IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මන්ත්‍රීවරුන් කෝටි ගණන් වලට අළෙවි වීම නැවැත්වීමට පාර්ලිමේන්තුව විසිරුවා හැරියා

(ඩයනා උදයංගනී)

ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්ති සහගත සහ සාධාරණ තීන්දුව වන්නේ එය පොදු ජනතාවට භාරදීම බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.  මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලට අලෙවිවීමත්, කතානායකවරයාගේ පුදුම සහගත ප‍්‍රකාශත් තමාගේ මෙම තීරණයට හේතු වූ බව ද ජනාධිපතිවරයා කීවේය.

ඒ තුළින් දැනට ඇතිවී තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි කී ජනාධිපතිවරයා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලූ දෙනා කැපවිය යුතු බව ද සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘‘වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ඔබ අමතන තුන්වන අවස්ථාව අද. මම පළමුවෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා ඔබට මගේ අදහස් ඉදිරිපත් කළා.

ඒ වගේම නොවැම්බර් 05 වනදා බත්තරමුල්ලේ පැවති ජන හමුවේ දී දෙවන අවස්ථාවට දේශපාලන අදහස් මම ඔබට ප‍්‍රකාශ කළා. අද තුන් වන අවස්ථාවටයි මම ඔබ අමතන්නේ . මෙහි තිබෙන වැදගත්කම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මා විසින් ඔබ අමතන අවස්ථාව වීමයි. විශේෂයෙන්ම මා මුලින්ම ඔබට සඳහන් කරන්නට  ඕන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූ කරුණු ඉතාමත් සකෙවින් මෙන්ම කෙටියෙන්,

අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භ කරනු ලැබුවේ රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගය අවසන් කරමින්, පළමුවෙනි පාර්ලිමේන්තුව ආරම්භ වුණේ 1947. එදා සිට අද දක්වා මහ මැතිවරණ පවත්මින්, ආණ්ඩු වෙනස් වෙමින්, නව රජයන් බලයට පත් වෙමින් මේ රටේ රාජ්‍ය පාලනය සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්තී‍්‍රවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා.

අපේ රටේ පාර්ලිමේන්තුව තුළ ඇති වූ දේශපාලන අර්බුද සහ වෙනස්වීම් වලදී ඒ පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. මගේ මතකයේ තිබෙනවා 1964 දී ලේක්හවුස් පනතට විරුද්ධ වී පාර්ලිමේන්තුවේ ඇති වූ පරිවර්තනයන්. ඒ තුළ සිදු වූ ආණ්ඩු වෙනස. නමුත් 47 සිට අද දක්වා කාලය ගත් විට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවල දූෂිත වූ තත්ත්වයක් අපිට දැනගැනීමට වාර්තා වන්නේ නැහැ. 2015 ඇති වූ මහ බැංකු මංකොල්ලය, ඉන් පසුව ඇති වූ විවිධ දූෂණ අක‍්‍රමිකතාවලට තිබූ සම්බන්ධතාවය, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇතිවූ දේශපාලන උණුසුම් සහගත තත්ත්වයේදී මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් මම පෙර කී පරිදි මිල නියම කිරීම ඒ අය විසින් කරනු ලැබුවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඔබේ ගෞරවනීය ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණි මෙම නියෝජිතයන් තමන්ගේ වටිනාකමට වාණිජ්‍ය වටිනාකමක්, මිලක් නියම කිරීම මොනතරම් දේශපාලන වශයෙන් ඛේදජනක ද අවසනාවන්ත ද යන්න ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නා වූ දෙයක්.

ඒ තුළ ප‍්‍රධාන වශයෙන්ම ඇති වූ තත්ත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තුව විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දෙවන කාරණය ලෙස මුල් වූයේ හිටපු කථානයක කරු ජයසුරිය මහතාගේ හැසිරීම පුදුමාකාර වීම. ඒ ගැන මම ඉතාම කනගාටු වෙනවා. එතුමා මගේ ඉතාම හිතවතෙක්, මිත‍්‍රයෙක්. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ පත් වූ කාථානායකවරු මධ්‍යස්ත හා අපක්ෂපාතිභාවය ඉහළින්ම පෙන්නුම් කළා 1947 සිට මේ දක්වාම. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය පිළිබඳව නොසලකමින්, ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතල වලින් අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමේදී එය පිළිනොගන්නා ස්වභාවයක් ඇති කරමින් එතුමා විසින් කරනු ලැබූ ප‍්‍රකාශනයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවන කාරණය කියලා මම මෙහි දී සඳහන් කරන්න  ඕන.

මෙහි දී මා මතක් කරන්න  ඕන අපි දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඔබේ මතකය මම යොමු කරනවා 2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන් පසුව ඊට පසුදා ජනාධිපති ධූරයේ දිවුරුම් දී, ඊට මොහොතකට පසුව ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර මණ්ඩලයේ 225 න් 162 ක බලයක් තිබූ දි.මු ජයරත්න මහතා ඉවත් කර. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පත්වුණේ මන්තී‍්‍රවරුන්ගේ සංඛ්‍යාව 41 ක් තිබියදී. ඒ අවස්ථාවේ අද කතා කරන බහුතරය පිළිබඳව කථා නොකළ  බව ඔබේ මතකයේ තිබෙනවා.

බොහෝ විට සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු බහුතරයකගේ කැමැත්ත ගත හැකි මන්තී‍්‍රවරයෙකු, අගමැතිවරයා වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකඟතාවයන් අනුව පත් කිරීම. එසේ පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා කෙරෙන ස්ථාවර නියෝග, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා. එහෙත් අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුවට යන පළමු දිනයේදීම කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසය තිබේ ද යන්න බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ සිදුවී නැහැ. ස්ථාවර නියෝග තුළ එවැන්නක් සිදුවන්නෙත් නැහැ.

නමුත් පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප‍්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබු නිවේදන අංක 02 යටතේ, එතුමා නිකුත් කළ පළමු නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද පාර්ලිමේන්තුවේ හිමිකරන බව. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට අයත් පාර්ලිමේන්තුවේ ආසනය. ඒ වගේම පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය. එය පළමු ප‍්‍රවෘත්ති නිවේදනයේ තිබුණත්, ඊට දින කිහිපයකට පසුව නිකුත් කළ දෙවැනි ප‍්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප‍්‍රවෘත්ති නිවේදනයක් බවට පත්වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඒ ඇතිවූ තත්ත්වය මා දැඩි ලෙස අවධානයට යොමු කළා.

ඒ වගේම දෙපාර්ශ්වයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුණා, මාධ්‍ය තුළ විවිධ සාකච්ඡා මගින්, 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප‍්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මම ඉඩ හැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර එම ගැටුම ඔබෙත්,  මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලූ සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ  සිවිල් ජනතාවට අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා.

ඒ නිසා ඒ සියල්ලටම වඩාත් සුදුසු විසඳුම වන්නේ ඒ 225 හේ ගැටුම්සහගත තත්ත්වයක් එහි නිර්මාණය වෙමින් රට පුරා විශාල ගැටුම් සහගත සාමය කඩවන තත්ත්වයකට රට පත් වීමට ඉඩ හැරීම නොව මගේ වගකීම සහ යුතුකම වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් ලෙස ගුරු කොට සලකමින් නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සඳහා මන්ත‍්‍රීවරු තෝරා පත් කර ගැනීමටත් මේ තිබෙන තත්ත්වයන් විසඳා ගැනීමටත් අපේ රටේ පුරවැසියන් ඡුන්ද බලය හිමිවූ ලක්ෂ එකසිය පනහක සංඛ්‍යාවට එම බලය පැවරීමත්. ඒ නිසා මන්ත‍්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත් කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයත් ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ එය පොදු ජනතාවට භාරදීම යන ඒ උතුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාර්ථය ඉටු කරමින්  තමයි මම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. ඒ තුළින් දැන් තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිරසාර විසඳුමක් මහ මැතිවරණයකින් ඇති වන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ.

මෙහි දී මහ මැතිවරණය පැවැත්වීමේ පූර්ණ බලධාරීන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. මැතිවරණ කොමිෂන් සභාවට අපි සම්පූර්ණ සහයෝගය දිය යුතු වෙනවා. මැතිවරණ නීතිරීති ආරක්ෂා කරමින් රට තුළ මැතිවරණ කොමිසම විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණ සහ යුක්තිසහගත මැතිවරණයක්  පැවැත්වීමට ඔබ අප සෑම කෙනෙක්ම අපගේ ඉහළම සහයෝගය මැතිවරණ කොමිසමටත් රාජ්‍ය නිලධාරීන්ටත් ආරක්ෂක කටයුතුවල යෙදෙන පොලීසිය ඇතුළු ත‍්‍රිවිධ  හමුදාවටත් සහයෝගය ලබා දෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම මා ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම නිහතමානී ලෙසයි. නව ආණ්ඩුවක් අපි තෝරා ගත්තා. ඒ වගේම දුෂිතයන් ඉවත් කර රාජ්‍ය පාලනය සඳහා පිරිසිදු මන්ත‍්‍රී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම ගෞරවනීය ඔබට භාරයි. අප ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඒ ජනමතයට හිස නමමින් මහ මැතිවරණයක් පැවැත්වීම කාගේත් ප‍්‍රසාදයට ලක් වූ කාරණයක් තීරණයක් විදියටයි මා දකින්නේ.

 

රටේ දැවෙන ප‍්‍රශ්න ජීවන වියදම, සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම වගේම දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම වගේම පිරිසිදු විදේශීය ආයෝජන දූෂණයෙන් තොරව ලබා ගැනීම, සදාචාර සම්පන්න විනයගරුක සමාජයක් ගොඩනැඟීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වැනි කරුණු සියල්ලටම මා හිතනවා විසඳුම වෙන්නේ මේ මැතිවරණය පවත්වා ඔබේ තීරණය අනුව නව ආණ්ඩුවක් පත් කර ගැනීම යි.

ඒ නිසා අපේ ආදරණීය මාතෘභූමිය නව මඟකට අපි අරගෙන යනවා. රටේ අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා නව තාක්ෂණික ලෝකය තුළ සදාචාරසම්පන්න වූ අපේ සිරිත් විරිත්, සම්ප‍්‍රදායයන්, සංස්කෘතීන් ආරක්ෂා කරමින් දැනුම මුල් කරගත් සමාජයක් ඒ වගේම උගත් බුද්ධිමත් පිරිසක්  වගේම ප‍්‍රබුද්ධ පරිණත රාජ්‍ය පාලකයන් පිරිසක් පත් කිරීම සඳහා ඔබට මේ ඉතාමත්ම විශිෂ්ට වූ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනට කර ඇති නිවේදනය තුළ ගැසට් නිවේදනයත් ඒ වගේම මැතිවරණ කොමිසම ගෙන ඇති තීන්දුවලටත් අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. එහිදී මැතිවරණයක නීතිරීති තුළ මීට පෙර දැක අත්දැකීම් ඇති මැතිවරණ නීතිරීති උල්ලංගණය වන කරුණු අතර මුල්වන කාරණා එකක් දෙකක් මා ඔබට මතක් කරන්න කැමතියි.

මූලික වශයෙන්ම දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාර සඳහා අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රාජ්‍ය දේපළ අවභාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම. රජයේ වාහන පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් ඉවත් වීම. පසුගිය ආණ්ඩුව තුළත් වර්තමාන භාරකාර ආණ්ඩුව තුළත් දැනට කටයුතු කරන මේ අවස්ථාවේ දී ඒ එක් එක් අමාත්‍යාංශවලට මන්ත‍්‍රීවරුන්ට පාවිච්චි කිරීමට වාහන ලබා දී තිබුණු බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව බලය තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක් විදියට නාම යෝජනා දීම නිවේදනය කිරීමේ සිට පාර්ලිමේන්තුව රැස් කරන කාලය දක්වා ඇමති මණ්ඩලය සහ අගමැති ජනාධිපති කියන මේ ඇමති මණ්ඩලයෙන් සමන්විත භාරකාර මණ්ඩලයටයි. ඒ නිසා එම ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර වෙනත් කිසියම්ම කෙනෙකුට හිටපු රාජ්‍ය ඇමතිවරු, හිටපු නියෝජ්‍ය ඇමතිවරු, හිටපු මන්ත‍්‍රීවරු ඒ කිසිවකුට රජයේ වාහන සහ රජයේ පොදු දේපළ භාවිත කිරීම මැතිවරණ නීතිය යටතේ සම්පූර්ණයෙන්ම තහනම් බව ඔබ දන්නා දෙයක්. ඒ නිසා ආණ්ඩු වෙනස් වීමක් ඇති වූ මේ අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුන් භාරයේ තිබූ සියලූම රජයේ වාහන, සම්පත් වහාම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදෙන ලෙස ඒ මැති ඇමතිවරුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ භාරදීම ප‍්‍රමාද වුව හොත් මට සිදුවෙනවා පොලීසිය යොදවා නීතිය ක‍්‍රියාත්මක කරමින් එම වාහන ආපසු ලබා ගැනීමට පමණක් නොව එවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා කුමන පක්ෂයක හෝ වේවා ඒ අයට විරුද්ධව ඉතාමත් තදින් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් සිදුවනවා. ඒ නිසා රජයේ වාහන පාවිච්චි කිරීම, රජයේ සම්පත් පොදු දේපළ පාවිච්චි කිරීම මේ අවස්ථාව තුළ සම්පූර්ණයෙන්ම නොකළ යුතු නීතියෙන් තහනම් දෙයක් බව ඔබට මා මෙහි දී කාරුණිකව සිහිපත් කරනවා.

ඒ නිසා මේ මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා අපි මැතිවරණ කොමිසමට, රාජ්‍ය නිලධාරීන්ට, පොලීසිය, ත‍්‍රිවිධ හමුදාව ඒ සියලූ දෙනාටම අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මැතිවරණ කාලසීමාව තුළ ගැටුම් ඇති කර නොගනිමින් සාමකාමීව ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරමින් ඒ සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වගකීම දේශපාලන පක්ෂ නායකයන්, මැති ඇමතිවරු, අපේක්ෂයන්, අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් රටේ පොදු ජනතාව ඒ සෑම කෙනෙකුටම පැවරෙන්නා වූ ඉතාමත්ම පු`ථල් වගකීමක් බව ඔබ දන්නවා. ඒ සියල්ල සිහිපත් කරමින් මා මේ ඉදිරිපත් කළ කරුණු අනුව අපේ උතුම් රට ඉදිරියට ගෙන යන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් ඒවගේම නවෝදයක් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇතිව අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය  මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා ඔබ සියලූ දෙනගේ සහයෝගය මා ඉතාම කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

 

නහි වේරේන වේරානී

සම්මන්තී ද කුදාචනං

අවේරේන ච සම්මන්ති

ඒස ධම්මෝ සනන්තනෝ ‘‘



අදහස් (42)

මන්ත්‍රීවරුන් කෝටි ගණන් වලට අළෙවි වීම නැවැත්වීමට පාර්ලිමේන්තුව විසිරුවා හැරියා

Namal Sunday, 11 November 2018 03:40 PM

සමස්ථ රටක් විනාශ කොට වෙන පැත්තකින් කතා කරන නායකයෙක්...

:       0       0

DEMOCRACY Sunday, 11 November 2018 03:43 PM

ඉතින් මන්ත්‍රීවරු සල්ලිවලට ගත්තේ ඔබතුමානේ..

:       0       0

sandy123 Sunday, 11 November 2018 03:45 PM

අනේද කියන්නේ...? කොහෙන් අහලා කොහෙන් පිට කරන්නද දන්නේ නැහැ...

:       0       0

Rohitha Sunday, 11 November 2018 03:47 PM

එතකොට ඡන්දෙට වියදම් කරන්නේ හුටන්ගේ අප්පච්චිගේ මුදල් වෙන්න ඇති...

:       0       0

කයිවාරුවා Sunday, 11 November 2018 04:01 PM

බලහත්කාරයෙන් කැබිනට් එකක් හදලා ඒ අයට විතරක් වාහන පාවිච්චි කරන්න දීලා සාධාරණය හා යුක්තිය ගැන කතා කරන ඔබ ගැන ලැජ්ජයි...

:       0       0

සඳුන් Sunday, 11 November 2018 04:05 PM

ජනතාව වෙනුවෙන් ඔබට කරන්න තිබුණ හොඳම දේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොකැඳවා ජනාධිපතිවරණයකට යාමයි. හිතු හිතූ වෙලාවට රටේ ආණ්ඩුවක් විසුරැවා හැරීම ඉදිරියට පත්වන ආණ්ඩුවකටත් තර්ජනයක් නරක පූර්වාදර්ශයක්. ඉදිරියට පත්වන ඕනෑම රජයක විශ්වාසභංඝයකට මුහුණදීමට අනිවාර්යයෙන්ම සිදුවේවි.

:       0       0

Wimal Sunday, 11 November 2018 04:15 PM

රටේ විධායක ජනාධිපති කියනවා මේ අය පැන්නේ සල්ලිවලටලු... ඉතින් තව වෙන මොන කතාද? ඡන්දෙ දෙන්න ලෑස්තිවෙලා ඉන්න තක්කඩි ටිකටම ආයෙමත්.. ආසනයට ගිහින් වැඩක් කරන්නේ නැති ඡන්දෙ මතක් වුණාම විතරක් ආසනයට එන තක්කඩි රැළ.. ලොක්කවත් පෙන්නන්න වෙයි වගේ හොඳ සයික්ලෝ කෙනෙක්ට...

:       0       0

Nisala Sunday, 11 November 2018 04:18 PM

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නිසා වෙන්න ඇතිනේ ඇමැතිලා 30 සම්පූර්ණ කරලම විසිරෙව්වේ.. එජාප ඡන්ද වලින් ඇවිල්ලා එජාපයේ පාක්ෂිකයන්ටම දුන්නා.. සහගහනවා. කෝ මේ සිරිසේන?

:       0       0

Saman Sunday, 11 November 2018 04:21 PM

ගිය සැරේ ඔබ කියපු 'රනිල් සහ ඔබ අතර සංස්කෘතික වෙනසක් 'තියෙනවා කියන එකනම් ඇත්ත. ඒක තමයි ඔබට නැති 'උගත්කම' සහ 'රාජ්‍යතාන්ත්‍රික භාවය'.

:       0       0

Sapumal. Sunday, 11 November 2018 04:26 PM

ඔබතුමා එකඑක වෙලාවට කියන්නේ එකඑක කතා. කොයිඑක නිවැරදිද? කොයිඑක වැරදිද? කියා සිතාගැනීම අති දුෂ්කරයි. ඒ වුනත්, අපට එකක් නම් පැහැදිලියි. බහුතරය හදාගන්න කට්ටියට කතාකලා. ඒත් වැඩේ හරි ගියේ නැහැ. මුදල් වලට මන්ත්‍රීන් ගන්න කතාකිරීමේ හඬපටවල සිටින්නේ ඔබගේ නව රජයේ සහ පක්ෂයේ අය බව පෙනීයනවා. දැන් මේවා කියලා වැඩක් වෙන්නේ නැහැ. සත්‍ය හෙළිවී හමාරයි. අධිකරණයේදී සත්‍ය හරියටම තහවුරු වේවි... විසිරෙව්වේ බහුතර බලය ගැනීමට යෙදු සියලු උත්සාහයන් අසාර්ථක වූ නිසා බව සැවොම දන්නා කරුණක්... මහින්ද මහතා අනිත් පක්ෂයේ සාමාජිකත්වය ගැනීම නිසා දැන් මේ කතාව කියවෙනවා ඇති සමහරවිට. ඇට නැති දිව ඕනෑම පැත්තක හැරෙනවා. දේශපාලකයා වෙන කළ නොහැකිම දෙයක් වූ කල ආගමේ එල්ලෙනවා යන කීම යට සඳහන් ගාථාවෙන් ගම්‍යමාන වෙනවා යයි සිතීමට කෙනෙකුට පුළුවන.

:       0       0

Saman Sunday, 11 November 2018 04:27 PM

බලාගෙන ගියාම මෙයාට පේන කියන්නත් පුලුවන්නේ නේද? පාර්ලිමේන්තුව ඇරියොත් මන්ත්‍රීලා කීපදෙනෙක් මැරෙනවලු. මාරයිනේ !

:       0       0

Sunil Sunday, 11 November 2018 04:29 PM

මන්ත්‍රීවරුන්ව මුදලට බිලිබා ගන්න පාර විවෘත කලේ කවුද? 2015දීත් ඊට කලිනුත් මේ සෙල්ලම තිබුණා නේද? ඒවා ගැන නොදන්නවා කියන්න බැහැනේ? හැට දෙලක්ෂයක් ජනතාවගේ තීන්දුවට හිස නමාලා රජය තුළ ප්‍රශ්නයක් ආරවුලක් තිබුණා නම් ඒවා එකතු වෙලා ශිෂ්ටසම්පන්නව කතාකරගෙන විසදගෙන, ඒ ජනතාව එදා දුන්නු තීන්දුවට ගරුකරලා ජනතාව තීන්දු කළ අවුරුදු 5 ක කාලය තුල රජයක් ගෙනියන එක නේද කරන්න තිබුනේ..?

:       0       0

Kusal Sunday, 11 November 2018 04:32 PM

ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය ධම්මපදයේ ගථාව කිව්වානම් නියමයි.

:       0       0

බම්බුවා Sunday, 11 November 2018 04:39 PM

සල්ලි වියදම් කරලත්, බහුතරය හදාගන්න බැරි වුණාම, මේ වගේ අතේ පැලවෙන බොරු කියනවා නේද? අනේ ඇත්තට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැති හැටි...

:       0       0

latha Sunday, 11 November 2018 04:42 PM

අනේ පව්... කුජීත වෙන නිසා... පව් අනේ... කුජීත ටීම් එකට පව්...

:       0       0

Saman Sunday, 11 November 2018 04:43 PM

"කථානායකවරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු වන්නේ නැත" - කරු

:       0       0

Sirisena Sunday, 11 November 2018 04:50 PM

මංගල ට්වීට් කරපු මේකත් නියමයි.... "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන ද්‍රෝහියා විසින් 2018 වසරේදී පාවා දී ඝාතනය කරනු ලැබූ බවයි."

:       0       0

රොමේෂ් Sunday, 11 November 2018 05:27 PM

ඇතිවූ අර්බුදය නෙමෙයි "ඇතිකෙරූ" අර්බුදය ලෙස නිවරදිවිය යුතුයි.

:       0       0

GonAliya Sunday, 11 November 2018 05:35 PM

රටේ මිනිසුන්ට නොතේරෙන බොරුවක් හොයා ගන්න බැරි උනාද

:       0       0

Ravi Sunday, 11 November 2018 05:42 PM

මෙයාට දැන් කියන්න දෙයක් නෑ වගේ. අනේ මෙහෙමත් ජනතිපති කෙනෙක්.

:       0       0

lal Sunday, 11 November 2018 05:54 PM

මේ කතාවට හිනාවෙනවද අඬනවද කියලා තාම හිතාගන්න බෑ. එඩ්වඩ් ජයකොඩි ගෙ "ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ වනන්තරේ" මතක් වෙනවා!

:       0       0

Jehaan Sunday, 11 November 2018 06:24 PM

අපේ රට අන්තර්ජාතික විහිලුව බවට පත් වෙලා . මන්ත්‍රීවරු නෙවෙයි මුළු රටේම ගරුත්වය දේශපාලන පොරපිටියේ විකිණිලා ඉවරයි !

:       0       8

Kama Sunday, 11 November 2018 06:36 PM

මෙය කියවන සැමගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි. ජනවාරි 5 ඔබ කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්, මනාප ලබා දීමේදී මීට පෙර ඇමතිකම් නොකල හැකි නම් මීට පෙර පාර්ලිමේන්තුවේ නොසිටි වයස අවුරුදු 50ට අඩු, දන්නා තරමින්වත් යහපත් කල්ක්‍රියාවක් ඇති පුද්ගලයන්ට මනාපය දෙන්න. වෙනසක් කල හැක්කේ එවිටයි. නැතිනම් අපි ආයේ, ආයේ, පත් කර ගන්නේ, පුද්ගලික වාසි වලට පිල් මාරු කරනා පරණ දූෂිතයන් රැලම තමයි.

:       0       19

saman Sunday, 11 November 2018 08:39 PM

ඉතා හොඳ කතාවක්

:       5       3

V.warnakulasuriya Sunday, 11 November 2018 08:47 PM

මන්ත්‍රීවරුන් විකිණෙන මිල නිසා පාර්ලිමේන්තුව විසිරැවා හරින ප්‍රජාතන්ත්‍රවාදයක් අපට පාසලේ උගන්වා නැත. රජයක් හරි හෝ වැරදි හෝ විසිරුවා හැරීමට නියමිත ක්‍රමයක් සහ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී රජයක ඇත. ව්‍යවස්ථාවට එකඟව අගමැතිවරයා පත් කළේ නම් බහුතරයකුත් ඇත්නම් බිලියන 4-5 කුත් ජනතාවගේ කාලයත් වැය කරන්නේ කාගේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාද යන්න තේරුම් ගත නොහැකියි.

:       1       76

Bamunuarachchi Sunday, 11 November 2018 10:46 PM

මැතිවරණයකට යාම සීයට සීයක් අනුමත කරනවා. දැන් රට වැඩදායක ආණ්ඩුවක් පත් කිරීමේ බලය තිබෙන්නේ ජනතාව අතේ. අපිව අලෙවි වන්නේ බලයේ සිටපු ආණ්ඩු රටට කරන ලද සේවයටයි. බදු බර වැඩි කිරීම, මහා බැංකුව කොල්ලකා රටේ ආර්ථිකය කඩා වැට්ටීම, ගතවූ අවුරුදු තුනහමාරටම මෙරටට කිසිදු සේවයක් නොකිරීම ජනතාව අනුමත කරන්නේනම්, ඒ ජනතාව එජාපෙට නැවත බලය දෙනු ඇත.

:       34       15

රවින් Monday, 12 November 2018 12:21 AM

හොඳයි කියමු බලන්න.. ඔය අතරින් දැනට කැබිනෙට්ටුවේ ඉන්න අයගේ නම් හා අලවි වූ මුදල. සියලු විස්තර ප්‍රසිද්ධ කරන්න. ඔය අපගේ වටිනා ඡන්දය පිනට අරගෙනනේ... කමක් නැහැ. හැබැයි පොදු ජන හිත සුව පිණිස නම් සහ අලවි වූ මුදල පලකළොත් අපිටත් පුළුවන් අපේ ඡන්දේ වෙන්දේසි කරන්න. සියලු ලාංකිකයින්ට ඡන්දය වෙන්දේසි කර කිසියම් මුදලක් ලබාගන්න පුළුවන්. අන්න එතකොට කියන්න පුළුවන් මම විශිෂ්ට පොදුජන සේවයක් කලා කියලා...

:       1       19

Mohamed from Australia Monday, 12 November 2018 12:27 AM

මුළු ලෝකෙම ඔබව බලන් ඉන්නවා. විහිළු කරන්න එපා. රටේ ව්‍යවස්තාව එක්ක... ඔබ දැන්ජෝකර් කෙනෙක් වෙලා මුළු ලොවටම..

:       97       234

Push Monday, 12 November 2018 12:27 AM

ඔහු පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණු මුල් දිනයේ සිටම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් නම් කරන බව ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ බව ජනාධිපතිතුමාට අමතක වී ඇති බව පෙනේ. තවද, පාර්ලිමේන්තුවට ආරකෂාව දීමට සේනාධිනායකයා වශයෙන් ඔහුට නොහැකි බව ඔහුගේ ප්‍රකාශයෙන් වැටහේ.

:       29       55

akila Monday, 12 November 2018 01:36 AM

ලංකාවේ තරම් ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලන රටක් ලෝකේ වෙන කොහෙවත් නැහැ , හැම අවුරුද්දෙදිම වගේ ජන මතය විමසා බලනව දැන්

:       0       8

ඩී. ජයදේව Monday, 12 November 2018 02:30 AM

අලෙවි වෙන එක නවත්තන්න නම් ඕක විසුරුවලා ම තියන්න වෙනවා

:       0       72

Lakshman Monday, 12 November 2018 02:31 AM

මුලින්ම කල යුත්තේ මෙම අවස්ථාවට වැට බැඳීමයි. එනම් යම් මන්ත්‍රී කෙනෙක් පක්ෂය මාරු කලොත් මන්ත්‍රී නිලය අවලංගු කල යුතුයි. නීතිය වෙනස් කලොත් මේ එක්කෙනෙක්වත් පනින්නේ නැත.

:       0       86

gamini Monday, 12 November 2018 04:12 AM

මන්ත්‍රීරිවරුන්ට සුදුසුකම් ගැසට් කරන්න

:       0       151

Deepal Nirosh Monday, 12 November 2018 05:25 AM

තීරණය නිවැරදියි, විදේශ බලපෑම් හමුවේ නොසෙල්වී සිටීම ඉතා අගය කරනවා. හැබැයි විදේශ බලපෑම් හමුවේ ප්‍රතිචාර දැක්වීම පසෙකලා නිශ්ශබ්දතාව රකිමින් තම ස්ථාවරත්වයේ සිටිීමයි රාජත්‍රාන්ත්‍රික වෙන්නෙ.

:       2201       218

sam Monday, 12 November 2018 06:58 AM

කථානායකතුමා ගෙනාපු තර්කය වැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව අර්ථ කථනයක් ගැනීමේ සම්පුර්ණ අයිතිය රටේ නායකයා හැටියට ජනාධිපතිතුමාට තියනවානේ. ජනාධිපතිතුමාගේ ධුර කාලය අර්ථ දක්වා දෙන ලෙස ඉල්ලන්න පුලුවන් නම් කතානායකතුමාගේ ස්ථාවරය ගැනත් අර්ථ දැක්වීමක් කතානායකතුමාත් නීතියට යටත්නේ ඉල්ලුවේ නැත්තේ ඇයි ??

:       37       1017

sanjeewa Monday, 12 November 2018 07:56 AM

කිතුලට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුණලු. මේ යන විදියට ආයෙම බලය ලැබුණොත් මොනවා නොකරයිද?

:       112       213

amila Monday, 12 November 2018 09:05 AM

2015 ජනවාරි 8 සිදු වූ මහ රැවටීමට ඔබතුමා සෘජුවම දායකවීම ගැන එදා ඔබතුමාට කතිරය ගැසූ රටේ ජනතාවට දැන් තිබෙන්නේ මහා අප්‍රසාදයක්.... දැන්වත් උගත්, බුද්ධිමත් අලුත්ම පාර්ලිමේන්තු සභිකයින් පිරිසක් පත් කිරීමට ජනතාවට බුද්ධිය පහළවේවා!!!

:       1       10

ලුම්බිණි Monday, 12 November 2018 09:57 AM

දේශපාලන අර්බුදය ඇති කලේ අපිද නැත්නම් ඔබද?

:       0       27

Rata Perata Monday, 12 November 2018 11:05 AM

ඇනස්ලි, බර්ටි පරාදයිනේ මෙයාට.... මාර විහිළු කාරයෙක් වෙලා. එ්ත් අනුකම්පා කරන්න. මෙයාගේ දැනුමෙන් අපිට මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       34       117

Nandalal DE SILVA - France Monday, 12 November 2018 10:36 PM

රනිල් මැතිතුමා ඉවත්කළ දින පටන්ම ජනාධිපතිවරයා කී සැරයක් අල්ලේ පැලවෙන පචෝරිස් කෙනෙක් වුණාද? එ්ත් තාම එයාට ඒක තේරිලා නැති නිසා වැඩිදුරටත් වාචාල කතා, අනුවණ කතා කියමින් සතුටු වෙනවා. මහින්දට අංතට්ටුවක් නැතුවම අගමැතිකම බාරදී සමච්චලයට ලක්කරා මෙන්ම රටවැසියාත් ඒ විදියට සැලකීමට හිතාගන්න එපා! ඔබට තිබුණාට රටවැසියාට මොළේ අමාරුවක් නැත.

:       0       0

silva Wednesday, 14 November 2018 12:11 AM

තව හංගගත්ත තුරුම්පු එහෙම නැතේ කියනවනං රෝල්කරලා... ගහගත්තොත් නේද වඩා හොඳ?

:       0       0

Nimal Kapurubandara Friday, 07 December 2018 01:03 AM

ගරු ජනාදිපති තුමනි, මන්ත්‍රීලට එහාට මෙහාට පනින්න බැරි ක්‍රමයක් හදන්න ඔබට තියන බලය මුළු වීර්යම යොදා ක්‍රියාවට නගන්න. එය කලොත් වෙන රට හදන්න මුකුත් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. ඔබට එය කල හැකියි . අපේ එකම පැතුම එයයි. මිල අඩු කිරීම් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 0 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 46 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 785 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 207 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1777 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 790 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1653 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site