IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්ද කැඩීමේ වාසිය කාටද ?

මේ පෙරළියට නඟන චෝදනා ,අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීම ,රාජපක්ෂවරුන්ට එරෙහිව මැතිවරණ කොමිසමට ආ පැමිණිල්ල ,පොහොට්ටුවේ මාධ්‍ය වාරණය ,ශ්‍රී.ල.නි.ප විනය පියවර , ශ්‍රීලනිපයෙන් එන අපේක්ෂකයා පොහොට්ටුවේ දෙවැනි මනාපය කාටද යනාදිය ගැන මෙවර සදුදා හවුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.

ප්‍රශ්නය:- ආණ්ඩුව මහජන මුදල් අවභාවිත කරන බවත් ඊට එරෙහිව අධිකරණයට යන බවටත් ඔබ විශාල හඬක් නගනවා. ඒත් ආණ්ඩුව කියන්නේ මහජනතාවට සෙත සැලසීමට විපක්ෂයෙන් බාල්දි පෙරළනවා කියලයි. ඇත්ත මොකද්ද?

පිළිතුර:- මහජන බදු මුදල්වලින් මහජනතාවට සෙත සැලසීම සම්බන්ධයෙන් අපේ කිසිම විරෝධතාවයක් නෑ. එහෙත් එය කළයුතු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හා අනෙක් නීති රීතිවලට හා පරිපාලන රෙගුලාසිවලට අනුවයි. දැන් මෙතනදි මුදල් විෂය භාර ඇමැතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් කියලයි කැබිනට් පත්‍රිකාව හදන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලන බලය තිබෙන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපක්ෂයෙන්ම සැදුම්ලත් පාර්ලිමේන්තුවටයි. එතකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියලා විතරක් මුදල් වෙන්කර දුන් විට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා. දෙවැනුව මේ මුදල් ඡන්දය ඉලක්කකරගෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෞද්ගලික ප්‍රතිලාභ දීමට අරමුණු කරගෙන තිබෙන්නේ. එවිට නිර්පාක්ෂික හා විපක්ෂ පිරිස්වලට මුදල් නොලැබීමෙන් මහජනතාවගේ අයිතිවාසිකම් ද උල්ලංඝනය වෙනවා. එනිසා මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කරුණු ඉදිරිපත් කරන්නට අපි නීතිඥවරුන්ට බාරදුන්නා. සජිත් ප්‍රේමදාස කරන්නෙත් මේ ටිකමයි.

ප්‍රශ්නය:- සජිත් ප්‍රේමදාසට ඔබලා එල්ල කරන්නේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රහාරයක්?

පිළිතුර:- කිසිසේත් නෑ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පන්සල් හා දහම් පාසල්වලට බෙදීමේ වරද කුමක්දැයි ඔහු අහනවා. එහෙම කරන්න පුඵවන් ඔහුගේ පුද්ගලික මුදල් නම්. අපේ ආණ්ඩුව කාලයේ පූජනීය ස්ථානයකට මුදල් දුන්නාම පසුව ඒ සම්බන්ධයන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනිහින් ප්‍රශ්න කරලා බන්ධනාගාරගතකිරීම් පවා කළා. සමෘද්ධි මුදල්ම සමෘද්ධිලාභීන්ට ණය වශයෙන් දුන්නා කියලයි බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ඇප නැතිව බන්ධනාගාරගත කළේ. සිල් රෙදි නඩුව ගත්තත් එහෙමයි. ඒ අනුව නම් සජිත් ප්‍රේමදාස මහත්තයා කරලා තියෙන්නෙත් ඇප නැති වරදක්.

ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් කඩිනමින්ම මෙරටට ගෙන්වීමට අදාළ නීති ලේඛන සකසා අවසන් බවත් ඉන්පසුව ඊටත් වඩා ප්‍රබලයන්ට උසාවි කූඩුවට නැගීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පසුගියදා පැවසුවා. වැරැදිකරුවන්ට දඬුවම් නෑ කිව්වට තත්ත්වය වෙනස් නේද?

පිළිතුර:- බොහෝ පමා වැඩියි. මොකද 2015 පෙබරවාරි 27 මේක වෙනකොට මාර්තු මුල මහ බැංකුව ඇතුළට ගිහින් ප්‍රශ්න කරලා ප්‍රථමයෙන් මේක හෙළිදරව් කළ පුද්ගලයා විදියටත් මෙහි වැරැදිකරුවන්ට දඬුවම් දෙන්නැයි පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අරගල කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු හැටියට මේ පමාව ගැන සාතිශය සංවේගය පළ කරනවා. මහේන්ද්‍රන් විදේශවල ගිහින් එද්දී අත්අඩංගුවට ගන්නැයි අපි ප්‍රසිද්ධ නිවේදන පවා නිකුත් කළා. දැන් පේන්නේ වගකිවයුතු එක් තැනැත්තෙකුට පමණක් ඡන්දයක් ආසන්නයේ දඬුවම් කරන්න හදන බවයි. අඳුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම යහපත් සංකල්පය යටතේ නම් මේක සාධනීය පියවරක්. හැබැයි මේ පිටු විසි එක්දාහක ලියැවිලි සිංගප්පූරුවෙන් කියවද්දී අලුත් ජනාධිපතිවරයෙක් රටේ ඉන්නේ. මේවා ඇස් බැන්දුම්.
 
ප්‍රශ්නය:- පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2005 ඡන්ද නාම ලේඛනයට නම ඇතුලත් කරගැනීම සම්බන්ධයෙනුත් පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. චෝදනා පිට චෝදනා එන්නේ ඇයි?

පිළිතුර:- මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයනුත් ජාවාරම්කරුවන් ප්‍රමුඛ සියලු දුෂ්ට බලවේගත් ගෝඨාභය රාජපක්ෂ කියන දේශපාලන නොවන රාජ්‍යතාන්ත්‍රික චරිතය ගැන භීතියට පත්වෙලා ඉන්නේ. මොන තරම් ගෝඨා භයක් දූරදර්ශී විදියට මේ ආණ්ඩුවට තිබුණද කිව්වොත් වෙනත් රටක පුරවැසියකුට ජනාධිපතිවරණයට තරග කළ නොහැකියි කියලා ව්‍යවස්ථාව පවා වෙනස් කළා. ඉන්පසුව ගෝඨාභය මහතා ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත් වී ස්වජාතික ගමන් බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුවත් විවිධ කතා කියලා දැන් ඡන්ද නාමලේඛනේ අල්ලගෙන දඟලනවා. එ.ජා.පය ප්‍රමුඛ විරුද්ධ කඳවුරේ සියලු පාර්ශ්ව මේ ජනාධිපතිවරණයේ නියත ජය ගෝඨාභය රාජපක්ෂට බව දන්නවා. ඉතින් ඔවුන් පොඩි පොඩි කෙණෙහිලිකම් කරලා කාලකන්නි සන්තෝෂයක් ලබනවා. ජනාධිපතිවරණයට කලින් ශාරීරික වශයෙන් ඔහුව ඝාතනය කළොත් තමන්ට සැනසිල්ලක් ලැබේ යැයි ඔවුන් විශ්වාසය කරනවා. වැඩකාරයෙක් දක්ෂයෙක් එනකොට බයයි. එතකොට මේ පැමිණිල්ල ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

ප්‍රශ්නය:- ජනමාධ්‍ය සම්බන්ධයෙන් දරදඬු පිළිවෙතක් අනුගමනය කළාය යන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වෙන චෝදනාවක්. එවැනි චෝදනාවක් එල්ල වෙන වෙලාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමු`ඵවට යන දේශීය මාධ්‍යට වාරණයක් වැටෙනවා. අනුමත කරනවාද එතැන වුණු දේවල්?
 
පිළිතුර:- මේ කිසිම උත්සවයක් සංවිධානය කිරීම ගැන ඒ ඒ සංවිධායකයන් මත මිස අපේක්ෂකයා මත චෝදනාවක් පටවන්න බෑ. උදාහරණයට ජනාධිපති අපේක්ෂකතුමා හෝ විපක්ෂනායකතුමා සහභාගී වන රැස්වීමක් මම සංවිධානය කළොත් එහි සිදුවන සියලු දේවල වගකීම මා බාරගත යුතුයි. මොකද උත්සවවලට සහභාගී වන ආරාධිතයන්ට ඒවා ගැන මතුපිට දැනීමක් මිස ගැඹුරු අධ්‍යයනයක් නෑ. එනිසා ඒ පිළිබඳ වගකීම තරුණ සමුඵවේ සංවිධායකයන් බාර ගත යුතුයි. ඔවුනුත් එය බාරගෙන ජනමාධ්‍යයෙන් සමාව ඉල්ලා කියාසිටියේ නැවත එවැනි වරදක් නොවන බවයි. ඊටපසුව තිබුණු සමුඵවලදී එවැනි ප්‍රශ්න මේ දක්වා මතුවෙලා නෑ.

ප්‍රශ්නය:- තරුණයන් මරපු අයට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ ආණ්ඩුව කරන්න නායකයකුවත් මැති ඇමැති කෙනෙකුවත් ඉතුරුවෙන්නේ නෑ යැයි විපක්ෂනායකවරයා පසුගියදා කිව්වා. කතාව ඇත්ත නම් මිනීමැරීම වැනි සාපරාධී වැරැදිවලට දඬුවම් නොකළ අයත් වැරැදිකරුවන් නේද?

පිළිතුර:- ලංකා ඉතිහාසයේ 1989 කියන්නේ භීෂණ සංස්කෘතියක්. අංක තහඩු නැති වෑන්, කහ බළල්ලු, ක`ඵ බළල්ලු, ප්‍රා, නිල මිනීමැරුම් කණ්ඩායම්, නිල නොවන මිනී මැරුම් කණ්ඩායම් ආදී වශයෙන් නාඳුනන තුවක්කුකරුවන් අතින් හැට දහසකට අධික පිරිසක් ඝාතනය කෙරුණු කාලයක්. පළමුවෙන්ම ඡන්දය දාපු පස් දෙනා මැරුවා විතරක් නෙවෙයි. දණිස්සෙන් ඉහළට උස්සන්නැතිව වළලන්නත් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ඝාතනය කිරීම ගැනවත් මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා ඝාතනය කරලා රජයේ හෙලිකොප්ටර්වලින් මුහුදට දැම්මාම ගොඩගහපු මිනිය ගැන පරීක්ෂණ කරනවා තබා ස්වාධීන කොමිෂන් සභාවක්වත් එ.ජා.ප රජයෙන් දුන්නේ නෑ. බටලන්ද කොමිෂන් තිබුණාට ඒවායේ වාර්තා ආවාට වැරැදිකරුවන්ට දඬුවම් කළේ නෑ. ඒවායේ වැරැදිකරුවන්ට දඬුවම් නොදීම අපේ රජයන් යටතේ සිදු වූ බරපතල වරදක් යැයි මා පිළිගන්නවා. ඒ අඩුපාඩු අපි හදාගන්න ඕනෑ. මහා භීෂණයේ පියවරු මේ දවස්වල පෙනීසිටින්නේ සිද්ධාර්ථ කුමාරයාගේ එක කුස උපන් සහෝදරයන් වගෙයි.

ප්‍රශ්නය:- පොහොට්ටුවටත් එ.ජා.පයටත් ගිය මන්ත්‍රීවරුන් ඇතුලු කීප දෙනෙකුටම විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා. ශ්‍රී.ල.නි.පයෙන් පැමිණි අයකු හැටියට මේ විනය පියවර ගැන ඔබ මොකද හිතන්නේ?

පිළිතුර:- ඇති වන තත්ත්වයන්ට විනය පියවර නොගැනීම යහපාලන රජය පිහිටු වූ දා පටන් සම්ප්‍රදායක් වෙලයි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාහත් අවුරුද්දක් ලේකම්වරයා වශයෙන් සිටි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂ අනුග්‍රහය යටතේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණාම ඒකම බරපතල විනයවිරෝධී ප්‍රශ්නයක්. ඉතින් අපි ඒක කළේ නෑනේ. එතැන ඉඳන් කිසිම විනය පියරවක් නෑ. පසුගිය මහමැතිවරණයේදී අපි සියලු දෙනා තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ දිවුරුමක් දුන්නේ දිනන කිසිවෙකු එ.ජා.පය සමඟ හවුල් ආණ්ඩුවකට නොයන්නයි. දිනපු කොටසක් ආණ්ඩුවට යද්දි කොටසක් විපක්ෂෙ හිටියා. විනය පියවර නෑ. ගියපු කොටසක් ආයේ පොහොට්ටුව සමඟ එකතු වුණා. විනය පියවර නෑ. ඉතින් මේක පටන්ගත්ත තැන පටන් විනය පියවර නැතිව ඇවිත් ආණ්ඩු වෙනසක එළිපත්තෙ ඉඳගෙන හදිසි වෛරයක් පහළ වෙලා තබන විනය පියවරවලින් පලක් නෑ. ඒකෙන් වෙන්නේ දඬුවම් ලබන කෙනා වඩා ජනප්‍රිය වීමයි. මැතිවරණයක් ළං කරලා කවුරු හරි සිරගත කළොත් එයා ඒ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන එක තමයි මේ රටේ ඉතිහාසය.
 
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සාකච්ඡාව සැකසහිත බවත් විවාහයට සියල්ල සූදානම් කර තිබියදී මනාලිය පැහැරගැනීමක් වැනි වැඩක ඔවුන් නිරත වූ බවත් ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයාගේ මතයයි. පොහොට්ටුව කරන්නේ ශ්‍රී.ල.නි.පය හයිජැක් කිරීමද?

පිළිතුර:- මේ වගේ ප්‍රකාශ දයාසිරි ජයසේකර මැතිතුමාට පුරුදුයි. හම්බන්තොට වරායෙ ගල පිළිබඳ ප්‍රශ්නය ගන්න. එතුමා දීර්ඝ කාලයක් ඒ ගලේ ඔඵව ගහගත්තනෙ. ඒ නිසා අපේ මිත්‍රයාගෙ ප්‍රකාශ පිළිබඳ ඒ තරම් දීර්ඝ ලෙස ඔ`ඵව අවුල් කරගෙන කල්පනා කරන්න ඕන නෑ කියලයි මම හිතන්නේ. මොකද අර කඵ ගලේ ඔඵව ගහගත්තට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට හොඳ මනුස්සයෙක්.

ප්‍රශ්නය:- මහලේකම්වරයාගේ ප්‍රකාශය ගැන එහෙම හිතුවත් දෙපාර්ශ්වය අතර තිබුණු සාකච්ඡාව ගැන සරලව හිතන්න පුඵවන්ද? අන්තිමේදී ශ්‍රී.ල.නි.පයෙන් අපේක්ෂකයෙක් එනවා නම් සාකච්ඡා කියලා මොනවද කළේ?

පිළිතුර:- මගේ පුද්ගලික මතය පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා කියන්න ඕනෑ. ඒ අය එහෙම කියලා අවසානයේදී නාමයෝජනා දිනය ප්‍රකාශයට පත්කළාම කවුද කියලා තීරණය කරන්න වේවි. හැබැයි මේ කරන වැඩෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද? දිනන්න බෑ කියලා හොඳටම පැහැදිලිව තිබෙද්දී මේ කරන්නේ කාට හරි ලැබෙන ඡන්ද සංඛ්‍යාව අඩු කරන්නයි. කොටින්ම ඡන්ද කඩන්නයි. මේ කැඩෙන්නේ පොහොට්ටුවේ ඡන්දනෙ. ඒ කැඩීමේ වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනුත් එ.ජා.පවිරෝධී ගොඩට එකතු වෙනවා මිසක් එ.ජා.පයට වාසි පිලට එකතු වෙන එකක් නෑ කියලයි මම ඒත් හිතන්නේ. මොකද අපි තාමත් සුබවාදීව බලනවා. මේ රටේ සිදුවිය හැකි මහා අනතුර දැකලා විජාතික අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන්න අදහස් කරන රටට ආදරයක් ඇති පිලට එකතු වේවි කියලා තාම හිතනවා.

ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණත් අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති පසුබිමක ශ්‍රී.ල.නි.පයත් තරග බිමට පිවිසීම අනිවාර්යයෙන්ම 50% සීමාව පිළිබඳ ප්‍රශ්නයක් මතු කරනවා නේද? දෙවැනි මනාපය ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් නොවෙන් ඇතිද?

පිළිතුර:- කිසිසේත්ම නෑ. අපි දෙවැනි මනාපයක් කල්පනා කරන්නෙම නෑ. ඒක ඇමෙරිකා එක්සත් ජනපදය සකස් කළ උපායක්. ජාතික ආරක්ෂාව බිංදුවට බස්සපු, රටේ මුදලේ අගය ආරක්ෂා කරගැනීමට බැරි වෙච්ච, ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට නොහැකි වූ මේ රජයට නැවත ජනවරමක් නොදෙන බව මේ තීරණාත්මක පැයේදී ජනතාව පැහැදිලිව තීන්දු කරලා තිබෙනවා. නිරායුධ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලටත් දේපලවලටත් ආරක්ෂාව සලසා දෙන්න බැරි ආණ්ඩුවකට නැවත වතාවක් බලය දීමේ කිසිම තේරුමක් නෑ. අවුරුදු හතරහමාරක් තිස්සේ දුක් විඳලා විඳලා ජනතාව බලා සිටින්නේ මේ ආණ්ඩුවට විරුද්ධව ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට මිස මේ එල්ලෙන කෑලි කෑලිවලට ඡන්ද කඩන්න නෙවෙයි. ඉතිහාසය පුරාම ඒක ඔප්පු කරලා තිබෙනවා. රෝහණ විජේවීර, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, වාසුදේව නානායක්කාර, නන්දන ගුණතිලක, ඔසී අබේගුණසේකර ආදී වශයෙන් ඉදිරිපත්ව තිබුණත් ප්‍රබුද්ධ ඡන්දදායකයන් ඡන්ද බෙදලා නෑ. මහා භීෂණ මැද පවා රැල්ල හැදුණාට පස්සේ තීරණය ගත්තා. අපේ පාක්ෂිකයන්ට අප අවධාරණයෙන් කියන්නේ කුමන හේතුවක් නිසාවත් දෙවැනි මනාපයක් ලකුණු කරන්න එපා.
 
ප්‍රශ්නය:- එහෙත් ඊළඟ ආණ්ඩුවේ තීරණාත්මක සාධකය අගමැති බවත් ඊළඟ ආණ්ඩුව හදන්නේ ශ්‍රී.ල.නි.පය බවත් ජනාධිපතිවරයා පක්ෂ සංවත්සරයේදී කිව්වා. පොහොට්ටුවට ශ්‍රී.ල.නි.පය මගහැර යා හැකිද?

පිළිතුර:- ප්‍රථමයෙන් එන්නේ ජනාධිපතිවරණයනෙ. ඊළඟ ආණ්ඩුව තීරණය වන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල මතයි. එතකොට ජනතාව තමයි තීරණය කරන්නේ ඊළඟ ආණ්ඩුව හදන්නේ කවුද කියලා තීරණය කරන එක. එහෙම නැතුව ඒක තීරණය කිරීම ජනාධිපතිතුමාටවත් ජනාධිපතිතුමාගෙ පක්ෂයටවත් බෑ.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (6)

ඡන්ද කැඩීමේ වාසිය කාටද ?

max Monday, 09 September 2019 09:15 AM

රටම GR ට. ශ්‍රී ලංකා හෝ ජේපි අවතාර, නාගා, පල්ලෙවත්ත වැනි දේශපාලන බින්දුවලට අවකාශ නැත. ඊයේ වියත්මග දේශනය මොනතරම් වියත්ද? මොන තරම් ඉදිරිගාමීද? යන වග GRගේ දේශනය කියෙව්වා නම් වැටහෙනවා ඇත...

:       435       532

katukanna tissaWednesday, 18 September 2019 07:38 AM

මට එතන ඉන්න එක හරි උගතෙක් කියන්න ? ඔතන ඉන්නේ ඔක්කොම ගෝඨාගේ හෙංචයියෝ.

:       0       1

lalithm Tuesday, 10 September 2019 02:57 AM

එත් අතීතයේ කෙරුම් වල අවතාර GR වටේ හොල්මන් කරනවා නේද. ඔය නඩු ටිකට මුහුණදීලා පිරිසිදු වුනොත් තමා හරි. හැන්ගේන්නේ නැතිව වාරණ නියෝග ගන්නේ නැතිව.

:       282       166

sena Tuesday, 10 September 2019 09:58 PM

දයාසිරි මුදලට වහල්වූ ඇමරිකන් වාදියෙක් බව ඔහුගේ පසුගිය ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කලා.පොදු පෙරමුණ පොහොට්ටු ලකුණ වෙනස් කරන්නේ නැහැ කිවුවම දයාසිරි ට ඇතිවූ සතුට අපි දැක්ක දෙරණ රූපවාහිනියෙ පුවත් වලින් පෙරේත .කපටි දේශපාලකයෙක්

:       2       66

naradha Saturday, 14 September 2019 12:33 PM

ඔය කව්රු කයිවාරු ගැහුවත් අද ඕනෙම කෙනෙක් ලංකාවේ දේශපාලනයට යන්නේ තමන් හැදෙන්ටයි. බොහෝ දෙනාගේ දේශපාලනයට යාමේ එකම අරමුණ තමන්ගේ තනතුර භාවිතා කර ව්‍යාපාර කිරීමයි. අද බොහෝ දේශපාලකයින් තමන් රැස් කළ ධනය රටින් පිට සඟවා තිබෙන බව ප්‍රසිද්ධ රහසක්. එබැවින් ඡන්ද දායකයින් අද කළ යුත්තේ එක්කෝ හොරුන් සමග එකතු වී තමනුත් දියුණු වීමයි. එසේ නැතිනම් ඡන්දය දීමෙන් වැළකී සිටීමයි.

:       6       11

Katukanna Tissa Wednesday, 18 September 2019 07:26 AM

අනුන්ගේ රොඩු හොයන් නැතිව තමන්ගේ ගඳ ගහන කුණු ටික සුද්ද කරගත්තොත් හොද නැද්ද ? අර බැංකුවෙන් ගත්ත ලක්ෂ 120 ගෙවන්නේ නැති හොරෙක් කොහොමද රට ගැන කතා කරන්නේ ? බැංකු ලෝන් එකකට අත්සන වැරදිලා ගහන මෝඩයෙක්ද මේ ආර්ථිකය ගැන කතා කරන ඔස්තාර් ? මහා බැංකුව කාපු විදිය අපිට කියනවද ? ඒ කාලේ කාටද කීයටද කින්ද මන්ද කියල දන්නේ නැති ලිදේ ඉන්න ගෙම්බෝ ටික කෑ ගැහුවට මොලේ තියන මිනිස්සු දන්නවා.

:       0       39

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 917 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය
2024 අප්‍රේල් මස 08 447 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ම


සියලු ඡන්ද එක දිනක බැරි ඇයි?
2024 අප්‍රේල් මස 01 818 6

විපක්ෂයේ එකමුතුවක් නොමැති වීම, මුලින් එන්නේ මොන මැතිවරණය ද, මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය ද යනාදි දේශපාලන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල


මැතිසබේ නොම්මර ආණ්ඩුවට රටේ නැහැ
2024 මාර්තු මස 25 496 0

කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කළ ස


ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ
2024 මාර්තු මස 18 801 17

ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග ක


රට හදන්න නව මගකට නව ප්‍රෙව්ශයක්
2024 මාර්තු මස 11 427 6

මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදු වී තිබේ. වාද බේදවලින් හා ගැටුම්වලින් බහුල සමාජය එකමු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site