ඩී. ඇස්. සේනානායක මහතා නිලමේ ඇඳුමින් සැරසී පැරැණි ශ්‍රි ලංකා ධජය අසල.

 

 

දේශයකට හෝ ජාතියකට වීරයන් බිහි වන්නේ යුගයේ අවශ්‍යතාව අනුව යැයි කියමනක් තිබේ. එසේ සලකන කල මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ චාරිතාපදානය සහ එතුමාගේ ජාතික ආගමික සේවය පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ එකී පසුබිමට අනුගතවය. ඩී. ඇස්. සේනානායක මැතිතුමා සහ එතුමාගේ සමකාලීන සටන් සගයන්ගේ ඓතිහාසික කාර්යභාරය නොවන්නට ශ්‍රී ලංකා මාතාව තවත් බොහෝ කාලයක් බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස පවතින්නට ඉඩ තිබුණි.


කෙත්වතු වලින් සරුසාරව ශ්‍රී ලංකාවාසී ජනතාවට බත සපයන අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්ක දෙක ඇතුළත් පුරාණ රජරට වනගහනයෙන් වැසී පැවතීමට ඉඩ තිබුණි. කාලිංග - මාඝ ආක්‍රමණයෙන් විනාශවී නටබුන් බවට පත්වූ පුරා වසර 700ක් පමණ වගවලසුන්ගේ රජදහනක් බවට පත්ව තිබූ මින්නේරිය වැව, පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ වැව, කන්තලේ වැව, අල්ලෙ වැව, පදවිය, කලාවැව ඇලහැර, මිනිපේ ආදී මහා වාරිකර්මාන්ත ඇති නොවන්නට ඉඩ තිබුණි. පැරණි රුහුණු රාජධානියේ සහල් අටුව ලෙස පැවති ගල්ඔය නිම්නය තුළ මහ සමුදුර පරයන තරම්වූ සේනානායක සමුද්‍රය බිහි නොවන්නට තිබුණි. ඩී. ඇස්. සේනානායක චරිතය අප විමසිය යුතු වන්නේ මෙවැනි වූ බහුවිධ සාධකයන් සමග සමපාත වෙමිනි. 


දහඅට වැනි සියවසේ මෙරට ඇතිවූ ජාතික ආගමික ප්‍රබෝධයේ පෙළඹවීම මත ජනතා සේවයට ඇදී ආ සේනානායක පරපුරේ සාමාජිකයෝ එදා බිහිවෙමින් පැවති නව ව්‍යාපාරික පංතියේ ශක්තියද කරණ කොටගෙන එම සටන්වල ආර්ථික බර දැරීමටද  ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුහ. මෙම තත්ත්වය හමුවේ ඔවුහු රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, නිදහස මෙන්ම ආර්ථික සංවර්ධනය උදෙසාත් නොපසුබටව ක්‍රියා කළහ.


මීරිගම, බෝතලේ පෙදෙස නිජබිම් කොට ගත් සේනානායකවරු ඉතා දුර අතීතයකට හිමිකම් කියන පවුල් ඒකකයක් වූ බව පුරාවෘත්යන්හි දැක්වේ. අනුරාධපුර රාජධානි සමයේ දැහැමි සිරිසඟබෝ රජතුමා අත්තනගල්ලේදී හිස දන්දීමෙන් කලුරිය කළ කල්හි නව රාජ්‍යත්වයට පත් ගෝඨාභය රජතුමා අත්තනගල්ලේ පුද බිමක් ඇතිකිරීමට කටයුතු කළේය. මහියංගණ මහා විහාරයේ සිට සිය නියෝජිත පිරිසක් මගින් බෝධි අංකුරයක් එවනු ලැබුවේ මෙම විහාරස්ථානයේ රෝපණය කරනු පිණිසය. අත්තනගල්ලට පැමිණීමට පෙර දින රාත්‍රියේ මෙම පිරිස නවාතැන් ගත්තේ ආසන්න ගම් පියසකය. මෙම බෝ පැළය පාත්‍රයක හිඳුවා රැගෙන ආ අතර පසුදින උදයේ ගමනාරම්භ කිරීමට සූදානම්ව මෙම පාත්‍රය එසවූ නමුත් එය තබා තිබූ තැනින් ඉවත් කිරීමට නොහැකි බව ඔවුන්ට පෙනී ගිය අතර එම පාත්‍රයට පිටින් මුල් ඇද පොළවට සම්බන්ධව තිබීම එයට හේතු විය. එනිසා එම බෝ අංකුරය අත්තනගල්ලට වැඩම කිරීම පිළිබඳව අදහස අත්හළ රාජ දූතයෝ එය එම ස්ථානයේම තිබෙන්නට හැරියහ. එසේ ‘බෝධිය පිහිටි තැන’ යන අරුතින් බෝතලය යන නාමය මෙම පෙදෙසට ලැබුණු බව පැරැන්නෝ පවසති. 

සේනානායක මහතාගේ ප්‍රථම කැබිනට් ඇමැති මඬුල්ල.


බෝතලේ ග්‍රාමයේ ප්‍රභූ පවුලක උපත ලද දොන් බර්තලමියු සේනානායක මහතා මෙරට සම්භාවනීයත්වයට පත් කළ කීර්තිමත් සේනානායක පරපුරේ මෑත යුගයේ පූර්වගාමියාය. ඔහුගේ පුත්‍රයා වූ දොන් ස්පේටර් සේනානායක මුදලිතුමා හාපිටිගම් කෝරලේ සමාජ සේවකයකු මෙන්ම දානපතියෙකු ලෙසද ප්‍රකටව සිටියේය. සමාජයෙන් තමාට නොව තමාගෙන් සමාජයට විය යුත්තේ කුමක්දැයි නිතරම පාහේ කල්පනා කළ යහපත් පුරවැසියෙක් විය. සංඝයා වහන්සේ කෙරෙහි අපමණ භක්තියකින් යුතුව කටයුතු කළ එතුමා තම ධනයෙන්ම විහාරස්ථාන අලුතෙන් තනවා ශාසනයට පූජා කළේය. එකල ශ්‍රී ලංකාවේ ගොඩනැගෙමින් පැවති ආර්ථික දියුණුව සිංහලයන් වෙතද උදාකර ගත යුතු යැයි කල්පනා කළ පුරෝගාමීන් අතර දොන් ස්පේටර් සේනානායක මහතාද විය. 


එම යුගයේ ව්‍යාපාරික මට්ටමෙන් දියුණු වෙමින් පැවති වතු වගාව කෙරෙහි යොමු වූ ස්පේටර් සේනානායක මහතා ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක පොල් වගාකර වැවිලි ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම මිනිරන් පතල් කර්මාන්තයට සම්බන්ධ වෙමින් ප්‍රධාන පෙළේ මිනිරන් අපනයනකරුවකු බවටද පත් විය. මේ අනුව පළාතේ ප්‍රකට දේපළ හිමියෙකු ලෙස පමණක් නොව සමාජ නායකයකු ලෙසද ප්‍රසිද්ධියක් දිනා ගත්තේය. 

සේනානායක මහතා ගොයම් කැපීමේ උත්සවයක ගොයම් කපමින්..


කෙහෙල්ඇල්ල වලව්වේ කැතරින් එළිසබෙත් පෙරේරා ගුණසේකර මෙනවිය සමග විවාපත්වීමෙන් මෙම යුවළට දරුවන් සිව් දෙනෙකු ලැබුණි. දොන් චාල්ස් (ඩී. සී.), ෆෙඞ්රික් රිචඞ් (ඇෆ්. ආර්), දොන් ස්ටීවන් (ඩී. ඇස්.) යන පුතුන් තිදෙනාද මේරි ෆ්‍රාන්සස් නම්වූ දියණියද එම හතර දෙනාය. 


පියාගේ සමාජ සේවා හා ජාතික, ආගමික කටයුතුවලින් ආභාෂය ලද මෙම දරුවෝද අනුන්ගේ දුකේදී උණුවන හදවත් ඇතිව අන්‍යයන්ට උදව් උපකාර කරමින් බාලවියේ සිටම පොදු ජනයා ඇසුරේ සම්බන්ධතා ගොඩනගා ගනිමින් ජීවිතය ආරම්භ කළහ. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ මාතලේ ශාන්ත තෝමස් විදුහලෙන් ලබන ලද අධ්‍යාපනයෙන් පසු ඇෆ්. ආර්. බැරිස්ටර්වරයකු ලෙස බි්‍රතාන්‍යයේදී සමත්වූ අතර ඩී. සී. සහ ඩී. ඇස්. පියාගේ ව්‍යාපාර හා වැවිලි කටයුතුවලට සහාය වූහ. 

සේනානායක මහතා (සිටගෙන) අමදෝරිස් මැන්ඩිස් සහ එෆ්. ආර්. සේනානායක මහතා (පුටු මත හිඳගෙන) බිම හිඳගෙන මුලින් සිටිනුයේ කරෝලිස් නම් අයෙකි.


බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය පැවති මෙම යුගයේ  දේශීය  ජනතාව හැකි සෑම ආකාරයෙන්ම භේදකොට පාලනය ගෙන යාම ඔවුන්ගේ උපක්‍රමය විය. ගැමියාගේ සියලු කටයුතුවලදී නායකත්වය දෙන්නේත් උපදේශ සපයන්නේත් මහා සංඝරත්නය බවත් එම මාර්ග දේශකත්වය බිඳ දමනතුරු තමන්ගේ පාලනය ස්ථාවර නොවන බව තේරුම් ගිය නිසා ඒ සඳහාත් ජාතිය දුර්වල කිරීම උදෙසාත් එමෙන්ම ගිලී යන ආර්ථිකයට සහනයක් ලබාගැනීම පිණිසත් සෑම ගමක් පාසා මත්පැන් අලෙවිසල් (තැබෑරුම්) විවෘත කිරීමට රජය කටයුතු කළේය. මෙම ක්‍රියාමාර්ගයේ අනර්ථය වටහා ගත් එකල සිටි සියලු දේශ හිතෛෂී ප්‍රභූවරු සංඝරත්නයේද උපදෙස් හා සහාය ඇතිව මෙම සමාජ ව්‍යසනයට එරෙහිව සංවිධානය වීම ඇරඹූහ. දේශීය ජනතාව මත්පැන් කෙරෙහි යොමු කිරීම මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වන බවත් සුචරිතවත් සමාජයක් අයහපතට ඇද වැටෙන බවත් පෙන්වා දෙමින් මෙම උවදුරට එරෙහිව ජාතික මට්ටමේ අරගලයක් දියත් කළහ. මෙම සංවිධානය හැඳින්වූයේ අමද්‍යප ව්‍යාපාරය යන නමිනි. හාපිටිගම් කෝරලයේ මෙම පිරිසට නායකත්වය දුන්නේත් දොන් ස්ටේපර් සේනානායක මුදලිතුමාය. ඔහුගේ පුතුන් තිදෙනාම ඔහුට උපරිම සහාය ලබාදුන්හ. පානදුරේ වාදයෙන් ලද ජයග්‍රහණයේ යශෝරාවය ඔස්සේ මෙරටට පැමිණි කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්, පැට්‍රොවිනා බ්ලැවැට්ස්කි, ඇනී බැසන්ට් ආදීන්ගේ ආගමනය සිදුවූවේත්, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා, පියදාස සිරිසේන, දොස්තර ඩබ්ලිව්. ඒ. ද සිල්වා, රිචඞ් සල්ගාදු, ආතර් වී. දියෙස්, දොස්තර සී. ඒ. හේවාවිතාරණ ආදී බොහෝ පිරිසක් අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වූවේත් මෙම වකවානුවානුවේදීය. එය දීප ව්‍යාප්තව ශක්තිමත් බලවේගයක් බවට පත්වෙමින් තිබියදී බි්‍රතාන්‍යයන්ගේ නොමද සැකයකටද ගොදුරුවීම නොවැළැක්විය හැකි විය.

 

හිඳගෙන වමේ සිට: නැගණිය මාරියා ෆ්‍රන්සස් සේනානායක, දොන් ස්පෙටර් සේනානායක සහ දෝන කැතරිනා සේනානායක.
සිටගෙන වමේ සිට: බෑනණුවන් වන එෆ්. එච්. බණ්ඩාරනායක පුතුන්වන වන ඩී. එස්. සේනානායක, ඩී. සී. සේනානායක සහ 
එෆ්. ආර්. සේනානායක

 


විශේෂයෙන්ම 1915 ආරම්භ වූ සිංහල - මුස්ලිම් ජාතිවාදී අරගලයේදී එවකට ආණ්ඩුකාරවරයාව සිටි රොබට් චාමස් අදහස් කළේ මෙම සිදුවීම මෙරට දේශපාලනයට මැදිහත්ව සිටින ජර්මන් චරපුරුෂයන් විසින් මෙහෙයවනු ලබන කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ලෙසය. පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ වී ජර්මනිය, තුර්කිය, ඔස්ටි්‍රයාව ආදී බලකඳවුර එක් පසෙකටත්, බි්‍රතාන්‍ය, ප්‍රංශය ආදී කඳවුර තව පසෙකටත් බෙදී මුහුණලා සටන් වදින මොහොතක ලංකාවේ මෙවැනි අරගලයක් මතුවීම ලංකා යටත් විජිතයේ පාලනය මාරු කිරීමට සිදුවන්නක් යැයි සැක කිරීම පුදුමයට කරුණක් නොවීය. එනිසා රටපුරා යුද්ධ නීතිය පනවා කලබල මැඩ පැවැත්වීම යුරෝපීය, බෙංගාලි, ගුජරාටි, පන්ජාබ්, මරාති සහ ගුර්කා ආදී විදේශීය හමුදාවන්ට භාරකිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් විය.

මේ වන විට සියලුම සිංහල නායකයන් අත්අඩංගුවට ගනු ලැබුණි. එවකට පොලිස්පතිව සිටි ඩව්බිගින් නමැති කෘරතර මිනිසා නියෝග කළේ ‘වැරදිකරන්නෙකු හෝ වේවා නිවැරැදි කරුවකු හෝ වේවා මරා දමනු’ යනුවෙනි. මෙම නියෝගයෙන් දිරිමත් වුණු විදේශීය භටයෝ සිය ගණන් අසරණ නිරායුධ මිනිසුන් මැසි මදුරුවන් මෙන් මරා දැමූහ. මෙම නීති විරෝධී නියෝගය පොලිස්පතිගේ තනි උවමනාවට සිදුවූවක් නොවන බවත් එය රොබට් චාමස් ආණ්ඩුකාරවරයාගේ උවමනාව පරිදි සිදුවූවක් බවත් ප්‍රසිද්ධ කරුණක් විය. මෙම අවස්ථාවේදී සිරභාරයේ සිටි හෙන්රි පේද්‍රිස් නමැති ධනවත් දේශහිතෛෂි තරුණයාට වෙඩි තබා මරාදමා ඒ මොහොතේ ඔහු වාඩිවී සිටි ලේ වැගුරුණු පුටුව ගෙනවුත් ඇෆ්. ආර්. සේනානායක මහතාට පෙන්නූ සුදු ජාතික ජේලර්වරයා “හෙට උඹලාට සිදු වන්නේත් මෙයම තමා”යි උද්දාමයෙන් යුතුව පැවසීය. ඇතිවෙමින් තිබෙන භීෂණකාරී මර්දනය වටහා ගත් ඇෆ්. ආර්., රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා බි්‍රතාන්‍යට යැවුවේ පෙර සඳහන් කළ කෘර නීති විරෝධී නියෝගයේ මුල් පිටපත ඉතා රහසිගතව සපත්තුව තුළ සඟවාගෙනය. ලෝක යුද්ධය ඇවිළී ලංකාවේත් යුද්ධ නීතිය පනවා තිබූ භයානක මොහොතක වුවද අයුක්තියට අසාධාරණයට බිය නොවී දිවි පරදුවට තබා ක්‍රියාත්මක වූ මෙම දේශප්‍රේමීන් ගැන අද කථා කරන අය ඉතා විරලය.

සේනානායක මහතා වැඩ කරන ජනතාව සමග.

 

බි්‍රතාන්‍යයට ගිය ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා බි්‍රතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනකු තම පාර්ශ්වයට නම්වාගෙන දැඩි සටනක් ගෙන ගියේය. මාස ගණනක් ලන්ඩනයේ නැවතී එහි කාර්යාලයක් විවෘත කරගෙන ගෙනගිය සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ඊ. ඩබ්ලිව්. සමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුකාර සර් රොබට් චාමස් ආපසු කැඳවූ බි්‍රතාන්‍ය රජය යහපත් මිනිසෙකු වූ සර් ජෝන් ඇන්ඩර්සන් නව ආණ්ඩුකාර ධුරයට පත්කර එවීය. බෞද්ධ නායකයන්ගේ ජීවිතය බේරුණු අතර ඔවුහු සිරභාරයෙන් නිදහස් කරන ලදහ.  රටේ සාමය ස්ථාපිත වී පුරවැසියන්ගේ ජීවිතය සුරැකී මිනිස් නිදහස ආරක්ෂා විය. මෙම දැවැන්ත කාර්යභාරය උදෙසා අවශ්‍ය බරපැන මුළුමනින්ම දැරුවේ ඇෆ්. ආර්. සේනානායක මැතිතුමාය. යුද්ධ නීතිය ඉවත් විය. 1848 දී පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා ආදීන් විසින් මෙහෙයවා පරාජයට පත්වූ දෙවැනි නිදහස් අරගලයට පසු ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලබාගැනීම උදෙසා වූ ජයග්‍රාහී සටනට ආරම්භය සැපයූවේ මෙම සිද්ධි මාලාවය. සාමය ඇතිවීමෙන් පසු ඩී. සී., ඇෆ්. ආර්. සහ ඩී. ඇස්. යන සේනානායක සහෝදරයන් තිදෙනාම බන්ධනාගාරයෙන් නිදහස්ව බෝතලේ වලව්වට ආපසු ගියේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මිදී ජාතික නිදහස තහවුරු කරනතුරු මෙම සටන අත්නොහරින්නෙමු යන ස්ථිර චේතනාව සිත්හි ධාරණය කර ගනිමිනි. එය එසේම සිදුවිය.


ඉතිරි කොටස ලබන සතියට...

සෝමසිරි වික්‍රමසිංහ