දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ.

කමිටුවේ සාමාජිකයන් කතානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරුවේ හමුවී මේ පිළිබඳව දැනුම්දීමට බලාපොරොත්තු වන බව ඒ ආරංචිමාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරිපත් කෙරුණු සාක්ෂි මගින් අනාවරණය වූ තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට අවශ්‍ය වී ඇතත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විශේෂ කාරක සභාව තවමත් ඒ ගැන ස්ථිර තීරණයක් ගෙන නැතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඕනෑම නිලධාරියකු කැඳවීමේ බලය තිබෙන බවත්, එසේ කැඳවා තිබියදී පැමිණීම මගහරින නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කර දඬුවම් කිරීමේ හැකියාව ද ඊට තිබෙන බවත් කමිටු සාමාජිකයෝ කියති.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය කතානායකවරයා හමුවීමෙන් පසුව ගන්නා බවද ඒ සාමාජිකයෝ සඳහන් කරති.

ජනාධිපතිවරයාගේ තීරණයත් සමග කමිටුවට යනවාද, නැද්ද පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් ද දෙගිඩියාවකට පත්ව සිටින බව දැනගන්නට ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි (CNI)  සිසිර මෙන්ඩිස් හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඉකුත් දා එම කමිටු හමුවට කැඳවා ප්‍රශ්න කළේය. දැනට සක්‍රීය සේවයේ සිටින බුද්ධි අංශ නිලධාරීන් මින් ඉදිරියට කමිටුව හමුවට නොඑවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේ ඒ සිද්ධියෙන් අනතුරුවය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීළඟට රැස්වීමට නියමිතව ඇත්තේ හෙට (18) පස්වරු 2.00ටය.