(තරිඳු ජයවර්ධන)
 
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා මහතා කිසිම මත්ද්‍රව්‍යක් භාවිත කර නොතිබුණු බව බර් ඩුබායි පොලිසිය දැනුම් දුන්නේයැයි නීතීඥ උදුල් පේමරත්න මහතා ලංකාදීපයට පැවසීය.
 
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මහත්වරුන් වෙනුවෙන් නීති කටයුතු සිදු කිරීමට ඔවුන්ගේ ඥාතීන්ගේ සහ ශ්‍රී ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයේ ලිඛිත අවසරය ඇතිව ඩුබායි ගොස් සිටින නීතීඥ උදුල් පේමරත්න මහතා සහ නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා අද (12) උදෑසන බර් ඩුබායි පොලිසියට ගොස් එහි නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි මහතා හමුවූහ.
 
අමල් පෙරේරා මහතාගේ රුධිර සාම්පලවල ප්‍රතිඵල මෙතෙක් නොලැබුණු බව පොලිසිය දැනුම් දුන්නේ යැයි ද පේමරත්න මහතා කීවේය. 
 
දැනට බර් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින 31 දෙනා අතර විදේශිකයන් කිහිප දෙනකු හා කාන්තාවන් කිහිප දෙනකු ද සිටින බව පොලිසිය දැනුම් දුන් බවත් උදුල් පේමරත්න මහතා සඳහන් කළේය.
 
ගායක අමල් පෙරේරා මහතා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ ගීත සහිත යූටියුබ් වීඩියෝ ලක්ෂ සංඛාය පිරිසක් නැරඹා තිබීමෙන් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයන් බව  පොලිසියට පැහැදිලි කළ බව කී පේමරත්න මහතා ඔවුන් එරටට ගියේ මත්ද්‍රව්‍ය ජාවාරමකට නොවන පෙන්වා දුන්නේයැයි ද ප්‍රකාශ කළේය.

උදුල් පේමරත්න මහතා මෙසේ ද කීවේය.

 
‘‘අද අපි ඩුබායි පොලිසියට ගිහින් ඔවුන් හමුවුණා. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඩුබායිවලට ගිහින් තියෙන්නේ සිද්ධියට පෙර දින සවස 5ට පමණ. පාන්දර දෙකට විතර තමයි මේ වැටලීම වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රසිද්ධම චරිත දෙකක් වන ඔවුන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ජාවාරමකට ඩුබායි යන්න අවශ්‍යතාවක් නෑ. එම සිද්ධිය අහඹු සිද්ධියක්. අපි මේ ගැන බර් ඩුබායි පොලිසියට පැහැදිලි කර දුන්නා. මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කරන කටයුතුවලින් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටියා. 
 
ඩුබායිවල අපරාධ චෝදනා අතර ප්‍රධානම චෝදනාවක් තමයි මත්ද්‍රව්‍ය චෝදනාව. එම නිසා ඔවුන්ට බලන්න ලැබෙන්නෙත් ඉරිදට පමණයි. ඉරිදාට ඔවුන් සමඟ සාකච්ඡා කරන්න  තීන්දු කර ගත්තා. සාමාන්‍ය වැරදි සම්බන්ධයෙන් පැය විසි හතරක් ඇතුළත නඩු අසා දඬුවම් කිරීම සිදු වුවත්  මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් අධිකරණයට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක් පොලිසියේ තබා ගැනීම හැකියාව එරට නීතිය අනුව පොලිසියට හැකියාව තිබෙනවා.

මීට පෙරත් මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකු අවුරුද්දයි මාස නවයක් එරට පොලිසියේ රඳවා තබාගෙන තිබුණා. ඉන් පසු අධිකරණයට ඉදිරිපත් කළ විට ඔහුට වසර නවයක සිර දඬුවමක් නියම වූ බව දැනගන්න ලැබුණා. අමල් සහ නදීමාලුත් අධිකරණයට ඉදිරිපත් කරන දවසක් තවම කියන්නට බෑ. ‘‘