රටේ ජනතාවගේත් එක්සත් ජාතික පක්ෂයේත් බහුතරයකගේ ඉල්ලීම මත එතුමාට අගමැති ධුරය භාරගැනීමට සිදුවූයේ එබැවිනි. පදවි, තානාන්තර, ගැන කිසි විටෙකත් එතුමා උනන්දුවක් දැක්වූයේ නැත. දේශපාලන ක්ෂේත්‍රයට සේනානායක මහතා කැඳවා ගෙන ආවේද අකමැත්තෙනි. ඔහුගේ නිහතමානී සහ අවංක බව දැන සිටි නිසාම ජනතාව එතුමා බලයෙන් මෙන් දේශපාලනයට කැඳවා ගත්හ. 


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගය ආරම්භයේ දීම කෘෂිකර්ම ඇමති ධුරය දැරූ ඩී. ඇස්. සේනානායක මහතා, අධිරාජ්‍යවාදි පාලනය යටතේ වල් බිහි වී තිබුණු අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ සියලු වැව් පිළිසකර කරවා ගොවි ජනපද පිහිටුවීම ආරම්භ කර තිබුණි. එය සාර්ථක කොට ගෙන ලංකාවාසී ජනතාව ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීම එතුමාගේ සිහිනය විය. මෙම කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ප්‍රබල සහායකයෙකුගේ අවශ්‍යතාව ඔහුට තදින් දැනී තිබුණි. 


කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් ද ලැබු අධ්‍යාපනයෙන් පසු බැරිස්ටර්වරයෙකු ලෙස සමත්ව දිවයිනට පැමිණ සිටි ඩඞ්ලි සේනානායක තරුණයා නීති වෘත්තියේ යෙදි සිටියේය. එහෙත් පියාගේ පෙර කී අවශ්‍යතාව මත පියාණන්ට අකීකරු නොවී වැඩි කැමැත්තකින් ද තොරව 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී දැදිගම ආසනය තරග කිරීමට එකඟ වූවේය. තම ශ්‍රේෂ්ඨ පියාණන්ගේ අවවාද අනුශාසනා මත නවක දේශපාලනඥයා කටයුතු ආරම්භ කළේය. එදා පැවති ප්‍රබලම දේශපාලන සංවිධානය වුූ ලංකා ජාතික සංගමයට සම්බන්ධව රටට නිදහස සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සටන් කරන නායකයන් අතරට එක්වූවේය. වයසින් ළාබාල වුවද ක්‍රියාකාරීත්වයේ සහ ඇප කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වසර කීපයක් ඉකුත් වෙද්දීම තරුණ අධිනීතිඥයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ද සමග ලංකා ජාතික සංගමයේ සම ලේකම්වරයෙකු ලෙස ඩඞ්ලි සේනානායක මහතා ද පත් කර ගන්නා ලදි. එම දේශපාලන බලවේගය විනය ගරුක, ප්‍රතිපත්තිමය රාමුවක් තුළ ක්‍රියා කරන පක්ෂයක් ලෙස හැඩගස්වා ගැනීමට මෙම තරුණ ලේකම්වරුන් දෙදෙනා විසින් දරුවේ අපරිමිත උත්හාසයකි. එහෙත් එම සංවිධානයේ මුල් පෙළ නායකත්වය දැරූ සාම්ප්‍රදායික දේශපාලකයන් පිරිස එයට ඉඩ දුන්නේ නැත. එකල මොරටුව ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේදී ලංකා ජාතික සංගමයේ නිල අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කළ තෝමස් අමරසූරිය, එච්. ඩබ්ලිව්. අමරසූරිය සහ සර් ජෝන් කොතලාවල යන ප්‍රබලයන්ට එරෙහිව විනය පියවර ගත යුතු යැයි ද එවැනි දේශපාලන විධිමත් භාවයකට අවතීර්ණ නොවුවහොත් නිදහස ලබා රට පාලනය කිරීමේදී ගැටලු ඇති වන බව කීයේ  දුර අනාගතය දන්නා පරිණත නායකයෙකු පරිද්දෙනි. ඔවුන්ගේ එම ප්‍රයත්නය සාර්ථක වීනම් එක්සත් ජාතික පක්ෂය නම් නව දේශපාලන පක්ෂය පිහිටු වීම අවශ්‍ය නොවන්නට ඉඩ තිබුණි. 


යටත් විජිත යුගයේ මෙරට පාලන කටුයුතු සියල්ලම කෙරුණේ බි්‍රතාන්‍ය බලවතුන්ට අවශ්‍ය පරිදි වීම ස්වභාවික තත්ත්වයකි. එකල බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයාගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් තිබුණේ නැත. යම් යම් මන්ත්‍රීවරුන්ගේ හඬ නැගීම් පැවතිය ද ඒවා ගණනකට ගැනුණේ නැත. මෙම තත්ත්වයට විරුද්ධව එවකට දුම්බර මන්ත්‍රී ඒ. රත්නායක මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. මෙම යෝජනාව පිළිබඳව ඩී. ඇස්. - ඩඞ්ලි පිය පුතුන් සිටියේ දෙපාර්ශ්වයකය. ඩී. ඇස්. කීවේ බි්‍රතාන්‍යයන් වෙතින් නිදහස ලැබීම පෙනෙන තෙක් මානයට පැමිණ ඇති මෙම මොහොතේ ඔවුන් හොඳින් තබාගෙන උපක්‍රමශීලීව කටයුතු කිරීම විනා හෙළාදැකීම් යෝජනා ගෙන ඒම නොවන බවයි. එහෙත් ඩඞ්ලි සේනානායකයන් එයට එකඟ වූවේ නැත. මෙම මත ගැටුම පවතිද්දි ඩී. ඇස්. සේනානායක මහතා නමට වුඞ්ලන්ඞ්ස් මන්දිරයට ලිපියක් ලැබුණි. එය අතට ගත් ඩී. ඇස්. ලිපිනය ලියා ඇති අක් අකුරු හැඳිනීය. විස්මයට පත් වූවේය. ලිපිය ලියා ඇත්තේ යාබද කාමරයේ ජීවත් වන තම පුත් ඩඩලිය. ලිපියේ වුවේ මෙවැනි අර්ථයකි. “මගේ පියාත් ආරක්ෂකයාත් මඟ පෙන්වන්නාත් ඔබතුමාය. නමුත් දැනට ඇති වී තිබෙන අර්බුදයේදී මා දරන මතය ඔබේ මතයට ඉඳුරා වෙනස්ය. එය එසේ වීම යෝග්‍ය නැතැයි යනු මගේ අදහස වේ. එනිසා මට දේශපාලන බිමෙන් ඉවත් වීමට අවසර දෙනු මැනවි. ඔබට විරුද්ධව මත දරමින් කරන දේශපාලනයක් ගැන මට සිතා ගත නොහැකි බැවිනි.” 


පියාගෙන් ද පුතාට ලිපියක් ලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේදී මගේ අදහසට එරෙහිව මතයක් දැරීමට ඔබට ඇති අයිතිය මම පිළිගනිමි. 


එවැන්නකට ඔබට ඇති ශක්තිය හා ධෛර්යය මට අභිමානයකි. ඒනිසා මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් පැන නොනගී. දිගටම කටයුතු කරගෙන යන්න.” ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදාය ඉතසිතින්ම වටහා ගෙන සිටි මෙම පිය පුතු දෙදෙනා මත ගැටුම නිමා කර ගත්තේ ඒ අයුරිනි. 


1947 ප්‍රථම මහා මැතිවරණය අවසන් විය. වැඩිම ආසන ගණන දිනා සිටි පක්ෂයේ නායකයා වශයෙන් ඩී. ඇස්. සේනානායක මහතාට රජයක් පිහිටුවන ලෙස ආණ්ඩුකාර සර් හෙන්රි මන්ක් මේෂන් මුවර්ගෙන් ආරාධනයක් ලැබුණි. තම ඇමැති මණ්ඩලය තෝරා ගැනීම ගැන එක්සත් ජාතික පක්ෂයේ උප නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමග සාකච්ඡා කාළේය. බණ්ඩා ඔබ බලාපොරොත්තු වනුයේ කුමන අමාත්‍යධුරයද? විමසීය. ඔබ අගමැතිකම භාර ගන්නා නිසා මෙතෙක් කල් ඔබතුමන් භාරයේ තිබුණු කෘෂි කර්ම ඇමතිකම මට ලැබෙනවා නම් හොඳයි. බණ්ඩාරනායක මහතා පිළිතුරු දුන්නේය. මම අගමැතිකම ගන්න කොට කෘෂිකර්ම අමාත්‍යාංශයත් මට බලපෑමක් කළ හැකි විධියට තබා ගැනීමට අවශ්‍යයයි. එනිසා කරුණාකර වෙනත් අංශයක් ගන්න. කෘෂිකර්ම විෂය ගැන අගමැතිතුමාගේ තිබුණේ එවැනි උනන්දුවකි. කලින් තමා ආරම්භ කළ සංවර්ධන ව්‍යාපාරය නොපිරිහෙළා ඉදිරියට ගෙන යාම එතුමාගේ බලාපොරොත්තුව විය. එනිසා කෘෂිකර්ම අමාත්‍ය පදවිය පිරිනැමුණේ තරුණ ඩඞ්ලි සේනානායක මහතාටය. එතුමාගේ මඟ පෙන්වීම යටතේ එම ක්ෂේත්‍රයේ අති විශාල දියුණුවක් ඇති වු බව පිළිගත් මතයයි. 1949 දී ආරම්භ කරන ලද ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සහ නව ජනාවාස ඇති කිරීමේ විශාල ව්‍යාපෘතියකි. හෙක්ටයාර් විසි දහසක් අලුතෙන් වගා කිරීමටත් වී, උක්, එළවළු, දුම් කොළ, බඩඉරිඟු ආදී විවිධ බෝග වගා කිරීමටත් ජල විදුලි බලාගාරයක්, සීනි කර්මාන්ත ශාලාවක් සහ උළු ගඩොල් කර්මාන්ත ශාලා පිහිටුවීමටත් මූලික වශයෙන් සිදු විය. 1950 දී ගල්ඔය ව්‍යාපාරයට සම්බන්ධ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවක් සහ උළු - ගඩොල් කර්මාන්ත ශාලා පිහිටුවීමටත් මූලික වශයෙන් සිදුවිය. 1950 දී ගල්ඔය ව්‍යාපාරයට සම්බන්ධව හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවද ආරම්භ කරන ලදි. බතලේගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය පිහිටුවීම සිදු විය. එහිදී නව දෙමුහුන් වී හඳුන්වා දීම ප්‍රථම වරට සිදු විය. මෙම ක්‍රියාමාර්ග නිසා එතුමා සිය පියාගේ අපේක්ෂාවන් අකුරට ඉටු කරමින් තම වගකීම සපුරා ලීය. 


1953 මහා හර්තාලය සහ අගමැති මාරුව ඩඞ්ලි චරිතයේ නිතර කියවෙන සිද්ධීන් වේ. ඒ අනුව එතුමා 1953 දී දේශපාලන ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව ආගමික කටයුතු වල නිරත වූ බව දක්නට ලැබුණි. 1956 මහා මැතිවරණ පරාජය සිදුවූවේ මේ අතරවාරයේය. එක්සත් ජාතික පක්ෂයට නැවත නැගිටීමක් නැතැයි විරුද්ධ පාක්ෂිකයෝ පමණක් නොව යු.ඇන්.පී. පාක්ෂිකයෝ ද විශ්වාස කළහ. 


‘කලල ගිලුණු මත වරනිදු ගොඩ ගනුත තුමුල බලැති ගිජිදෙකු හැර අන් කෙවත’ යැයි සුභාෂිත රචක කවියා ලීවේය. 1956 මහා පරාජය නමැති මඩ වගුරේ එරී සිටි එක්සත් ජාතික පක්ෂය නම් වු හස්තිරාජයා එයින් ගොඩගැනීමට හැකියාව තිබුණු තුමුල බලැති ගිජිදා ඩඞ්ලි සේනායකයන්ම  විය. බහුතරය නොමැති වුවත් ආසන පනහක් සහිතව පාර්ලිමේන්තුවේ වැඩිම බලය ඇති පක්ෂය වන තැනට එජාපයට නැගී සිටුවීමට එතුමා සමත් විය. අග්‍රාණ්ඩුකාරතුමා රජයක් පිහිටුවීමට ආරාධනා කළේ ඩඞ්ලි සේනානායක මහතාටය. නැත්තටම නැති වු බවට විරුද්ධවාදීන් උද්දාමයෙන් යුතුව පැවසු පක්ෂය රජයක් ද පිහිටු වුවේය. එය මළවුන්ගෙන් නැගිටීමක් බඳු ප්‍රාතිහාර්යයක් වූවේය. අදටත් ශක්තිමත් පදනමක් මත එ.ජා.පය. පවතින්නේ එදා 1960 මාර්තු 19 වැනිදා මහා මැතිවරණයෙන් එම පක්ෂය තැබු ඉදිරි පිම්ම හේතුවෙනි. එනිසාම එතුමා “ජන රන්ජන ජන නායක” යැයි විරුදාවලි ලැබීය. ශ්‍රී ලංකාවේ පමණක් නොව බි්‍රතාන්‍යය, ඉන්දියාව වැනි රටවලද මුල් බැස ගෙන ඇති තට්ටුමාරු දේශපාලනයට අනුගත වෙමින් වරෙක දිනමින් ද වරෙක පරාජය උරුම කර ගනිමින් ද එහෙත් ක්ෂේත්‍රයේ රැඳෙමින් ද රටට විශාල සේවාවක් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට ඩඞ්ලි සේනානායකයෝ සමත් වූහ. 

ඩඞ්ලි සේනානායක මහතා පාසල් වියේදී...

 


එවකට පැවති රජය පුවත් පත් පවරා ගැනීමට ගත් ප්‍රයත්නය කතා කිරීමේ සහ අදහස් ප්‍රකාර කිරීමේ මානව අයිතියට එල්ල කරන ලද බරපතළ පහර කැයි වටහා ගත් විපක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතා විපක්ෂයේ සියලු බලවේග ඒකරාශී කර ගනිමින් 1964 දෙසැම්බර් 03 වැනිදා බලසම්පන්න රජය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට සමත් වීම. විශ්වකර්ම කාර්යයක් ලෙස එදා විද්වත්හු හැඳින්වූහ. එසේ වුවේ ඒ සඳහා එක් වු පිරිස් අහසට පොළව මෙන් වෙනත් ප්‍රතිපත්ති දැරූ විවිධ මතධාරීන් වූ නිසාය. මේ සියලු බලවේග සමගියෙන් තබා ගනිමින් 1965 මාර්තු 22 වැනිදා මැතිවරණයට මුහුණ දී ජය ගැනීමත් රජයක් පිහිටුවීමත් එදා හැටියට ප්‍රායෝගිකව විශ්වාස කළ නොහැකි සිදුවීමක් විය. එහි වඩාත් පුදුමය වන්නේ එකකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂ හතක් සමග සම්පූර්ණ පාර්ලිමේන්තු නිල කාලය වන වසර පහක් රජය පවත්වා ගෙන යාමට අගමැති ඩඞ්ලි සමත්වීමය. එම පක්‍ෂ එක්කළ හූය වූයේ ඩඞ්ලි සේනානයකයන් කෙරෙහි පැවති අචල විශ්වාසයයි. එයට පෙර කිසිදු ආණ්ඩුවක් නිල කාලය සම්පූර්ණ කර නොතිබුණි. එනිසා එයද වාර්තාවක් විය. 


ලංකා ඉතිහාසයේ අති විශාලම සංවර්ධන යෝජනා ක්‍රමය මහවැලි ගඟ උතුරට හැරවීමේ ව්‍යාපෘතියයි. ජලාශ පහළොවකින් සහ විදුලි බලාගාර එකොළහකින් සමන්විත මෙම විශාල යෝජනා ක්‍රමය අදියර නුනක් යටතේ නිම කිරීමට නියමිත විය. එහි පළමු අදියරට පොල්ගොල්ල හැරවුම, උකුවෙල බලාගාරය, මිනිපේ වික්ටෝරියා හැරවුම, සහ මොරගහකන්ද ව්‍යාපාරය ඇතුළත් විය. 1970 පෙබරවාරි මස 28 වැනිදා පොල්ගොල්ල වේල්ලට මුල් ගල තබා මෙම මහා ව්‍යාපෘතිය ආරම්භ කළේ අගමැති ඩඞ්ලිය. පසුකාලීනව කොටසින් කොටස නිම කළ නායකයෝ එහි ගෞරවය බෙදා ගත්හ. එහෙත් මහවැලි මහ සැලැස්මේ ආරම්භකයා ඩඞ්ලි සේනානායක මහතා බව දන්නෝ දනිති. එය මුළුමනින්ම ඩඞ්ලිගේ සිහිනයයි. ඔහු මේ පිළිබඳව අප්‍රමාණ චෝදනාවන්ට මුහුණ දුන්නේය. 

 

බණ්ඩාරනායක මහතා සහ සෝල්බරි සාමිවරයා හමුවූ මොහොතක.

 


තමාට විරුද්ධව එල්ල කෙරුණු චෝදනාවන්ට ඔහු කිපුණේ නැත. එහෙත් අවංකව ඇප කැප වෙමින් හදා වඩා ගත් සංවර්ධන ව්‍යාපාර වලට දොස් කියනු ඇසීමට සේනානායක මහතා කැමතිවූයේ නැත. එවිට ඔහු හොඳටම කිපුණේය. වරක් ඔහු පාර්ලිමේන්තුව අමතමින් ගල්ඔය නිම්නයේ සිදුව ඇති හරිත විප්ලවය ගැන සඳහන් කරමින් සිටියේය. අගමැතිවරයා කෝප ගැන්වීමට හොඳම තැනට පැමිණ ඇති බව වටහා ගත් දොම්පේ විපක්ෂ මන්ත්‍රී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඔබතුමාගේ නිම්නය ඒ තරම්ම කොළ පාට දැයි විමසීය. උන් හිටි තැන්  අමතක වන ලෙස කෝපයට පත් අගමැතිවරයා හිටපන්, මගේ නිම්නයේ පාට පෙන්වන්න යැයි කියමින් විපක්ෂය පැත්තට දුවගෙන ගිය ඉරියව්ව සඳහන් කිරීම සුදුසු නොවේ. ඒ ගල් ඔය නිම්නය ඔහුගේ දරුවෙකු වැනි වූ නිසාය. එයට අපහාස කරනු ඔහු රිස්සුවේ නැත. 


1968 දී ඩඞ්ලි සේනානායක රජය ගත් තීරණයක් නිසා සමස්ත ලෝකයම මවිතයට පත් විය. රටේ ලොකු කුඩා සෑම පුරවැසියකුටම සතියට සහල් සේරුවක් බැගින් නොමිලයේ ලබා දීම එම යෝජනාව විය. එය ක්‍රියාත්මක විය. ඈත අතීතයේ දී වෙස්සන්තර රජු දුගී මගී යාචකාදීන්ට දන් දුන් බවත් මංසන්ධියක් පාසා දන්සැල් ඇතිකර තිබුණු බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එහෙත් රටේ සෑම දෙනාටම ආහාර සැපයු බවක් එහි සඳහන් නොවේ. මෙසේ තම සියලු රටවැසියන්ට සහල් නොමිලයේ සැපූයූ නිසා බත් දුන් පියා යන විරුදාවලිය එතුමාට පුද කළේ පොදු ජනතාවය. 

ඩඞ්ලි මහතා ගම් වැසියන් සමගින්...

 


එක් දහස් නවසිය හැත්තෑවේ මහා මැතිවරණයෙන් එතුමාගේ රජය පරාජයට පත් විය. එය මේ රටේ සියලුම පාක්ෂික f්දශපාලනඥයන්ට කදිම පාඩමකි. රටේ සැම දෙනාටම ආහාරය දුන් සහ මහවැලිය ඇරඹු අගමැතිවරයාගේ රජයත් පරාජය කෙරුණි. එයද තුනෙන් දෙකේ බලයකිනි. තමාට හිමිවු විපක්ෂ නායක ධුරය තම දෙවැන්නා වූ ජේ. ආර්ට පරිනමා ඩඞ්ලි පසෙකට වූවේය. මෙසේ ගතවූයේ ටික දිනකි. 1973 බක් මාසයේ සිංහල අවුරුදු දින එනම් අප්‍රියෙල් දහතුන් වැනිදා එතුමා අභාවප්‍රාත්ත විය. රටම කම්පාවට පත් විය. නිවසක් පාසා සුදු කොඩි එසවුණි. එම ධජ පතාක වල සඳහන් වුවේ බත් දුන් පියා බුදු වේවා යනුවෙනි.

 
ජීවත් වූ ඩඞ්ලි සේනානායක මැතිතුමාටත් වඩා අභාවප්‍රාත්ත සේනානායක ප්‍රබල බව රටට දැනුණේ එතුමාගේ මළගමෙහිදීය. එම සිදුවීමෙන් දශක හතර හමාරකට ආසන්න කාලයක් ගතව තිබේ. එම අවමංගල්‍යයට පැමිණි ජනතාව ඇති කළ දේශපාලන බලපෑම අදටත් බැහැර වී නැත. “යූ.ඇන්.පිය. යළි නැගිටුවීම අසීරු” යැයි වටහා ගෙන විකල්ප සොයමින් සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පක්ෂය යළි ජය මාවතට ගත හැකි යැයි තේරුම් ගියේ සේනානායක මහතාගේ අවමංගල්‍යයේදීය. භේද භින්නව වෙනම පුරවැසි පෙරමුණක් ගැන බලාපොරොත්තු තබා සිටි ප්‍රේමදාස මහතා නිසි මඟ අවබෝධ කර ගත්තේ එදාය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූවේ සමගියෙන් යුතුව සටන් කර 1977 අද්විතීය ජයග්‍රහණය අත් කර ගැනීමයි. අවසන් සුසුම් වා තලයට මුදා හැරීමට පෙර ඩඞ්ලි සේනානායක මහතා කී අවසාන වචනය වුවේ “මට සියල්ලන් එකතු කරන්නට ඕනෑ” යන්නය. එය සදාකාලයකටම වලංගු ප්‍රණීත සත්‍යයක් වනවා නොඅනුමානය.

සෝමසිරි වික්‍රමසිංහ