ඇය ගැන කෙටියෙන්  


කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධන


තනතුරු  


අධ්‍යයන අංශ ප්‍රධානි,  

යුනානි අංශ ප්‍රධානි,  

ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජික,  

ශික්ෂණ රෝහලේ උපදේශක මණ්ඩලයේ සාමාජික,  

ස්ත්‍රී රෝග ප්‍රසව කටයුතු සම්බන්ධ උපදේශක  

ශිෂ්‍ය අනුශාසක  

දේශීය වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති  


‘‘මගේ විවාහ උත්සවය පැවැත්වුණේ අපේ ගමේ ගෙදර. එදා එතැනට පැමිණ සිටි පිරිස අමතා තාත්තා කතාවක් කළා’’  


‘‘විවාහ වන්නෙ එකිනෙකා දුක-සැප බෙදාහදා ගනිමින්, එකිනෙකාට ගරු කරමින්, දීර්ඝ ගමනක් යාමේ අරමුණ ඇතිවයි, වචනයේ පරිසමාප්ත අයුරින් විතරක් නොවෙයි, ක්‍රියාවෙන්ම මම එය ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඒ නිසා ‘‘දානි’’ දුවගෙන් මම බලාපොරොත්තු වන්නේත් ඒ අරුතයි’’.  


තාත්තා එහෙම කිව්වාම ඒක හරියට මගේ බෙල්ලට තොණ්ඩුව දැමීමක් වගෙයි නේද කියලත් මට හිතුණා. විවාහ වුණොත්, විවාහ වුණාම තමයි. ආයෙ මගදී වෙන්ව යාමක් නැහැ. මොන දේ හෝ වේවා විවාහය අරුත් ගැන්විය හැක්කේ එවිටයි. අපේ අම්මයි - තාත්තයි ජීවත් වුණේ ඒ විදියටයි. මටත් ඕනෑ වුණේ කවදාහරි අපේ අම්මා - තාත්තා වගේ ආදර්ශවත් විවාහ ජීවිතයක් ගත කිරීමටයි. සත්තකින්ම මට ලැබුණේ හොඳ මහත්තයෙක්, ඒ වගේම හොඳ විවාහ ජීවිතයක්’’.  


විවාහ ජීවිතය ගතකිරීමට අලුත් ජීවිතයකට මුල පුරන, යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ, මා පිය පදවි ලැබීමයි. මේ ලොව අන් පදවි සියල්ලට වඩා ඉතා අරුත්බර පදවිය වන්නේ එය යැයි සඳහන් කළ හැකියි.  
ඇය වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධනය. මෙරට ආයුර්වේද අංශයට නවමු සංකල්ප මෙන්ම ප්‍රායෝගික වූ බොහෝ දේ දායාද කළ ආචාර්යවරිය වන්නීය. හොඳ විවාහ ජීවිතයක් ගත කරන ඇය, යහපත් දරුවන් ලද මවකි. එපමණක් නොව දරුඵල නොමැතිව ළතැවුලින් පසු වූ බොහෝ දෙනාට, දරුඵල ලබාදීමට ස්වකීය වෛද්‍ය හාස්කම ප්‍රායෝගික කළ උතුම් මවකි.  


ඒ වෙනුවෙන්ම රාජගිරියේදී ඔසුකි රෝහල ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ ඇය, කාන්තා හා නාරී රෝග පිළිබඳව ආයුර්වේද අංශයේ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගත් ලංකාවේ දැනට සිටින එකම කාන්තා චරිතය වන්නීය. කාන්තාවක ලෙස අභියෝග රැසකට මුහුණ දෙමින් ඒ අභියෝග හමුවේ පලා නොගොස් ජීවිතයට මහ අරුතක් දුන් ඇයගේ කතාවයි මේ.  


දයානි උපන්නේ පවුලේ දෙවැනියා ලෙස කුලියාපිටියේදීය. පියා අධ්‍යාපන නිලධාරියකු වීය. මව රැකියාවක් නොකළ අතර දරුවන්ගේ වැඩකටයුතු නොපිරිහෙළා ඉටුකළ උදාර මාතාවකි. අක්කා, දයානි සතු එකම සොයුරිය වේ. මේ පවුලට පිරිමි දරුවකු ලැබී ඇත්තේ දයානිගෙ වයස අවුරුදු 14දී විතරය.  


‘‘අපේ අක්කා වචනයේ පරිසමාප්ත අයුරින්ම කාන්තාවක සතු වූ තැන්පත්කමින් සහ බාහිර ක්‍රියාවෙන් ද එය පෙන්නුම් කළ චරිතයක්. මල්ලි පවුලට එක්වුණේ මට වයස අවුරුදු 14දී වගේ වයසේදීයි. ඒ නිසා පවුලේ පිරිමියා වගේ වුණේ මම. කුඩා කාලයේදී මම හරිම දඟ මල්ලක්. අක්කා බොහොම මටසිලුටු චරිතයක් වෙද්දී ගෙදර පිරිමියා වගේ වූ මම වත්තෙ තියෙන ගස්වල නැගලා, ඇළේ දොළේ දුවලා-පැනලා ගිය චරිතයක්. සුන්දර ළමා අවදියක් තිබුණෙ. බයිසිකල් පැදලා හරිම දැඟලිල්ලෙන් තමයි ළමා කාලය ගත කළේ’’.  


දැඟලිල්ලෙන් ගත කළ ළමා කාලයේදී වූ සිද්ධීන් හසරැලි මවමින් ඇය මතකයට නැඟුවාය.   


ඒ දඟ වැඩ අතරේ අමතක නොවන සිදුවීමක්වීද?  


‘‘අපොයි ඔව්.... අධ්‍යාපන නිලධාරියකු වූ අපේ තාත්තා ඒ දිනවල කටයුතු කළේ විදුහල්පතිවරයකු ලෙසයි. මම ගියෙත් ඒ පාසලටමයි. දඟකාරකම නිසා පොත පතේ වැඩ ගැන එතරම්ම උනන්දුවක් තිබුණෙ නැහැ. මගේ ‘‘කුමාරොදය’’ පොතේ පිටුවක් ගැලවී තිබුණේ. පන්තියෙ සර් හරිම වසයි. අපි එයාට හරි බයයි. මම තාත්තාගෙන් පොතක් ඉල්ලුවා. ඉරිච්ච පොත ගෙනිච්චොත් සර්ගෙන් ගුටි. ඒත් තාත්තා අලුත් පොතක් දුන්නෙ නැහැ.’’  
‘‘ආපහු පන්තියට යන්න බය වූ මම හෙමිහිට ගෙදරට ගියා. හොඳ වෙලාවට අම්මා පේන්න හිටියෙ නැහැ. මම හෙමිහිට ඇඳ යටට රිංගලා, කාටත් නොපෙනෙන්න හිටියා. හැබැයි, මම ඉස්කෝලෙ නැති වග දැනගෙන ඔක්කෝමලා කලබල වෙලා. දුව උදේම මමනෙ ඉස්කෝලෙට ඇරලුවෙ කියලා අම්මත් කියලා’’.  


‘‘මම ගෙදර එනවා අම්මා දැක්කෙත් නැහැ. ඔක්කෝම කලබල වෙලා මාව හොයද්දී මම ඉඳලා තියෙන්නෙ ඇඳ යට නිදාගෙන. මට නින්ද ගිහින්. කවදාවත් ඒ සිදුවීම මට අමතක වෙන්නෙ නැහැ’’.  

 

 

හොඳ වැඩ කරන ළමෝ හොඳින් පොත-පත වැඩෙහි නිරත වී සිටියද, දයානි දඟමල්ලක් වී ළමා කාලය එලෙසින් ගත කළාය. තාත්තා අධ්‍යාපන නිලධාරියකු වූ බැවින් රටේ විවිධ තැන්වලට සේවය සඳහා මාරුවීමට සිදුවිණි. රටින් - රට - තොටින් - තොටට යාම දයානි හට ගෙන දුන්නේ සතුටකි. කුඩා කල සිටම ඇය කෙතරම් උනන්දුවෙන් බාහිර ක්‍රියාකාරකම්වල යෙදුණේද යත්, විටෙක පාපැදි තරග සඳහා ද එක් වූවාය. තමාගේ වයසට වඩා වැඩි වයසේ අය සඳහා වූ ඉසව් සඳහා ද ඇය දායක වූවාය. දියණියගේ මේ ක්‍රියාවන් හමුවේ පියා කිසිදු තහංචියක් නොදැමූ අතර, තව තවත් උනන්දු කළේය.   


පාපැදි තරගය පැවැත් වූ දිනයේ තාත්තා ඔහුගේ කාර් එක පදවාගෙන එමින් දියණිය දිරි ගැන්වූයේ ‘‘කමෝන් දානි!’’ ‘‘කමෝන් දානි!!’’ යනුවෙන් කෑ මොර දෙමිනි. තාත්තා ආදරයට ඇය ආමන්ත්‍රණය කළේ ‘‘දානි’’ යනුවෙනි.  


දානි සියලු දෙනා පරයා වේගයෙන් බයිසිකලය පැදගෙන ඉදිරියටම ගියාය. තාත්තා ආඩම්බරයෙන් ඇය දිරිමත් කළේය. නමුත්, ආරම්භයේදී වේගයෙන් සයිකලය පැදගෙන ගිය දානි අන්තිමට හති හලමින් නතර වුණේ තරගයේ අන්තිමයා ලෙසය. එදා එලෙසින් අන්තිමයා වූ දානි එය පාඩමක් ලෙස නොගත්තද, ලොකු අත්දැකීමක් ලබා ගත්තාය. දෙක-තුන වසරේ සිසුවියක ලෙස එලෙසින් ඉදිරිපත්වීමේ උනන්දුව ඇතිව කටයුතු කළ බැව් ඇය සඳහන් කරන්නීය.  


‘‘ඉදිරිපත්වීමට මම හරි ආසා කෙනෙක්. මොන දේ වුණත් පසුබැසීමක් වුණේ නැහැ.’’  


එසේ කියන දයානි ඉගෙනීමට උනන්දු වූයේ 8 වසර සිසුවියකව සිටියදී බව සඳහන් කරන්නීය. ඒ අතරේ තාත්තා ගෙදර නොමැති වූ හෙයින්, තාත්තාගේ ගෙදර රාජකාරී කළේ ද තමා යැයි සිහිපත් කරන්නීය.  


‘‘තාත්තා උදේම වැඩට ගියාම නැවත රෑ බෝ වෙලයි ගෙදර ආවේ. ඒ නිසා මම කළේ, වෙලට ගිහින් මිනිස්සු වැඩ කරනවද බැලීම, පොල් කඩනවද? අනෙකුත් වැඩවල නිරතවනවද? කියලා බැලීමයි. එයින් මා ලැබුවේ ලොකු අත්දැකීමක්. තුන - හතර වසරේ සිසුවියකව සිටියදී ලද ගමේ ගැමි සුවඳ එලෙසින් අපිරිමිතව විඳ ගැනීමට ලැබීම පසු කලෙක මා මේ ස්වභාවධර්මයේ නිම්නයට කැඳවාගෙන යන්න ඇති’’.  


ජීවිතයේ අභියෝග ජයගැනීමේ අඩිතාලම තමාට ලැබුණේ පොතපතේ වැඩවලටත් වඩා එලෙසින් බාහිරව ලද අත්දැකීම් නිසා යැයි ඇය විශ්වාස කරන්නීය.  


අඛණ්ඩව පන්තියේ පළවැනියා වෙමින්, බාහිර කටයුතුවලද නියැළෙමින් ඇය මලියදේව බාලිකාවට සමුදුන්නේ, වෛද්‍යවරියකවීමේ අපේක්ෂාව ඇතිවය. එහෙත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමේ වරම් ඇයට අහිමි විණි. නායකත්වය - මූලිකත්වය ගෙන නිතර කටයුතු කිරීමට මුල් වූ ඇය ඉන් අධෛර්යයට පත් නොවූයේ බලපෑමකින්​ හෝ පීඩනයක් දරාගෙන උසස් පෙළට නොලියූ නිසාය. සමහර විටෙක ඇය වෛද්‍ය විද්‍යාලයට නොතේරෙන්නට ඇත්තේ, ඇය උරුම ස්වභාවධර්මයට නතු වූ ආයුර්වේදයටම නිසා වන්නටද ඇත.  


‘‘අපේ පරම්පරාවේ කවුරුවත් ආයුර්වේදයට සම්බන්ධව සිටියෙ නැහැ. මගෙ යාළුවෙක් අයැදුම් කරලා තිබුණා. යාළුවා නිසා මාත් අයැදුම් කළා. මාව තේරුණා. විද්‍යා විෂයන්වලින් උසස් පෙළට පෙනී සිටියේ වෛද්‍යවරියක වීමේ සිහිනය ඇතිවයි. එහෙත් මට ලොකු සිහින තිබුණෙ නැහැ.’’  


ඇයට සිහින නොතිබුණද, ඉලක්කයක් - අරමුණක් තිබිණි. ඒ - තමා නියැළෙන සෑම දෙයකින්ම පළවැනියා වීම මෙන්ම කළ යුතු දේ හරියටම කිරීමයි. රූප ස්වභාවයද ඇයට උපතින්ම උරුම වූවක් වීය. රූ රැජිනක පරයන රූපයෙන් හෙබි ඇය දෙස ගැටවරයින් බැල්ම හෙළුවද, ඇලුම්-බැලුම් කළද, ඇයගේ අරමුණ වූයේ අම්මා සොයා දෙන යෝජනාවකින් කසාදයක් කර ගැනීමටය.  


එනිසා ඇය දෙස බැල්ම හෙළු ගැවරයින්ගේ සිහින සිහිනම වීය. උඩරට නර්තනයට ද බෙහෙවින් දක්ෂ වූ ඇය ඒ වෙනුවෙන් වූ විභාග පවා ලියා තිබිණි. රූපයෙන් ද - ක්‍රියාවෙන් ද සෞන්දර්යය වූ දයානි තාරුණ්‍යයේ මුහුණ දුන් අභියෝග - භාර ගත්තේ ඉතා සැහැල්ලුවෙනි.  


ජීවිතය මහ මෙරක් තරමට වූ බරක් නොවේ, යන සැහැල්ලුව, ඇයගේ ජීවිතය පුරා රැඳී තිබිණි. නමුත් සැමදා සැප - සැමදා දුක නොමැති ලෝකයේ, විටෙක ඇය දුක් වූ අවස්ථා ද තිබූ බැව් සිහිපත් කරන්නීය.  


‘‘මගේ පාසල් ගමන පටන් ගත්තෙ කට්ටිමාන රෝමානු කතෝලික විද්‍යාලයෙන්. පසුව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. අන්තිමට ගියේ කුරුණෑගල මලියදේව බාලිකාවට. මලියදේවයේදී ඉගෙනුමට වගේම, බාහිර ක්‍රියාකාරකම්වල ද යෙදුණා. දැල්පන්දු කණ්ඩායමේ නායිකාව වූ මා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූවා. මේ සියල්ල අතරේ පළමුව බිඳී ගිය ඉලක්කය වූවේ, ඒ තරමට දක්ෂ වූ මට වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකිවීමයි. සෑම දෙයකටම ප්‍රමුඛස්ථානය ලැබූ මා නොතේරීම සහ මට වඩා පල්ලෙහා සිටි අය කීපදෙනෙක් තේරීම වුණේ කොහොමද කියලා මම කල්පනා කළා. ඇත්තටම එදා හොස්ටල් එකේ හිටපු නිසා මට බාහිර ටියුෂන් යාමට නොහැකි වීම ඊට හේතුව බව වටහා ගත්තා. එදා විද්‍යා විෂයයන් සමත් සම්මාන දෙකකට වැඩිය ගත් පිරිසක් තමයි දේශීය වෛද්‍ය අංශයට බඳවා ගත්තෙ. මේ පිරිසට තෝරා ගන්නෙ මා වගේම පිරිසක් නිසා ඒ අතර ප්‍රමුඛයාවීම මගේ ඊළඟ අරමුණ කර ගත්තා.  


ඒ අරමුණ අභියෝගයක් කරගත් ඇය දේශීය වෛද්‍ය විද්‍යායතනයට බැඳුණේ ‘‘කණ්ඩායමේ ප්‍රමුඛයා වනවාය’’ යන හැඟීම ඇතිවය. ආයුර්වේදය ගැන කිසිදු දැනුමක් නොමැතිව සිටි ඇය ඉන්පසු ඉලක්ක කර ගත්තේ, මේ අංශයේ ඉම දක්වා උගනිමි යන පර්මාර්ථයයි.  


‘‘ආයුර්වේදය කියන වචනයවත් මම දැන සිටියේ නැහැ. එදා දිසානායක නමැති අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු සිටියා. එතුමාගේ දේශනයකට අනුව මෙහි ඉගෙනුම ලබා විශිෂ්ට සාමාර්ථ ගත් අය කතිකාචාර්ය තනතුරට බඳවා ගැනීමට අවකාශය ඇති බැව් පැවසුවා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ කතාව තදින්ම මගේ හිතට දැනුණා. ඒ නිසාම පළමු වසරේ සිටම මම ඉතාම හොඳින් ඉගෙන ගත්තා.  


පළමු වසරේ සිටම ඉහළම සාමාර්ථයක් ලබාගැනීමට හැකි වුණේ මාත් එක්ක මගේ යාළුවකු වූ මානෙල් සිටීමත් මට ලොකු ශක්තියක් ගෙන දුන්නා’’.  


දේශීය වෛද්‍ය විද්‍යායතනයේ සිසුවියක ලෙස එලෙසින් ඉගෙනුම ලබමින් සිටි දයානි ඇයගේ අභිප්‍රායයන් සපුරා ගත්තේ කණ්ඩායමේ ප්‍රමුඛයා ලෙස ඉහළින්ම සාමාර්ථය ලබමිනි. මෙලෙසින් සමස්ත කණ්ඩායමේම ප්‍රමුඛ ස්ථානය ගනිමින් සිටි මේ සුරූපී දේශීය වෛද්‍ය ශිෂ්‍යාව දෙස නිතර ආලවන්තකම් පෑ තරුණයින් රොත්තක්ම සිටියහ. එහෙත් ඇය ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූයේ යෝජිත විවාහයක අරුමය ගැන විශ්වාස කළ බැවිනි. එහෙත් ඇය සමග අධ්‍යාපනය කළ එක් ශිෂ්‍යයකු ඇයගේ හිත අස්සටම රිංගා ගත්තේය. ඒ ප්‍රේම දැලෙන් ගැලවීමට නම් නොහැකිවීය. අද දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා සිටින වෛද්‍ය ආචාර්ය කරුණාතිලක ඒ සහකරුවාය. එදා ප්‍රේමය වෙනුවෙන් මේ දෙදෙනා කර ඇත්තේ, පාඩම් කිරීම මිසෙක හතර වටේ රවුම් ගැසීම නම් නොවේ.  


‘‘මේ නම් පුදුම කපල් එකක්’’ යැයි යාළුවෝ විහිළු කළ අවස්ථාද වීය. ඒත් ප්‍රේමය උදෙසා දිවි තොරකර ගන්නා සමාජයක, මේ දෙදෙනා කර ඇත්තේ ප්‍රේමය උදෙසා ඉතා හොඳින් පාඩම් කිරීමය. එහි ඵලයක් ලෙස දෙදෙනාම ඉහළ සාමාර්ථ ලැබූහ. වෙසෙසින්ම දයානි ප්‍රමුඛස්ථානය ලැබ විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන උපාධිය ලබා ගත්තාය. ඉනික්බිතිව කථිකාචාර්යවරියක ලෙස එහිම සේවය කිරීමට ඇයට අවස්ථාව උදාවුණි.  
‘‘උපාධිය ලැබූ පසු පරිවාස පුහුණුවට අනුරාධපුරයට මාව යොමු කළා. එවිට සෑම දිනක්ම හරිම සුන්දර වුණා. නුවර වැව වටේ - තිසා වැව වටේ පාපැදි පැදගෙන ගිය අතීතය අදටත් මට මැවී පෙනෙනවා. පරිවාස කාලයෙන් පසුව අපි දෙන්නම කථිකාචාර්යවරුන් ලෙස පත්වීම් ලැබුවා. ඊළඟට තමයි ලොකුම අභියෝගයට මුහුණ දීමට සිදුවුණේ.  


රැකියාවේ දිගටම නිරතවීමට නම් පශ්චාත් උපාධිය කළ යුතු වුණා. ඒත් එය ලංකාවේදී කළ නොහැකියි. ඒ වෙනුවෙන් ඉන්දියාව ගමනාන්තය වුණා. කිසිදා ඉන්දියාවේ නොගිහින් සිටි මා කෙසේ ද තනිවම යන්නෙ? ඒ දෙගිඩියාව මනසට ගෙන දුන්නෙ වධයක්. ඒ වනවිට මම විවාහ වෙලා හිටියෙ. මාස හයක් යාමට පෙර ඉන්දියාවට යාමටවීම නිසා හරිම පාළුවක් දැනුණෙ.’’  


නමුත් ඒ පාළුව දරාගෙන ඉන්දියාවට ගොස් බරණැස සරසවියේ ශිෂ්‍යාවක ලෙස ඇය අධ්‍යාපනයේ නිරතව සිටියාය. සල්වාර් ඇඳීම ඒ පළාතේ සිරිතක් වූවද, ඇය ඇන්ඳේ ගවුමකි. ඇය මේ ගවුම් ඇඳීම තරුණයින්ට අපූරු දසුනක් වීය. ඇය එන මඟ දෙස බලන්නට ගිය පාපැදි සහ මෝටර් සයිකල්වලින් ගමන් ගත් තරුණයෝ අනතුරුවලට පවා ලක්වූහ. බරණැසට අලුත් වූ මේ තරුණිය පසුව ඒ ඇඳුම මාරු කිරීමට වගබලා ගත්තාය. ඉනික්බිතිව අලුත විවාහ වී සිටි බිරිඳගේ සැමියා වූ කරුණාතිලක ද ඉන්දියාවට ඒම නිසා ඇයට ඉන්දියාව සෞන්දර්යයේ නිම්නයක්ම ලෙස දැනෙන්නට විණ.  


තෙවසරක උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව නැවත පැමිණි ඇය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කොට පසුව සප්ත වාර්ෂික නිවාඩු ලැබ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා නැවත ගුජරාටි ආයුර්වේද විද්‍යාලයට ඇතුළත් වූවාය.  


භාෂාවද පරිසරය ද අමුතු වූ තැනෙක සිට ස්වකීය උසස් අධ්‍යාපන කටයුතුවල ඇයට නිරතවීමට සිදුවූයේ මව්පියන්ගෙන් මෙන්ම සියලු දෙනාගෙන් වෙන්වය. ඒ පාළුව - කාන්සිය හිත ඇතුළේ තබාගෙන ඇය ඇයගේ ගමන ඉදිරියටම ගියාය. අවසන ඇය ලංකාවට පැමිණියේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අපූරු විස්මය දනවන දේ මෙන්ම අවැසි තැනට යොදාගත යුතු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ මුලාශ්‍රයන් මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගය. ඇය ඒ සියලු දැනුම ලබා ගත්තේ ඇවිදින පුස්තකාල මෙන් වූ නුවණින් සපිරි සිසුවන් අතරේ උරෙන්උර ගැටී ශිල්ප ලබමිනි.  


ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන පෙරළා මව් රටට පැමිණ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට අපූරු සංකල්පයන් දායාද කිරීමට මෙන්ම ඒවා ප්‍රායෝගික කර ගැනීමට පුරෝගාමී වූ චරිතයක් බවට එතැන් සිට පත්වූවාය. ඇයට තිබුණේ මුදල් පොදි බැඳීමට වඩා, ලද දැනුම රටට ලබාදීම මෙන්ම ජනතාවට අවංක සේවයක් කිරීමය. රාජගිරිය ආයුර්වේද මහ රෝහලේ කාන්තා රෝග සායනයක් එතෙක් නොපැවැත් වූ අතර එය ස්ථාපිත කිරීමට මෙන්ම ශල්‍යාගාර සේවයක් ස්ථාපිත කිරීමට ද ඇය පුරෝගාමී වූවාය. ආයුර්වේද මහ රෝහලේ ස්ත්‍රී රෝග, ප්‍රසූත වෙනුවෙන් සායනයක් ද ආරම්භ කිරීමට ඇයට හැකිවිණි.  


මේ සියල්ල අවංක චේතනාවෙන් ඉටුකළ ද සමහරුන්ට එය නොදිර වූ දෙයක් විණි. මේ කාර්යයන් සහ ඇයගේ අපරිමිත සේවය වෙනුවට ඊර්ෂ්‍යාව මුල්වූවා යැයි සඳහන් කළ හැකිය.  


‘‘වෛද්‍ය සායන සඳහා මම සහභාගි වුණේ දිවා රෑ නොබලා. මට තිබුණේ මගේ මහන්සියට වඩා, රටට සේවයක් ලබාදීමටයි. ඒත් සමහර පාර්ශ්වයන් බොරු චෝදනා කරද්දී මට හරියට දුක හිතුණා.’’  


ඵල ඇති රුකට ගල් ගසන්නාක් මෙන් එදා ඇයගේ දක්ෂතා නොරිස්සූ අය එසේ කිරීම නිසා අවසන ඇය තල්ලු වූයේ ඇයගේ සේවය පුද්ගලිකව හෝ ලබාදීමේ අරමුණ කරාය. ආයුර්වේද වෛද්‍ය සේවය උතුම් කොට සලකන ඇය හට මුදලට කිසිවක් කිරීමේ අරමුණක් කිසිදා නොතිබිණි. එහෙත් චෝදනා හමුවේ කලකිරුණු ඇය ඒ සායනයන් ද වසා දැමුවාය.  


නමුත් බොහෝ කාන්තාවන්ගේ ඉල්ලීම් හමුවේ අවසන තවත් මහතෙකුගේ ශක්තිය ඇතිව ‘‘ඔසුකි රෝහල’’ නිර්මාණය කිරීමට ඇයට හැකිවිණි. එදා ඇයට චෝදනා කළ අයගේ චෝදනා අදටද පුස්සක් වී තිබේ. එහෙත් ඇය අද ද ඇයගේ සේවය රටට දෙන්නීය. ඒ ඇය සතු රටට සේවය කිරීමට ඇති නොතිත් ආසාව නිසාය. ඇය උගත් දේ රටට ප්‍රායෝගික කරවීමට ඇති ආසාව නිසාය.  


අද ඇය දරු තිදෙනෙකුගේ මවක වන්නීය. ඉතා යහපත් - එමෙන්ම නැණ බලයෙන් යුතු දරුවන් ලැබ ඇය ජීවිතය වින්දනය කරන්නීය. ඉතා යහපත් සැමියකු ලද අරුමය අහිංසකව විඳ දරා ගන්නීය.  


ජීවිතය යනු පුණ්‍ය කර්මයක් නම්, ඇය ජීවිතයේ කටයුතු කරන්නේ පුණ්‍ය කර්මයකට එහා ගිය යථාර්ථයක් එක් කරමිනි. මෙරට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට පෑයූ දිදුළන තාරකාවක් වූ ඇය ස්වකීය දැනුමද පරපුරකට ලබා දෙන්නේ අපිරිමිත භක්තියෙනි.  


ස්වර්ණ ලංකා සම්මානය - 2010, ස්වර්ණාභිමාන - 2010, ස්වර්ණදීප - 2012, Best Teacher Award - 2013 (බැංගලෝරය), නවදිල්ලියේ පැවැති විශේෂිත සමුළුවකදී ආරාධිත දේශිකාව - 2014, වයඹ ප්‍රතිභා ප්‍රභා - 2018 ඇතුළු ඇය මේ දක්වා ලද සම්මාන ගෞරව බොහෝය.   


එහෙත් ඇය සතුටු වන්නේ ඊටත් වඩා ඇය ලබා දෙන සේවය වෙනුවෙනි. එනම් දරුඵල නොමැති කාන්තාවනට දරුඵල ලබාදීම සඳහා කළ අපූරු ප්‍රාතිහාර්යයන් වෙනුවෙනි.  


දරුඵල නැති කාන්තාවන් ඇයගෙන් උපදෙස් සහ ප්‍රතිකර්ම ලබා දරුවන් ලැබීම යන විස්මය ඇය විඳින්නේ අපමණ වූ සතුටකිනි. ‘‘ඒක ඇත්තටම මහා පිනක්’’ ඇය නෙතට කඳුළු පුරවාගෙන එලෙස මුමුනන්නීය.

 

 

 

සටහන සඳුන් ගමගේ