යුද්ධය නිමාවීමට වසර දෙකකට පමණ පෙර සිට එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත් අර්බුදයකට ගොදුරු වී සිටියේය. එයට හේතුව සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුම විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටීමය. වයස අවුරුදු පනහ පසු කර සිටි ඔවුහු සුවබර නින්දක්, පෝෂ්‍යදායි ආහාරයක් නොලැබීම, කලට වෙලාවට ආහාර නොගැනීම වැනි කාරණා නිසා අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොඳු ඇට පෙළ ආශ්‍රිතව හටගන්නා විවිධ ආබාධයන්ට ලක් වී සිටියහ.


සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ බි්‍රගේඩියර් බාල්රාජ් දියවැඩියා රෝගය වැලදීම නිසා මාස කිහිපයක් දුක්විඳ නොසිතූ මොහොතක මිය ගියේය. මෙවැනි තත්ත්වයන් නිසා කොටි සංවිධානයට දක්‍ෂ ශක්තිමත් දෙවැනි පෙළ නායකත්වයක් අහිමි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සංවිධානයේ යුද ශක්තිය වේගයෙන් පිරිහී ගියේය.


යුද්ධයේ අවසන් දින කිහිපයේ දී මුල්ලිවයික්කාල්හි වට්ටුවහල් පාලමෙන් දෙමළ ජනයා ගංගාවක් මෙන් හමුදා පාලන ප්‍රදේශයට ඇතුළු වීමට පටන් ගත්හ. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා හමුදාව ජනතාව දෙසට වෙඩි නොතබා, මුල්ලිවයික්කාල් ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කරනු අපි දුටුවෙමු. එමෙන්ම තමන්ගේ ප්‍රදේශයට එන දෙමළ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට හමුදාව යුහුසුලු වන අයුරුද අපි දුටුවෙමු. එහෙත් අප යම් මොහාතක දී සාමාන්‍ය දෙමළ ජනයා මෙන් හමුදා පාලන ප්‍රදේශයට ඇතුළු වීමට ක්‍රියා කළහොත් අපට කවරාකාර පිළිගැනීමක් ලැබේවිදැයි යන සැකයන් භීතියක් අපට ඇති විය. 


මම සමාන්‍ය දෙමළ ජනයා සමග මුලතිව් ක්‍රීඩා පිටියට ඇතුළුවීමි. එම ක්‍රීඩා පිටිය වටකර කටුකම්බි ගසා තිබූ අතර ක්‍රීඩා පිටියෙන් පිටත ආයුධ සන්නද්ධ සෙබළු රැදී සිටියහ. එහෙයින් ක්‍රීඩාපිටියෙන් පිටතට යාමට අපට නොහැකි විය. විශේෂත්වය නම් මේ මොහොත වන විට වෙඩි පිපිරෙන හඬ හෝ බෝම්බ පිපිරෙන හඬ නොඇසීමය. අපට කුසගින්න අධිකව දැනුණද කෑමට බීමට කිසිවක් එහි නොවීය සාමාන්‍ය දෙමළ ජනයා සමග මමද නිරාහාරව පිටියේ වාඩි වුණෙමි. සැබැවින්ම මරණය අප වෙත කොයි මොහොතේ පැමිණේවිදැයි යන සැකය අප තුළ විය. අපගේ ජීවිතවල ඉරණම තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා යුද හමුදාව සතුවීම මගේ ජීවිතයේ මා විඳි විශාලම වේදනාව විය.


මේ අතරවාරයේ යුද හමුදා සෙබළු කෑම පාර්සල් හා වතුර බෝතල් අප වෙත පිරිනැමූහ. අපේ සංවිධානයේ සෙබළියන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා පිටියේ බිම වාඩි වී සිටියෙමි. වතුර පිපාසය හා අධික කුසගින්න මේ මොහොත වන විට මා තුළින් තුරන් වී තිබිණි. සංවිධානයට ද්‍රෝහි වූවා දැයි යන වේදනාව මා තුළ විය.


ගෙවී යන තත්පරයෙන් පසුව එළැඹෙන ඊළඟ තත්පරයේ දී අපට කුමන ඉරණමක් අත්වේදැයි යන බිය අප තුළ විය. අප සමග සිටි සාමාන්‍ය ජනයා හැඳුනුම්පත් හා තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කළ හැකි විවිධ ලිපි ලේඛන අතැතිව පෝලිම් ගැසී සිටියහ. එම ක්‍රීඩාපිටියට විශාල වශයෙන් තව තවත් දෙමළ ජනතාව ඇතුළු වෙමින් සිටියහ.


එදින රාත්‍රීයේ දී මා සහ මගේ මව පරීක්‍ෂා කිරීමෙන් පසුව ගොඩනැගිල්ලක් තුළට රැගෙන යන ලදී. එහෙත් එතැන ඉඩ නොවීය. එහෙයින් අපි යළිත් ක්‍රීඩාපිටියට ගොස් වැලි ගොඩක් මත නිදා ගත්තෙමු.


ඊට පසුදින සාමාන්‍ය දෙමළ ජනයා බස් රථවලට නංවා එතැනින් පිටත් කර හැරිණි. මා සහ මගේ මවද බස් රථයකට ඇතුළුවීමු. අප සිටි බසයේ කුඩා දරුවෝ කිහිප දෙනෙක්ද සිටියහ. අප කළ අපරාධය නිසා මේ කුඩා දරුවන්ට මෙසේ දුක් විඳීමට සිදු වූවා නේදැයි යන වේදනා බර සිතිවිල්ල මා තුළ හටගත්තේය. එය විශාල පසුතැවීමකි.


රාත්‍රිය වන විට අපි එක්තරා ස්ථානයකට පැමිණියෙමු. බසයෙන් බැස බිම වාඩිවන ලෙස අපට නියෝග ලැබිණි. එහිදී ශබ්ද විකාශන යන්ත්‍රයකින් දෙමළ බසින් අප ඇමතූ හමුදා නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. දීර්ඝ කාලයක් යුද්ධයෙන් පීඩා විඳි ඔබ සැම බේරා ගැනීමට අපි සමත් වුණා. දැන් ඔබ සැමට කිසිදු බියක් නොමැතිව ජීවත් විය හැකියාව තිබෙනවා’යි ප්‍රකාශ කළේය.


ඉන් අනතුරුව තවත් නිවේදන කිහිපයක් ම නිකුත් විය.
ඉතිරිය ලබන සතියට.

පරිවර්තනය : එස්. තිලෙයිනාදන්