ආර්. ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණි අවස්ථාවක ඩී. ඇස්. සේනානායක වීදියේ හොඳ හිත මුද්‍රණාලයේ ඉහළ මාලයේ පිළියෙල කර දුන් බූරු ඇඳක නිදාගෙන, රාත්‍රිය ගත කළ අවස්ථාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල ප්‍රබල ඇමැතිවරයකු වූ ඒ. රත්නායක මහතාගේ පුත් තෙල්දෙණිය මහජන බැංකුවේ කළමනාකරු ලෙස සේවය කළ ලක්ෂ්මන් රත්නායක මහතා දිනක් මෙම ලියුම්කරුට පැවසුවේය.


සුහද දේශපාලන සාකච්ඡාවක් අතරතුර අනාවරණය වූ මෙම සිද්ධියට පාදක වූයේ නවසිය පනස් හයේ මහ මැතිවරණයෙන් අන්ත පරාජයට පත් එක්සත් ජාතික පක්ෂයට යළි නායකත්වයට කැඳවූ ඩඞ්ලි සේනානායක මහතාගෙන් “ඔක්සිජන්” ලබාදීමේ ප්‍රතිසංවිධානාත්මක රැස්වීම් මාලාවේ වත්තේගම පැවති ආරම්භක රැස්වීමේ කථිකයෙකු ලෙස ආර්. ප්‍රේමදාස මහතා කැඳවා තිබූ අවස්ථාවකය.


එය මෙසේ සඳහන් කෙරුණේ ආර්. ප්‍රේමදාස මහතා කෙතරම් නිහතමානී, ඕනෑම දේකට ඔරොත්තු දෙන, ලද දෙයින් තුටුවන ඉතා දුර්ලභ ගණයේ පුද්ගලයකු බව ප්‍රශංසාත්මකව ප්‍රකාශ කරන්නටය.


පුංචි තැනකින් ස්වෝත්සාහයෙන් දේශපාලන භූමියට අවතීර්ණ වූ ඔහු කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගෙන් ලත් ආභාසයෙන් පොඩි මිනිහා පිළිබඳව තිබූ සුබදායී ආකල්පය තවත් ප්‍රගුණ කළ අතර, කම්කරුවන් වැඩකරන ජනතාව අතරට වැටෙන, රික්ෂෝකාරයන් ටැක්සිකාරයන්, කරත්තකාරයන්, නාටාමින් ඇතුළු සුළු තත්ත්වයේ රැකියාවන්හි යෙදෙනවුන් ඇසුරුකරමින් ඔවුන්ගේ සැප හා දුක බෙදා ගත්තේ සෑබෑ සහෝදරත්වයෙනි. ඔවුන්ගේ හද ගැස්මෙන් නැගෙන වේදනා හඬට යහමින් සවන් දුන් ප්‍රේමදාස මහතා, එය තමන්ගේ හඬක් බවට පත් කර ගත්තේ. කෙදිනක හෝ අවස්ථාවක් ලදොත් ඔවුන්ට පිහිටවීමේ දැඩි අධිෂ්ඨානයක් සිත්හි ධාරණය කර ගනිමිනි.


සන්ත බස්තියමේ නාගරික මන්ත්‍රීවරයා වීමෙන් රටේ ප්‍රධානතම නගර සභාවට තේරීපත්වූ ඔහු, නගරයේ තැන් තැන්වල, ලෑලිවලින් අටවා ගත් කාමර පේළිවල පවුල් පිටින් බලු කුක්කන් මෙන් එකට පොදි ගැසී දුක් විඳින අසරණ ජනතාවත්, ජරා කාණු දිගේ ජරාවට ගිය මුඩුක්කුවල තෙරපෙමින් ජීවත්වන අහිංසක ජනතාවත්, තම දේශපාලන අනාගත සැලැස්මේ රතු ඉරෙන් සලකුණු කරගෙන, ඔවුන් මිනිසුන් කිරීමට ඉටාගත්තේ සුදුසු න්‍යාය පත්‍රයක් සිත්හි සනිටුහන් කර ගනිමිනි.


දේශපාලනය මහේශාක්‍ය පවුල්වලට පමණක් සීමාවූ උත්තරීතර විෂයයක් වෙමින් තිබූ වකවානුවක, අල්පේශාක්‍ය පුංචි මිනිසුන්ටත්, කටු අකුල් මැදින් හා බොරළු මාවත් දිගේ හෝ එතැනට ළං වන්නට අවකාශ ලැබුණේ, ජනතාව විසින් ජනතාව පාලනය කෙරෙන ජනතා මඩුල්ලක් පත්කර ගැනීමට අවස්ථාව ලැබුණු බැවින්ය.


“ප්‍රේමදාස මරිය කඬේ ගැහැනියකගේ පුතෙක්” යනුවෙන් බිණූ මහේශාක්‍ය පවුලකින් දේශපාලනයට හිමිකම් කියූ අනුර බණ්ඩාරනායක මහතා, එමගින් ප්‍රේමදාස මහතාගේ පෞරුෂත්වය බිංදුවට බස්සන්නට දැඟලුවත් එය ඉවසා සිටියේ, කාරණය සත්‍ය වුවත්, අසත්‍ය වුවත්, තමන් මහේශාක්‍ය පවුලකින් පැවත නොඑන බව ඉඳුරාම පසක්කර ගනිමිනි.


ප්‍රේමදාස මහතාද ව්‍යක්ත කථිකයෙකි. දෙපැත්ත කැපෙන කතා කීමටත්, ජනතාව තමන් වෙත ඇදබැඳ තබා ගැනීමටත් හැකි මුඛරි කටක් ඔහුට ද ඇත.


බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු ඔහුගේ වැන්දඹු බිරිඳ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය, හැටේ මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වශයෙන්, අගමැති තනතුර අරබයා තරග වදිද්දී, ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ වේදිකාවකදී කළ ප්‍රකාශයකට නම් මුළු රටේ ජනතාවම පාහේ අනුකූලත්වයක් දැක්වූයේ නැත.


පක්ෂ නායකත්වය පිළිබඳව, ජේ. ආර්. - ඩඞ්ලි ගැටුමේදී මධ්‍යස්ථ බවක් ප්‍රේමදාස මහතාගෙන් පෙන්නුම් කළ බවට පෙනුණත්, ජේ. ආර්.ට ඔහුගේ පක්ෂපාතීත්වය තිබූ බවට පාක්ෂිකයන් අතර කතාවක් ද පැතිර ගියේය. ඩඞ්ලි සේනානායක මහතා බලවත් සේ ගිලන්ව, ඩර්ඩන් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ගන්නා අවධියේ ප්‍රේමදාස මහතා ඉන්දියාවට ගොස් සිටි අතර, ඔහු ආපසු පැමිණියේ ඩඞ්ලිගේ මෘත දේහය දැක බලා ගැනීමටය. එයද එක්සත් ජාතික පාක්ෂිකයන් නොසන්සුන්තාවට පත් වන කරුණක් වී පසුව, එය ඩඞ්ලිට කෙරෙන ගෞරවයක් වශයෙන් සමථයට පත්විය.


නිවාස ඇමැති වශයෙන් එ.ජා. පාක්ෂිකයන් අතර පමණක් නොව, රටේම නමක් දරා සිටි ඔහු, ජේ. ආර්. ජනපති පදවියට පත්වීමෙන් පසු අගමැති වශයෙන් පත් කරනවා හැරෙන්නට ජේ. ආර්.ට වෙන කළ හැකි අන් දෙයක් නොවීය.


විධායක ජනපතිවරයකු යටතේ අගමැති පදවිය, කාර්යාලයක පියුන් තනතුරකට නොදෙවෙනි යයි ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව විටින් විට ඉඟියෙන් කරන ලද කතා සාමාන්‍ය බුද්ධිමතෙකට වුවද වටහා ගැනීමට හැකිවිය.


කෙසේ වුවද ඔහුගේ නිවාස යෝජනා ක්‍රමය සැලකිය යුතු අන්දමින් ක්‍රියාත්මක කරවීමට හැකි වූ අතර, පළමු වරට පූට්ටු ගෙවල් ක්‍රමයක් ද හඳුන්වා දීමට සමත් විය.

 

1993දී ඉන්දියාවේ තානාපති නරේශ්වර් දයාල් ප්‍රේමදාස ජනාධිපතිට අක්ත පත්‍ර භාරදීම සිංහාසනය අසල.

 


ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසු විධායක ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මහතා, නොදියුණු පිටිසරබද යයි සම්මත ගම්මාන නාගරිකකරණය කිරීමක් වශයෙන්, සැණකෙළියක මුවාවෙන් උදාගම් සංකල්පය ද ක්‍රියාත්මක කළ අතර, එයින් මුළු රටේම අහුමුලුවල හැංගෙමින් පැවති අඳුරු ස්වභාවය කළ එළි කළේ, ඔවුන්ගේ අත මිට සරු කර ගන්නට අවස්ථාවද උදාකරවමිනි. එසේම නගරයක් නගරයක් පාසා ව්‍යාපාරිකයන් යොදවා ගනිමින් ඇඟලුම් කම්හල් ඉදිකරවා, රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ ගණනකට රැකියා උත්පාදනය කරවීමට ද, විශාල විදේශ විනිමයක් රටට ලබාදීමටද ඔහු සමත් විය. මේ අන්දමින් නැතිබැරි අය, ඇති හැකි අය කරන්නට ප්‍රේමදාස මහතා ගත් පරිශ්‍රමය අල්ප ආදායම් ඇති ජන කොටස්වලට මහත් සහනයක් වූයේ, ජනසවිය වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කරවමිනි. එසේම කිසි විටෙකත් ඥාති සංග්‍රහය අනුගමනය නොකළ ප්‍රේමදාස මහතාගේ සහෝදර සහෝදරියන් පිළිබඳව රටට අනාවරණය වූයේද ඔහුගේ ඝාතනය සිදුවූ අවස්ථාවෙන් පසුවය.


ආර්. ප්‍රේමදාස මහතා පුංචි තැනකින් මතු වූ පුද්ගලයෙකු වුවද රටේ ප්‍රධානතම පුරවැසියා වෙමින්, ඔටුනු නොපළන් රජෙකු නොවූව ද, පදවියේ ගෞරවය ආරක්ෂා කිරීමට දෝ කාලානුරූපව මහේශාක්‍ය තත්ත්වයට පරිවර්තනය වීමට අවශ්‍ය බවට දෙවරක් සිතුවේ නැත. දේසේ හැටියට බාසේ විය යුතුවාක් මෙන්ම, සිංහ ලේ රන් බඳුනක විනා, මැටි බඳුනක බහා තැබීමක් නොවන බවත්, ඊට සාධාරණය ඉටුකිරීම තම යුතුකම බවට ද ඔහු බැහැර නොකළේය.


මේ අනුව රජ ගෙදරට රජ පෙනුමක් ලබාදීමට හැකි හැම ප්‍රතිසංස්කරණයක්ම ඔහු කළේය. අත් කොට  සුදු කමිසයත් සුදු සරමත්, ඔහුගේ ප්‍රියතම මෙන්ම ජනප්‍රියි ඇඳුම වුවද, එය තුළ සිටින පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ප්‍රදර්ශනය කිරීමට, පරිහරණය කරන භාණ්ඩවලට පවා රාජකීය පෙනුමක් ලබාදීම කාලෝචිත මහඟු පියවරකැයි සිතූ ආර්. ප්‍රේමදාස මහතා ඔටුනු නොපැලඳුවත්, තේජාන්විත අභිමානයක් මෙදෙස පමණක් නොව, විදෙස පවා දර්ශනය වන අන්දමට සිංහාසනයක් නිර්මාණය කරවා ගත්තේය.


බටහිර කියමනක් ඇත. කාලයාගේ ඇවෑමෙන් ලෝකයේ ඉතුරු වන්නේ රජවරුන් හතර දෙනකු බවත්, ඒ සෙල්ලම් කාඞ් කුට්ටමේ හතර දෙනා පමණක් බවත්ය. එය ඔප්පු කිරීමට මෙන් ලෝකයේ රජවරුන් එකිනෙකා බලයෙන් ගිලිහී යෑම සිදු වුවත් රාජකීය මුහුණුවරක් හෝ පදවියට ලබාදීම උචිත බව ප්‍රේමදාස මහතා උපකල්පනය කළා වන්නට පුළුවන.

විශේෂයෙන්ම විදෙස් තානාපතිවරුන්, ඔහුව බැහැදැක තම රට වෙනුවෙන් අක්තපත්‍ර ඉදිරිපත් කිරීමේදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒවා දෑතින් භාරගත්තේ සිංහාසනාරූඪ වී සිට ඉන් අනතුරුවය. සිංහලේ අන්තිම රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ භූපතිගෙන් පසු රටට සිංහාසනයක් මතුව ආවේ ඔටුනු නොපලන් මෙන්ම රජෙකු ද නොවන, එහෙත් ගැහැනියක පිරිමියකු හා පිරිමියෙකු ගැහැනියක කරන්නට පමණක් බැරි අසීමිත බලතල සහිත ලංකේෂ්වර විධායක ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ගෙනි.


1815 දී ඉංග්‍රිසින්ට මෙරට යටත්වෙද්දී රටට අහිමි වූ සිංහාසනය අද කෞතුකාගාරයේ විරාජමානව ඇත. ඔටුන්න ද එසේමය. අදට වසර 200කටත් අධික කාලයක් ගත වුවද එම සිංහාසනය හා ඔටුන්න අදත් ජන ප්‍රදර්ශනය සඳහා සැදී පැහැදී ඇත. එහෙත් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පරිහරණය කළ සිංහාසනය කොතැනකවත් පෙනෙන්නට නැත. එම සිංහාසනයට වූ දේ කුමක්ද? ඊට බරපැන යෙදවූයේ පෞද්ගලිකව ද? නැතහොත් ජනතාවගේ මුදලින් ද? එසේ නම් එය ජනතාවට, රටට අයිතිය. එම ප්‍රශ්නය නගන්නට ජනතාවට අයිතියක් ඇත. ඊට නිසි නියම පිළිතුර දීමට අදාළ වගකිවයුත්තන්ට ද යුතුකමක් ඇත. එම අයිතිය හා යුතුකම ජනතාවගේ දෑසට නොපෙනී කොහේ හෝ සැඟවී ඇති සිංහාසනය යට කුක්කන් මෙන් වක ගැහී, ගුලි වී නිදන්නේ නම් එය රටටත් ජනතාවටත් කරන ජාතික අපරාධයකි.