IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දියේ ගිලෙන මිනිසුන් බේරගන්න පොලිස් නිලධාරියෙක් කරන සටන

සුනිල් විජේසිංහ මහතා

 

තම දිවි දෙවැනි කොට අන් අයගේ දිවි පළමුකොට රැකියාවේ නිරත වෙන දියේ ගිලී මිය යන්නට තිබුණු ජීවිත සියයක් පමණ ජීවත් කරවූ ස්වෙච්ඡා ජීවිතාරක්ෂකයන් දහතුන් දහසක් පමණ මෙරටට දායාද කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිහතමානී ජීවක පොලිස් සැරයන්වරයෙකු අපට හමු විණි. 


කිසිදු ලාභ අපේක්ෂාවක් තනතුරු නම්බුනාම නොමැතිව සිදුකරන එම සේවාව පිළිබඳව සොයා යන්නට අප තීරණය කළේ තවත් ජීවිතයක් බේරා ගැනීමට ඔහුට ශක්තියක් වෙන්නට පමණක් නොව මෙවැනි සැඟවී ඇති විශාල මෙහෙවරක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සිදුකරන නිලධාරීන් පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහාය. 


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයකු ලෙස සිය රැකියාව කරන ඔහු නමින් සුනිල් විජේසිංහ නම් වෙයි. 


මේ වන විට ලොව පුරා ජීවිතාරක්ෂකයන් දහතුන් දාහක් පුහුණු කිරීමට ලිඛිත සාක්ෂි ඇතිව, දියේ ගිලී මිය යන්නට තිබුණු ජීවිත 46ක් ජීවත් කරවීම ඔහුගේ පුහුණුවීම්වලින් පසුව විදේශීය රටවල රැකියා කරන තරුණ තරුණියන් සියයක් ද දායාද කළ ඔහුගේ සේවය අතිමහත්ය. 


පොලිස් කොස්තාපල් තනතුරක සිට මේ සා විශාල සේවාවක් සිදුකළ සුනිල් විජේසිංහ නම් වූ පොලිස් සැරයන්වරයාට පොලිස් දෙපාර්තමේන්තුව තුළින් ලැබිය යුතු ඇගයීම් ලබා නොතිබීම පිළිබඳව අපට ද ඇත්තේ කනගාටුවක් පමණි. 


දඹුල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව මේ දිනවල සුනිල් විජේසිංහ මහතා මාතලේ කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරයි. ඔහු වෙනුවෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විසින් වෙනමම ඉඩකඩක් පොලිසියේ ලබාදී තිබීම විශේෂත්වයකි. තමන්ගේ සේවා කාලයේ සිදුකළ අනභිභවනීය මෙහෙවරයන් සිහිපත් කෙරෙන තොරතුරු එම කාමරයේ සෑම තැනම ප්‍රදර්ශනය කොට තිබීම තවත් සුවිශේෂී වූ කරුණකි. 


 සුනිල් විජේසිංහ මහතාගේ දඹුල්ල පොලිසියේ ඇති මෙම කාමරය සමස්ත පොලිස් නිලධාරීන්ට ම ආදර්ශමත් වනු නොඅනුමානය. අනිවාර්යයෙන් පොලිස් නිලධාරියකු එම ස්ථානයට පැමිණ ක්‍රියාකාරකම් සියැසින් දැක මහජන සේවයට එක්වෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියේ මිත්‍රශීලීත්වය මහජන සේවය මේ සියල්ල එහි ගැබ් වී ඇති නිසාය. 


සුනිල් විජේසිංහ පොලිස් සැරයන්වරයාගේ තවත් සුවිශේෂී වූ කාර්යයක් බවට පත්ව ඇත්තේ ජීවිතාරක්ෂකයන් දහතුන් දාහක් මෙරටට දායාද කරමින් ඔවුන් මත්පැන් දුම්වැටිවලින් තොර සමාජයක් බිහිකිරීම සඳහා තම ගෝල බාලයින් හුරු කිරීම වෙයි. 


1985 වසරේ දහවෙනි මාසෙ විසි වැනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් කොස්තාපල්වරයකු ලෙස ඇතුළත් වන සුනිල් විජේසිංහ මහතා තලෙයිමන්නාරම, පුත්තලම, ආණමඩුව, මොරවැව, මාතලේ, මඩකළපුව, කෝපායි, වවුනියාව, දඹුල්ල යන පොලිස් ස්ථානවල වරින්වර සේවය කළේය. 


1986 වසරේ පත්වීම් ලැබ තලෙයිමන්නාරම් පොලිසියට යන අතරතුර ඔවුන් ගමන් කරමින් තිබූ බෝට්ටුවක් ආපදාවකට ලක්ව එහි පොලිස් නිලධාරීන් සහ අනිකුත් අයට සිදුවූ අපහසුතාවය දැක පොලිසියේ සහ පාසල් ළමුන්ට පිහිනුම් හා ජීවිතාරක්ෂක ක්‍රියාවලියකට එක්වන බව අදිටන් කරගත් ඔහු 1991 වසරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එවකට සිටි මිත්‍ර ආරියසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් ජීවිතාරක්ෂක සේවයට එක් වෙයි. පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාගේ උපදෙස් පරිදි පාසල් ළමුන් ඉලක්ක කරගෙන පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ සහයෝගය ඇතිව පාසල් ජීවිතාරක්ෂක පුහුණු කිරීම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් ස්ථාපිත කිරීම ආරම්භ කළේය . 

 

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම

 


ඒ අනුව 2000 වසරේ 2002 වසරේ 2006 වසරේ ලංකාව පුරා ම ආවරණය වන පරිදි විසිරී සිටින පිහිනුම් කණ්ඩායම් ජාතික තලයට රැගෙන එමින් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ජාතික පිහිනුම් තරගාවලි සංවිධානය කිරීම ද ඔහුගේ තවත් සුවිශේෂී වූ කාර්යයකි. ඒ සඳහා දායකත්වය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (හිටපු) සිරිසේන හේරත් මහතාගෙන් ලැබී තිබිණි. 


මේ වෙනවිටත් දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා පිහිනුම් උපදේශකයෙකු ලෙසත් එමෙන්ම ලෝක ජීවිතාරක්ෂක සංගමයෙන් 1994 වසරේ දී මෙරිට් සහතිකය ලබාගත් පොලිස් සැරයන්වරයා බවට පත්ව ඇත්තේ ද සුනිල් විජේසිංහ මහතායි. 


පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා පුහුණු කළ සිසු සිසුවියන් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව උපපොලිස් පරීක්ෂක මෙන්ම පොලිස් පරීක්ෂක තනතුරුවල ඔහු සමගම සේවය කිරීමට එක්ව තිබීම තවත් සුවිශේෂී වූ කරුණකි. එහෙත් ඔහු තවමත් පොලිස් සැරයන්වරයෙකුය. මෙහි තවත් අපූර්වත්වයක් බවට පත්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකුට ගුරු නම්බුව තබමින් උපපොලිස් පරීක්ෂකවරුන් පොලිස් පරීක්ෂකවරුන් ඔහුට “සර්” යන නාමයෙන් ආමන්ත්‍රණය කිරීමය. 


මෙම සුවිශේෂී වූ පොලිස් සැරයන්වරයා පිළිබඳව තවදුරටත් කරුණු තොරතුරු සොයා ගැනීම සඳහා අප ඔහු සමග කතාබහට එක් වුණෙමු. 


 “අපිට වගකීමක් පවරලා තිබුණා ඒ වගකීම තමයි අපි කරන්නේ. එදා තලෙයිමන්නාරම්වල දී ඇතිවෙච්ච සිදුවීම් නැවත ඇති නොවෙන්න ඒ වගේම තවත් ජීවිත බේරාගන්න ජීවිත බේරාගැනීම සඳහා තව අය පුහුණු කරන්න ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරියකු හැටියට සිදුකරන්න පුළුවන් උපරිම සේවය සිදු කිරීම තමයි මගේ බලාපොරොත්තු වුණේ. අද ඇත්තටම මම ගොඩක් සතුටින් රස්සාව කරන කෙනෙක්.


මම පොලිස් සේවයට ඇවිල්ලා පොලිස් ජීවිතාරක්ෂක සංගමයට එක්වෙලා පාසල් ජීවිතාරක්ෂක පිහිනුම් කණ්ඩායම් පුරුදු කරමින් සිටින කාලයේ මගෙන් ඉගෙන ගත්ත පාසල් සිසුන් අද පොලිසියට බැඳිලා කොස්තාපල්වරුන් හැටියට පොලිස් සැරයන්වරුන් හැටියට පොලිස් පරීක්ෂකවරුන් හැටියට වගේම උපපොලිස් පරීක්ෂකවරුන් හැටියට මේ ක්ෂේත්‍රයේම ඉන්නවා. මම එයින් ලබන්නේ පුදුම ආත්ම තෘප්තියක්. 
ඒ වගේම තමයි අපේ රට වටේම වතුර, මුහුදෙන් යට වෙලා. ලංකාවේ අවුරුද්දකට ජල අනතුරුවලින් 1500ක් පමණ ජීවිත නැතිවෙනවා කිසියම් වැඩපිළිවෙළක් අපිට පුළුවන් ආකාරයෙන් හදනවා කියලා තමයි මගේ හිත කිව්වේ. ඒ අනුව තමයි මට පුළුවන් උණේ මේ වෙනකොට පීනන්න බැරිව හිටපු දහතුන් දාහකට වැඩිය අයට පීනන්න පුරුදු කරන්න. ඒ විතරක් නෙවෙයි විශාල ජීවිතාරක්ෂක කණ්ඩායමක් පුහුණු කරලා නොමිලේ ඕනෑම තැනක දී අනතුරක් හදිසි ආපදාවක් රිය අනතුරක් වුණහම ඒ අය ජනතාවට පිහිට වෙන ස්වෙච්ඡා කණ්ඩායම් හදන්න. අද මට සතුටුයි හදිසි ආපදාවක් උනහම ලංකාවේ ඕනෑම තැනකට කිසිදු මුදලකින් තොරව අරන් යන්න මගේ ළඟ ඉන්නවා තරුණ තරුණියන්. ඒ අය ස්වේච්ඡාවෙන් අනුන්ගෙ දේපල ජීවිත ආරක්ෂා කරන්න හදිසි ආපදාවකදී යන්න ඉන්නවා. වෙසක්, පොසොන් ඇසළ ආදී මෙන්ම අලුත් අවුරුදු දවස්වලත් ඇළ දොළ ගංගා ජලාශවල දිය නාමින් සතුටු වෙන අයගේ ජීවිතාරක්ෂාවට මගේ ළමයි ගිහිල්ලා නොමිලේ රැඳී ඉඳලා ඒ අයව බේරා ගන්නවා. 


 දියනාමින් ඉද්දි දියේ ගිලිලා මිය යන්න ආසන්නයේ සිටි 46 දෙනෙක් ලිඛිත සාක්ෂි ඇතිව බේරගෙන තියනවා. අනිත් ඒවා ලිඛිත සාක්ෂි නැහැ. මං හිතන්නේ අපේ සාමාජිකයන් මගේ ගෝලයන් සිදු කරපු ඒවත් එක්ක ජීවිත සීයකට වැඩිය මේ වෙනවිට අපි රට පුරා බේරගෙන තියෙනවා. 


උතුරු වසන්තය වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර පාසල් සිසු සිසුවියන් පන්දහසකට පමණ ජීවිතාරක්ෂක පුහුණුව දෙන්නත් ඒ අයට ජලයෙන් ජීවිතය බේරා ගැනීමටත් පුහුණු කරන්න හැකියාව ලැබුණා. ඒක ලොකුම සාර්ථකම වැඩසටහනක් වුණා. ඒ වගේම තමයි ලංකාවේ පළමු ජීවිතාරක්ෂක තූර්යවාදක කණ්ඩායම ආරම්භ කිරීමත් මගේ ජීවිතේ ලැබූ තවත් භාග්‍යයක්. අදටත් මේ තූර්යවාදක කණ්ඩායම ක්‍රියාත්මකයි. මේක පොලිස් ස්ථානවලට අරගෙන යනවා වාර්ෂික පරීක්ෂණවලට. 


ඒ වගේම තමයි පාසල් ජීවිතාරක්ෂකයන් පුහුණු කරලා ඒ අය පාසල්වලින් ඉවත් වුණාට පස්සේ අපි හදපු ජීවිතාරක්ෂක සංගම්වල සාමාජිකයන් බවට පත්වෙනවා. පාසල් ළමුන් එක්ක එකට කටයුතු කරන්න බැරි හින්දා මම ආරම්භ කළා ජීවිතාරක්ෂක ආදි ශිෂ්‍ය සංගමයක්. එ්කෙත් තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වන විට සේවයේ යෙදී ඉන්නවා. ඒ අය මේ වන විට වැව් ආසන්නයේ ස්ථාන පිරිසිදු කොට දියේ ගිලීම් ඇතිවන ස්ථාන පරීක්ෂා කිරීමේ උස් ගොඩනැගිලි හදලා එ් විතරක් නෙවෙයි නොමිලේ ඔවුන්ගේ සහයෝගයෙන් විවිධ ජීවිතාරක්ෂක ආපදා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. 


දැනට මම මාතලේ කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා හැටියට වැඩ කරනවා. ඊට අමතරව පොලොන්නරුව කොට්ඨාසයේ මහනුවර කොට්ඨාසයේ අධීක්ෂණ නිලධාරියා හැටියටත් සේවය කරනවා. 
 මීට අමතරව හදිසි ආපදා පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය, කණ්ඩලම ජලාශය මුල්කරගෙන මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සේවක සේවිකාවන් ඒ වගේම පොලිස් ස්ථානවල නිලධාරීන් රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ට මේ වනවිටත් ජීවිතාරක්ෂක පුහුණුව ආපදා පුහුණුව මම ලබා දීලා අවසන් කරලයි තියෙන්නේ. 


ඒ වගේම තමයි විවිධ ප්‍රදේශවල අපි සිතන්නේ නැති ප්‍රදේශවල දී හදිසියේ දියේ ගිලී සොයාගැනීමට නොහැකිව තිබුණු මළ සිරුරු මේ වනවිට විස්සකට අධික ප්‍රමාණයක් ඥාතීන්ට සොයා දීමට හැකියාව ලැබුණා. ඒකත් උතුම් ක්‍රියාවක්. මොකද මළසිරුර හොයාගන්න බැරුව බොහෝ දෙනා ළත වෙද්දි හඬා වැටෙද්දි දැන් අපට තමයි කතා කරලා කියන්නේ මළසිරුර හොයා දෙන්න කියලා. ඒ වෙලාවට අපි දවල් රෑ කියල බලන්නෙ නෑ. ඕනෙ වෙලාවක පැය 24 ම ක්‍රියාත්මක වෙනවා. 

 

පාසල් ජීවිතාරක්ෂක කඳවුරට සහභාගි වූ සිසුන් සමඟ

 


“ඇත්තටම මම ගෙදර ඉන්නවා ගොඩක් අඩුයි. මගේ බිරිඳ තමරා කුමාරි යාපා. එයා ගුරුවරියක්. එයා මගේ සේවයට ගොඩක් උදව් කරනවා. එයා දන්නවා මම ගෙදරට වඩා සමාජයේ මිනිස්සුන්ට උදව් පදව් කරමින් ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා එයා මාව හඳුනාගෙන තියෙන නිසා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ. මට ඉන්නෙ එක දුවයි සරණි කාවින්දි. එයා තාම ඉස්කෝලේ යනවා, මහනුවර ප්‍රදේශයේ පාසලකට තමයි යන්නේ. ඇයගේ අධ්‍යාපන කටයුතුවලටත් මම ගොඩක් උදව් කරනවා.” 


පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා එසේ ආඩම්බරයෙන් අප සමග පැවැසීය. කෙසේවෙතත් 1985 වසරේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වූ සුනිල් විජේසිංහ මහතා 2003 වසරේ ජනවාරි මාසයේ පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමෙන් පසු 2018 වසර වනතුරුම පොලිස් සැරයන් තනතුරේ පමණක් සේවය කිරීම විශේෂත්වයකි. ඔහු ලබන වසරේ එනම් 2019 ජූලි මාසයේ 24 වැනි දින විශ්‍රාම යෑමට සිටින අතර මේ වන විට පොලිස් සේවයේ වසර තිස් පහකට ආසන්න කාලයක් මේ සුවිශාල වූ මෙහෙවර  මොහු සිදුකර හමාරය. 


විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ විවිධ උසස්වීම් ලබන සමාජයක ශ්‍රී ලංකා පොලිස් සේවයට අමිල මෙහෙවරක් ඉටුකළ, එනම් මෙරට ජීවිතාරක්ෂකයන් දහතුන්දාහක් පුහුණු කොට සියයකට ආසන්න ප්‍රමාණයකට විදේශ රැකියා ලබා දුන්, ශ්‍රී ලංකාවේ පළමු ජීවිතාරක්ෂක තූර්යවාදක කණ්ඩායම ආරම්භ කළ, සියයකට ආසන්න දියේ ගිලී මියැදෙන්නට වූ ජීවිත බේරාදුන්, විස්සකට ආසන්න මළසිරුරු ගොඩගත්, රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික ආයතනවලට හදිසි ආපදා තත්ත්වයෙන් මිදීමට පුහුණුව ලබාදෙන, සුවිශේෂී වූ කාර්යයක් පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් ඉටුකළ පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා තවත් මාස කිහිපයකින් සිය රාජකාරියට සමු දී පොලිස් සැරයන්වරයකු ලෙසම ගෙදර යනු ඇත. 


මෙම පොලිස් සැරයන්වරයා සිදුකළ අනුපමේය සේවය ඇගයීම සඳහා පසුගිය දිනක සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් විසින් ඇගයීමකට ලක්කරනු ලැබීය. ඒ හැර ඔහුගේ සේවාව ඇගයීමට ලක් වූයේ ඔහු සේවය කර අනුයුක්තව සිටි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් විසිනි. ඔවුන් කොපමණ ඉහළ පොලිස් නිලධාරීන්ට සුනිල් විජේසිංහ පොලිස් සැරයන්වරයා පිළිබඳව කරුණු දැක්වුවද ඉහළ පොලිස් බලධාරීන්ට ඒවා එතරම් වැඩදායී නොවෙන්නට ඇත. 


මේ හා සුවිශාල වූ සේවාවක් සිදු කොට විශ්‍රාම ගැනීමට යද්දී තමන් ගේ බලාපොරොත්තුව කුමක් දැයි අප විමසීමක් කළෙමු. ඔහු කියා සිටියේ තමන්ට කීර්ති ප්‍රශංසා උසස්වීම්වලට වඩා අවශ්‍ය වෙන්නේ මෙම සුවිශාල වූ සේවාවක් ඉටුකරන පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනම කොට්ඨාසයක් බවට පත් කිරීමට හැකියාව ඇත්නම් එය තමාගේ එකම සිහිනය බවය. 

 

 

 

 

සටහන - ඡායාරූප දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස   

 



අදහස් (0)

දියේ ගිලෙන මිනිසුන් බේරගන්න පොලිස් නිලධාරියෙක් කරන සටන

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 151 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16134 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2783 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5237 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3929 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site