ලෝකය පුරා මාක්ස්වාදය ස්ථාපිත කිරීම උදෙසා වැඩ කළ නායකයෝ සාම්ප්‍රදායික හා නූතන ජන සංනිවේදනයේ හැකියාව පිළිබඳව විශ්වාසය තැබූහ. විශේෂයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ බලය පිළිබඳව ඔවුහු නිරීක්ෂණාත්මකව පසුවූහ. එයින් තොරව මිනිසුන් අතර සංනිවේදනය තරමක් දුෂ්කර වන බව ඔවුන් දැන සිටියේ තමන්ගේම අත්දැකීම් සම්භාරයෙනි.
මෙහිදී ඔවුන් විසින් භාවිතා කල සංනිවේදනය “විකල්ප සංනිවේදනය” නමින් හැඳින්විණි. මෙය ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ (Alternative Communication) යනුවෙනි. විකල්පය (Alternative) යන වචනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ දී ඇත්තේ මෙවැනි නිර්වචනයකි. 
''Stating or offering the one or other of two things of which Either may be taken''

 

මෙයින් අදහස් වන්නේ දෙන ලද හෝ ප්‍රකාශ කරන ලද දේ, දෙකක් හෝ වැඩි ගණනකින් එකක් තෝරා ගැනීම, යන්නයි. 
මාක්ස්වාදීන්ට හැම විටම විකල්ප සංනිවේදනයක් ගොඩනැගීමට සිදුවෙයි. එසේ වන්නේ ජාතික තලයේ සංනිවේදන පද්ධතිය ඔවුන්ට එරෙහිව මහා ඝෝෂාවක් කරන බැවිනි. ඒ අනුව ඓතිහාසික පැරිස් කොමියුනයේ සිට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ දක්වාම ප්‍රායෝගිකව විප්ලවය පිළිබඳ වෙහෙසවන මිනිසුන්ට මේ අභියෝගයට මුහුණ දීමට සිදුවෙයි. එදා ලෙනින් පුවත්පත පිළිබඳව පැවසූ අදහසක් මෙහිදී සඳහන් කිරීම උචිතය.


“පුවත්පත දේශපාලන අධ්‍යාපනය දීමටත්, පක්‍ෂයට මිතුරන් දිනාගැනීමටත්, අදහස් විසුරුවා හැරීමටත් පමණක් නොවේ. පුවත්පත සාමූහික ප්‍රචාරකයෙක්, උද්ඝෝෂකයෙක් පමණක් නොව සංවිධායකවරයෙක්ද විය යුතුය.


මුද්‍රිත අකුරුවල පවතින මේ අසාමාන්‍ය බලය නිසා ලොවේ සියලු මාක්ස්වාදීහු පුවත්පත භාවිත කළහ. එතැනින් නොතැවතුණු ඔවුහු කැසට් පටය, ගුවන් විදුලිය, සිනමාව සහ රූපවාහිනිය වැනි ශ්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍යයන්ද ප්‍රයෝජනයට ගත්හ. පාතාල සිනමාවක් බිහි කිරීමෙන් නිකරගුවාවේ සැන්ඩි්‍රනිස්ට්‍රා විප්ලවවාදීහු සිය නිපුනතාව සහ විශිෂ්ටත්වය පෙන්නුම් කළහ. අද බොහෝ සමාජවාදී ව්‍යාපාර අන්තර් ජාලය තුළ සිය අඩවි පිහිටුවා ගනිමින්ද, ඊ-මේල් භාවිත කරමින්ද සිටිති.


මේ අනුව බලන විට ලාංකීය විප්ලවයේ නිර්මාතෘවරයා වූ රෝහණ විජේවීරයන්ද ජන සංනිවේදනයේ වැදගත්කම වටහා ගත්තකු විය. ඔහු සාම්ප්‍රදායික මාධ්‍ය සේම නූතන සංනිවේදන ජාලය පිළිබඳව ද ඉමහත් ඇල්මකින් යුතුව කටයුතු කළ බව පෙනේ. ඉතා පැහැදිලිව ඔහු නිර්මාණාත්මක සංනිවේදකයකු (Creative Communicator) ලෙස පුද්ගලාන්තර හා සමූහ සංනිවේදනය ද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය ද එක පැහැර භාවිත කරන්නට පසුබට නොවූයේය.


1971 සන්නද්ධ නැගිටීමට පෙර සිටම රෝහණ විජේවීරයන් පක්‍ෂයට පුවත්පතක් නිර්මාණය කිරීම පිළිබඳව උනන්දු විය. එහි ප්‍රතිඵලය වූයේ “ජනතා විමුක්ති” රතු ලංකා වැනි පුවත්පත් බිහි වීමයි. ඒවා ලාංකීය විකල්ප සංනිවේදනය පිළිබඳ ප්‍රථම අත්දැකීම් ලෙස සටහන් කළ යුතුවේ. එසේම හෙතෙම පෝස්ටර් වැනි සරල දෘශ්‍ය මාධ්‍යයන්ගේ හැකියාවත් මනාව වටහා ගත් බව පෙනෙන්නේ. එක් රැයින් රට පුරා ඒවා අලවා තැබීම මගින් මිනිසුන්ගෙන් කුතුහලය හා උනන්දුව පිටාර ගැලූ බැවිනි. විජේවීරයන් මෙසේ අවාචිකව සංනිවේදනය කළේ තමන් අන්‍යයන්ගෙන් වෙනස්, විනයක් හා ක්‍රියාන්විත බවක් ඇති විප්ලවීය නායකයකු වන්නාසේම තමන් බිහිකර ඇත්තේ වෙනස් වූ දේශපාලන ව්‍යාපාරයක් බවයි. මෙසේ වැඩ කරගෙන යන අතරතුරදී විජේවීරයන්ගේ විකල්ප සංනිවේදනය ජයවර්ධන ආණ්ඩුවට හිසරදයක් වූ බව පෙනෙන්නට තිබිණි. ඔවුන්ගේ නිහීන කෙනහිලි සහ මඩ ප්‍රහාරයන් පිළිබඳව වරෙක විජේවීරයන් මෙසේ සඳහන් කළේය.


“අපේ මධ්‍යම පුවත්පත වූ “ජනතා විමුක්ති” ධනේෂ්වර පංතියේ සියලු බාධක මධ්‍යයේ වරකට පිටපත් 50,000 ට ආසන්න ගණනක් අලෙවි වෙමින් තිබිණි. එලෙසම වෘත්තීය අංශයේ පුවත්පත වූ “රතු ලංකා” හි පිටපත් 15,000ක් අලෙවි විය. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගමින් සිටි අපි අපේ අදහස් ප්‍රසිද්ධියේත් රට පුරාමත් හැකි අයුරින්මත් ප්‍රචලිත කිරීමෙහි යෙදී සිටි බවත් සත්‍යයකි. අපේ ධජය වටා එක්රොක් වෙමින් සිටි දස දහස් ගණන් ජනී ජනයා කුමන්ත්‍රණයකට හවුල් කර ගත්තවුන් යැයි පවසා 20 වැනි සියවසේ මිනිස් බුද්ධියට සරදම් කරන්නට, නිගරු කරන්නට හැකි කෙනෙක් වෙත්ද?


මෙයින් අදහස් වන්නේ අන් කිසිවක් නොවේ. අධිපතිවාදී සංනිවේදනයට දැවැන්ත අතුල් පහරක් එල්ල වූ නිසාම ධනපති පංතියේ උදවිය වියරු වැටී ක්‍රියා කළ බවයි. මෙතෙක් ලේක්හවුස් බේරේගෙදර හරහාද, විජයවර්ධන හාමුලාගේ පත්තර බිස්ස හරහා ද, ගුණසේන සහ සමාගමේ ‘දවස’ හරහා ද තට්ටු මාරු දේශපාලනයට බැලමෙහෙකම් කළ පත්තර සම්ප්‍රදායට ජ.වි.පෙ විසින් කොන්දක් ඇති පත්තර කලාවක් හඳුන්වා දී තිබිණි.


මෙහිදී යමෙකු ප්‍රශ්නයක් නැගීමට ඉඩ ඇත. එනම් මුල්ම විකල්ප පුවත්පත් බිහි කරන ලද්දේ ඇන්. ඇම්. ලා විසින් නොවේද යන්නයි. සැබෑය. එසේ ප්‍රශ්න කිරීමේ වරදක් නැත. දෙවන ලෝක යුද්ධයට පෙර පටන් සමසමාජය විසින් පුවත්පත් නිකුත් කරන ලදි. එසේම “සරල දෘෂ්‍ය මාධ්‍ය” ලෙස අත්පත්‍රිකාද බෙදා හරිනු දක්නට ලැබිණි. මේ වායේ කිසියම් විකල්ප හැඩරුවක්ද තිබිණි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔවුන් ධනේශ්වරයට කොන්දේසි විරහිතව එරෙහි වූවාද යන්නයි.” සම්මතයේම හැඩරුව හා විඥානය ඇති ප්‍රකාශන විකල්ප මාධ්‍ය ලෙස හැඳින්විය හැකිද යන්න ප්‍රශ්නයකි. එය වෙනම විග්‍රහ කළ යුතු න්‍යායික සහ සංනිවේදන විෂයට අයත් ප්‍රශ්නයකි. ඒ කෙසේ වුවත්, 1970 වන විට පැරණි මෙන්ෂෙවිකයන්ගේ “විකල්ප සංනිවේදනය” ක්‍රියාත්මක වූයේ කවුරුන් වෙනුවෙන් දැයි මේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.


“පෝස්ටර් පත්‍රිකා ඇලෙව්වත්, පුවත්පත් විකුණුවත්, අපේ සහෝදරවරුන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමත්, පහර දීමත්, ප්‍රශ්න කිරීමත් දිගටම කරගෙන යන ලදි. අපගේ එක් පුවත්පතක් වූ “දේශප්‍රේමී” මුද්‍රණය කළ මුද්‍රණාලයට ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනෙකු විසින් ටැලිෆෝන් කර එය මුද්‍රණය නොකරන ලෙස දැන්වීම නිසා එම පුවත්පත නවතාලීමට සිදුවිය. “ජනතා විමුක්ති” මුද්‍රණාලයට නිරන්තරයෙන් රහස් පොලීසිය කඩා වැදීමත්, පුවත්පතේ වැඩ කළ සහෝදරවරුන් හතරවැනි තට්ටුවේ රහස් පොලිස් මූලස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කිරීමත්, නීති විරෝධී ලෙස පින්තූර ගැනීම හා ඇඟිලි සලකුණු ගනිමින්, පුවත්පතේ පළ කිරීමට මුද්‍රණාලයට භාරදෙන ලිපි, රහස් පොලිස් නිලධාරීන් විසින් පැහැරගෙන යාමත් සිදුවිය “සමසමාජය” “කම්කරුවා” වැනි පුවත්පත්වලට වෙන විදියකටත් සැලකීමට හේතුව කුමක්ද?”


විජේවීර සහෝදරයාගේ මෙම ප්‍රකාශයෙන් කාරණා දෙකක් තහවුරු වෙයි. පළමුවැන්න, ජ.වි.පෙට එරෙහිව ආණ්ඩුව අධිපතිවාදී සංනිවේදකයකු ලෙස ක්‍රියාකිරීමයි. දෙවැන්න, සාම්ප්‍රදායික වමේ පක්‍ෂ පංති සහයෝගීතාව තුරුලේ නැළවෙමින් සිටි බවයි. පසුකලෙක ජ.වි.පෙට එරෙහිව “හංස රෙජිමේන්තු” බිහිකිරීම දක්වා ඉදිරියට ආවේ මේ ද්‍රෝහී ක්‍රියාදාමයයි.


විජේවීර සහෝදරයා සිය ප්‍රකාශයේ මුලින්ම සඳහන් කරන පෝස්ටර් භාවිතය පිළිබඳව තවත් කරුණු කිහිපයක් එකතුකිරීම අත්‍යවශ්‍යය. මේ අනුව බලන විට පෝස්ටරය අයත් වන්නේ සරල දෘශ්‍ය මාධ්‍ය ගණයටය. සත්තකින්ම ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණ අවස්ථාවේ සිට අද දක්වාම ඊටම සුවිශේෂ වූ පෝස්ටර් කලාවක් දැකගන්නට ඇත. අන් කිසිදු දේශපාලන පක්‍ෂයක් භාවිතා නොකළ අන්දමේ පෝස්ටර් අලවන්නට ජ.වි.පෙ සමත් විය. අනෙක් අතට ඒවායේ අකුරු මෝස්තර අතින් අඳින ලද ඒවා වූයේය. වර්ණ සංකලනය, පෝස්ටරයේ ප්‍රමාණය, ඇතුළත්වන කරුණුවල සංක්‍ෂිප්ත බව, පාරිභාෂිත වචන භාවිත නොකිරීම වැනි කාරණා අතින් ජ.වි.පෙ පෝස්ටර් පරදවන නිර්මාණාත්මක කුසලතාවක් දක්වන්නට කිසිවකුට නොහැකි විණි. එහෙත් ජ.වි.පෙ පෝස්ටර් පිළිබඳ ඉතා වැදගත්ම කරුණ එය නොවේ. වඩාත් සංවිධානාත්මක සුළු ගුණයෙන් යුතුව, ඒවා එකම මොහොතක රට පුරාම අලවන්නට සාමාජිකයන් තුළ පැවැති දක්ෂතාව හා කැපවීමයි.


මුලින්ම ලාංකීය ජන සමාජය මවිතයට පත් වූයේ ජ.වි.පෙ පෝස්ටර් කලාව පිළිබඳව දැක් වූ මනා නිපුණතාව නිසයි. මෙබඳු පෝස්ටර් අලවන්නෙකු ඔවුන් කිසිදාක දැක තිබුණේ නැත. ඔවුන් කොතැන සිට පැමිණියේද, කොතැනකට ගියේද කියා කියන්නට කිසිවකුට හැකි නොවිණි. අනෙක් අතට ජ.වි.පෙ පෝස්ටර් හැම විටම නැවුම් සටන් පාඨ ඉදිරිපත් කළේය. ඒවා ජනතාවට හුරුපුරුදු බසින් ලියැවී, තමන්ට හුරුපුරුදු තැන්වල පිළිවෙළකට අලවා තිබිණි. ඇතැම් විට ළඟාවීමට දුෂ්කර ගල් පර්වතවල, පාලම් ඇඳිවල මෙබඳු පෝස්ටර් අලවා තිබිණි. කාලයක් ගතවන විට මේවායේ සංදේශ ග්‍රහණය කර ගැනීමටත්, ඒවා සිය තර්කයන්ට ගළපා ගැනීමටත් ජනයා උත්සුක වූහ. මේ අනුව ප්‍රාථමික දෘශ්‍ය මාධ්‍යයක් වූ පෝස්ටරය සතු උපරිම හැකියාවෙන් ප්‍රයෝජන ගන්නට ජ.වි.පෙ සමත්ව තිබුණි. ඒවායේ අනන්‍යතාව කොතෙක්ද කියතොත් අද පවා බොහෝ දෙනෙකුට ජ.වි.පෙ පෝස්ටරය හා එසේ නොවන පෝස්ටරය සැණින් හඳුනා ගැනීමට පිළිවන.


පෝස්ටර් හා පත්‍රිකා පිළිබඳ අදහස් දැක්වීමට සමගාමීව විජේවීර සහෝදරයා විසින්, පුවත්පත පිළිබඳවත් ඉහත උධෘතයේ අදහස් දක්වා ඇත. පුවත්පත වඩාත් සක්‍රීය උද්ඝෝෂකයකු හා සංවිධායකයකු ලෙසින් ක්‍රියාත්මක වූ නිසා එයට මර්දනය එල්ල වූ බව පැහැදිලිය. එක්වරෙක “ජෝන් මිල්ටන්” නැමැති සාහිත්‍යවේදියා පැවසුවා සේ “මුද්‍රිත අකුරු තහනම් කිරීමට” ධනපති ආණ්ඩුවට නොහැකි වූ නිසා ඔවුන් සිටියේ දැඩි කනස්සල්ලෙනි. අන් කිසිදු ලාංකීය වමේ පක්‍ෂයක් විසින් භාවිත නොකළ අපූර්ව සංනිවේදන ජාලයක් ජ.වි.පෙ ට තිබුණි.


එහෙත් 1971 ධවල භීෂණයෙන් පසුව ජ.වි.පෙ මුද්‍රිත සංනිවේදන ජාලය තාවකාලිකව නැවතිණි. එසේ වුවද යළිත් 1977 සිට 1983 දක්වා ජ.වි.පෙ විසින් පුවත්පත් ගණනාවක් මුද්‍රණය කරන ලදි. “නියමුවා”, “සීනුව”, “රතු ලංකා” වැනි සිංහල මාධ්‍ය පුවත්පත් ද  'Red Power' නැමති ඉංග්‍රීසි පුවත්පත්ද “සෙන් ශක්ති” වැනි දමිළ පුවත්පත් ද අධිපති සංනිවේදන ජාලයට එරෙහිව මෙහෙයවීමට විජේවීර සහෝදරයා උත්සුක විය. එසේ වුවද 1983 දී පක්‍ෂය තහනම් කිරීමෙන් පසු රෝහණ සහෝදරයා භාවිත කරනු ලැබුවේ වඩාත් හුරුබුහුටි, වඩාත් හෘදය සංවේදී මාධ්‍යයකි. ඒ නූතන තාක්‍ෂණයේ සීඝ්‍ර දියුණුවට සමගාමීව ඉපැදුණු “කැසට් පටයයි” 


මේ අපූරු හුරුබුහුටි භාණ්ඩය ලංකාවට ආවේ 1970 දශකයේ අගභාගයේදීයි. විශේෂයෙන්ම 1977 න් පසු ඇතිකළ විවෘත ආර්ථිකයේ ඵලයක් ලෙස මෙය ශීඝ්‍රයෙන් ප්‍රචලිත විය. මුලින්ම එය ගම් දනව් කරා පැතිර ගියේ මැද පෙරදිග ගිය උදවිය සිය ප්‍රියයන් වෙත කටහඬ පටිගත කර එවන බොහෝ සංවේදී මෙවලමක් ලෙසිනි. ඒ නිසාම බොහෝ නිවෙස්වල 1980 දශකය වන විට කැසට් පටය අනිවාර්ය භාණ්ඩයක් බවට පත්වී තිබූ බව පැහැදිලි කාරණයකි.


1983 පක්‍ෂ තහනමෙන් පසුව ධනේශ්වර මිලිටරි යන්ත්‍රයෙන් ව්‍යාපාරය රැකගනු වස් සැඟවී සිටි විජේවීරයන්ට කැසට් පටය තුළ ඇති සංනිවේදන සමීපස්ථභාවය අවබෝධ වූයේ කවරදාදැයි කිව නොහැකිය. එහෙත් ඔහු ඇතුළු පක්‍ෂයට සිය ජනතාව ඇමතීමට මෙය අපූරු උපක්‍රමයක් බව සිතෙන්නට ඇත. මුද්‍රිත අකුරු සේ දෘෂ්‍යමාන නොවීමත්, සුරැකිව එහා මෙහා ගෙන යා හැකි වීමත්, කණ්ඩායම් වශයෙන් එකට හිඳ, එකම මොහොතේ අසා සිටීමට හැකිවීමත් යන සාධනීය ගුණාංග රැසක් කැසට් පටය සතුව තිබිණි. අනෙක් අතට එය ශ්‍රවණය කළ හැකි සජීවී කටහඬක් අන්තර්ගත වූවකි. මුද්‍රිත අකුරු සේ සංදේශය ග්‍රාහකයාගේ සිත තුළ ස්ථාපිත නොවීම අඩුපාඩුවක් වුවද, පක්‍ෂය තහනම් කළ යුගයක, පුවත්පත් මුද්‍රණය නොවන යුගයක, කැසට් පටය මගින් බලපෑම් කිරීමේ හැකියාව වැඩි බව විජේවීරයන් ඇතුළු ජ.වි.පෙ නායකත්වය තේරුම් ගන්නට ඇත.


මේ සියලු කාරණා යටතේ විජේවීර සහෝදරයා යුහුසුළුව ක්‍රියාත්මක විය. ජයවර්ධන විසින් ඔහුට නැගූ චෝදනාව වූයේ දෙමළ කොටි සංවිධානය සමඟ එක්ව යාපනයේ කල්ගත කරන බවයි. මේ බව අඟවන මඩ පෝස්ටරයක්ද ආණ්ඩුවේ වියදමින් මුද්‍රණය කර රට පුරා අලවන ලදි. කාටුන් පින්තූර සහිත එම පෝස්ටරයේ දැක්වුණේ දෙමළ කොටි ගරිල්ලා නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ විජේවීර කරට අතදාගෙන සිටින අවස්ථාව දැක්වෙන්නකි. මෙය බරපතළ මඩ ප්‍රහාරයක් වුවද, මඳ සිහිබුද්ධියක් ඇත්තෙකුට නම් ජයවර්ධනගේ විකාර තර්කයේ සාවදභාවය වැටහෙනු ඇත. මක්නිසාද යත්, ඔවුන් ජ.වි.පෙ තහනම් කළේ ජූලි කලබලවලට සම්බන්ධ යැයි සලකාගෙනය. දෙමළ ජනතාව සංහාරය කිරීමට ජ.වි.පෙ හවුල් වූවා නම් ප්‍රභාකරන් සමඟ එක්ව උතුරේ සිටිය හැකිද?


එහෙත් මෙවැනි සියුම් කල්පනාවන් ජනයාගේ සිත තුළ හටගන්නේ නැත. එබැවින් මේ සියලු කරුණු සලකා විජේවීරයන් විසින් “ඊළමට විසඳුම කුමක්ද?” යන මැයෙන් රහසිගත කැසට් පටයක් නිකුත් කරන ලදි. මෙය පටිගත කරන ලද්දේ 1985 ජූනි මාසයේදීය. පසු කලෙක එම දේශනය පොත් පිංචක් ලෙසද මුද්‍රණය විය. මෙම කැසට් පටය හොර රහසේ සවන් දෙන්නට වැඩ පිළිවෙළක් ජ.වි.පෙ සාමාජිකයන් විසින් දියත් කර තිබිණි. එම කැසට් පටය ආරම්භ වන්නේ විජේවීරයන්ගේ ගැඹුරු ස්වරයෙනි.
සහෝදර ලක් වැසියනි.


මේ හඬ ඔබට පුරුදු බවට සැකයක් නැත. ජනාධිපතිවරණයේදී හා ඊනියා ජනමත විමසුමේදී ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ඔබ මේ හඬට සවන් දී ඇත. ජනතා විමුක්ති පෙරමුණ රට පුරා පවත්වන්නට යෙදුන මහා ජන රැලිවලදී ඔබ මේ හඬට සවන් දී ඇත. ඒත් පසුගිය වසර දෙක මුළුල්ලේ ඔබට මගේ හඬට සවන් දිය නොහැකි විය. ඒ ජයවර්ධන - තොණ්ඩමන්ගේ දේශද්‍රෝහී, ජනතාද්‍රෝහී පාලනය විසින්, ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ නින්දිත අවලාද නගා තිරස්චීන ලෙස මර්දනය කිරීම සඳහා එය නීති විරෝධී කර අප අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රසිද්ධියේත්, අප මරාදමන ලෙස අප්‍රසිද්ධියේත් නියෝග කොට අප ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණ සැලැසුම් කරමින්, ඒවා ක්‍රියාත්මක කරවීමට සිය කුලී ඒජන්තයන් පිරිසක් යොදවා ඇති හෙයින් මේ දේශද්‍රෝහී ඔටුණු පලන් චෞරයන්ගෙන් රටත්, ජනතාවත් බේරා ගැනීම සඳහා ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සැඟවී සිටගෙන ක්‍රියාත්මක වීමට සිදු වී ඇති බැවිනි.


විජේවීරයන්ගේ සංනිවේදනය බෙහෙවින් සාර්ථක විණි. වෙනදා මෙන් සිය නායකයා රූපකායෙන් නොදුටුවද ඔහුගේ ගැඹුරු කටහඬ ඔස්සේ ගලා ආ සංදේශයන්ට ඉතා හොඳ ප්‍රතිචාරයන් ලැබී තිබිණි. නිර්මාණාත්මක සංනිවේදකයකු පැත්තෙන්, සංනිවේදන විද්‍යාත්මකව විමසා බලන විට විජේවීරයන් සිය ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන තිබුණේ මේ සාධකවලට අනුරූපවය. එය සමාජ සංනිවේදනය පිළිබඳ දෘෂ්ටි කෝණයට අයත් වූවකි.


1. යමක් තොරතුරක් ලෙස ප්‍රකාශ කිරීම. 2. ඉගැන්වීම.
3. සතුටට පත් කිරීම හෝ විනෝදය ලබාදීම.
4. යමක් යෝජනා කිරීම හෝ බලකොට කීම හෝ පෙළඹවීම.


මෙය සමාජ සංනිවේදනය පිළිබඳව මහාචාර්ය හැරල්ඞ් ඩී. ලැස්ටෙල් මහතා පැවසූ අදහසකි. මේ අනුව බලන විට රෝහණ විජේවීරයන්ගේ කැසට්පට සංනිවේදනය තුළද ඉහත කී ලක්ෂණ දක්නට ලැබිණි. මෙහි තෙවැනි කාරණය වන “සතුටට පත් කිරීම හෝ විනෝදය” යන්න සරල අරුතින් නොව ගැඹුරින් වටහා ගත යුත්තකි.

 


විජේවීරයන් විසින් මෙබඳු කතා ඇතුළත් කැසට් පට 50කට ආසන්න ප්‍රමාණයක් 1985 - 1989 කාලය තුළ එළිදක්වා තිබිණි. ඒ සියල්ලෙහිම පාහේ සාර්ථක විකල්ප සංනිවේදනයක් අඩංගු විණි. 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව ඇති වූ දේශප්‍රේමී අරගලයේ තිරණාත්මක අවස්ථාවන්වලදී මේවා රහසිගතව බෙදාදෙන ලදි. ඇතැම් කැසට් පටයකින් විජේවීරයන් සමග ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ‘උපතිස්ස ගමනායක” ද ජනතාව ඇමතුවේය.


මේ වන විට ලාංකීය දේශපාලනය තුළ ඉතා පැහැදිලිව “ද්විත්ව බලයක්” නිර්මාණය වී තිබූ බව රහසක් නොවේ. ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් රට හැර යාමට ගුවන් යානා පවා වෙන්කරගෙන තිබූ බව කියැවිනි. ජූලි ගිවිසුමෙන් ඇති වූ ආණ්ඩු විරෝධී රැල්ල දේශප්‍රේමී විප්ලවයක් දෙසට විෂයමූල කොන්දේසි සකස් කර තිබිණ.


එම වකවානුව තුළ එළිදැක්වුනු විජේවීරයන්ගේ කතා ඇතුළත් කැසට්පට තුළ වූ අදහස් එවකට ජ.වි.පෙ සමග සමාන්තරව ගමන් කරමින් තිබූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” :ෘගන්‍ගඪ* සමග අනුබද්ධිත චින්තන ප්‍රවාහයක් හෙළිකරන්නකි. මේ කාලය තුළ ඉන්දියන් හමුදාව ලක්ෂයක් පමණ උතුරු - නැගෙනහිර වාඩිලාගෙන සිටියහ. රට පුරා ඉන්දියන් විරෝධයක් පැන නැගුණු අතර, ඊට සමාන්තරව ප්‍රගතිශීලී ජනයන් දස දහස් ගණනින් මරා දැමෙමින් තිබිණි. වැඩ බිම් හා සරසවි තුළද ගිනි ඇවිලෙමින් තිබිණි. එවන් අවිචාර සමයක් තුළ පිළිසරණ අහිමිව ගිය නිර්ධන පංති ජනතාවගේ බලාපොරොත්තු දල්වන නායකයකුගේ පෞරුෂයීය හඬක් විජේවීරයන්ගෙන් නියෝජනය වූයේය. 


නිර්මාණාත්මක සංනිවේදකයකු ලෙස විජේවීරයන් සතුව තිබූ සංනිවේදන හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා එළිදැක්වුණු තවත් විධි ක්‍රමයක් ගැන මේ වකවානුවේ අසන්නට ලැබිණි. ඒ “රණහඬ” නම් විකල්ප ගුවන් විදුලි සේවයයි. එය සති අන්තයේ උදේ 7.00 සිට ක්‍රියාත්මක විය. සඳුදා හැර අනෙක් සතියේ දිනවල රාත්‍රී 7.00 සිට මෙගා හර්ට්ස් 4.432 කෙටි තරංග (01) ඔස්සේ එම සේවයට කන්දිය හැකිවිය. මෙයින් විජේවීරයන් සිය බලවේගයන් අමතා කතා කළේය.


මේ අයුරින් විමසා බැලූ විට පැහැදිලි වන්නේ විජේවීරයන් ඇතුළු ඔහුගේ පක්‍ෂය නිරතුරුව විකල්ප ජනමාධ්‍ය බිහිකිරීමේ ලා උත්සුක වූ බවයි. ඔහුට සිය ජීවිත කාලය තුළදී විකල්ප “සිනමාපටයක්” හෝ රූපවාහිනී සේවාවක් ගොඩනැගිය නොහැකි විය. (ලංකාව තුළදී නම් විකල්ප රූපවාහිනී  සේවාවක් පවත්වාගෙන ගියේ දමිළ කොටි සංවිධානයයි. එය “නිදර්ශන්” නමින් හැඳින්විණි එහෙත් ඔහු ජීවත් වූ යුගයේ පැවැති තත්ත්වයන්ට යටත්ව, ඔහු සමාජ දේශපාලන භාවිතයක් උදෙසා ඉතා ප්‍රබල ලෙස සංනිවේදන උපායන් බිහි කළ අයෙකු වූ බව අවිවාදිතය.


ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයට පත් කළ
“රෝහණ විජේවීර” අමරණීය විපලවාදියා කෘතියෙනි.

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්