(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
වේයන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳසැලක හිමිකරු හා සේවිකාවන් සිව්දෙනෙකු සිහිසුන්ව ඇද වැටී අද(22) රෝහල් ගත කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
 
වේයන්ගොඩ නගරයේ පිහිටි මෙම වෙළෙඳසැලේ විදුලිය ඇණහිටීම නිසා ජෙනරේටර් යන්ත‍්‍රයක් මගින් විදුලිය සපයා ඇතැයිද  එම අවස්ථාවේදී වෙළෙඳ ආයතනයෙහි වායු සමීකරණ යන්ත්‍ර කි‍්‍රයාත්මකව තිබී ඇතැයිද කියන පොලිසිය  එහි යම් කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූ අසාත්මිකතාවයක් නිසා මෙම පිරිස රෝගාතුර වී ඇතිබවට සැක කරයි. සිද්ධියට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය සඳහන් කරයි. 
 
ඔවුන් වැටී සිටිනු දුටු අසළ වෙළෙඳසැලක පිරිසක් ඔවුන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිද්ධිය පොලිසියට දන්වා ඇත. 
 
සේවිකාවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් අයිතිකරු තරමක රෝගී බවකින් පසුවන බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.
 
වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.