(නිමන්ති රණසිංහ)       

චෙක්පත් සිද්ධියක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීම නැවැත්වීමට යැයි පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් සැරයන්වරයාව රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (11) නියෝග කළාය.
 
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කළ අධිකරණය ගුවන් ගමන් බලපත‍්‍රය අධිකරණයට භාරදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය ඇප කොන්දේසියක් පැනවූවාය.
 
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ අස්ගිරි වල්පොල, උඩුගම්පල, ගම්පහ පදිංචි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් (66291) ඒ. සී. ජේ. සංඛ සෝභිත සිල්වා නැමැත්තාය.