(නිමල කොඩිතුවක්කු)
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයේ යළි විශ්වාසය තහවුරු වී ඇති බවත් ඔවුන්  ඩොලර් මිලියන 6,000ක මුදලක් ලබාදීමට එකඟතාවය පල කර ඇති බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
 
ආරක්ෂාව සහ ආර්ථික පිළිබඳ  විශ්වාසය තහවුරු කළා සේම තුන්වන අභියෝගය ලෙස ඉදිරි මාස කිහිපය තුළ සංචාරකයන් පිළිබඳ  විශ්වාසය ඇති කිරීමටත්  කටයුතු කරන බව අග‍්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පානදුර නගරයේ පිහිටි ආතර් වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අද (25) එක්වෙමිණි.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
 
‘‘මහබැංකුව ලෝක වෙළඳපොළට ගිහින්  ඩොලර්  මිලියන දෙදහසක්  ලබා ගන්නයි කලින් සැළසුම තිබුණේ.  මේ ගැන විශාල විවාදයක් තිබුණා.  සමහර අපේ ව්‍යාපාරිකයන්  කිව්වා යවන්න එපා මේ මුදල් යළි ලැබෙන්නේ නැහැ කියලා. අපි ඒ ගැන කතා කළා, විවාද  කළා. මහබැංකුවේ අධිපතිතුමාගෙන් අහනවිට  අපි කොහොම හරි මිලියන  දෙදහසක් හොයා ගන්නම්  කිව්වා. ඒ ගැන බලාපොරොත්තුවක් මහ බැංකුවටවත් තිබුණේ නැහැ.
 
අපි ලෝක වෙළඳපොලට  ගිහින් මුදල් බැදුම්කර ඩොලර් මිලියන දෙදහසක මුදලක් අපි ඉල්ලුවා. අපිට ඩොලර් මිලියන හයදහසක් හමුවුණා.  හයදාහම  ගත්තේ නැහැ අපි  ඕන ඩොලර් මිලියන දෙදහස පමණයි අපි ගත්තේ.
 
අද ජාත්‍යන්තර විශ්වාසය යළිත් අපිට ලැබිලා තියෙනවා.  ඒ විශ්වාසයත් සමඟ අපිට ඉදිරි කටයුතු කරන්න පුලුවන්.  මෙයට ඉස්සෙල්ලවත් අපිට මේ වගේ තුන්ගුණයක මුදලක්  ලැබිලා නැහැ. 
 
අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය  ගැන අන්න ඒ විශ්වාසය අපිට  ලැබිලා තියෙනවා. මෙතනින් අපි සෑහිමකට පත්වෙන්නේ නැහැ.  ත‍්‍රස්තවාදයෙන්  පහර ලැබුනේ අපේ සංචාරක  ව්‍යාපාරයටයි.  දැන් අපි බලන්නේ  ඇසල පෙරහැර වෙනකොට සංචාරකයෝ ගෙන්වන්න පුලවන්ද කියලයි. 
 
යුරෝපයේ  සමහර අය බයවෙන්න පුලුවන්. ඒ නිසා  අපි බැලුවේ ඉන්දියාවේ ඉදන් ඉස්සෙල්ලම එන්න කියන්න. 
 
අපි බැලුවා මේ අය වෙනුවෙන් මොනවද අපිට දෙන්න  පුලුවන් කියලා.  හෝටල්  කාමර කොහොමත්  හිස්. අඩුමිලට දිලා කොහොමද මේවා ලබාදෙන්නෙ කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා.  අපි බලාපොරොත්තුවෙනවා එන සතිය වෙනකොට  ඒවත් ප‍්‍රකාශ කරන්න.

සංචාරකයෝ ගෙන්වා ගත යුතුයි.  මොකෙද අපේ අරමුණ දෙසැම්බර් මාසය  වනවිට හොඳ ආදායමක් ලබාගන්න පුලුවන් තත්වයක් ඇති කරන්නයි’’යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදි පැවැසීය.