සරත් මහතාට මරු කැඳවූ ඔහුගේ මෝටර් රථය.

 

දිනපතාම රිය අනතුරු ගැන පළවන මාධ්‍ය වාර්තාවලින් පුවත්පත් පිටු පිරීගොස් ඇත. එවැනි වාර්තාවක් නොමැති දිනයක් නැති තරම්ය. මේ අනතුරු නිසා සිදුවන ජීවිත හානිද අපමණය. රටට ප්‍රයෝජනවත් මිනිස් ජීවිත මෙසේ විනාශවී යාම ජාතික උවදුරක් පමණට මහා ඛේදවාචකයක් බවට පත්ව ඇති බව තතු දන්නෝ පවසති.


යුද්ධය නිමවීමෙන් පසු රටේ පවතින ලොකුම ඛේදාවාචකය රිය අනතුරු බව නොබෝදා මැති සමයේදී ද කියවුනු බව අපි දනිමු. එයට එක්තරා පිළියමක් වශයෙන් රියැදුරන් පනවන දඩය දස ගුණයකින් වැඩි කිරීමට යෝජනා කරන ලද නමුදු එයද සාර්ථක නොවීය. මෙසේ අනතුරු සිදුවන්නේ ඇයි? වාහන වැඩි නිසාද? මහා මාර්ගවල අඩු පාඩුද? නොඑසේනම් රියැදුරන්ගේ නොසැලකිල්ලද? මේ සියල්ලම නොවේ නම් මහ මග පයින් ගමන් කරන මගීන්ගේ වරද නිසාද? මෙම ගැටලුව ගැන අදාළ බලධාරීන්ගේ අවධානය නොපමාව යොමු විය යුතුය. එමගින් මෙම මහා පරිමාණ ජාතික ව්‍යසනය නිමා කර ගැනීම යුගයේ අවශ්‍යතාවක්ව පවතී.


මෙවැනි සමාජ උපද්‍රවයකදී එයින් විපතට පත්වන්නේ එක් සමාජ ශ්‍රේණියකට අයත් වන අය පමණක් නොවේ. විවිධ සමාජ තලයන්හි නොයෙක් වෘත්තීන්හි යෙදෙන පුද්ගලයෝ මෙවැනි අනතුරු නිසා මරණයට පත් වෙති. මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ මෙයට වසර තිස් එකකට පමණ පෙර රිය අනතුරකට ලක්වීමෙන් රටට අහිමි වූ ජනතා හිතවාදී දේශපාලනයක නිරත වූ ප්‍රධාන ගණයේ නායකයෙකු ගැනය. ඔහු වනාහි ප්‍රකට අධි නීතීඥයෙකු, දේශපාලනඥයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, විප්ලවවාදියෙකු සහ යහපත් මිනිසෙකුද වූ සරත් මුත්තෙට්ටුවගම මහතාය.


පෙර සඳහන් කළ ආකාරයටම ඔහු විප්ලවවාදය ගරු කළ මාක්ස්වාදියෙකු විය. මරණය තෙක්ම මාක්ස්වාදය ගරු කළ, එය පිළිගත් එම දර්ශනය මත දේශපාලනයේ නිරත වූ සරත් එම දේශපාලන මාවත තෝරා ගැනීමම අසාමාන්‍ය සිද්ධියකි. මෙම කතාන්තරය පටන්ගත යුත්තේ එතැනින් යැයි මම සිතමි. සිංහල රාජධානිය පැවති අවධියේ රජුගේ රාජ සභාව නියෝජනය කළ ප්‍රභූ රදල පංතියට කිට්ටු ඥාති සම්බන්ධතා සහිත ඉහළ පවුලක දරුවෙකු වශයෙන් සරත් උපත ලැබීය. වැඩවසම්වාදී අදහස්වලින් පෝෂණය වූ පැරණි ගතානුගතික අදහස් හිස මුදුනෙන්ම පිළිගත් එවකට උසස් තනතුරක් වූ රටේ මහත්මයා පදවියක් දැරූ හර්බට් මුත්තෙට්ටුවගම මහතා සරත්ගේ පියා වූවේය. එවැනි මහාසාර පවුලක දරුවෙකු සමානාත්මතාව ගරු කරන කොමියුනිස්ට්වාදය වෙනුවෙන් ඇප කැප වූ විප්ලවවාදියෙකු බිහි කරන පසුබිමක් නොවූවේය. ඩී. ඇස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල වැනි දක්ෂිණාංශික නායකයන්ගේ සමීප හිතවතෙකු මෙන්ම සබරගමුවේ ප්‍රාදේශීය යූ.ඇන්.පී. නායකයන්ගේ සමිප ඥාතියෙකු ද වූ හර්බට් මුත්තෙට්ටුවගම මහතා තම මතවාදය ඔස්සේ කටයුතු කරද්දී ඔහුගේ එකම පුත්‍රයා වූ සරත් එයට වෙනස් මඟක ගමන් කරන ආකාරය කුඩා අවධියේ සිටම දක්නට ලැබුණි. එම වකවානුවේ සබරගමුවේ ඉහළ ප්‍රභූ සමාජයේ, කුල භේදය දැඩි ලෙස ඇදහූ ධර්මතාවක් විය. පීඩිත කුලවල ජනයාට පිපාසයට බීමට දිය බිඳක් ලබා ගැනීම පවා දුෂ්කර කාර්යයක් විය. වලව්වක වාඩි වීමට මිටි අසුනක්වත් ලැබුණේ නැත. වෙනත් ඇවතුම් පැවතුම් ද ඒ ආකාර විය. එහෙත් ශිෂ්‍ය අවධියේ සිටම සරත් කෙරෙන් එම රදල මහන්තත්ත්වය විද්‍යාමාන නොවීය. “සරත් අප්පො” යැයි අමතනවාටවත් ඔහු කැමති වූයේ නැත. ඒ දේශපාලන මතයක් නිසා නොවේ. එවකට ඔහු කොමියුනිස්ට් වාදයක් ගැන දැන සිටියේත් නැත. ගමේ පාසලෙන් සහ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසුව නීති අධ්‍යාපයට යොමුවීමෙන් පසු මෙම අදහස් තවදුරටත් න්‍යයාත්මකව අවබෝධ කර ගැනීමටත් ළමා අවධියේ සිට සහජයෙන්ම පැවති ගති ගුණ තවදුරටත් වඩා වර්ධනය කර ගැනීමටත් සරත් මුත්තෙට්ටුවගම තරුණයාට අවස්ථාව ලැබුණි. ඒ අනුව 1956 දී ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන එහි කටයුතුවලට ඍජුවම සම්බන්ධ විය. පක්ෂයේ ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන, සහ වෘත්තීය සමිති කටයුතු ආදිය ගැන බොහෝ කැපවීමෙන් ක්‍රියා කිරීමෙන් ඉතාම කෙටි කලක් ඇතුළත රත්නපුරය ආශ්‍රිතව බලගතු දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට වූවේය.


කම්කරු සටනක් සබරගමුවේ පැවතියේ නම් සරත් එතන විය. අතිශය පීඩිත ජන කොටසක් වූ වතුකම්කරු ජනතාවට යහපත් ජීවන මට්ටමක් ලබා දීම සඳහා ඔහුගේ නීතිඥ වෘත්තිය පවා යොදා ගනිමින් කටයුතු කළේය. එනිසා රත්නපුරේ කැපී පෙනෙන දේශපාලන නායකයකුගේ තැන ඔහුට හිමිවී ඇති බව දුටු එවක අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තම රජයේ සංස්කෘතික කටයුතු බාර ඇමතිවරයා සහ රත්නපුර මන්ත්‍රීවරයාද වූ ජයවීර කුරුප්පු මහතා අත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී දේශපාලනය කර හොඳ ස්ථාවරයක් හදා ගන්නා ලෙස ආරාධනයක් කළේය. එහෙත් එය කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා තම පක්ෂය හා ප්‍රතිපත්ති පාවා නොදෙන බවයි. කුරුවිට කෝරලේ ගම්කාර්ය සභාවේ අසුනකට තරග කර ජයගත් ඔහු පසුව රත්නපුර නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසද ඡන්දයෙන් පත් වීම් ලැබීය.


1960 මාර්තු මැතිවරණයේදී සියලුම වමේ පක්ෂ බලය පතා එකිනෙකාට එරෙහිව සටන් වැදී සිටියේය. වාමාංශික බළකොටුවක් වූ රත්නපුරයේදී මෙම බෙදීම නිසා යූ.ඇන්.පි. අපේක්ෂක ජය ගත්තේය. ශ්‍රී.ල.නි.ප., සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂ අතරින් වැඩිම ඡන්ද ලබාගෙන තිබුණේ සරත්ය. 1960 ජූලි මැතිවරණයේ නිතරග ගිවිසුම අනුව රත්නපුර අපේක්ෂකත්වය ලැබිය යුත්තේ ඒ මහතාටය. එහෙත් ශ්‍රී.ල.නි.පයේ. රත්නපුර බලවතෙකු වූ පූජ්‍ය හේන්පිටගෙදර ඥානසිහ පණ්ඩිත හිමියන්ගේ විරෝධතාව නිසා එම අසුන එම පක්ෂයට අවශ්‍ය බව නායකයෝ තරයේ කියා සිටියහ. ඒ හැම දෙනාම විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කීවේ සරත් මුත්තෙට්ටුවගම මහතා ශ්‍රී.ල.නි.පයට බැඳෙනවා නම් ආසනය තරග කළ  හැකි බවයි. එහෙත් එවරද ඔහු කියා සිටියේ අගමැති බණ්ඩාරනායකයන්ට දුන් පිළිතුරුමය. වර්තමාන දේශපාලනය හැසිරෙන ආකාරය සැලකිල්ලට ගැනීමේදී මෙවැනි ප්‍රතිපත්තිගරුක මිනිසුන්ගේ හිඟය තදින් දැනෙන බව නොකියා සිටිය නොහැක්කේමය. 1970 දී සමගි පෙරමුණ යටතේ කලවාන ආසනය තරග කළ සරත් මුත්තෙට්ටුගම මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු සහ කොමියුනිස්ට් තරුණ සමිති මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් එම පක්ෂයේ ඉහළම නායකයන් අතර කෙනෙකු බවට පත්වීමට ඔහුට හැකියාව ලැබුණි. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායකයන් බොහෝ දෙනකුද කිට්ටු ඇසුරකින් දැන හඳුනාගෙන සිටි සරත් ඔවුන්ගේ ද ආදරය දිනා ගත්තෙකු විය.


ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු සහ කීර්තිමත් නීති විශාරදයෙකු ද වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දියණියක වූ මනෝරි කෝකිලා ද සිල්වා අධිනීතිඥවරිය සමග විවාහ දිවියට පත් වීමද එදා සබරගමුවේ රදල පවුල්වල ගතානුගතික සම්ප්‍රදායන්ට කළ අභියෝගයක්ම විය. කථාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද තමා අනුදත් ප්‍රගතිශීලී සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර පෙන්වූ මෙම උදාර නායකයා තමාගේ හැකියාවන් හා සම්පත් නිරන්තරයෙන්ම කැප කළේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාමය.


1966 දී එවකට පැවති එ.ජා.ප. රජය පෙරළා දැමීම සඳහා හමුදාවේ සහ පිටත පිරිසක් එකතු වී කුමන්ත්‍රණයක් සිදු කළේ යැයි පොලිසිය විසින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. එයින් එක් අයෙකු වූයේ දොඩම්පෙ මුදලාලි හෙවත් ඇල්. වී. පොඩි අප්පුහාමි නමැති පුද්ගලයාය. ඔහු පොලිස් මූලස්ථානයේ හතර වැනි තට්ටුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට භාජනය කෙරුණු අතර එම ස්ථානයේ සිට පහළට වැටී මිය ගොස් තිබියදී මළ සිරුර පොලිසියට හමුවී තිබුණි. ඒ පිළිබඳව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී වැඩබලන මහේස්ත්‍රාත් වින්සන්ට් ස්වර්ණාධිපති මහතාගේ තීන්දුව වූයේ එය හතරවැනි තට්ටුවේ සිට පහළට පැනීමෙන් කර ගත් සියදිවි නසා ගැනීමක් බවය. එහෙත් දොඩම්පෙ මුදලාලිගේ ඥාතීන්ගේ හිතුවතුන්ගේ සහ සමස්ත රට වැසියන්ගෙන් බහුතරයකගේත් මතය වූයේ පොලිස් පහර දීම්වලින් ඔහු මිය ගිය බවයි. ස්වර්ණාධිපති මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවෙන් පසු ඔහු සියදිවි නසා ගත්තේය යන මතය නීත්‍යානුකූලව තහවුරු විය. මෙසේ යටපත්ව යාමට තිබූ අපරාධයක් යළි මතු කර ගත්තේ සරත් මුත්තෙට්ටුවගම නීතිඥවරයාය. ඔහුගේ උපදෙස් මත මරණකරුගේ සහෝදර ඇල්. වී. ස්ටීවන් නමැති අය විසින් ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සමක් නිසා යළිත් මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවිය. එවකට කුප්‍රකට පොලිස් නිලධාරියෙකු වූ රාහුල සිල්වා විසින් පහර දෙනු ලැබ දොඩම්පේ මුදලාලි මිය ගිය බවත් පසුව සිරුර හතර වැනි තට්ටුවෙන් බිමට දැමූ බවටත් සාක්ෂි ඉදිරිපත් කිරීමට සරත්ට හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ දොඩම්පෙ මුදලාලිගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව මිනීමැරුමක් බවට වින්සන්ට් ස්වර්ණාධිපති විනිසුරුවරයා විසින්ම තීන්දු කිරීමකි. මෙය එය යුගයේ රටම හෙල්ලුම් කැවූ සිදුවීමක් වූ අතර යට ගැසීමට ගිය අපරාධය රටටම අනාවරණය කර සාධාරණ යුක්තියේ මූල ධර්මය ආරක්ෂා කර දීමට සරත් මුත්තෙට්ටුවගම මහතා සමත් වූවේය.


ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඇගමැතිතුමා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යන ප්‍රබලයන්ගේ ආරාධනයෙන් පවා තමාගේ කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි පැවති බැඳීම හා හිතෛෂී බව අමතක කිරීමට නොකැමති වූ බව පෙර සඳහන් කළෙමි.

එතෙකුදු වුවත් ඔහු කොමියුන්ස්ට් පක්ෂය යම් වැරදි තීන්දුවක් ගත්තේ නම් එය විවේචනය කිරීමටද පසුබට නොවීය. 1971 කැරැල්ල රජය විසින් මැඩ පැවැත්වීමෙන් පසු එයට සම්බන්ධ වූ තරුණයන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම පක්ෂය ද සහභාගීව සිටින සමගි පෙරමුණේ ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත සම්මත කරන අවස්ථාවේ එම රජයේ මන්ත්‍රීවරයකුව සිටිමින් වුවද සරත් මුත්තෙට්ටුවගම මහතා එම පියවරට දැඩි විරෝධය පළ කළේය. මෙහිදී කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනා මත දෙකක් දරමින් දෙපිලක් වූවේය. එහෙත් පකෂයට පැවති දැඩි පකෂපාත බව නිසාම අභ්‍යන්තර විවේචනයකට පමණක් එම මත ගැටුම සීමා කර ගැනීමට ඔහුගේ විප්ලවවාදී සහ සමාජවාදී ජීව ගුණය පන්නරය ලබා තිබුණි. එහෙයින්ම පක්ෂයටද හානියක් නොවීය.
1977 දී එ.ජා.පය ජයග්‍රහණය ලබා ජේ. ආර්. ජයවර්ධන මහතා රජයක් පිහිටුවනු ලැබුවේ අති විශාල බහුතර බලයක් සහිතවය. සම සමාජ - කොමියුනිස්ට් යන රතු පක්‍ෂ දෙකේ සෑම අපේක්‍ෂකයෙකුම පරාජයට පත් විය. 1936 සිට ජයගත් ඇන්. ඇම්. මෙන්ම එතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබලයන් වූ පීටර් කෙනමන්, ඇස්. ඒ. වික්‍රමසිංහ වැනි ප්‍රබල කොමියුනිස්ට් නායකයෝද පරාජයට පත් වූහ. කලවාන ආසනයට තරග කළ සරත්ගේ දේශපාලන ඉරණමද එයම විය. එහි ජයග්‍රාහකයා වූවේ එ.ජා.පයේ අබේරත්න පිලපිටිය මහතාය. එහෙත් ඒ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් විසින් මුත්තෙට්ටුවගම මහතාට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇතැයිද එමගින් ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය වළක්වන ලදැයිද සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.


එම ඡන්ද පෙත්සමේ අවසාන ප්‍රතිඵලය වූවේ අබේරත්න පිලිපිටිය මහතාගේ මන්ත්‍රීධුරය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කර අතුරු මැතිවරණයක් කැඳවීමට නියම කිරීමයි. එහෙත් සිදුවූයේ මෙරට ව්‍යස්ථාදායකයේ කිසිදා නොවුණු දෙයකි. අභියාචනා උසාවියෙන් පවා පිලපිටිය මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම තහවුරු කර තිබියදී ඔහු නිතිපතා සභා රැස්වීම්වලට සහභාගිවෙමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පවා උල්ලංඝණය කරමින් කටයුතු කළේය. එය රජයේ අනුදැනුම ඇතිව සිදු වූවක් බව කාටත් පැහැදිලිව දක්නට ලැබුණි. මැතිවරණ පෙත්සමේ තීන්දුවට අනුව හිස්වූ කලවාන ආසනයට අතුරු මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා 1980 දෙසැම්බර් 10 වැනි දින නාමයෝජනා භාර ගැනීමට සියලු කටයුතු යොදා තිබුණි. ඒ අතරවාරයේ 1980 දෙසැම්බර් 09 වැනිදා කථා නායක අල්හාජ් බකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ කලවාන අසුන හිස්ව නොමැති බවයි. රටේ ව්‍යවස්ථාවත්, මැතිවරණ නීතියත් විහිළුවක් බවට පත් කරමින් රජය ගෙන ගිය මෙම විකාර රූපී සංදර්ශනය ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්මයන් කෙරෙහි එල්ල වූ මරු පහරක් බව මෙරට පමණක් නොව විදේශයන්හිද සාකච්ඡාවට ලක් වූ කරුණක් විය.


මෙසේ රජය පඹගාලක පැටලී අතරමංව සිටින වාතාවරණය හමුවේ මැතිවරණ කොමසාරිස්වරයා කලවාන අතුරු මැතිවරණය සඳහා 1980 දෙසැම්බර් 10 වැනිදා නාමයෝජනා භාරගන්නා ලදී. මැතිවරණය ජනවාරි 12 වැනිදාට නියම විය. මේ අතර පාර්ලිමේන්තුව අමතා කථා කළ අගමැති ආර්. ප්‍රේමදාස මහතා කියා සිටියේ කලවාන මන්ත්‍රී පදවිය සම්බන්ධයෙන් කතානායකවරයා පසුගියදා දුන් නියෝගයටත් කලවාන මන්ත්‍රී ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට ගැස්ට් නිවේදනයක් කර ඇති ප්‍රකාශයක්, මහජන සුබසිද්ධියත් ගැන සලකා අතුරු මැතිවරණයෙන් පත්වන මන්ත්‍රීවරයාටත් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට රජය තීරණය කර ඇති බවය.


මෙම සියල්ල මෙසේ සිදුවන අතර තවත් අර්බුදකාරී පියවරක් ගත්තේය. කලවාන ආසනය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කටයුතු කළ හැකි බව දක්වමින් 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට තුන්වැනි සංශෝධනයක් වශයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත විය. මෙම සංශෝධනය ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුණි. අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන්, ජී. ටී. සමරවික්‍රම, ජේ. ජී. ටී. වීරරත්න, ආර්. සර්වානන්ද, ආර්. වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණයේ රජ පස්කට්ටුව හමුවේ මෙම කාරණය විභාගයට ගන්නා ලදී.

 

සරත් මහතාට මරු කැඳවූ ජිප්රිය.


මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සර්වජන ඡන්ද බලයට බලපෑමක් ඇති වන නිසාත් එසේම ජනතාවගේ ස්වෛරීභාවයට බලපෑමක් ඇති වන නිසාත් මෙම තුන්වැනි සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දය ප්‍රමාණවත් නොවන නිසා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි නියෝග කළේය. එහෙත් රජය එය සිදු කළේ නැත. අතුරු මැතිවරණය නියමිත පරිදි පැවැත්වුණි. එයින් කොමියුනිස්ට් පක්‍ෂයේ අපේක්‍ෂක සරත් මුත්තෙට්ටුවගම මහතා ජයග්‍රහණය කළේය. ප්‍රතිඵල නිකුත් වූ පසුදිනම පිලපිටිය මහතා ඉල්ලා අස්වූවේය. කලවාන මන්ත්‍රී ධුරය පිළිබඳ අර්බුදය නිමා විය. සරත් මුත්තෙට්ටුගම මහතා ගෙන ගිය ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් වූ නීති සටන එබඳු ඓතිහාසික වැදගත් කමක් දරන අරගලයකි. මෙම යුගයේ ශ්‍රී.ල.නි.පය, නායකත්වය පිළිබඳ අර්බුදයක පැටලී සටන්කරමින් සිටි නිසාත් විපක්‍ෂ නායකත්වය දැරූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ රජය සමග සහයෝගයෙන් උනුනුන්ගේ පිට කසාගැනීමේ

දේශපාලනයක් අනුගමනය කළ නිසාත්, රජයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සටන් මෙහෙය වූ ඒක පුද්ගල විපක්‍ෂය වූවේ සරත් මුත්තෙට්ටුගම මහතාය.


තවත් එක් කරුණක් සඳහන් කළ යුතුය. 1983 ජූලියේ ජාතිවාදී අරගල ඇතිවුණු අවස්ථාවේදී එකල පැවති රජය ජනතා විමුක්ති පෙරමුණ, නව ලංකා සම සමාජ පක්‍ෂය, සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය යන පක්‍ෂ තුන එම අරගලයට සම්බන්ධ බව පවසමින් එම පක්‍ෂ තහනම් කර ඒවාගේ සමහර නායකයන්ද අත්අඩංගුවට ගැනුණි. ඒ රජයේ යටි අරමුණක් නිසායැයි එකල කියවුණි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව අමතමින් සරත් මුත්තෙට්ටුවගම මහතා කියා සිටියේ “මාක්ස්වාදය පිළිගත් අපේ පක්‍ෂයට ජාතිවාදී ලේබලය අලවන්න එපා. එය අපට දරාගත නොහැකියි. අනෙක් ඕනෑම චෝදනාවක් කරන්න. එය අපට දරාගත හැකියි. අපි ධනපතියන් කීවත්, රදලයින් කීවත්, ධනපතියන්ගේ හෝ රදලයින්ගේ ආවතේවකාරයන් කීවත් කමක් නැහැ. අපට එය දරාගත හැකියි. හැබැයි ජාතිවාදීන් කියා නම් කියන්න එපා.”


දිනය 1986 මැයි 18 වැනිදාය. ඒ ඉරිදා දවසකි ඒ කොමියුනිස්ට් පක්‍ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහා සම්මේලනය පැවති දිනයයි. එහි කටයුතු සංවිධානය කිරීමටත් සම්මේලනය සාර්ථක කර ගැනීමටත් දින ගණනාවක් වෙහෙසී සිටි මුත්තෙට්ටුගම මහතා සිටියේ අතිශය ප්‍රීතියෙනි. විශාල පිරිසක් සහභාගි වූ පක්‍ෂ සම්මේලනය අතිශයින්ම සාර්ථකව තිබුණි. බලයට පත්ව නව වැනි වසර ගෙවන ජේ. ආර් ජයවර්ධන රජයට අභියෝග කරමින් රත්නපුරේ රතු බලය පෙන්වීමට ලද අවස්ථාව ඔහුගේ සතුටට හේතුවී තිබුණි. එම සමුළුව අවසන්ව මිතුරෙකු හමුවීම සඳහා ගැටන්ගම ගමට ගොස් ආපසු මිල්ලවිටියට පැමිණෙමින් සිටියදී ඔහු මාරක රිය අනතුරකට ගොදුරු විය. ජීප් රියක් සමඟ ගැටීමෙන් රථ දෙකම සුන්බුන් වී ගොස්ය. රටට දැයට මෙන්ම දුක් විඳින ජනතාවටත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයටත් අනුපමේය සේවාවක් ඉටු කළ සරත් මුත්තෙට්ටුගම නම් වූ අවංක ජන නායකයාගේ ප්‍රාණය මෙම අනතුර නිසා නිරුද්ධව තිබුණි.


ඉපදෙන සැවොම මිය යන බව ඇත්තකි. එහෙත් රටට වැඩ ඇති යහපත් මිනිසුන් මෙසේ අකාලයේ සමුගැනීම සමාජයක් දරාගන්නේ කෙසේද? ජනතාව කම්පාවට පත් වූහ. උතුරු - නැගෙනහිර යුද්ධය පැවති ප්‍රදේශවල පවා කළු කොඩි එසවී තිබුණු බව කියනු ලැබේ. හොද මිනිසුන් ඉක්මනින් දෙවියන් වෙත කැඳවා ගනු ලැබේ යැයි කියමනක් තිබේ. මේ සිදුවූවේත් එවැන්නක්දෝහෝයි ජනයා විපිලිසර වූහ. මෙකල රිය අනතුරු අතිශයින්ම සුලබය. දිනපතාම පාහේ මෙම අනතුරුවලින් මිය යන සංඛ්‍යාව අසීමිතය. මෙම සෑම පුරවැසියෙකුගේම ජීවිත සමාජයකට අඩුවැඩි වශයෙන් ඉතා අගනේය. මෙම ව්‍යසනය ජාතික ගැටලුවක් පමණට ඉහවහා ගොස් ඇත. මෙම ජාතික ව්‍යාධිය නිවාරණය කර ගත හැක්කේ ආකල්පමය වෙනසකින් පමණක් බව මෙහිලා සටහන් කරමි.

සෝමසිරි වික්‍රමසිංහ