස්ලිම් ජනතාවයි. තවත් පැත්තක ජීවත් වෙන්නේ දමිළ ජනතාවයි. ඒ ගම්මාන සියල්ලන්ටම මැදි වී ඇත්තේ කෝකිලායි දූපතේ පිහිටි ධීවර ගම්මානයයි. කතෝලික ජනතාවක් සිටින එම ගම්මානයේ සිටින්නේ වසර ගණනාවක සිට ධීවර කර්මාන්තයේ නිරත වූවන්ය. ඔවුන් බොහෝ දෙනෙකුගේ මුල් බිම් වන්​නේ මීගමුව ප්‍රදේශයයි. ඇතැම් අය කෝකිලායි ගම්මානයේ උපන් අය වෙති.   


කෝකිලායි ගම්මානය පසුගිය යුද සමයේ අතිශයින්ම ප්‍රහාරවලට ලක් වූ ගම්මානයකි. 1984 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරවලින් 40 දෙනෙක් පමණ මිය ගියහ. එහෙත් ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ වුවද එම ගම්වාසීන් ගම්මානය අත හැර ගියේ නැත. ගම්මානයට ඇතුළු වීමට නිසි මාර්ග පද්ධතියක් නොතිබිණි.   


ඒ සඳහා එක්කෝ යාත්‍රාවක් හෝ බෝට්ටුවක් අවශ්‍ය විය. එහෙත් අද මාර්ගයක් ඉදි වී තිබේ. එහෙත් එම මාර්ගය නිසි නඩත්තුවක් කර නැත.   


ගම්මානයේ සිට මීටර 500ක් පමණ දුරකින් කාපට් කළ මාර්ග ඉදි කර ඇත. ඒ දෙමළ ගම්මාන බහුල ප්‍රදේශවලයි. පසුගිය දිනවල උතුරු වසන්තය ක්‍රියාත්මක කළ ද කෝකිලායි ගම්මානයට ඒ වසන්තය උදා නොවුණේ සිංහල ගම්මානයක් නිසාවෙනි. ගම්මානයට ඇත්තේ එකම එක පාසලකි. එහෙත් පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් නොමැත. බොහෝ දෙනෙකු දුෂ්කර ගම්මාන නිසා සේවයට වාර්තා කරන්නේ නැත.   


කෝකිලායි ධීවර ගම්මානයේ ධීවරයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අපි පසුගියදා එහි චාරිකාවක නිරත වුණෙමු.   


කෝකිලායි ශාන්ත ආනා ග්‍රාමීය ධීවර සංගමයේ සභාපති දමයන්ත ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් පළ කළේය.   


අපි පාරම්පරික ධීවරයෝ. මම ඉපදුණෙත් මුලතිව්වල. හැඳුනුම්පතේ පවා එය සඳහන් වෙනවා. නමුත් අපේ ගෙවල්වලට අංකයක් හෝ ලියාපදිංචි ඔප්පුවක් නැහැ. අපි ඒවා ඉල්ලන්න ගියාම අපිව හඳුන්වන්නේ කල්ලතෝනි හැටියට.   


මේ ගම්මානය අවුරුදු 90ක පමණ ඉතිහාසයකට හිමිකම් කියනවා.   


සමහරු සිතන් ඉන්නේ අපි යුද්ධයෙන් පස්සේ මේ ගම්මානයට පදිංචියට ආවා කියලා. අපේ උප්පැන්න සහතික, හැඳුනුම්පත්වල පවා තිබෙන්නේ මේ ගමේ ලිපිනය. ඇතැම් අයගේ ඡන්දය තිබෙන්නේත් මෙහේ. අපි යුද්ධය දරුණුවට යන කාලේත් මේ ගමේමයි පදිංචි වෙලා හිටියේ. අපිට කිසිම සාධාරණයක් කරලා නැහැ මොන ආණ්ඩුවකින්වත්. දැන් උතුරු වසන්තය කියලා එකක් ආවා. මෙතන ඉඳලා මීටර් 500ක් ඈතින්. ඒත් ඒ වැඩසටහන මේ ගමට ආවේ නැහැ අපි සිංහල නිසා. අපි ග්‍රාමසේවක ළඟට ගියත් ප්‍රාදේශීය ලේකම් ළඟට ගියත් අධිකරණයට ගියත් ජාති භේද සලකනවා. කිසිම සේවයක් මේ ගමට හෝ ගමේ ජනතාවට කරන්නේ නැහැ. අපිත් මේ රටේ මිනිස්සු. අපිටත් සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕනෑ.   

කෝකිලායි ගම්වාසීන් ජීවත් වන නිවාස  

කෝකිලායි ගම්මානයේ ඇති එකම පාසල  

 

 

ගමේ පවුල් 400ක් විතර ජීවත් වෙනව. භූමිය වර්ග කිලෝ මීටර් 6ක වට ප්‍රමාණයක් තමයි. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මේ ධීවර කර්මාන්තය. පිටින් එන ලොරිවලින් තමයි අපේ මාළු මිලදී ගන්නේ. ධීවර අමාත්‍යාංශය මගින් විවිධ නීති රීති ක්‍රියාත්මක කරනවා. අපිත් කැමතියි ඒවා ක්‍රියාත්මක කරනවට. නමුත් මේ ප්‍රදේශයේ සිටින ධීවර පරීක්ෂකවරයාගෙන් තමයි අපට නොයෙකුත් බලපෑම් එල්ල වෙන්නේ. ධිවර ගැටලුවක් ගැන කතා කරන්න ගියාම ඒවා කල් දම දමා මඟ හරිනවා. අපෙන් පළිගන්න වගෙයි හදන්නේ. සුළු වැරැද්දක් කළොත් අපිව කෙළින්ම නීතිය ඉදිරියට ගෙන යන්න තමයි බලන්නේ. ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තමයි අපි මේ කර්මාන්තයේ යෙදෙන්නේ. පසුගිය කාලයේ බෝට්ටු ඔක්කොම අත්අඩංගුවට ගත්තා. අපේ සිංහල අයගේ බෝට්ටු 5ක් විතර දුන්නේ නැහැ. අනිත් සෑම අයෙකුටම ගත්ත බෝට්ටු නැවත දුන්නා.   
ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ​ෙජනරාල්තුමාගේ ලිපියටවත් මේ නිලධාරියා සලකන්නේ නැහැ. ඔහු නීතිය තමන්ගේ අතට අරගෙන වගෙයි හැසිරෙන්නේ.   


අපිට දැන් කලපුව තුළ ඕනෑම වෙලාවක ධීවර කටයුතුවල නිරත වෙන්න පුළුවන්. යුද්ධ කාලයේ නම් සීමා පැනවූවා. අවුරුදු 20ක් යන කම් අපි සතියට දවස් 2යි ධීවර කර්මාන්තයේ නිරත වුණේ. උදේ 6ට ගියොත් සවස 6ට කලින් නැවත එන්න ඕනෑ. යුද්ධ කාලේ ​අපි බොහෝ දුක් කරදරවලට මුහුණ දුන්නා. දැන් නම් සාමය උදාවෙලා තිබෙන නිසා එච්චර කරදරයක් නැහැ. රජයෙන් හෝ දේශපාලන අධිකාරියෙන් මොන සහන ආවත් මුලතිව් ධීවර කාර්යාලයෙන් පිටට ඒවා එන්නේ නැහැ. විශේෂයෙන් මේ කෝකිලායි ගම්මානයට ඒ බවට මෙතන ඉඳලා මීටර 500ක් ගියහම හොඳට සාක්ෂි තිබෙනවා. ඉස්සර​ මේ ප්‍රදේශයේ මහ කැලෑවක් තිබ්බේ. දැන් දමිළ ජනතාවට එහි ගස් කපලා නිවාස ඉදි කරලා දීලා තිබෙනවා. නමුත් අපි තාම ඉන්නේ මේ තහඩු ගහපු පැල්පත්වල. අපි ඉල්ලන්නේ මේ නිවාස හදලා නිවාසවල අයිතිය තහවුරු කරලා දෙන්න කියලා. අපේ නිවාසවලට බලපත්‍රයක් නැහැ. ඒවා කරලා දෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ දැන් ජාති භේදය උග්‍ර වෙලා. මැති-ඇමැතිගොල්ලෝ කිහිප දෙනෙක් ආවා. උදව් කරන්නම් අපි. සහන දෙන්නම් කියලා ගියා. නමුත් කවුරුත් කරපු දෙයක් නැහැ. මාසෙන් දෙකෙන් කරලා දෙන්නම් කියලා යනවා. එච්චරයි.   


ධීවර කටයුතුවලට විශාල බලපෑමක් තිබෙනවා. අපි ගොඩක් අල්ලන්නේ සාලයේ, හාල්මැස්සෝ වගේ කුඩා මාළු. ඒක අද නීති විරෝධී තත්ත්වයට පත් වෙලා. දැන් ධීවර පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කරන්නේ අඟල් එකයි කාල, ඒකයි කාල (1 1/4 x 1 1/4) වගේ ප්‍රමාණයේ දැල් පාවිච්චි කරන්න කියලා. ඒවට බලපත්‍ර දෙන්නම් කියනවා. ඒවගේ ප්‍රමාණයක් ඇති කොටු දැලකින් සාලයෝ‌, හාල්මැස්සෝ අල්ලන්න පුළුවන්ද? අපි ඉල්ලන්නේ ඔය වගේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. ඒක නිසා අප පසුගිය කාලයේ දවස් 3ක් විතර ධීවර රස්සාවට ගියේ නෑ.   


කෝකිලායි ගම්මානයේ පදිංචි රෝස්මේරි කැන්සිඩා ප්‍රනාන්දු මහත්මිය.   


උපන්දා ඉඳලා ජීවත් වුණෙත්, අම්මලා ඉපදුණෙත් මෙහෙ. මේක මගේ පාරම්පරික උපන් ගම. යුද්ධ කාලයේත් අපි ජීවත් වුණේ මේ ගම්මානයේ. අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තිබෙන්නේ.   


උතුරු නැගෙනහිර තියෙන ප්‍රධාන සිංහල ගම්මානයක් වෙලත් අපිට කුමන ආණ්ඩුවකින්වත් සහනයක් ලබා දුන්නේ නැහැ. දැන් මීටර් 500ක් දුර දෙමළ ගම්මානවලට නම් නිවාස ඉදි කරල දුන්නා උතුරු වසන්තය තුළින්. අපි ඉන්නේ තහඩු ගෙවල්වල. ලොකු හුළඟක් ආවොත් කොයි වෙලේ ඒවා කඩා වැටෙයි ද දන්නේ නැහැ. ගෙවල් තුළ මැස්සෝ, මදුරුවෝ පිරිලා කුඩා ළමයෙකුටවත් ඉන්න බැහැ. පුල්මුඩේට මෙතන ඉඳලා කිලෝ මීටර් 50 යි. නිවාස ඇමතිව සිටි සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා ඒ ගමේ නිවාස ඉදි කළා. මේ සිංහල ගම්මානයට එකම ගෙයක්වත් හදලා දුන්නේ නැහැ. අපි ඉතින් බලන් ඉන්නවා කොයි පැත්තකින් හෝ සහනයක් ලැබෙයි කියලා. නමුත් ලැබෙන පාටක් නම් පේන්න නැහැ.   
අපේ දරුවන්ට ගමේ ඉස්කෝලයක් තිබුණත් ප්‍රමාණවක් ගුරුවරු නැහැ. දැන් මේ ගමේ ගොඩක් ඉන්නේ මීගමුවේ ඉඳලා ඇවිත් ගෙවල් හදාගත්ත අය. ප්‍රමාණවත් අධ්‍යාපන පහසුකම් නැති නිසා දරුවන්ගෙන් ගොඩක් අය මීගමුවේ ඉස්කෝලවලට යවනවා. එහෙත් නැති බැරි අයෙක් තමයි මේ ගමේ ඉස්​කෝලවලට යවන්නේ. යුද්ධයක් තිබුණත් අපි මේ ගම දාලා ගියේ නැහැ. අපි සියලු දෙනා සිංහල කතා කරන, කතෝලික බැතිමතුන්. මේ වටේම සිටියේ නාවික හමුදාව කඳවුරු බැඳලා. දෙමළ කියන කිසි කෙනෙක් මේ ගම්මානයට ආවේ නැහැ.  


එ් නිලධාරීන් දන්නවා අපි ජීවත් වුණේ කොහොමද කියලා. ඒත් සීත කාමරවල කැරකෙන පුටුවල හිටපු අය දන්නේ නැහැ කොහොමද අපි ජීවත් වුණේ කියලා. දැන් තමා නීති රීති පනවලා අපිට අසරණ තත්ත්වයට පත් කරන්නේ.   


පිරිමි අය ගිහිල්ලා රැකියාවේ නිරත වෙලා රැගෙන එන මාළු විකුණලා තමයි දරුවොයි අපියි ජීවත් වෙන්නේ. කාන්තාවන්ට කියලා ස්වයං රැකියාවක් කරන්න පහසුකම් නැහැ. මේ ගම්මානයේ තිබෙන්නේ ධීවර රැකියාව විතරයි. එක එක බලධාරීන් එනවා. ඇවිල්ලා බලලා මැනගෙන යනවා. ලබන මාසේ ගෙවල් දෙනවා. ඊළඟ මාසේ දෙනවා කියලා. නමුත් කටින් බතල විතරයි.   


මේ ගම්මානය ඇතුළට ඒ පහසුකම් නැහැ. ගම්මානයෙන් පිට මීටර් කිහිපයක් ගිය අයට තමයි හැම පහසුකමක්ම දෙන්නේ. අපි අයිති මුලතිව් දිස්ත්‍රික්කයට. නමුත් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කිසිම සේවාවක් ලැබෙන්නේ නැහැ. අපි සෑම කෙනෙකුටම වගේ ලිපි මගින් දැනුම් දුන්නා. නමුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ආවම එතනින් එහාට එන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ අපට දැනටමත් ඉඩම් නැහැ කියලා එළවන්න තමයි. කොහොම වුණත් අපි මේ ගම දාලා යන්නේ නැහැ. දැන් මහවැලියෙන් කැමැතියි අපේ සංවර්ධන කටයුතු කරන්න. නමුත් ඒකට ඔවුන් අවසර දෙන්නේ නැහැ. මෙතන තිබෙන්නේ සිංහල, දෙමළ ප්‍රශ්නයක් බව පැහැදිළියි. අපි ඉන්න තැනට බලපත්‍රයක් ලබා දෙන්න කියලා හැමදාම ඉල්ලීම් කරනවා. නමුත් කෙරෙන්නේ නැහැ. කොටි ගහන කොට 1984 දී මට අවුරුදු 10 යි. අපි පණ බේර ගන්න දුවපු අතරේ ඔය දෙමළ කට්ටිය ආවා. එක පවුලක දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම ඉඩම් දීලා නිවාස හදලා දීලා තිබෙනවා. නමුත් අපිට දරුවෙකුට තියා අම්මලාටවත් ඉන්න තැනක් නැහැ.   


යුද කලබලවලට ඉස්සරවෙලා මෙහි ගෙවල් 62ක් තිබුණා. අපිට ස්ථීර බලපත්‍ර දෙන්න කිව්වා. නමුත් ලැබුණේ නැහැ. ඒ ගෙවල්වලට වරිපනම් ගෙවපු රිසිට් පත් පවා තිබෙනවා. නිලධාරීන් එනවා. බලනවා යනවා. ෆොටෝ ගහනවා. ඊට පස්සේ මුකුත් නැහැ. යුද්ධ කාලේ කිසිම රජයේ නිලධාරියෙක් හිටියේ නැහැ. අපේ පිහිටට හිටියේ යුද හමුදාවේ නිලධාරීන් විතරයි. එයාලට ලෙඩක් දුකක් වුණාම අපේ බෝට්ටු අරන් යනවා. අපිට කරදයක් වුණාම ඒ ගොල්ලන්ගේ බෙහෙත් තමයි අපට දෙන්නේ.   


අපට තිබෙන තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ජල ප්‍රශ්නය. අපට මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව හරහා තමයි ජලය එන්නේ. අපෙන් මාසයකට රුපියල් 520ක් අය කරනවා. අපට දවස් දෙකකට වතුර ලීටර් 40ක් වගේ තමයි හම්බ වෙන්නේ. ඒක අපට කොහොමටත් ප්‍රමාණවත් නැහැ. සමහර අය වතුර ටික පවා අලෙවි කරන්න මෙහෙට ගේනවා. අපි ඉතින් ලීටර් 20ක් රුපියල් 20ක් වගේ මුදලක් ගෙවලා අරගනන්වා. ඒ ප්‍රශ්නය ඉතාම උග්‍ර වෙලා තිබෙන්නේ.   


කෝකිලායි ගම්මානයේ පදිංචි නදීකා සෙව්වන්දි මහත්මිය.   


අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. ධීවර කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. රජයෙන් බෝට්ටු දුන්නාලු, බෝට්ටු එන්ජින් දුන්නාලු. අපට නම් කිසිවක් ලැබුණේ නැහැ. දෙන ඒවත් සමිති මට්ටමින් තිබෙන අයටම දෙනවා. මගේ මහත්තයත් අසනීපයෙන් ඉන්නේ. අපි ජීවත් වෙන්නේ මගේ තාත්තට තිබෙන ඔරුවෙන් ගිහින් මාළු අල්ලා. කාගෙන් හරි දැල් කෑල්ලක් කුලියට අරගෙන. අනික වතුර ප්‍රශ්නය උග්‍රව තිබෙනවා. සෑහෙන්න දුරක ඉඳලා තමයි වතුර ටික හරි ගේන්න ඕනෑ. මේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ හිඟකම නිසා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පහතටම බැහැලා තිබෙන්නේ. අපි ඉල්ලන්නේ මේ ගෙවල් ටික හදලා අපේ වතුර ප්‍රශ්නය විසඳලා මේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න ක්‍රමයක් සලසන්න කියලා.   


මමයි, සැමියයි, තාත්තගේ ඔරුවෙ ගිහින් උදේ පාන්දර දැල් එළලා දවල්ට එනවා. මොනවා හරි තියෙන දෙයක් උයලා කන්න. ආපහු රෑට යනවා. නැවත දැල බලන්න මාළු හරි කකුළුවෝ හරි දැලට අසුවෙලා තිබුණොත් ඒක විකුණලා තමයි ජීවත් වෙන්නේ.   


මෙම ජනතාවට දින දෙක තුනක කාලයක් ධීවර කටයුතුවල නිරත නොවුණහොත් කිසිදු ආදායම් මාර්ගයක් නැත. ජල ගැටලුවත් රැකියාවට එල්ල වන තර්ජනයත් නිසා අසරණ වී සිටිති.   


මෙම ජනතාවගේ ගැටලු විසඳීමට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතු නොවේද? කවදත් ඔවුන් ඡන්ම භූමිය අත් නොහැර එහිම ජීවත් වන ජනතාවක් බැවිනි. ඔවුන්ගේ ගැටලු පිළිබඳ ඕනෑකමින් සොයා බලා කඩිනමින් විසඳුම් සැලසීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වේවා.   

 

 

 

 

 

කෝකිලායි සංචාරයකින් පසු   
සටහන : නිශාන්ත කුමාර බණ්ඩාර   
ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය