සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු

 

මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම කතානායකවරයාට තර්ජනය කිරිම පොලිස් නිලධාරින්ට පහරදීම යනාදී මැතිසබේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තු කමිටු වාර්තාව කතානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කෙරිණි.

චෝදනා එල්ලවී ඇති මන්ත්‍රිවරුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ අයයි. එම සංඛ්‍යාව 54 කි.

මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට ද  මෙම වාර්තාව මගින් චෝදනා එල්ල වී තිබේ.

වාර්තාවේ දැක්වෙන අන්දමට වැඩිම චෝදනා ප්‍රමාණයක් එල්ලවී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාටයි. චෝදනා සංඛ්‍යාව 16 කි.

ඊට පසුව වැඩිම චෝදනා ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි පුසන්න රණවීරට විරුද්ධව එල්ලවී තිබෙන අතර ඒම චෝදනා ගණන 12 කි.

මෙයට අමතරව එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ විමල් වීරවංස මන්ත්‍රිවරයාට චෝදනා 10 ක් ද පද්ම උදයශාන්ත ගුණසේකර, ප්‍රියංකර ජයරත්න හා ඉන්දික අනුරුද්ධ, ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන්ට චෝදනා 9 බැගින් ද එස්.එම්.චන්ද්‍රසේන මන්ත්‍රීවරයාට චෝදනා 8 ක් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා 7 ක් ද එල්ල වි තිබේ.