එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ තමා දැරූ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ධුරය හැර දමා 1951.07.12 දින තම සමීපතම සගයන් 5 දෙනෙකු සමග විපක්ෂයට එක් වීම මෙරට දේශපාලන ගමන් මඟේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විය.


එසේ විපක්ෂයේ අසුන් ගත් බණ්ඩාරනායක මහතා 51.09.02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ දේශපාලන පක්ෂය පිහිටුවා එය ක්‍රමයෙන් එජාපය සමග කරට කර සිටින විපක්ෂ බලවේගය බවට වර්ධනය කර ගැනීමට සමත් වූයේය. 


තම පක්ෂය පිහිටුවා මාස 9ක් තරම් වූ කෙටි කාලයක් ඇතුළත පවත්වන ලද මහ මැතිවරණයේදී මන්ත්‍රී ආසන 09ක් දිනාගැනීමට සමත්වීම මගින් පැහැදිලි ඉදිරි ගමනක සුබ ලකුණු පෙන්නුම් කළේය. (එම මැතිවරණයේදී ලංකා සම සමාජ පක්ෂයද ආසන 09 ක් දිනා ගත් නමුදු ශ්‍රීලනිපය ලසසපයට වඩා ඡන්ද 56,000ක් පමණ ලබා ගන්නා ලදි.) ඉන් අනතුරුව 1956 වසරේ පැවති මහ මැතිවරණයට ශ්‍රීලනිපය මුහුණ දුන්නේ තනි පක්ෂයක් වශයෙන් නොවේ. 


පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු විප්ලවකාරි සම සමාජ පක්ෂය, විජයානන්ද දහනායක මහතාගේ භාෂා පෙරමුණ ද ඇතුළත්ව පිහිටුවා ගන්නා ලද මහජන එක්සත් පෙරමුණ වශයෙනි. ඊට අමතරව ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග ද තරග වැළැක්වීමේ එකඟතාවකට ම.එ.පෙ. පැමිණියාය. 


එම මැතිවරණයේදී එතෙක් කල් අපරාජිතව පැවති එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කරමින් මහජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ප්‍රගතිශිලී නව මාවතක් ඔස්සේ රට මෙහෙයවීම ආරම්භ කළේය. එතැන් සිට ශ්‍රීලනිපය බලයට පත් සෑම මැතිවරණයකදීම එම පක්ෂය බලයට පැමිණියේ විශේෂයෙන්ම ලසසප සහ කොප ඇතුළු වෙනත් ප්‍රගතිශීලී පක්ෂ සහ කණ්ඩායම් සමග සන්ධානගතවීමෙන් හෝ නිතරග ගිවිසුම්වලට එළඹීමෙනි. 


මෙහිදී 1970.05.27 වැනි දින පවත්වන ලද මහ මැතිවරණය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකා සම සමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ඇතුළත්ව පිහිටුවන ලද සමගි පෙරමුණ මහත් බලයක් ලබාගනිමින් බෙහෙවින් ශක්තිමත් රජයක් පිහිටුවීමට සමත්වීම නිසාය. 
කෙසේ වෙතත් බලය ලබාගෙන කලක් ගත වීමත් සමග සෑම අවස්ථාවකම පාහේ සමගි බැම්මේ ඉරිතැලීම්, පිපිරීම්, ගල්ගැලවීයාම් වැනි දේ සිදුවීම අභාග්‍ය සම්පන්නය. ශ්‍රීලනිප ප්‍රධාන වූ ආණ්ඩුවලින් ජනතා හිතවාදී ප්‍රගතිශීලි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වමේ පක්ෂ විසින් කරන ලද බලපෑම බෙහෙවින් තීරණාත්මක සාධකයක් වූයේය. 


ශ්‍රීලනිපය ඇතුළත දක්ෂිණාංශික කණ්ඩායම් බලවත් වූ විට ප්‍රගතිශීලී වැඩ කටයුතුවලට හරස් කැපීම් කරළියට පැමිණියේය. එවන් අවස්ථාවලදී වමේ පක්ෂවලට ඒවාට එරෙහිව වෙහෙසකර අරගලයක නිරතවීමට සිදු විය. උදාහරණ වශයෙන් කුඹුරු පනත ක්‍රියාත්මක කිරීම, වරාය, බස් ජන සතු කිරීම යන අවස්ථා පෙන්වා දිය හැකිය. 


1974 වර්ෂය වන විට සමගි පෙරමුණු රජයේ වමේ පක්ෂ සහ ශ්‍රීලනිපය අතර විවිධ මත ගැටුම් ඉස්මතු විය. එවන් වාතාවරණයක් යටතේ 1975 මැයි දිනයට සමගාමිව ප්‍රාදේශීය මැයි රැලියක් අම්පාර නගරයේදී පැවැත්විණි. එකල අම්පාරේ රාජ්‍ය සේවකයන් අතරින් අතිබහුතරයක් ගාල්ල, මාතර, කළුතර, මහනුවර වැනි දිවයිනේ දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණි අයගෙන් සමන්විත වූහ. ගුරුවරුන් අතර එම සංඛ්‍යාව වඩාත් ඉහළ මට්ටමක පැවතිණි. ගුරු විදුහල්වලින් පිටව පැමිණි සටන්කාමී තරුණ  ගුරුවරුන්ගේ නායකත්වයෙන් යුක්ත වූ ප්‍රබල ගුරු වෘත්තීය සංගම්  ව්‍යාපාරයක් අම්පාර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය. එවක අම්පාරේ පදිංචිව සිටි ප්‍රබුද්ධ ගුරුවරුන්ගේ නොමඳ සහාය ද මෙම ගුරු සංගම් ඇතුළු වෘත්තීය සංගම්වලට ලැබිණි. ගුරු සංගම් මෙන්ම අනෙකුත් වෘත්තීය සංගම් බොහෝමයක්ම වමේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඒවා විය. 


මෙසේ ප්‍රබල ක්‍රියාකාරී වෘත්තීය සංගම් ගණනාවක් පැවති නිසා එදා අම්පාරේ රැලිය අතිශයින්ම සාර්ථක විය. රැස්වීම පැවැත්වීමට පෙර දැවැන්ත පෙළපාළියක් කවදත් උණුසුම් නගරය තවත් උණුසුම් කරමින් පෙරට ඇදී ගියේය. 


ශ්‍රීලනිපයට අයත් සංවිධාන සහ එම පාක්ෂිකයන්ගේ හඬ අබිබවමින් වමේ හඬ පෙළපාළියේදී මතුව ආවේය. වේදිකාවේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ රජයේ අමාත්‍යවරු කීප දෙනෙක් ද පෙළපාළිය පිළිගනිමින් සිටියහ. ප්‍රාදේශීය රැලියකට මෙතරම් ජන සහභාගිත්වයක් ලැබීම පිළිබඳව අගමැතිනිය සහ මැති ඇමැතිවරු මහත් සතුටට පත් ව සිටින ආකාරය දැක ගත හැකි විය. මැතිනිය අසලින්ම අම්පාර මහජන මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය සෝමරත්න සෙනරත් මහතා ද මහත් ආඩම්බරයෙන් යුතුව සිටියේය. 


රජය ප්‍රගතිශිලී මාවතක් ඔස්සේ යනු දැකීමේ මහත් අපේක්ෂාවෙන් යුක්ත වූ ද ඒ සඳහා දැඩි ස්ථාවරයක රැඳී සිටියා වූ ද වමේ පක්ෂ විසින් කරනු ලබන බලපෑම මෙම පෙළපාළියේදී ද හඬ නැංවිණි. 


“අපි යන්නේ කොයි පාරේ 
මාක්ස් ලෙනින් ගිය පාරේ”
පෙළපාළිකරුවෝ වේදිකාව අභියස දී මහ හඬින් පැවසූහ. 
“අගමැතිනිට අපි කියන්නේ
කස්ත්‍රො වගෙ කෙළින් ඉන්න”  
ඒ තවත් සටන් පාඨයකි.


මෙම සටන් පාඨ මැතිනියට ඇල්ලුවේ නැත. වේදිකාවේ සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු එකිනෙකා සමග කොඳුරනු පෙනිණි. සිය කතාවේදී අගමැතිනිය මෙම සටන් පාඨවලට සිය බලවත් විරෝධය දැක්වූවාය. 


“මේ අය අපට පිටරටවල නායකයන්ගේ පාරේ යන්න අඬ ගහනවා. ඒ අයගේ නායකයන් ආදර්ශය ගන්න කියනවා. කැමති කෙනෙක් ඒ පාරවල්වල ගියාට කමක් නැහැ. ඒ ආදර්ශ ගත්තට කමක් නැහැ. අපට ඒවා ඕනැ නැහැ. අපට දිවංගත බණ්ඩාරනායක මැතිතුමා පෙන්වා දුන් පාර තියෙනවා” යි පැවසුවාය. 


පෙළපාළිය වමේ පක්ෂවල අයගේ ග්‍රහණයට පත්වීමට ඉඩහැරීම පිළිබඳව මැතිනිය පසුව සෙනරත්ට දෙහි කැපූ බව දැන ගන්නට ලැබිණි.

බණ්ඩාරගම පුල්ලපෙරුම