චන්ද්‍රසේන ගමගේ

මහ මුහුදේ අවතැන් වී ඇති යාත්‍රා බේරා ගැනීම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මාලදිවයිනට ආසන්න මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රා 20ක් මාලදිවයින ධීවර තොටුපළවල නතර කිරීමට මාලදිවයිනේ අවසරය ලබාගෙන ඇති බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (19)  සවස පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී පැවසීය.

වැසි සහිත කාලගුණ තත්වය නිසා ධීවර රැකියාවේ නිරතව සිටින යාත්‍රා සිය ගණනක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇති බව පැවසූ ධීවර රාජ්‍ය ඇමැතිවරයා ඒවා පිළිබඳව නිරතරවම ප්‍රාදේශීය ගුවන් විදුලි පණිවුඩ හුවමාරු හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බවත් කීය.

මේ වන විට ඉන්දියාව ආසන්න මුහුදු තීරයේ ඇති යාත්‍රා ඉන්දීය ධීවර වරායවල නතර කර ගැනීමට රජය ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ධීවර රාජ්‍ය ඇමැතිවරයා කීය.

වැසි සහිත කාලගුණයක් පවතින මේ  දින කිහිපය තුළ ධීවර රැකියාවෙන් ඉවත්ව සිටින ලෙසට තමන් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.