IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප ගියත් ආණ්ඩුව දිගටම

සභාග කතාවෙන් එ.ජා.පය කැලඹිලාද? පසුපෙළ ඉන්නේ කලකිරීමෙන්ද? ජනපති-අගමැති ගැටුම උග්‍රවෙලාද? ජනපති මුදාහරින්නේ එ.ජා.ප. විරෝධයද? පාඩු නොලබන රාජ්‍ය ව්‍යාපාරවත් රැකගන්න බැරිද? ජනපති ඝාතන කුමන්ත්‍රණය යටගහන්න හදන්නේ කවුද? මීළඟ පොදු අපේක්ෂකයා කවුද? යනාදී කරුණු සම්බන්ධව එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය - ශ්‍රී.ල.නි.ප - ඒකාබද්ධ සභාග ආණ්‍ඩු කතාවත් සමඟ එ.ජා.ප ය කැළඹිලා නේද?

පිළිතුර - එ.ජා.පයේ එහෙම කැලඹිල්ලක් නැහැ. එහෙම සභාග ආණ්‍ඩු හදන්න බැරි බව එ.ජා.පය දන්නවා. සභාග ආණ්‍ඩු හදන්න ඕන නම් එ.ජා.ප.ය අතහැර අනිවාර්යෙන්ම කණ්ඩායමක් ඉවත්වෙලා යන්න ඕන. එහෙත් මම දන්න ආකාරයට එ.ජා.පයේ අය ඉන්න අදහස බොහොම පැහැදිලියි. එ.ජා.පයේ කාටවත් මේ වෙලාවේ පක්ෂය අතහැර ගොස් සභාග ආණ්‍ඩුවලට එකතුවීමේ වුවමනාවක් නැහැ.

ප්‍රශ්නය - එහෙත් ශ්‍රී.ල.නි.ප ආණ්‍ඩු පාර්ශ්වය ඉවත්ව ගියොත් ආණ්‍ඩුව අර්බුදයකට යන්නේ නැතිද?

පිළිතුර - එහෙම අර්බුද ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ අය ඉවත් වුවත් ආණ්‍ඩුව වැටෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලියි. ශ්‍රී.ල.නි.ප. අැමැතිවරු ඉවත්කර ආණ්‍ඩුව වට්ටන්න කවුරු හෝ සිහින දකිනවා නම් ඒක කිසි දිනෙක වෙන්නෙ නැති බව කියන්න ඕන. ආණ්‍ඩුව වැටෙන්න නම් එ.ජා.පයේ කණ්ඩායමක් ඉවත්ව යා යුතුයි. මේ වෙලාවේ එ.ජා.පයේ කවුරුවත් එහෙම සියදිවි හානිකරගනීවී කියලා මම නම් සිතන්නේ නැහැ. මේක බොහොම පැහැදිලිව ඉදිරියට යන ආණ්‍ඩුවක්.

ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වට එ.ජා.පයේ පසුපෙළ කලකිරිලා නේද? ඔවුන් වෙනතක් බලාවිද?

පිළිතුර - මෙහෙමයි. කලකිරීම් තියනවනේ. විපක්ෂයේ ඉන්න විටත් කලකිරීම් තිබෙනවා. ආණ්‍ඩු හැදුවට පස්සෙත් කලකිරීම් තිබෙනවා. කලකිරීම් එහෙම නවතින්නේ නැහැ. මන්ත්‍රීවරු වුණාම නියෝජ්‍ය ඇමැතිවරු වෙන්න ආසයි. නියෝජ්‍ය ඇමැති වුණාම ඇමැතිවරයකු වෙන්න ආසයි. ඇමැති කෙනෙකු වුණාම අගමැතිවීමේ ආසාව ඇති වෙනවා. අගමැති වුණාම බලන්නේ ජනාධිපති වෙන්න. මේ ආසාව තිබෙනකම් කලකිරීම තිබෙනවා. ඕක නවත්වන්න අමාරුයි.

ප්‍රශ්නය - එ.ජා.ප පසුපෙළට සවන් නොදීමෙන් මේ වනවිට ආණ්‍ඩුව ඉල්ලගෙන කාලා කියා මරික්කාර් මන්ත්‍රීවරයා නඟන චෝදනාව ගැන කියන්නේ මොකද්ද?

පිළිතුර - නෑ. මන්ත්‍රීවරු හැ​ටියට මීටවඩා වැඩ කොටසක් පාක්ෂිකයන් වෙනුවෙන් ඉටු කිරීමේ දැඩි වුවමනාවක් අපට තිබෙනවා. මන්ත්‍රීවරු වුණාට අපට අමාත්‍යාංශ ලැබෙන්නේ නැහැ. මේ නිසා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න යම් යම් ඇමැතිවරු පස්සෙ යන්න අපට සිදුවෙනවා. ඒවයෙදී සමහර අමාත්‍යාංශවලට ගියාම වැඩ කෙරෙනවා.තවත් සමහර අමාත්‍යාංශවලට ගියාම අපට වුවමනා ආකාරයට වැඩ කෙරෙන්නේ නැහැ. මේවායේදී යම් යම් කලකිරීම් ඇති වෙනවා. ඒක තමයි අපට තිබෙන කලකිරීම. ඇමැතිවරු නොවුණා කියා කලකිරීමක් අපට නැහැ. අපි බලාපොරොත්තු වෙන දේවල් සමහර අමාත්‍යාංශවලින් කරගන්න අපොහොසත් වී තිබෙනවා. මීට වඩා වැඩ කොටසක් අපේ පාක්ෂිකයන්ට ඡන්දදායකයන්ට කරන්න අපට පුළුවන් කියන හැඟීම පසුපෙළ මන්ත්‍රීවරුන්ට තිබෙනවා. ආණ්‍ඩුවේ සිටින ජ්‍යෙෂ්‍ඨ ඇමැතිවරුන්ගේ සහ අපේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ සහයෝගය මීට වඩා අපට ලබා දෙනවා නම් මේ කලකිරීම බොහෝ දුරට මඟ හරවා ගන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය - තම පාක්ෂිකයන්ටවත් හරියට සලකන්න බැරි තත්ත්වයකට එ.ජා.ප මන්ත්‍රීවරු පත්වෙලා කියලද ඔබ කියන්නේ?

පිළිතුර - නෑ. නෑ. එහෙම එකක් නෙමෙයි. මම කියන්නේ පොදුවේ තිබෙන අදහස. ඇමැතිවරු ව​ගේ වැඩ කරන්න අපිට බැහැ. අපට තිබෙන්නේ සීමා සහිත ඉඩක්. එතනින් එහාට ගොස් පාක්ෂිකයන් වෙනුවෙන් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම ඇමැතිවරු අපට සහයෝගය ලබා දෙන්න ඕන. ඒ කටයුත්තේදී යම් යම් මතභේද තිබෙනවා. ඒක පොදුවේ තිබෙන දෙයක්. අනික ඒක මේ ආණ්‍ඩුවට පමණක් සීමාවූවකුත් නෙමෙයි. සෑම ආණ්‍ඩුවකම මේ ප්‍රශ්නය තිබුණා. මන්ත්‍රීවරු හැටියට පත්වුණාම බලාපොරොත්තුවන දේ ඉටුකරගන්න වුවමනාදේ බලාපොරොත්තුවන ප්‍රමාණයට ඉටු නොවුණාම ප්‍රශ්න ඇතිවෙනවා.

ප්‍රශ්නය - අනිත් ආණ්ඩුවලට වඩා මේ ආණ්‍ඩුව වෙනස්. සහයෝගය නොලැබෙන්නේ ශ්‍රී.ල.නි.ප යෙන්ද එ.ජා.ප ඇමැතිවරුන්ගෙන්ද?

පිළිතුර - දෙපැත්තෙන්ම තිබෙනවා. එ.ජා.ප ඇමැතිවරු ක්‍රියාශීලීව අපේ ඉල්ලීම් ලබාදෙන අවස්ථා තිබෙනවා. සමහර අමාත්‍යාංශවලට ගියාම පොඩි පොඩි අඩුපාඩු සිදුවෙනවා. හැබැයි මට නම් එහෙම ගැටලු නැහැ. මේවා ගැන විවෘතවත් කතා වී තිබෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. වැඩ කිරීමේ ක්‍රමවේදයේ තිබෙන ගැටලු. මේවා සාකච්ඡා කර විසඳා ගන්න පුළුවන්. දේශපාලන ගැටලුවක් ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැනට අපට එහෙම දේශපාලන ගැටලුවක් නැහැ.

ප්‍රශ්නය - දේශපාලන ගැටලුවක් නැහැ කියන්නේ කොහොමද?

අභ්‍යන්තර ​තොරතුරු හෙළිකිරීමත් සමඟ ජනපති - අගමැති ගැටුම උග්‍රවෙලා නේද?

පිළිතුර - මේක පක්ෂ දෙකක ආණ්‍ඩුවක්. ඒ ආණ්‍ඩුව ගමන් කරන්නේ ප්‍රශ්න රාශියක් මැද්දේ. එහෙත් මේ පක්ෂ දෙකේ එකතුව නිසා කවුරුවත් නොසිතූ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කළා. ඉතිහාසයේ කිසිදු ආණ්‍ඩුවක් නොකළ එවන් වැඩ මේ ආණ්ඩුව යටතේ කරන්න පුළුවන් වුණා. හැබැයි මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස්. ගැටුම් තිබෙන්නේ එම වෙනස්වීම් නිසයි. වෙනස් ප්‍රතිපත්ති දෙකක් එකට එකතුවුණාම ගැටුම් නිර්මාණය වෙනවා. ඒක අනිවාර්යයයි. මේ ගැටුම් අවම කරගෙන ඉතිරි කාලයත් ඉදිරියට යන්න ඕන කියන මතයේ අපි ඉන්නවා.

ප්‍රශ්නය - ආණ්‍ඩුවේ ගැටුම් හැරුණුකොට රටට වෙන දෙයක් නැහැ නේද?

පිළිතුර - මාධ්‍යවලින් මේ ගැටුම් උළුප්පා පෙන්වනවා. ප්‍රචාරණවාදී ප්‍රවෘත්ති බවට අද මේවා පත්වෙලා. හැබැයි රටට වැඩක් වෙන වැඩ රාශියක් සිදුව තිබෙනවා. එහෙත් ඒවා ගැන කතා කිරීම අඩුයි. ජනතාව උනන්දු වෙන්නෙත් මේ ගැටුම් ගැන කතා කරන්න තමයි. ඒ නිසා ඒවාට ලැබෙන ප්‍රචාරයත් වැඩියි. රටේ බෝම්බ පිපිරෙන්නේත් නැති නිසා මේවා තමයි බ්‍රේකින් නිවුස්.

ප්‍රශ්නය - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට යාම ජනපතිගේ දෝෂ දර්ශනයට ලක්වූවා. මේ හේතුවන්නේ එ.ජා.ප. විරෝධයටද?

පිළිතුර - සමහර විට ජනාධිපතිතුමා වැරැදි අදහසක ඉන්න ඇති. ලෝකයත් සමඟ ඉදිරියට යන්න ඕන නම් යම් යම් ප්‍රගතිශීලී, ධනාත්මක තීන්දු තීරණ අනුව කටයුතු නරන්න වෙනවා. වරායේ එම පර්යන්තය නොදී සිටියොත් හොඳයි කියන අදහසේ ජනාධිපතිතුමා ඉන්න පුළුවන්. මේවා බැරෑරුම් ලෙස සාකච්ඡා කර එකඟත්වයකට එන්න පුළුවන් කාරණා. අපි එකතුවෙලා ඉන්නේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. එනිසා හොඳ දේවල් කරනවට කාටවත් අකමැති වෙන්න දෙයක් නැහැ. අපි එකතුවී සාකච්ඡා කළොත් හොඳම දේ කරන්න පුළුවන්. ඒ ගැන ගැටලුවක් නැහැ.

ප්‍රශ්නය - එවැනි සාකච්ඡාවක් ඉහළ මට්ටමෙන්වත් සිදුනොවන පසුබිමක ආණ්‍ඩුව ඉදිරියට යන්නේ කොහොමද?

පිළිතුර - යම් යම් ගැටලු ආවාම ඒ වගේ සාකච්ඡා පසුගිය කාලයේ සිදුවුණා. වාඩිවෙලා කතා කළා. එදා කැබිනට් එකේදී වූ දෙය පිළිබඳ සාකච්ඡා කර එකඟත්වයකට එන්න පුළුවන්.

ප්‍රශ්නය - හොඳ දේ හැටියට ආණ්‍ඩුව දකින්නේ රටේ වටිනා සම්පත් පිටරටවලට ලබාදීමද?

පිළිතුර - නැහැ. අපට නඩත්තු කරගන්න බැරි දේවල් තිබෙනවා. ඒවා සමඟ රට ඉදිරියට ගෙන යන්න බැහැ. මේවා නඩත්තු කරන්න ජාත්‍යන්තරයේ සහයෝගය ඕන. ඒ වගේ කාරණාවලදී විදේශ රටවල්, බහුජාතික සමාගම් සමඟ යම් ගනුදෙනුවකට එකඟත්වයකට ගොස් වැඩ කිරීම රටේ සම්පත් විකිණීමක් නොවෙයි. මේ රටේ කිසිම දෙයක් කාටවත් අරන් යන්න බැහැ. මේවා ඒකාබද්ධ ව්‍යාපාර. මේ ව්‍යාපාර බොහෝ රටවල තිබෙනවා. මේවා පිළිබඳ දැනුවත්භාවයක් නැති අය හෝ දැනගෙනත් නොදන්නවා වාගේ කතා කරන අය සිටිනවා. ඒකට කරන්න දෙයක් නැහැ. රටේ ජනතාවට වැඩි වාසියක් අත්වන තීන්දු තීරණ අපි ගන්න ඕන.

ප්‍රශ්නය - වරායේ නැගෙනහිර පර්යන්තය පාඩු නොලබන තැනක් නම් එවැන්නක්වත් පවත්වාගෙන යන්න මේ ආණ්‍ඩුවට බැරිද?

පිළිතුර - මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ දකුණු කොළඹ පර්යන්තය චීනයට දුන්නා. තව පර්යන්තයක් සංවර්ධනය කිරීමට ආයෝජන ගැනීමට විදේශ රටක් සමඟ සාකච්ඡා කර යම් කොටසක් ලබා දීමට ආණ්‍ඩුව පත්වූ කාලයේ පටන්ම අවධානය යොමුව තිබුණා. මේ තීන්දුව ආවේ එම සාකච්ඡාව අනුවයි. මේක දවසෙන් දෙකෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි. කාලයක් තිස්සේ අධ්‍යයනය කළා. රටේ ආර්ථිකය දියුණු කරන්න තීන්දු ගන්න පසුබට වෙලා බැහැ. තීන්දු ගන්න බය වෙලා බැහැ. හරි තීන්දු හරි වෙලාවට ගන්න ඕන. එහෙම ගන්න බැරි වුවොත් හැමදාම එකමදේ කතා කර කර එකම තැන ඉන්න පුළුවන්.

ප්‍රශ්නය - එ.ජා.පයට හිමි අමාත්‍යාංශ සතු ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. මේ දෙපාර්ශවයේ බල අරගලයේ ප්‍රතිඵලයක්ද?

පිළිතුර - ඔයවගේ විග්‍රහයක් කෙනෙකුට දේශපාලනිකව කියන්න පුළුවන්. මම නම් සිතන්නේ එහෙම එකක් නෙමෙයි. මේ ඇමැතිවරුත් සමඟ එකඟවී ජනාධිපතිතුමා මේ තීන්දු තීරණ ගන්නව නම් ඒවා අර්බුද බවට පත් වෙන්නේ නැහැ. අදාළ ඇමැතිවරු නොදැනුවත්ව තීන්දු තීරණ ගන්න ගියොත් තවත් අර්බුද නිර්මාණය වේවි. අර්බුදයක් ඇති කර ගන්න කාටවත් අවශ්‍යතාවක් නැහැ. තව අවුරුදු එක හමාරක කාලයක් අපට තිබෙනවා. ඒ කාලය තුළත් මෙතෙක් ගොඩනගා ගත් ජයග්‍රහණ සමඟ ගමන් කරන්න ඕන.

ප්‍රශ්නය - ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය යටගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක් ඇති බව කියැවෙනවා. ඒ පිළිබඳ ස්ථාවරය මොකද්ද?

පිළිතුර - සමහර අය ඔය චෝදනාව නඟා තිබෙනවා දැක්කා. ඒ අය කියන කතා ගැන විශ්වාසයක් නැහැ. පසුගිය කාලයේම ඔය අය එ.ජා.ප.ය වට්ටන්න වැඩ කළා. ජනාධිපතිතුමා ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් වුණා නම් ඒක යට ගහන්න කාටවත් පුළුවන් වේවි කියා මම නම් සිතන්නේ නැහැ.

ප්‍රශ්නය - ජනපති කෙරෙහි ඇති ඉන්දියාවේ විශ්වාසය බිඳ දමන්න එ.ජා.පය කටයුතු කරන බවට චෝදනා නැඟෙනවා නේද?

පිළිතුර - මේ වෙලාවේ ජනාධිපතිතුමා සමඟ ගැටුමක් ඇති කරගෙන ඔහු ගැන වැරැදිදේ ජාත්‍යන්තරයට කියන්න එ.ජා.පයට වුවමනාවක් තිබෙනවා කියා මම නම් සිතන්නේ නැහැ. මොකද මේ අපි පත්කර ගත්ත ජනාධිපතිතුමානේ. එතුමා ගැන වැරැදි දේවල් අපි කියන්න ගියොත් ඒක අනිත් පැත්තට අපේ ඇඟට එනවා. හරි හෝ වැරදි මේ ජනාධිපතිතුමා පත්කළේ අපියි. මොන ගැටලු තිබුණත් ඒවා විසඳගෙන ඉදිරියට යන්න ඕන.

ප්‍රශ්නය - ආණ්‍ඩුව විරුද්ධවාදීන්ගෙන් පළිගත්තා මිස වෙනත් කළ දෙයක් තිබෙනවාද?

පිළිතුර - එහෙම කළා නම් විරුද්ධවාදීන් ඔක්කොම ඉන්න ඕන හිරේ. අපි මේ රටේ නීතියේ ආධිපත්‍යය හදපු නිසා අපේ විරුද්ධවාදීන් නිදහස් වී එළියට එනවා. බොරු නඩුදාලා කාගෙන්වත් පළිගන්න අපට ඕන නැහැ. සැම ආයතනයකටම ස්වාධීනව වැඩ කරන්න පරිසරය හදා තිබෙනවා. ඇඟිලි ගැසීම් නැහැ.

ප්‍රශ්නය - ජොන්ස්ටන් මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන්නේ බොරු චෝදනාවක ප්‍රතිඵලයක් හැටියට නෙමෙයිද?

පිළිතුර - ඒ ගැන නොයෙක් ආකාරයේ නීතිමය විග්‍රහ තිබෙනවා. ඒ කොහොම වුවත් නැවතත් ඉහළ අධිකරණයේ නඩු පවරණබව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. එතැනදී සෑම එකකටම උත්තර ලැබේවි.

ප්‍රශ්නය - මීළඟ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රී ඉදිරිපත් කරන්න සූදානම්ද?

පිළිතුර - නැහැ. මෙවර අනිවාර්යයෙන්ම අපේක්ෂකයා එන්නේ එ.ජා.පයෙන්. අපි දැන් අවස්ථා දෙකක් පොදු අපේක්ෂකයන්ටදී තිබෙනවා. තවත් පොදු අපේක්ෂකයන්ට අවස්ථාවක් දෙන්න අපට බැහැ. මෙවර එ.ජා.ප අපේක්ෂකයා වටා සියලු දෙනා එකතු වෙන්න ඕන. මෙවර පොදු අපේක්ෂකයා එ.ජා.පයෙන්. වෙලාව ආවාම නම් කරාවි.

ප්‍රශ්නය - පළාත් පාලන ඡන්දයෙන් ලබපු පරාජය හමුවේ ජනපතිවරණය ජය ගන්න එ.ජා.පයට පුළුවන්ද?

පිළිතුර - පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දෙනව වගේ නෙමෙයි පළාත් සභා මැතිවරණයේදී ඡන්දය දෙන්නේ. ඒ වගේම පළාත් සභා මැතිවරණ​යේදී ඡන්ද දෙනව වගේ නෙමෙයි මහ මැතිවරණයේදී ඡන්දය දෙන්නේ. ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය දෙන්නේ මේ සියල්ලටම වඩා වෙනස්ව. එනිසා ජනාධිපතිවරණයේදී ජනතාව මීට වඩා බුද්ධිමත්ව වෙනස් තීන්දුවලට යාවි. නැවත පවුල්වාදය රජකරවන්න, රට ආපස්සට ගෙනියන්න, වංචාව දූෂණය ඇතිකරන්න, නීතියේ ආධිපත්‍යය නැති කරන්න ජනතාව ඡන්ද දේවි කියා මම විශ්වාස කරන්නේ නැහැ. අද රට සාපේක්ෂකව ඉදිරියට ගිහින්. අඩුපාඩු වැරැදි තිබෙන බව ඇත්ත. ඒවා හදා ගෙන ජනතා විශ්වාසය දිනා ගන්න ඕන.

ප්‍රශ්නය - ජනතාව ආර්ථික බරින් මිරිකිලා. තව තවත් පීඩාවට පත්වන තීන්දු ගන්න බවයි පේන්නේ. මේ පීඩාකාරී වාතාවරණය යටතේ ජනතාව තවදුරටත් ඔබලා විශ්වාසකරාවිද?

පිළිතුර - ලෝකයේ තිබෙන පීඩනයත් සමඟ අපට යම් ආර්ථික පිඩනයක් එල්ලවී තිබෙනවා. මොන ආර්ථික පීඩනය තිබුණත් ජනතාවට ලබාදෙන කිසිදු සහනාධාරයක්වත් කපා හැර නැහැ. ඉදිරි මාස දෙකතුනේදී ​​ඩොලරයේ පීඩනයෙන්, බලපෑමෙන් අපට මිදෙන්න පුළුවන් වේවි. ආර්ථික පීඩනයෙන් ජනතාව මුදාගන්න මීට වඩා සහන දෙන්න එවිට අපට පුළුවන්.

සාකච්ඡා කලේ - චමින්ද මුණසිංහ



අදහස් (0)

ශ්‍රීලනිප ගියත් ආණ්ඩුව දිගටම

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 843 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය
2024 අප්‍රේල් මස 08 446 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ම


සියලු ඡන්ද එක දිනක බැරි ඇයි?
2024 අප්‍රේල් මස 01 818 6

විපක්ෂයේ එකමුතුවක් නොමැති වීම, මුලින් එන්නේ මොන මැතිවරණය ද, මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය ද යනාදි දේශපාලන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල


මැතිසබේ නොම්මර ආණ්ඩුවට රටේ නැහැ
2024 මාර්තු මස 25 496 0

කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කළ ස


ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ
2024 මාර්තු මස 18 801 17

ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග ක


රට හදන්න නව මගකට නව ප්‍රෙව්ශයක්
2024 මාර්තු මස 11 427 6

මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදු වී තිබේ. වාද බේදවලින් හා ගැටුම්වලින් බහුල සමාජය එකමු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site