(අජන්ත කුමාර අගලකඩ) 

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත්තේද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වේ. 


මෙය රජයට පවරාගත යුතු බව ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර තවත් ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇත්තේ මෙය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා යුතු බව යැයි රජයේ ආරංචි මාර්ග කියයි. 

රවී කරුණානායක, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුය යන ස්ථාවරයේ සිටින අතර ලක්ෂ්මන් කිරිඇල්ල, දොස්තර රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා යුතුය යන ස්ථාවරයේ සිටින බව වාර්තා වේ. 
මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කොටසක් ලෙස පවත්වාගෙන යා යුතු බව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා රජයට යෝජනා කර ඇත. 


මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම විදේශීය ආයෝජනවලට බලපෑමක් විය හැකි බැවින් එය රජයට පවරා නොගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා යුතු බව රාජිත සේනාරත්න සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමැතිවරුන් යෝජනා කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාද‌ා පැවැති කැබිනට් රැස්වීමේදී මඩකළපුව විශ්වවිද්‍යාලය සම්බන්ධ කාරණාව සාකච්ඡාවී ඇති නමුත් ඒ පිළිබඳව ඇමැතිවරුන් අතර එකඟතාවක් ඇති නොවීය.