(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් උසාවි දැක්කීම සාධාරණද නැද්ද යන්න නැවත සිතාබලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද පාර්ලිමේන්තු තුළ මීට වඩා දරුණු ගැටුම් ඇතිවී තිබෙන බව කී මන්ත‍්‍රීවරයා එම අවස්ථාවල කතානායකවරුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්ද යන්න වත්මන් කතානායකවරයා සොයා බැලිය යුතු යැයි ද කීවේය.

බ‍්‍රසීලයේ පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරුන් ආසන ඔසවා ගහගැනීම නිසා එහි මන්ත‍්‍රීවරුන්ගේ හිසට පවා තුවාල වී තිබෙන බව කී අනුර යාපා මහතා  ගාලු මුවදොර ඉදිරිපිට පැරණි පාර්ලිමේන්තුව පැවති කාලයේ ද මන්ත‍්‍රීවරුන් පුටුවලින් ගහගැනීම නිසා ඒවා එසවීමට නොහැකි පරිදි ඇණ දමා තද කළ බව සඳහන් වන්නේයැයි ප‍්‍රකාශ කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේ කෝලාහලයක් ඇතිවූ නමුත් එවැනි තත්ත්වයක් ඇති නොවූ බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මෙහිදී මන්ත‍්‍රීවරුන්ට පමණක් නඩු පවරා ඇතත් එම කාලයේ කතානායකවරයා හැසිරුණු ආකාරය ගැනත් ගැටලු තිබෙන බව අනුර යාපා මහතා පැවසීය.

කතානායකවරයා තම අසුනට නොගොස් පාර්ලිමේන්තුවේ මුල්ලක සිට තීන්දු ගනිමින් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා ව්‍යවස්ථාව කඩ කරමින් කටයුතු කළ බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.