IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සහරාන්ලා කලින් අල්ලාගන්න බැරිවුණා

(*** මුදිතා දයානන්ද)

එක නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පැවැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු යටතට පත්වූ පසු විමර්ශන කටයුතුවලදී අංශ දෙක අතර තරගකාරිත්වයක් නිර්මාණය වූ අතර එම අංශ අතර තොරතුරු හුවමාරුව හා අන්‍යෝන්‍ය සබඳතාව බිඳවැටුණ බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ, අන්තවාදී මූලධර්මවාදීන් පිළිබඳ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගයාන් රත්නායක මහතා ඊයේ (12) පැවසීය.

තොරතුරු ලැබී තිබියදීත් පාස්කු දින ප්‍රහාරය වන තෙක් මෙම ඒකක දෙකෙන් එකකටවත් සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමට එය හේතු වූවා විය හැකි බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි. කොමිසමේ සාමාජිකයෙකු ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ඔහුගේ සාක්ෂි මෙහෙයවූ අතර ඔහු එහිදී මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

ප්‍රශ්නය -  ඔබ සේවය කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයකද? පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන කාලයේ ඔබ කුමන තනතුරක් දරුවේද?
පිළිතුර - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අන්තවාදීන් හා මූලධර්මවාදීන් පිළිබඳ විමර්ශන සිදුකළ විමර්ශන අංශ දෙකේ ස්ථානාධිපති ලෙස කටයුතු කළා.

ප්‍රශ්නය - ඔබට සහරාන් හෂීම් ගැන දැනගන්න ලැබුණාද? මොනවද ඔහු ගැන ලැබුණ තොරතුරු?
පිළිතුර -  ඔව්. ඔහු ඉස්ලාම් අන්තවාදී මතවාදය පතුරවන,  විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරමින් එම මතවාදය සමාජය අතරට රැගෙන යන තමන් වටා කණ්ඩායම් එකතු කරගන්නා පුද්ගලයකු ලෙස තොරතුරු වාර්තා වී තිබුණා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක්ද අපි ලබාගත්තා.

ප්‍රශ්නය - ඒ වරෙන්තුව ලබාගත්තේ කවදාද?
පිළිතුර - 2018 ජුලි 02 වැනිදා.

ප්‍රශ්නය - ඉන්පසු ඔහු ගැන තොරතුරු සෙව්වාද?
පිළිතුර - ඔව්. මම මා යටතේ සිටින නයනප්‍රිය නිලධාරියාට භාරදුන්නා ඔහු ගැන සොයා බලන ලෙස.

ප්‍රශ්නය - ඔබ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොතැනකට හෝ ගියාද? ගියා නම් ඒ කවදාද?
පිළිතුර - ඔව්. මමත් පොලිස් කොස්තාපල් නයනප්‍රිය ඇතුළු කණ්ඩායමක් 2019 ජනවාරි 14 වැනිදා කාත්තන්කුඩි හා අක්කරෙයිපත්තු ප්‍රදේශයට ගියා. ඒ ඔහු ඒ ප්‍රදේශයේ ජීවත් වන බවට ලැබුණ තොරතුරක් අනුවයි.

ප්‍රශ්නය: ඔබ ගියේ සහරාන් පමණක් අත්අඩංගුවට ගන්නද?
පිළිතුර: නැහැ, සහරාන් සමග සම්බන්ධ මොහොමඩ් අස්මි නමැති අයත් අත්අඩංගුවට ගැනීමට අපේ වරෙන්තු ලබාගෙන තිබුණා. ඔහු අක්කරෙයිපත්තුවල ඉන්න බවයි දැන ගන්න ලැබුණේ.

ප්‍රශ්නය: ඔබට ඔවුන් අත්අඩංගුවට ගන්න ලැබුණාද?
පිළිතුර: නැහැ. අක්කරෙයිපත්තුවලට ගියාට පස්සේ දැන ගන්න ලැබුණා අස්මි විවාහ මංගල උත්සවයකට කොළඹ මරදානට පැමිණ ඇති බව. ඒ අනුව මම කොළඹ අපේ අංශයේ නිලධාරින් කණ්ඩායමක් යොදවා ජනවාරි 15 වැනිදා රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත්තා. එහෙත් සහරාන් ගැන කිසිම ආරංචියක් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය- සහරාන් ගැන පසුව හෝ ආරංචියක් ලැබුණේ නැද්ද?
පිළිතුර- ඔහු නාරම්මල, කැකුණගොල්ල ලිපිනයේ පදිංචිව සිටින බවට ආරංචියක් ලැබුණා. මම මගේ නිලධාරීන් කණ්ඩායමක් සමග එහි ගොස් නිවස වැටලු‍වා.

ප්‍රශ්නය - ඒ කවදාද?
පිළිතුර - 2019 පෙබරවාරි 28 වැනිදා.

ප්‍රශ්නය - සහරාන් හමුවුණාද?
පිළිතුර - නැහැ. එය සහරාන්ගේ බිරිඳගේ පියාට අයත් නිවසක්. සහරාන්ගේ බිරිඳගේ මවත්, සහෝදරයාත් තවත් කාන්තාවකුත් පමණයි එහි සිටියේ. සහරාන්ගේ මවගෙන් අපි ප්‍රකාශයක් ගත්තා. ඇය කිව්වා සහරාන් වසර දෙකකින් පමණ එහි ආවේ නැති බව. ඒත් සහරාන්ගේ මස්සිනා ප්‍රකාශ කළේ සහරාන් මාස එකහමාරකට පමණ පෙර එහි ඇවිත් ගිය බවයි. ඒ වගේම සහරාන්ගේ බිරිඳ හා දරුවන් ටික කලකට පෙර එම නිවසෙන් බැහැරව ගිය බවත් ඔවුන් ඉන්නා තැනක් නොදන්නා බවත් ඔවුන් පැවසුවා.

ප්‍රශ්නය - ඔබ එහි සිටින අවස්ථාවේ විශේෂ යමක් සිදුවුණාද?
පිළිතුර - ඔව්. සහරාන්ගේ මස්සිනා වූ අබ්දුල් කාදර් මොහොමඩ් අන්සාර්ගේ ජංගම දුරකථනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක ඩයස් යන කියන නිලධාරියාගෙන් ඇමතුමක් ලැබුණා. මම කිව්වා ස්පීකර් ක්‍රියාත්මක කර ඇමතුම ලබාගන්නා ලෙස. එවිට ඔහු ඩයස් මහතාට කිව්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් තම නිවසට ඇවිත් සිටිනවා කියා. ඩයස් කියන නිලධාරියා කිව්වා අපට දුරකථනය ලබාදෙන්න කියලා. පසුව මම ඇමතුම ලබාගත්තා. ඔහු කිව්වා සහරාන් පිළිබඳ තොරතුරු ලබාගන්න ඔවුන් අන්සාර් යොදවා ඇති බව. අන්සාර් මෙම නිවසට පැමිණ තිබුණේ ඒ සඳහා රාජකාරියකට කියලත් කිව්වා. ඔවුන්ගේ රාජකාරියට බාධාවන නිසා වහාම එම නිවසෙන් පිට වන්නැයි අපෙන් ඉල්ලා සිටියා.

ප්‍රශ්නය - ඔබ මොකද කළේ? නිවසෙන් පිටවුණාද?
පිළිතුර - මම මගේ ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නා සිදුවීම. ඔහු මට උපදෙස් දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යයට බාධාවක් වෙනවා නම් එතනින් ඉවත්ව ආපසු එන ලෙස. අපි ආපසු ඇවිත් එම සිදුවීම වාර්තා ගත කළා.

ප්‍රශ්නය - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන් කරන විමර්ශනය පිළිබඳ විමසීමක් කළේ නැද්ද? ඒ ගැන වාර්තාවක් ලබාගත්තේ නැද්ද?
පිළිතුර - වාර්තාවක් ලබාගත්තා. එය දැන් මා සතුව නැහැ. පසුව ඉදිරිපත් කළ හැකියි.

කොමිසමේ සාමාජිකයෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය.

ප්‍රශ්නය - ඔබත් ඩයස් කියන නිලධාරියාත් දෙන්නාම උපපොලිස් පරීක්ෂකවරුන්. එසේ තිබියදී ඔහු කොහොමද ඔබට බලපෑම් කරමින් අන්සාර්ගෙන් ප්‍රශ්න කිරීම නවත්වා එම නිවසෙන් පිටවන ලෙස නියෝග කරන්නේ.
පිළිතුර - ඔවුන් පරීක්ෂණයක් අරඹා තිබෙන බවයි කිව්වේ. එක් එක් විමර්ශන අංශ අතර තරගකාරිත්වක් තිබීම නිසා එහෙම කිව්වා වෙන්නත් පුළුවන්.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ - ඔබ පාස්කු ඉරුදින ප්‍රහාරය අවස්ථාවේ එම පරීක්ෂණවලට සම්බන්ධ වුණාද?
පිළිතුර - ඔව්. මම දෙහිවල ලැගුම් හලකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීමේ සිදුවීම වූ ස්ථානයට මා ගියා. අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් නමැති අයෙක් එහි පුපුරුවා ගැනීම සිදුකර තිබුණා. ඔහු ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් ඇති බව වාර්තා වුණ නිසා මා එහි ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කළා. එහිදී ඔහු එම හෝටලයේ සෙනග ගැවසෙන ඔවුන් ආහාර ගන්නා ස්ථානයක අසුන් ගෙන පිටේ එල්ලා සිටි බෑගයකින් වයර් දෙකක් එළියට ගෙන ඒවා එකට ඝට්ටනය කර යම් පිපිරවීමක් කරන්නට උත්සාහ ගන්නා ආකාරයක් දකින්න ලැබුණා. ඒ නිසා ඔහු පිටේ එල්ලා ගෙන සිටියේ බෝම්බ බෑගයක් බවට සැක කළ හැකියි.

සුලු විවේකයක් ලබාදීමෙන් අනතුරුව නැවත ප්‍රශ්න කිරීම ඇරඹීය.

ප්‍රශ්නය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවන ලද වාර්තාව සහිත ලිපිගොනුව දැන් ඔබට ලැබී තිබෙනවාද? මොනවද එහි සඳහන් වන්නේ?
පිළිතුර - එහි සඳහන් වන්නේ සහරාන් කියන්නේ මුස්ලිම් අන්තවාදියෙක් බව. අන්තවාදී මතවාදයට එකඟවන කණ්ඩායම්වලට අවි පුහුණුව ලබාදීමේ කඳවුරු පවත්වාගෙන යාමට සැලසුම් කරන අයෙක් බව, පුත්තලම ලැක්ටෝවත්තේ පොල්වත්තක පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීමට ඔහු සම්බන්ධ බව, මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ බවද එහි සඳහන් වුණා.

ප්‍රශ්නය - ඔබ හා ඩයස් කියන නිලධාරියා අතර සහරාන්ගේ මස්සිනාගේ දුරකථනය ඔස්සේ සිදුකළ සාකච්ඡාව එහි සඳහන්ව තිබුණාද?
පිළිතුර - නැහැ.

ප්‍රශ්නය - ඔබ නැවත සහරාන්ගේ මස්සිනාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ ඔහු ගැන විමර්ශන සිදුකිරීමට අවසර ලබාගත්තේ නැද්ද?
පිළිතුර - මගේ යටතේ සේවය කළ නයනප්‍රිය කියන නිලධාරියා 2019 මාර්තු 06 වැනිදා ලිපියක් යොමු කරමින් කැකුණගොල්ල නිවසේදී සිදුවූ සිදුවීම පිළිබඳව දැනුවත් කර අන්සාර්ගෙන් යළි ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලු‍වා. එය මාගේ අත්සන යොදා මාගේ ඉහළ නිලධාරී මගින් අධ්‍යක්ෂ වෙත යොමු කළා.

ප්‍රශ්නය - ඔබේ ඉහළ නිලධාරියා මගින් අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ ලිපියේ ඔබේ ඉල්ලීම ඇතුළත් වී තිබුණාද?
පිළිතුර - නැහැ. එහි සඳහන් කර තිබුණේ අන්සාර්ගේ දුරකථන වාර්තාවක් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස පමණයි.

ප්‍රශ්නය - ඔබේ අංශයේ අධ්‍යක්ෂවරයා මගින් අන්තවාදී සංවිධාන පිළිබඳ විමර්ශන ගැන වාර්තාවක් පොලිස්පතිට යොමු කළාද?
පිළිතුර - ඔව්. අපේ අධ්‍යක්ෂවරයා මගින් වාර්තාවක් යොමු කර තිබුණා.

ප්‍රශ්නය - එහි කැකුණගොල්ලේ සිදුවීමත් වාර්තා කර තිබුණාද?
පිළිතුර - එය ප්‍රගති වාර්තාවක් ලෙසයි ඉදිරිපත් කර තිබුණේ. එහි මා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතැම් කොටස් වැඩි අවධානය සඳහා යොමුකරන බව පමණක් සඳහන් තිබුණා. ලැක්ටෝවත්ත පොල් ඉඩමට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබුණේ අන්සාර් විසින් බවත් එම වාහනය ඔහු පසුව විකුණා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර තිබුණා. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර ඔහු ගැන විමර්ශන සිදුකිරීමට පොලිස්පතිගෙන් අවසර ඉල්ලා තිබුණා.

ප්‍රශ්නය - පොලිස්පතිගෙන් ඒ සඳහා පිළිතුරු ලිපියක් ලැබුණාද?
පිළිතුර - පොලිස්පතිතුමා 2019 මාර්තු 18 වැනිදා අත්සන් කර යොමු කළ ලිපිය අපට ලැබී තිබුණේ එම වසරේ අප්‍රේල් පහළොස් වැනිදා. එය ඉදිරියට ගෙන යන්න කලින් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවුණා.

කොමිසමේ සාමාජිකයෙකුගේ ප්‍රශ්නවලට සාක්ෂිකරු මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - ඔබ කිව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අතර තරගකාරිත්වයක් පැවතුණා කියලා. ඇයි ඒ?
පිළිතුර - තරගකාරිත්වයක්ම නෙවෙයි. අපි අතර තොරතුරු හුවමාරුවීමක් එකල සිදුවුණේ නැහැ.

ප්‍රශ්නය - ඇයි එහෙම වුණේ? තරගකාරිත්වය නිසා නෙවෙයිද?
පිළිතුර - ඒක හරියටම කියන්න බැහැ. සමහර විට අපේ අංශ දෙකම මීට පෙර එකම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ පැවතුණේ. ඒ වෙලාවේ අපි අතර තොරතුරු හුවමාරු වුණා. එහෙත් පසුව අපි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් යටතට වෙන වෙනම පත්වුණා. ඒ නිසා වෙන්න ඇති මේ එක් එක් අංශ අතර තොරතුරු හුවමාරුව නැවතුණේ?

ප්‍රශ්නය - කොයි කාලෙකද මේක වුණේ?
පිළිතුර - 2018-2019 කාලයේ.

ප්‍රශ්නය - ඔබ කියන්නේ මේක පරිපාලන ගැටලු‍වක් බවද?
පිළිතුර - සමහර විට එහෙම වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය - අන්තිමට තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හෝ සහරාන් ඇතුලු‍ අන්තවාදීන් කිසිවෙක් අත්අඩංගුවට ගන්න බැරි වුණා.
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - ඔබ අංශ දෙක අතර අන්තර සබඳතාවයක් තිබුණා නම් ඔවුන් අත්අඩංගුවට ගන්න හැකිවෙන්න තිබුණා නේද?
පිළිතුර - සමහර විට එහෙම වෙන්න පුළුවන්.



අදහස් (2)

සහරාන්ලා කලින් අල්ලාගන්න බැරිවුණා

Nihal Thursday, 13 August 2020 08:56 AM

එක්කෝ වරදකරුවන් අල්ලා ගන්න ඕනි. නැත්නම් නවත්වලා දාන්න ඕනි. හැමදාම එකම බයිලෙ අහගෙන ඉඳලා එපා වෙනවා. එක්කෝ මියගිය අයම බෝම්බයක් පුපුරවාගන මියගියා කියලා ප්‍රකාශ කරන්න...

:       0       2

CITIZEN Thursday, 13 August 2020 09:38 AM

මේ විමර්ෂණ කොමිසමේ වාර්තාවේ සංක්ෂිප්තයක්: අමතක වී ඇත. නොහැකිව ඇත. සම්බන්ධීකරණයක් තිබී නොමැත. අතපසුව ඇත. සිතා නැත. දැනී නැත. තොරතුරු පැහැදිලි නැත. වගකිවයුත්තන් නැත. සමාගමක හෝ රජයේ ආයතනයක ඉතාම පහළ සේවකයාගෙන් පවා උසස්ම සේවයක් බලාපොරොත්තු වන රටේ, ඉහළ පුටුවල සිටි, අදාළ විෂය කරුණු ගැන හොඳින්ම දන්නා නිලධාරීන් කටයුතු කර තිබෙන හැටි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 290 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1006 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2445 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1658 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 969 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2248 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site